ඉදිරිදර්ශන

ජූලියන් අසාන්ජ් ගේ නිදහස රැඳී ඇත්තේ කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මතය

මෙහි දැක්වෙන්නේ Julian Assange’s freedom depends on the mobilisation of the working class යන මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ඉදිරිදර්ශන ලීපියයි.

විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් සෙනසුරාදා සිය 50 වන උපන්දිනය උපරිම ආරක්ෂිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ ගත කල අතර එහි ඔහු වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ රඳවාගෙන සිටී. මෙම අවස්ථාව සහ බ්‍රිතාන්‍යයේ ග්වාන්තනාමෝ බේ ලෙස නම් කරන ස්ථානයෙහි මාධ්‍යවේදියෙකු සිරගත කිරීම සම්බන්ධයෙන් සංස්ථාපිත මාධ්‍ය යන්තම් මැසිවිලි නැඟුවා පමනි.

අසාන්ජ්ගේ උපන්දිනය එක්සත් ජනපදය ප්‍රමුඛ යුද අපරාධ, ගෝලීය රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන සහ නීති විරෝධී ඔත්තු මෙහෙයුම් හෙලිදරව් කිරීම නිසා ඔහුව විනාශ කිරීමේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරයේ තවත් සලකුනකි. ඔහුගේ 40 වන උපන්දිනය යෙදුනේ 2011 දී බ්‍රිතාන්‍ය නිවාස අඩස්සියේ සිටියදී වන අතර, 2016 දී 45 වන උපන්දිනය ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයෙන් ඉවත් වීමට නොහැකි දේශපාලන සරනාගතයෙකු ලෙස සිටියදී ය.

එක්සත් ජනපදය හා එහි සහචරයින්ට අනුව නම්, අසාන්ජ් කිසි විටෙකත් නිදහස් මිනිසෙකු නොවනු ඇත. පටු සෞඛ්‍ය හේතූන් මත ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය දිස්ත්‍රික් උසාවිය එරෙහි වුවද, අසාන්ජ් සිරෙන් නිදහස් කිරීමේ දින නියමයක් පෙනෙනතෙක් මානයකවත් නැත.

[AP Photo/Frank Augstein, File]

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ බැල්කනියේ සිට ආධාරකරුවන්ට ආචාර කරයි. (ඡායාරූපය ෆ්‍රෑන්ක් ඔග්ස්ටයින්, ඇසොසියේටඩ් ප්‍රෙස්)

එක්සත් ජනපදය එම තීන්දුවට එරෙහිව අභියාචනයක් කිරීමේ උත්සාහයක නිරතව සිටී. අසාන්ජ්ට එරෙහි අධිචෝදනා පත්‍රය සඳහා ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කල බවට එක්සත් ජනපදයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු විසින් පසුගිය සතියේ පිලිගැනීම ඇතුළුව, නඩු විභාගය ගොතන ලද්දක් ලෙස අපකීර්තියට පත්ව තිබියදී ද, එවැනි අභියාචනයක් සාර්ථක වනු ඇති බව සැක කිරීමට සෑම හේතුවක්ම තිබේ. සෑම අවස්ථාවකදීම, බ්‍රිතාන්‍ය අධිකරනය අසාන්ජ්ට දඬුවම් කිරීමට ඉඩකඩ ලබාගැනීම සඳහා නීතියේ ආධිපත්‍යය පසෙකට දමා ඇත.

සියලු කම්කරුවන්, සිසුන්, තරුනයින් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් විසින් අසාන්ජ්ගේ නිදහස සඳහා කරන සටන උත්සන්න කිරීමේ තීරනාත්මක වැදගත්කම මෙම තත්වයෙන් සලකුනු කරයි.

අනෙක් සෑම තැනකම මෙන්ම මෙම අරගලයේ දී ද දේශපාලන දිශානතිය තීරනාත්මක ය. අසාන්ජ් නිදහස් කර ගැනීමේ අරගලයේදී මුලුමනින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ඉදිරිදර්ශනයන් දෙකක් මතු වී තිබේ.

