රාජපක්ෂ ආන්ඩුවේ පොලිස් ප්‍රහාරයට එරෙහිව ගුරුවරු වර්ජනය කරති

“නිදහස් අධ්‍යාපනය සඳහා සිසු ජන ව්‍යාපාරය” විසින් අධ්‍යාපනයේ පුද්ගලීකරනයට සහ මිලිටරීකරනයට එරෙහි ව ජුලි 8 වෙනි දා බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට ආන්ඩුව එල්ල කල මෘග පොලිස් ප්‍රහාරයට විරෝධය පාමින්, රජයේ පාසැල් ගුරුවරු 12 වෙනි දා සිට මාර්ගත (ඔන්ලයින්) ඉගැන්වීම් වලින් ඉවත්වූහ. උතුරු නැගෙනහිර ඇතුලු ව දිවයින පුරා දසදහස් සංඛ්‍යාත ගුරුවරු මෙම වර්ජනයට සහභාගි වී සිටිති.

වර්ජනය කැඳවා ඇත්තේ, ලංකා ගුරු සංගමය (ලංගුස,) ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස) ඇතුලු ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති නවයක එකමුතුවක් විසිනි.

ආන්ඩුවේ රැස්වීම් සහ විරෝධතා තහනම කඩ කලේ යැයි පවසමින් ජූලි 08 වැනි දා අත්අඩංගුවට ගනු ලැබූ ලංගුස ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුලු විරෝධතාකරුවන් 31 දෙනෙකු අධිකරනය විසින් එදින ම ඇප මත මුදාහල ද, “නිරෝධායන” කඩතුරාව යටතේ ඔවුහු බලහත්කාරයෙන් හා අනීතික ව මුලතිවු හමුදා කඳවුරේ රඳවනු ලැබ සිටිති.

තම වැටුප් පමා වීමට එරෙහිව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් ජුලි 7 වෙනිදා පැවැත් වූ උද්ඝෝෂනයකට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුලු 6 දෙනෙකු ද ඉහත චෝදනා යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ද පල්ලෙකැලේ හමුදා කඳවුර තුල “නිරෝධායනය” සඳහා රඳවා සිටී.

මේ සියලුම විරෝධතාකරුවන් නිදහස් කරන තෙක් ගුරු වර්ජනය නොනවත්වන බව ගුරු-විදුහල්පති සමිති එකමුතුව කියා සිටී.

රාජපක්ෂ ආන්ඩුව තම ජීවන කොන්දේසි වලට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන්, ශිෂ්‍යයන්, ගොවීන් සහ ධීවරයන් අතර වේගයෙන් වැඩුන විරෝධතා රැල්ල හමුවේ, ආන්ඩුව, ජූලි 06 දා විරෝධතා සහ රැස්වීම් තහනම් කලේ ය. මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර ගනු ලැබුවේ, රැස්වීම් සහ විරෝධතා මගින් නිරෝධායන නීති උල්ලංඝනය වෙතැයි යන ව්‍යාජය යටතේ ය.

ආන්ඩුව මෙම තහනම යටතේ එල්ල කල පොලිස් ප්‍රහාරය කම්කරු-පීඩිත මහජනතාව අතර අවුලුවා ඇත්තේ දැවැන්ත විරෝධයකි. ඉහත වෘත්තීය සමිති සහ තවත් සංවිධාන වල එකතුවක් විසින් රඳවා සිටින විරෝධතාකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (ජූලි 14) කොලඹ දී පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට සහ පෙලපාලියට ආන්ඩුවේ මර්දනය නොතකා කම්කරුවන් ශිෂ්‍යයන් සහ සිවිල් ක්‍රියාකාරීන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව නිරෝධායන නීතිවලට මුවා වෙමින් සිදු කෙරුනු අත්තඩංගුවට ගැනීම්වලට විරෝධය පල කරමින් ජූලි 14 වැනි දින කොලඹ දී පැවැත් වූ යතුරු පැදි හා මෝටර් රථ පෙලපාලිය

නෙලුම් පොකුන අසලින් ආරම්භ වූ යතුරු පැදි හා මෝටර් රථ පෙලපාලිය, මරදාන, ටෙක්නිකල් හන්දිය, පිටකොටුව, ගෝල්ෆේස් සහ කොල්ලුපිටිය හරහා ලිප්ටන් වටරවුමට පැමිනි අතර විරෝධතාකරුවෝ එහි දී රැස්වීමක් පැවැත්වූහ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ගුරු වර්ජනය මෙහෙයවන්නන් “කාලකන්නින්” බව පැවසී ය. එම ප්‍රකාශයට එරෙහි ව ගුරුවරුන් ඇතුලු කම්කරු-පීඩිත මහජනතාව අතර දැඩි විරෝධයක් ජනනය වී ඇති අතර, ගුරුවරුන්ගේ සටනට සහාය දක්වන විරෝධතා සටහන් වලින් සමාජ මාධ්‍ය පිටාර ගලමින් පවතී.

