මහජනතාවට එරෙහි රුදුරු ම ප්‍රහාරයක් සැලසුම් කරමින් ආන්ඩුව බැසිල් රාජපක්ෂට මුදල් අමාත්‍යධූරය භාර දෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පසුගිය සතියේ, තම බාල සොහොයුරු බැසිල් රාජපක්ෂ මුදල් ඇමති තනතුරට පත් කලේය. කල්තියා සූදානම් කල සැලසුමක කොටසක් ලෙස, පාලක පොදුජන පෙරමුනේ (පොපෙ) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ව සිටි ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වී පොපෙ හි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිනීමට ඉඩ සැලසීමත් සමග බ්‍රහස්පතින්දා ඔහු මුදල් ඇමති තනතුරේ දිවුරුම් දුන්නේය.

2014 සැප්තැම්බර්, ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ චීන ජනාධිපති සී ජිං පිලිගනිමින් [අනුග්‍රහය: මහින්ද රාජපක්ෂ, ෆ්ලිකර්]

ජනාධිපති රාජපක්ෂ තම බාල සොහොයුරා මුදල් ඇමති තනතුරට පත්කර ගත්තේ, ඔහුගේ ආන්ඩුව ගැඹුරු දේශපාලන සහ ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටියදීය. කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමේ අත්‍යවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් වසංගතය ව්‍යසනකාරී මට්ටමකට වර්ධනය වී තිබියදී මහධනපතියන්ගේ ලාභය වෙනුවෙන් තම ජීවිත නොතකා වැඩට දැක්කීම, වසංගතයෙන් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදයේ සියලු බර විවිධ කප්පාදු හරහා තම උර මත පැටවීම සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට එල්ල කරන බරපතල ප්‍රහාර හේතුවෙන්, කම්කරු-පීඩිත මහජනතාව අතර රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි වැඩී ඇත්තේ බලගතු විරෝධයකි.

වසංගතය මධ්‍යයේ ආන්ඩුව ක්‍රියාත්මක කල, රැකියා, වැටුප් සහ දීමනා කප්පාදුව, වැඩ වේගවත් කිරීම, ඉන්ධන මිල ඉහල නැංවීම, රසායනික පොහොර තහනම් කිරීම සහ පුද්ගලීකරනය ඇතුලු ප්‍රහාර වලට එරෙහිව කම්කරු, ගොවි, ධීවර සහ ශිෂ්‍ය අරගල මාලාවක් ජනනය කෙරී පවතී.

මෙම තතු තුල, නව මුදල් ඇමතිවරයා ජනාධිපති රාජපක්ෂගේ 'සෞභාග්‍යයේ දැක්ම' යටතේ රටෙහි මහජනතාවගේ 'ආර්ථික සමෘද්ධිය' තහවුරු කරනු ඇති බවට, රාජපක්ෂ ආන්ඩුව, එයට හිතවත් මාධ්‍ය බිස්ස සහ ඊනියා ශාස්ත්‍රාලිකයෝ සහතික වෙති. මෙම සහතික කිරිම් වලට විපරීත ව, ආන්ඩුව මුහුන දී සිටින පෙර නොවූ විරූ අර්බුදය මගින් යතාර්ථයේදී ඔහුට බලකෙරී ඇත්තේ කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන තත්වයන්ට එල්ල කෙරෙමින් පවත්නා ප්‍රහාර රුදුරුම මට්ටම් වලට නැංවීමයි.

මුදල් ඇමති තනතුරේ වැඩ භාර ගැනීමෙන් ක්ෂනික ඉක්බිත්තෙහි ඔහු මාධ්‍යයට කල ප්‍රකාශයෙන්මත් එය තහවුරු වෙයි. “අමාත්‍යංශය තුල වැඩ කරන විට සමහර වෙලාවට තාත්තෙක් වගේ අමිහිරිදේ කරන්න වෙයි. ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියා විඳදරා ගනිමින් සහයෝගයෙක් කටයුතු කල යුතු” යැයි රාජපක්ෂ පැවසීය.

ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ පරිමාව කෙතෙක්ද යත්, බ්ලූම්බර්ග් ජාත්‍යන්තර දර්ශකයන්ට අනුව, ලංකාව, ආසියාවේ නය පැහැර හැරීමේ අවදානම අතින් ප්‍රමුඛතම රට බවට පත්ව ඇත. ඒ අනුව, ලංකාවේ ඒක-වාර්ෂික නය පැහැර හැරීමේ සම්භාවිතාව මාස හයක් තුල සියයට 13 සිට සියයට 27.9 දක්වා වැඩි වී ඇත.

විදේශ විනිමය සංචිතය මෙතෙක් පැවති අවමය සලකුනු කරමින් එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ට ‍බැස ඇත. එය එම අගයේ රඳවාගෙන ඇත්තේ, මාර්තු මාසයේ චීනයෙන් ලබාගත් ඩොලර් බිලියන 1.5 ක අතමාරුවක් ආධාරයෙනි. බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250 ක සහ ඉන්දීය රිසර්ව් බැංකුවෙන් තවත් මිලියන 400 ක ද අතමාරු ලංකාව බලාපොරොත්තු වෙයි. ආන්ඩුව, ලබන අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් ලබා ගැනීමට නියමිතය.

මෙම සමස්තයේ ප්‍රතිඵලය වනුයේ, රාජ්‍ය අංශයේ ප්‍රතිව්‍යුහකරනය, රැකියා කප්පාදුව, වැඩ වේගවත් කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන කප්පාදුව, සමාජ සහනාධාර අහෝසි කිරීම සහ පුද්ගලීකරනය ඇතුලු දැවැන්ත ප්‍රහාරයක් කම්කරු-පීඩිත මහජනතාව මත එල්ල කිරීමයි. මෙම ප්‍රහාර වලට එරෙහිව කම්කරු-පීඩිත මහජනතාව තුලින් මතුවන අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම ගෝඨාභය රාජපක්ෂගේ එල්ලය වන අතර ඒ මග ඔස්සේ ඔහු බොහෝදුර ගොස් ඇත.

'පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන අවබෝධයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රමුඛත්වය අපේ ප්‍රමුඛත්වය විය යුතුයි' යනුවෙන් ඇමති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු බැසිල් රාජපක්ෂ කල ප්‍රකාශයට විපරීත ව ඔහු භාර ගෙන ඇත්තේ ඉහත ප්‍රහාර මාලාව නිර්දය ව ක්‍රියාත්මක කිරීමයි.

ඔහුගේ එම ප්‍රකාශයේ වංචනිකභාවය දින දෙකක් යන්නට මත්තෙන් තහවුරු විය. ඔහු ජූලි 10 දා මාධ්‍යයට කියා සිටියේ, ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති රසායනික පොහොර තහනම කවර තත්වයක් යටතේ හෝ දිගටම ක්‍රියාවේ යොදවන බවයි. දස දහස් සංඛ්‍යාත ගොවීන් අහේනියට ඇද දමමින් මෙම පොහොර තහනම ක්‍රියාවට නැංවූයේ ආන්ඩුව මුහුන දී සිටින දැවැන්ත විදේශ විනිමය හිඟයට පිලියමක් ලෙස මිස රාජපක්ෂවරු පවසන පරිදි මහජනතාවගේ සෞඛ්‍ය තත්වය සලකා නොවේ.

කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි මෙම ප්‍රහාරයන් සඳහා නව මුදල් ඇමතිට පවරා ඇත්තේ ඉමහත් බලතල සමූහයකි. මුදල් අමාත්‍යාංශයට අදාල විෂය පථය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රාජපක්ෂ ජූලි 07 දා නිකුත් කල ගැසට් නිවේදනයට අනුව, රටෙහි ආර්ථික මර්මස්ථානයන් ඇතුලු ආයතන 52 ක් හැසිරවීමේ බලය ඔහුට හිමිව ඇත.

මහා භාන්ඩාගාරය, ශ්‍රී ලංකා මහබැංකුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, වෙලඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල ඒ අතර වෙයි. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යංශ විෂය පථයට අයත් නොවන, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය වැනි ආයතන ද ඔහු යටතට පමුනුවා තිබේ.

කෙසේ නමුත්, නව මුදල් ඇමතිවරයෙකු පත්කර ගැනීමෙන් ආන්ඩුව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය සමහන් කරගත හැකිවේද යන්න පිලිබඳව ධනපති පංතියේ කොටස් තුලම ඇත්තේ බලගතු කනස්සල්ලකි. සන්ඩේ ටයිම්ස් හි පසුගිය කලාපයේ දේශපාලන තීරු ලිපිය තුලින් එය මෙසේ ප්‍රකාශයට පත්වෙයි: 'නව මුදල් ඇමතිවරයාට තම කාර්යාලයේ නව බලතල මෙන්ම ඉන් පිටත වැඩි බලපෑමක් ඇති කිරීමට හැකි වුව ද, රටේ ආර්ථිකයේ හෝ මූල්‍යයේ හෝ ඉන්ද්‍රජාලික හැරීමක් ඉන් අදහස් නොකෙරේ.' කම්කරු-පීඩිත මහජනතාවට ඔහු යටතේ එල්ල වීමට නියමිත ප්‍රහාරය පිලිබඳව දැනුවත් තීරු ලිපිකරුවා, 'එම ව්‍යායාමයේ දී, උදරයට අමාරු වන කටුක විසඳුම් ඔහු දිගටම නියම කරන්නේ නම් එය පුදුමයක් නොවේ' යැයි තවදුරටත් පවසයි.

මුදල් ඇමති තනතුර යටතේ මෙම බලතල පැවරීමට පෙර පවා බැසිල් රාජපක්ෂ ආන්ඩුවේ ඉහලම තීන්දු තීරන ගනු ලබන කවයේ 'උපායඥයා' ලෙස කටයුතු කල අතර, ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විය. ආන්ඩුවේ කොටස්කරුවෙකු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ඇමතිවරයෙකු වන දයාසිරි ජයසේකර මාධ්‍යයට පැවසුවේ, අමාත්‍ය ධූරයන්ගේ සහ රාජ්‍ය අමාත්‍ය ධූරයන්ගේ විෂය පථයන් පමනක් නොව අදාල අමාත්‍යවරුන් පවා නිර්දේශ කිරීමේදී මූලිකත්වය ගත්තේ ඔහු බවයි.

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේ 'උපායඥයෙකු' බව තහවුරු කිරීම සඳහා බොහෝවිට ඉදිරිපත් කෙරෙන තර්කයක් වන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය දරමින් රටේ ආර්ථික සංවර්ධන වේගය සියයට 6 ක සාමාන්‍යයක පවත්වාගෙන ගියේය යන්නයි.

ආර්ථික සංවර්ධන වේගය එම අගයේ පවත්වාගෙන යාමට මූලික වශයෙන් හේතුවූයේ ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් ලබාගත් දැවැන්ත නය කන්දරාව යොදා ඉදි කෙරුනු අධිවේගී මාර්ග, වරාය, ‌ගුවන් තොටුපොල සහ ක්‍රීඩාංගන ඇතුලු යටිතල පහසුකම් ය. සමාජ පතුලේ වන කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසි ඔසවා තැබීමට මෙම ඊනියා ආර්ථික සංවර්ධනය කිසිසේත් බල නොපෑ අතර ඔවුන් වඩ වඩාත් දරිද්‍රතාවට ඇද වැටුනි.

ආර්ථික 'උපායඥයෙකු' ලෙස කෙසේ වෙතත්, බැසිල් රාජපක්ෂ කුමන්ත්‍රනකාරී දේශපාලන 'උපාමාරුකරුවෙකු' ලෙස කුප්‍රකටය. 2012 ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු විසින් ගෙන ආ 'දිවි නැගුම සංවර්ධන පනත' යටතේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පලාත් සභා වලට පැවති යම් මුල්‍ය බලතල මධ්‍යම ආන්ඩුවට පවරා ගැනීමට ගත් ප්‍රයත්නය එම උපාමාරු අතරින් එකකි. එම පනත ව්‍යවස්ථා-විරෝධී බවට තීන්දු කල ශ්‍රේෂ්ඨාධිකරන විනිශ්චය මන්ඩලයේ සභාපතිත්වය දැරූ අග්‍රවිනිශ්චයකාර ශිරානි බන්ඩාරනායක, පාර්ලිමේන්තුව තුල සම්මත කල දෝෂාභියෝගයක් හරහා තනතුරෙන් ඉවත් කිරීමට රාජපක්ෂ තන්ත්‍රය පියවර ගත්තේය.

බැසිල් රාජපක්ෂගේ කැබිනට් ආගමනයත් සමග රාජපක්ෂ පවුල තුල රටෙහි පාලන බලය වඩාත් බලගතු ලෙස සංකේන්ද්‍රනය වෙයි. ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ සොහොයුරන් වන අගමැති මහින්ද රාජපක්ෂ, කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ අගමැති පුත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ආදී වශයෙන් පවුලේ පස් දෙනෙකු කැබිනට් මන්ඩලයේ ප්‍රධානතම ඇමති ධූරයන් දරමින් සියලු පාලන බලතල එක් පවුලක් තුලට ඒකාග්‍ර කරගෙන ඇත.

මෙම බල සංකේන්ද්‍රනය, ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහිව වැඩෙන කම්කරු-පීඩිත මහජනතාවගේ අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම ඉලක්ක කර ගනිමින් ජනාධිපති රාජපක්ෂ විසින් ක්‍රියාවට නංවමින් සිටින මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමේ වැඩකටයුතු සමග අත්‍යන්තයෙන් බැඳී පවතී.

Loading