එකක් අසාන්ජ්ට එරෙහි පීඩා කරන්නන්ගෙන් ඔහුට එරෙහි උද්ඝෝෂනය නතර කරන ලෙසට නිමක් නැති දුබල ආයාචනා ඉදිරිපත් කරන හා බ්‍රිතාන්‍යයේ නිල ඩොන්ට් එක්ස්ට්‍රැඩයිට් අසාන්ජ් (ඩීඊඒ) කන්ඩායම (අසාන්ජ් පිටුවාහල් නොකරන්න) වැනි සංවිධාන විසින් දේශපාලන සංස්ථාපිතයට යොමු කරන වෙනත් බලපෑම් කිරීමේ උත්සාහයන් ද ඊට ඇතුලත් වේ.

සමාජවාදී සමානතා පක්ෂ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කරන ලද අනෙක් ඉදිරිදර්ශනය මගින් අවධාරනය කරන්නේ, අසාන්ජ්ගේ නිදහස රඳා පවතින්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ කොටසක් ලෙස සහ ආන්ඩු වෙන කවරදාටත් වඩා ඒකාධිපති පාලන ක්‍රමයන් වෙත හැරීමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවැන්ත සමාජ හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීම මත බවයි.

හිටපු ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් සහ ඔහුගේ සගයන් සමඟ ඩීඊඒ සහයෝගයෙන් කටයුතු කර ඇත. කෝබින් ලේබර් පක්ෂයේ මුල් පුටුවේ සිටියදී අසාන්ජ් ගේ නිදහස වෙනුවෙන් සටන් කිරීම තබා සාමාන්‍යයෙන් ඔහු ගැන සඳහන් කිරීම පවා ප්‍රතික්ෂේප කලේය. පක්ෂ නායකත්වය අසාන්ජ්ට හිංසා පීඩා කිරීමට විවෘතව සහාය දෙන බ්ලෙයාර් වරුන්ට භාර දුන් කෝබින් සහ ඔහුගේ සගයන්, විකිලීක්ස් නිර්මාතෘගේ ආරක්ෂකයින් ලෙස ඉඳහිට ගත් ආස්ථානය නැවත ආරම්භ කර තිබේ.

පසුගිය මාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් 24 කු විසින් ලියන ලද ලිපියක් මෙම පසුකාලීන සහයෝගයේ ස්වභාවය සාරාංශ කලේය. එය, ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වීම ගැන සුබ පැතූ අතර “මෙම නඩු විභාගය අත්හරින මෙන්” ඉල්ලා සිටියේ “එය ලොව පුරා දෝංකාර දෙන නිදහස සඳහා වූ කාහල නාදයක් වනු ඇති බව” සඳහන් කරමිනි. බයිඩන් අමතමින්, එම ලිපියේ මෙසේ සඳහන් විය: “අප මෙන්ම ඔබත්, ඔබේ පූර්වගාමියා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශකයෙකුට එරෙහිව වසර 175 ක සිර දඬුවමක් නියම කරමින් නඩු පැවරීම ගැන කනගාටු වන්නට ඇත.”

පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ “බ්‍රිංග් අසාන්ජ් හෝම්” (අසාන්ජ් මවු බිමට ගෙනඑන්න) පාර්ලිමේන්තු කන්ඩායම විසින් ද එවැනිම ආයාචනයක් නිකුත් කරන ලදී. කොන්සර්වේටිව් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බර්නාබි ජොයිස් මෙම කන්ඩායමේ වඩාත්ම කැපී පෙනෙන සාමාජිකයන් අතර සිටි මුත්, අසාන්ජ් වෙනුවෙන් ඇඟිල්ලක් එසවීම පවා ප්‍රතික්ෂේප කරන ආන්ඩුවක නියෝජ්‍ය අගමැති ධුරයට පත්වීමෙන් පසු ඔහු නිහඬව ලිස්සා ගිය බව පෙනේ.

මෙම කන්ඩායමේ දැනට සිටින නව නායකයා, “ආරක්ෂක විශ්ලේෂකයෙකු” ලෙස ඉරාකය යටත් කර ගැනීමට සම්බන්ධ වූ දක්ෂිනාංශික කම්කරු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් කලීල් වන අතර විකිලීක්ස් මගින් ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික කේබල් මගින් හෙලි වූයේ, ඔහු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ “ආරක්ෂිත ප්‍රභවයක්” ලෙස, එනම් ඇමරිකානු තොරතුරු දැනුම් දෙන්නෙකු ලෙස කටයුතු කල බවයි. අසාන්ජ්ට එරෙහිව නඩු පැවරීම අතහැර දැමීම ගැන බයිඩන් සලකා බැලිය යුතු යැයි කලීල් ඉතා ආචාරසම්පන්න ලෙස යෝජනා කලේ ය. මන්දයත් එය ඉදිරියට ගෙනයාම, චීනයට එරෙහිව එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ගෙනයනු ලබන ආක්‍රමනයේදී “මානව හිමිකම්” වලට ගරුකරන්න යයි කෙරෙන ඉල්ලීමට විරසක වන බැවිනි.

මෙවැනි මිතුරන් සමඟ, සතුරන් අවශ්‍ය වන්නේ කාටද?

ඊට පටහැනි ලෙස සලකන කල, අසාන්ජ්ගේ පවුලේ අය සහ ඔහුගේ විකිලීක්ස් සගයන්ගේ අවංකභාවය, අධිෂ්ඨානය සහ ධෛර්යය ගැන සැකයක් නැත. එහෙත් අසාන්ජ්ගේ හිංසකයින්ටම ආයාචනා කිරීමේ එම මූලික ඉදිරිදර්ශනය ම, අසාන්ජ්ගේ පියා සහ සහෝදරයා, ජෝන් සහ ගේබ්‍රියෙල් ෂිප්ටන් විසින් මෑතකදී අවසන් කරන ලද එක්සත් ජනපද සංචාරයේදී පැහැදිලිව ඉස්මතු විය.

මාධ්‍ය නිදහස සහ අසාන්ජ් යුද අපරාධ හෙලිදරව් කිරීම පිලිබඳව වැදගත් කරුනු ඉදිරිපත් කරන අතරම දෙදෙනාම, බයිඩන්ට හැඟීමක් ඇති වී නඩු පැවරීම අත්හරිනු ඇතැයි බලාපොරොත්තු පල කලහ. ඔවුහු මෙම සංචාරයේ නිව්යෝර්ක්, වොෂිංටන් සහ ලොස් ඇන්ජලීස් වැනි නගරවල කථා පැවැත්වූ නමුත් ඩෙට්‍රොයිට් වැනි කාර්මික මධ්‍යස්ථාන වල කථා කලේ නැත. ඩිමොක්‍රටික් පක්ෂයේ වාටියේ සිටින්නවුන් සමඟ ෂිප්ටන් පෙනී සිටියද මෝටර් රථ සේවකයින් හෝ අරගලයේ යෙදී සිටින කම්කරු පන්තියේ වෙනත් කොටස් හමු නොවීය.

බංකොලොත් දේශපාලන ඉදිරිදර්ශනයක් කිසි විටෙකත් අතීතයේ පාඩම් මත පදනම් නොවේ, නැතහොත් දේශපාලන තත්වය පිලිබඳ නිවැරදි තක්සේරුවක් නොකරයි.

ජෝ බයිඩන්ට ආමන්ත්‍රනය කරන ලද යටහත් පහත් ආයාචනා ට්‍රම්ප් වෙත නිකුත් කරනු ලැබුවේ එතරම් කලකට පෙර නොවේ. ට්‍රම්ප් ජනාධිපතිව සිටියදී අසාන්ජ්ට හිංසා පීඩා කිරීමේ වගකිව යුත්තා ලෙස ඔබාමා පාලනාධිකාරය ඉදිරියට දැමුන අතර, දැන් බයිඩන් බලයේ සිටින බැවින් එය “ට්‍රම්ප්-යුගයේ කරන ලද නඩු පැවරීමක්” ලෙස හඳුන්වා දෙනු ලබයි. ආයාචනා ප්‍රතික්ෂේප කර ඇති සෑම අවස්ථාවකම ඩීඊඒ වැනි කන්ඩායම්, ඔවුන්ගේ පෙර උත්සාහයන් පිලිබඳ කිසිදු ශේෂ පත්‍රයක් විමසා බැලීමකින් තොරව ඊලඟ ලිපි ලිවීමේ ව්‍යාපාරයට පැන ගනිති.

යථාර්ථය නම්, අසාන්ජ්ට හිංසා පීඩා කිරීමේදී සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයම ඊට සහාය දක්වා ඇති බවයි. ඔබාමාගේ උප ජනාධිපති ලෙස බයිඩන්, මෙම උද්ඝෝෂනය ආරම්භ කිරීමේදී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කල අතර, අසාන්ජ් “අධි-තාක්‍ෂනික ත්‍රස්තවාදියෙකු” යයි කුප්‍රකට ලෙස හංවඩු ගැසීය. ජනාධිපති ධුරයට පත්වූ දා සිට ඔහුගේ පරිපාලන නිලධාරීන් පැහැදිලිවම කියා සිටියේ, නඩුව අතහැර දැමීමේ කිසිදු අදහසක් තමන්ට නැති බවයි.

එක්සත් ජනපද පාලක ප්‍රභූව සහ එහි සහචරයින් අසාන්ජ්ට දිගින් දිගටම හිංසා පීඩා කිරීම පිලිබඳව දක්වන අධිෂ්ඨානය පෙන්වන්නේ, එහි පුළුල් වැදගත්කම යි. රජය විසින් ගොතන ලද චෝදනා වලට හරස්ව යන ඕනෑම කෙනෙකු ගොදුරු කර ගැනීම සඳහා බලතල අයුතු ලෙස පාවිච්චි කිරීමේ පූර්වාදර්ශයක් ස්ථාපිත කිරීමට දරන උත්සාහයකි එය. මෙය සිදුවන්නේ, කොරෝනා වෛරස් වසංගතයෙන් වේගවත් වූ සහ පන්ති අරගලයේ පුනර්ජීවනයක කොන්දේසි යටතේ දිගහැරෙන ගෝලීය ධනවාදී ක්‍රමයේ පෙර නොවූ විරූ අර්බුදයක් හමුවේ ය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනා කරන පරිදි “නිදහස සඳහා වූ කාහල නාදය” සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යාමට බයිඩන්ට කිසිදු අදහසක් නැත. ඔහුගේ වැඩපිලිවෙල වන්නේ ඉරාකයට සහ සිරියාවට බෝම්බ හෙලීම, ඇමරිකානු ආධිපත්‍යය සහතික කිරීම සඳහා චීනයට එරෙහිව යුද්ධය සූදානම් කිරීම, වසංගතය අතරතුර වෝල් වීදියට ලබා දුන් ට්‍රිලියන ගනන් ආපසු ගෙවීමේ වගකීම කම්කරු පන්තිය මත පැටවීම සහ පසුගිය අවුරුදු 20 තුල ඔහුගේ පූර්වගාමීන් සියලු දෙනා විසින් සකස් කරන ලද පොලිස්-රාජ්‍ය යාන්ත්‍රනය ශක්තිමත් කිරීම ය.

මෙම ප්‍රහාරයට එරෙහිව සහ අසාන්ජ්ගේ නිදහස සඳහා අරගලය පදනම් විය යුත්තේ, එක්සත් ජනපද පාලක පන්තිය, එහි ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ, මාධ්‍ය සංස්ථාපිතය, හමුදා සහ බුද්ධි අංශවලට වඩා බලවත් බලවේගයක් මත ය. එම බලය නම් ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මතයි.

ජාත්‍යන්තර සංගතය සහ එක්සත් මෝටර් රථ සේවක වෘත්තීය සමිතිය විසින් ඉදිරිපත් කරන ලද සහන කොන්ත්‍රාත්තු දෙකක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, මාසයකට වැඩි කාලයක් තිස්සේ වොල්වෝ ට්‍රක් කම්කරුවන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වර්ජිනියාවේ වැඩ වර්ජනයක නිරතව සිටිති. වසංගතය අතරතුර, කොරෝනා වෛරස් අර්බුදයට ආන්ඩු දක්වන මිනීමරු, ව්‍යාපාරික ගැති ප්‍රතිචාරයට එරෙහිව ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයින් ධෛර්ය සම්පන්නව සටන් කර තිබේ. ජාත්‍යන්තර කම්කරු පන්තිය පුරා, අසමානතාවය, රැකියා, වැටුප් හා සේවා කොන්දේසි වලට පහරදීම සහ කිසිදා නිම නොවන යුද්ධය සම්බන්ධයෙන් දැවැන්ත දේශපාලන අතෘප්තියක් හා විරුද්ධත්වයක් ගොඩනැගී ඇත.

මෙතෙක් කර ඇති අරගලයන් ඊටත් වඩා විශාල ඒවා පිලිබඳ පෙර නිමිත්තකි. 20 වන ශතවර්ෂයේ දී මෙන්ම යුද්ධයට සහ ආඥාදායකත්වයට ධනවාදයේ සහසම්බන්ධය යනු කම්කරු පන්තියේ මහා විප්ලවවාදී අරගලයකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අසාන්ජ් ගේ ආධාරකරුවන් විසින් සැබෑ සහයෝගයක් සොයා ගනු ඇත්තේ එහිදීය. ජුලි 4 වන දින සමරනු ලැබූ ඇමරිකානු නිදහස් ප්‍රකාශනය ඇතුළු අතීත අරගලවල මහා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ජීවමාන වන්නේ කම්කරු පන්තිය තුල ය.

කම්කරු පන්තිය, අසාන්ජ්ගේ ඛේදජනක තත්වය තක්සේරු කිරීමට සහ එය බලමුලු ගැන්වීමට සෑම උත්සාහයක්ම ගත යුතුය. මෙය සිදුවිය හැක්කේ, ආචාරශීලී ආයාචනා සහ පසුපස බඩගාමින් කරන බලපෑම් දැමීම වැනි, අරගලය යටත් කිරීමේ ඕනෑම ඉදිරිදර්ශනයක් ප්‍රතික්ෂේප කිරීමෙන් පමනි. බයිඩන් විසින් පැමිනිල්ල අත්හැරිය යුතු බව කියා සිටිය යුතුය; එක්සත් රාජධානිය වහාම අසාන්ජ්ව නිදහස් කල යුතු බවත්, ඔහු පීඩාවට පත් කල පුරවැසියෙකු සහ ප්‍රකාශකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු ආන්ඩුව ඔහු ආරක්ෂා කල යුතු බවත් ඉල්ලා සිටිය යුතු ය. නමුත් අත්දැකීම් වලින් පෙන්නුම් කර ඇත්තේ, ඔවුන් මෙය කරන්නේ, පහල සිට ගොඩ නැඟෙන මහජන ව්‍යාපාරයක ශක්තිය මත පමනක් බව ය.

අවසාන වශයෙන් අසාන්ජ් ගේ නඩුව, වර්තමාන කාල පරිච්ඡේදයේ සියලුම ප්‍රධාන ප්‍රශ්න මතු කරයි. ඔහුගේ නිදහස සඳහා වන අරගලය ධනේශ්වර රාජ්‍යයට, අධිරාජ්‍යවාදී යුද්ධයට හා අතීතයේ පිරිහුනු වංශාධිපතියන්ට සමාන සංගත කතිපයාධිකාරියේ ආධිපත්‍යයට එරෙහි අරගලයකි. අසාන්ජ්ට එරෙහි හිංසනයේ සෑම පැතිකඩක්ම විකල්පයක අවශ්‍යතාවය, එනම් සමාජයේ විප්ලවීය ප්‍රතිසංවිධානය සඳහා සටනකින් කම්කරු පන්තිය දේශපාලන බලය සහ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ අවශ්‍යතාවයන් මතු කරයි. අවසානයේදී එයින් අදහස් කරන්නේ ධනවාදය අහෝසි කිරීම හා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා වූ විප්ලවීය අරගලයකි.

Loading