රාජපක්ෂ ආන්ඩුවට පන්දම් අල්ලන අරුන පුවත්පතෙහි 12 වැනිදා කතුවැකිය, වර්ජනය නිසා පාසල් සිසුන්ගේ අධ්‍යාපනය අඩාල වන බව පවසමින් වර්ජනය හෙලා දැක ඇත. කොරෝනා වසංගතය නිසා පාසල් අධ්‍යාපනය අඩාල ව පවතින තත්වයක් තුල වර්ජනයක් කැඳවීමෙන් ගුරු සංගම් ඇතුලු කොතලාවල පනතට එරෙහි බලවේගය “තකතීරු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින” බවට චෝදනාකරන කතුවැකිය ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයට සම්බන්ධ වීම “ශිෂ්ට සම්පන්න නොවන” බව සඳහන් කර ඇත.

පාසල් අධ්‍යාපනය අඩාල වී ඇත්තේ ගුරුවරුන් තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම නිසා නොව, රාජපක්ෂ ආන්ඩුවේ සහ පෙර පැවති ධනපති ආන්ඩුවල නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ කප්පාදු පිලිවෙත් නිසා ය. ආන්ඩුව සිසුන්ට සහ ගුරුවරුන්ට අත්‍යවශ්‍ය ඔන්ලයින් පහසුකම් සහ උපකරන සැපයීම ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපනය කඩාකප්පල් කරද්දී, ගුරුවරු ඩේටා වියදම් තම අතින් දරාගෙන ඉගැන්වීම් කටයුතුවල නියැලී සිටියහ. ආන්ඩුව එයට කවර හෝ අමතර දීමනාවක් ලබා දී නොමැත.

මේ අතර සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පොලිස් ප්‍රහාරය ගැන කිඹුල් කඳුලු හෙලමින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ මුලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස රාජපක්ෂ ආන්ඩුවෙන් ඉල්ලති.

සජබ, එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) බිඳී වෙන්වූයේ මෑතක ය. බෙදුම්වාදී දෙමල විමුක්ති කොටි සංවිධානයට (එල්ටිටිඊ) එරෙහි යුද්ධය තුල එජාප ආන්ඩු කල මානව හිමිකම් උල්ලංඝනයන්ට හා යුධ අපරාධවලට එම ආන්ඩු තුල ලැගසිටි සජබ නායකයන් වගකිව යුතුය. ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව 1980 මහ වැඩවර්ජනය තලා දමා කම්කරුවන් ලක්ෂයක් රැකියාවලින් දොට්ට දැමීය.

ජවිපෙ වාර්ගික යුද්ධයට උඩ ගෙඩි දෙමින් හා කම්කරු පන්තියේ පන්ති සටන් එල්ටිටිඊ ත්‍රස්තවාදයට සහයෝගය දීමක් ලෙස හංවඩු ගසමින් ඒවා මර්දනය කිරීමට ධනපති ආන්ඩුවලට සහයෝගය දුන් පක්ෂයකි. පොලිස් ප්‍රහාරයට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට “ගරු කරන” ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂන සහ අධිකරනයට පෙත්සම් ගොනු කිරීම මගින් මෙම පක්ෂ කරන්නේ ආන්ඩුවේ රුදුරු මර්දනයට එරෙහි ව ඇවිලෙන මහජන විරෝධය ගසා කමින්, එය අවමංගත කිරීමකි.

රාජපක්ෂ ආන්ඩුවේ සහ එයට ගැති ධනපති මාධ්‍ය වල ද්වේශ සහගත ප්‍රචාරයන් නොතකා ගුරු වර්ජනයට පුලුල් මහජන සහයෝගයක් ගොනු වෙමින් ඇත. මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව වෘත්තීය සමිති සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් 12 වෙනිදා පැවැත් වූ උද්ඝෝෂනයට කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ සිය ගනනක් සහභාගී වුහ. සිවිල් ක්‍රියාකාරීහු සහ ශිෂ්‍යයෝ ප්‍රහාරයට එරෙහි තම විරෝධය සමාජ මාධ්‍ය තුල ප්‍රකාශ කරති.

නිරෝධායනය මුවාවෙන් කෙරෙන බලාත්කාරී අත්තඩංගුවට ගැනීම්වලට එරෙහි ව ජූලි 12 වැනි දා පැවති විරෝධතාව

පොලිස් ප්‍රහාරයට එරෙහිව මෙලෙස පුපුරා ගියේ, කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසි වලට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වලට අනුප්‍රාප්තික ආන්ඩු මගින් එල්ල කෙරුනු ප්‍රහාර හේතුවෙන් දිගු කාලයක් පුරා සමුච්ඡය වූ සහ කොරෝනා වසංගතයෙන් උග්‍ර කෙරුනු ප්‍රහාර හමුවේ ඉස්මත්තට පැමිනි දැවැන්ත සමාජ කෝපය යි.

ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරුනු මෙම ප්‍රහාරයට එරෙහි ව කම්කරු පන්තියේ, ශිෂ්‍යයින්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ පුලුල් සහයෝගයක් ගොනු වී තිබෙන නමුත්, ලංගුස ඇතුලු වෘත්තීය සමිති හැරී සිටින්නේ, ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ජීවමාන කරන සහ එම සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට ඓතිහාසික ව සමත් එක ම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පංතිය දෙසට නොව, අධිරාජ්‍යවාදීන්ගේ භූ-දේශපාලනික සහ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් ගසාකන, “මානව හිමිකම් අධිරාජ්‍යවාදය” සම්බන්ධයෙන් කුප්‍රකට සංවිධාන වෙතටයි.

ලංගුස සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුලු සමිති නිලධරය, තම ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුලු විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට විරුද්ධ ව, ජුලි 12 වෙනි දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැච්ලේට සහ ජුලි 13 වෙනිදා යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කවුන්සිලයේ මානව හිමිකම් කොමසාරිස් දුන්‍යා මයිටොවික්ට පැමිනිලි කරමින් විරෝධතාකරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.

ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකීම සඳහා මෙම සමිති ජාතික වශයෙන් ගැලතී සිටින්නේ, කම්කරු පන්තියට හතුරු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීම සම්බන්ධයෙන් කුප්‍රකට විපක්ෂයේ ධනපති පක්ෂ, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී භික්ෂු නඩ සහ ඊනියා බහුජන සංවිධාන සමගය.

වෘත්තීය සමිති වල මෙම මැදිහත් වීම සිදු කෙරෙන්නේ, රාජපක්ෂ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඇතුලු අනෙකුත් අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මතුවීම වලකාලීමට ය. ඔවුහු එවන් ව්‍යාපාරයකට පරම ලෙස ම හතුරු ය.

ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට රුදුරු ප්‍රහාරයන් එල්ල කෙරෙනුයේ, කොරෝනා වසංගතයෙන් තීව්‍ර කෙරී ඇති ලෝක ධනවාදයේ අර්බුදය හමුවේ එහි බර තම උර මත පැටවීමට එරෙහි ව කම්කරු පන්තියෙන් මතු වන විරෝධය සහ පන්ති සටන් මැඬලීමේ අරමුනෙනි. ලොව සෑම රටක ම පාලක පන්තීන්ගේ පිලිවෙත වී ඇත්තේ කම්කරු පන්තියේ සමාජ අයිතීන් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහර දෙමින් ධනපති සංගතයන් ගේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කිරීමය. රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත වන්නේ ද එයයි.

ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුවට නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු කම්කරු පන්තියේ සමාජ අයිතීන් පවත්වාගෙන යාමට නොහැකිය. ඒ වෙනුවට එයට බලකෙරී ඇත්තේ එම අයිතීන් කප්පාදු කරමින් අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනයා මතට කඩා පාත් කිරීමට ය. එයට එරෙහි ව මතු වන කිසිදු විරෝධයක් ඉවසීමට රාජපක්ෂ ආන්ඩුව සුදානම් නැත. පොලිස් රාජ්‍ය විධික්‍රම යොදා ගනිමින් එම විරෝධතාවයන් මඬින රාජපක්ෂ ආන්ඩුව වේගයෙන් ගමන් කරමින් සිටින්නේ මිලිටරිය මත පාදක වූ ජනාධිපති ආඥාදායක පාලනයක් දෙසට ය.

කම්කරු පන්තියට තම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැක ගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන අරගයක් තුල පමනි. එවන් අරගලයක් දියත් කල හැක්කේ, ධනපති දේශපාලන පක්ෂ, අධිරාජ්‍යවාදී බලයන් හා ඔවුනගේ සංස්ථා පිටුපස පෙල ගැසෙන වෘත්තීය සමිති වලින් බිඳී, වැඩපොලවල්, පාසල් සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිත ව ගොඩ නගාගනු ලබන කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා පමනි.

කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන සහ තීන්දු තීරන ගැනෙන මෙම ක්‍රියාකාරී කමිටු හරහා, රාජපක්ෂ ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි ව කම්කරු පන්තියේ නායකත්වයෙන් දියත් කරන ඒකාබද්ධ අරගලයක් වටා, රැකියා විරහිත තරුනයන්, ශිෂ්‍යන් සහ ගම්බද දුගීන් පෙල ගස්වා ගැනීමත් අත්‍යවශ්‍ය වෙයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැඳවුම් කර තිබෙන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩ නැගීමට උර දෙමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරුකර ගැනීම ද කල් නොහැරිය යුතු දැවෙන අවශ්‍යතාවයකි.

එම ක්‍රියාමාර්ගය සඳහා සටන් වදින ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙස කම්කරුවන්ගෙන්, සහ තරුනයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading