අහ්නාෆ් ජසීම් කවියා නිදහස්කර ගැනීමේ රැස්වීමට කලාකරුවන්ගේ හා කම්කරුවන්ගේ සහයෝගය ගොනු වේ

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අහ්නාෆ් ජසීම් තරුන කවියා නිදහස් කරනු! යන මාතෘකාව යටතේ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) ජූලි 18 ඉරිදා පස්වරු 7ට කැඳවා ඇති ඔන්ලයින් රැස්වීමට කලාකරුවන්ගේ, බුද්ධිමතූන්ගේ සහ කම්කරුවන්ගේ උද්‍යෝගිමත් සහයෝගය ගොනු වෙමින් පවතී.

විසිහය හැවිරිදි ජසීම් කවියා, වසරකට වැඩි කාලයක් මුලුල්ලේ රුදුරු පීටීඒ විධිවිධාන යටතේ අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින අතර ඔහුට එරෙහි ව විධිමත් චෝදනා ගොනු කිරීමට පවා පොලිසිය අසමත් ව ඇත. ත්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) විසින් 'සිසුන්ට වර්ගවාදය හා අන්තවාදය ඉගැන්වීම සහ ඒ පිලිබඳ පොත් පල කිරීම' සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ව්‍යාජ චෝදනා නඟා තිබේ. ටීඅයිඩී පරීක්ෂනයට පදනම් ව ඇත්තේ ඔහු විසින් නවරසම් (රස නවය) යන මාතෘකාව යටතේ 2017 දී ප්‍රකාශයට පත් කෙරුනු කාව්‍ය සංග්‍රහය කි. එය කිසිදු අධිකරනයක් මඟින් තහනම් කරනු ලැබ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින් මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් කරා වේගයෙන් යන ගමනේදී මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්වලට එරෙහිව එල්ල කරන ප්‍රහාරයේ කොටසක් ලෙස කලාවේ හා ප්‍රකාශනයේ නිදහස තලා දමමින් සිටී. එයට සමගාමීව, තම ප්‍රහාර වලට එරෙහිව වැඩෙන පංති අරගල දුබල කරනුවස්, කම්කරු පංතිය වාර්ගික රේඛා ඔස්සේ භේද කිරීමේ, මුස්ලිම් සහ දෙමල විරෝධී දක්ෂිනාංශික ප්‍රකෝපකරනයක්ද ආන්ඩුව ඉස්මත්තට ගෙන තිබේ. ජසීම් ට එරෙහි දඩයම මෙම ද්විත්ව ප්‍රහාරයේ කොටසකි.

ඔහු නිදහස් කර ගැනීම පිනිස කප්‍රනිආක සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මූලිකත්වයෙන් දියත් කර ඇති උද්ඝෝෂනයේ කොටසක් ලෙස පැවැත්වෙන රැස්වීමට තම සහාය පල කරමින් කලාකරුවෝ, බුද්ධිමත්තු සහ කම්කරුවෝ පහත ප්‍රකාශන ලබා දුන්හ.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, අතුල සමරකෝන්:

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, අතුල සමරකෝන්

“අහ්නාෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගනිමින් ඔහුගේ ප්‍රකාශන නිදහසට හානි කිරීම මම තරයේ ම හෙලා දකිනවා. මම මේක දකින්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිදු වෙමින් පැවති ක්‍රියාවලියක කූටප්‍රාප්තිය විදිහටයි.

“ලංකාවේ වාමාංශික යයි කියාගන්නා පක්ෂ ද ඇතුලුව රට පාලනය කිරීමේ යෙදුනු පක්ෂ ජාතිවාදය වපුරමින් ගිය ගමනක් තියෙනවා. ඒ ගමන මෑතක දී ඉතා ම තදබල මුස්ලිම් විරෝධයක් බවට හරවලා තියෙනවා. අහ්නාෆ් ජසීම් කවියා හිරගත කිරීම ඒකෙ ම එක අදියරක්.

“ආන්ඩුව මේ මුස්ලිම් විරෝධය අවුලුවන්නෙ බරපතල ප්‍රබන්ධාත්මක ප්‍රවෘත්ති මත පදනම්වෙලා. අහ්නාෆ්ට එරෙහි දඩයමත් ඒ විදිහෙම ප්‍රබන්ධ ගොඩක් යොදාගනිමින් මුස්ලිම් විරෝධී ප්‍රකෝපකරනය ශක්තිමත් කරන්න ආන්ඩුව ගෙනියන වැඩක්.

“වාමාංශික යයි කියාගන්නා පක්ෂ යලි අලුත්වැඩියා කරන්න බැරි විදිහට වර්ගවාදයේ ගිලිලා ඉන්නේ. සමාසමාජ, කොමියුනිස්ට්, නව වාමාංශික පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන මේ තත්වයට වගකියන්න ඕන. ඔවුන් යුද්ධය පවතින කාලේ වර්ගවාදය වාම මුහුනුවරකින් වහලා ඉදිරිපත් කලා. මුස්ලිම් ජනතාවට සිදු කරන අපරාධ ගැනත් දැන් ඒ අය මොකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. මම හිතන්නෙ නෑ වර්ගවාදී ස්ථාවරයක් ගන්න පුලුවන් කිසි ම පක්ෂයක් වාමාංශිකයි කියලා.

“ආන්ඩුවේ පිලිවෙත්වලට ඉතා පුලුල් පරිමානයෙන් කම්කරු පන්තිය ප්‍රමුඛ මහජනතාව වෙතින් එන විරෝධය වාර්ගික රේඛා දිගේ බෙදලා දුර්වල කිරීමයි මේ මුස්ලිම්-විරෝධී උද්ඝෝනයේ අරමුන. අහ්නාෆ් ජසීම් කවියා හිරගත කිරීම ඒකෙ ම එක අදියරක්.”

පරිවර්තකයෙකු සහ ලේඛකයෙකු වන මනෝ ප්‍රනාන්දු:

මනෝ ප්‍රනාන්දු

“කලාකරුවන්ට තම නිර්මාන ඉදිරිපත් කිරීමට ඇති නිදහසට තහංචි පැනවීම එක දිගටම කරගෙන යන බැව්, පසුගිය වසරේ මැයි මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබු අහ්නාෆ් ජසීම් කවියාගේ ඉරනමෙන් පැහැදිලි වෙනව. ඔහු දිගින් දිගට ම රඳවාගෙන තිබීමෙන්, අධිකරන නීතිය කාටත් පොදුයි යන මතය එලිපිට ම කීතු කෙරෙනව. ආගමික උන්මන්තකයන් චෝදනා කරන පරිදි, අහ්නාෆ්ගේ කවිවලින් ජාතීන් අතර හෝ ආගම් අතර වෛරයක් නිරූපනය වෙන්නෙ නෑ. ඔහුට ත්‍රස්තවාදී සංවිධාන සමග මොන ම සම්බන්ධයක් හෝ ඇති බව ඔප්පු කරන්න අද දක්වා බැරිවෙල තියෙනව.

“අහ්නාෆ් ට එරෙහි මේ දඩයම, රාජපක්ෂ ආන්ඩුව ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන ප්‍රහාරයේ සහ කම්කරු පංතිය බෙදා එහි ශක්තිය දුබල කිරීමට ගෙනයන මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයේ කොටසක්. ප්‍රකාශනයේ අයිතිය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර සහ වාර්ගික ප්‍රකෝපකරනය අර්බුදයටපත් ධනපති ක්‍රමයේ නිර්මිතයක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමේ සටන අනිවාර්යයෙන්ම ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනක්. එය ජාත්‍යන්තර කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයකින් තොරව ජයගත නොහැකි බවට කප්‍රනිආක ප්‍රකාශයෙන් ඉදිරිපත් කෙරෙන අදහස මම එකහෙලා පිලි ගන්නව. ඒ පදනම මත අහ්නාෆ් ජසීම් නිදහස් කර ගැනීමට කප්‍රනිආක ගෙනයන අරගලයට මම පූර්න සහයෝගය දෙනව.”

කාව්‍ය හා කෙටිකථා රචකයකු වන චින්තක දොඩම්පෙගම:

“මුස්ලිම් අන්තවාදි මත ප්‍රවර්ධනය කරන බවට චෝදනා කර අහ්නාෆ් ජසීම් කවියා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ අත්තනෝමතිකව අත් අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් ගතව තිබෙනවා. මේ වන තෙක් කිසිදු චෝදනාවක් ගොනු කිරීමට රජයට හැකිවෙලා නෑ. ලේඛකයෙක් තම නිර්මානය වෙනුවෙන් අත් අඩංගුවට ගැනීම ප්‍රකාශනයේ හා කලාවේ නිදහස අහිමි කිරීමක්.

“මූලික අවශ්‍යතාවයන් අහිමි කර ඇති ජනතාව ඊට එරෙහිව අරගලයට එලඹෙමින් සිටින තත්වයක් තුල එම අරගලය අපසරනය කිරීමේ අරමුනෙන් වාර්ගික ප්‍රකෝපකරනයක් ඇවිලීම මෙම අත් අඩංගුවට ගැනීම පිටුපස පවතිනව. මීට පෙර කෙටි කථාවක් ලියූ ශක්තික සත්කුමාර ලේඛකයා බුද්ධාගමට අපහාස කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන මෙවැනිම දඩයමකට ලක්කලා.

“ආන්ඩුවට ආයාචනා කිරීමෙන් අහ්නාෆ්ගේ නිදහස අත්පත් කරගත නොහැකි බවට කප්‍රනිආක ඉදිරිපත් කරන අදහසට මම මුලුමනින්ම එකඟයි. ශ්‍රී ලංකාව තුල හා ලොව වටා කම්කරුවන්, ප්‍රජාතන්ත්‍ර අයිතීන් අගයන සියලු දෙනා ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත ගොනු කරගනිමින් අරගලය ඉදිරියට ගෙනයාමට කප්‍රනිආක දරන ප්‍රයත්නයට මම ද උර දෙනවා.”

ආචාර්ය විමල් රනතුංග (රජයේ ප්‍රවෘත්ති නිලධාරීන්ගේ සංගමයේ, හිටපු ප්‍රධාන ලේකම්):

“අහ්නාෆ් ජසීම් කවියා පිලිබඳ මම හරි උනන්දුයි, ඒ මම ද,සාහිත්‍යය, කලාව මෙන්ම විවිධ පර්යේෂනයන්හි නිරත අයෙකු බැවින්. වර්ගවාදී, අන්තවාදී විෂකුරු ලේබලය ගසා ඔහු වසරකට ද වැඩිකලක් නිහඬ කර තිබෙනවා. මෙය කුරිරු පාලකයින් මානව ඉතිහාසය පුරා අඛන්ඩව සිදුකරන සංසිද්ධියක්.

මේ සම්බන්ධව සමාජවාදී සමානතා පක්ෂයේ උත්සුකය මම අගයනව. කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරි කමිටුව, ඔහු නිදහස්කර ගැනීම්වස්, ගෙනයන වැඩපිලිවෙල ට මගේ සහයෝගය දක්වනව.”

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු පුස්තකාල සහායකයෙකු වන උපාලි සේනාරත්න:

“බොරු චෝදනා මත, අත් අඩංගුවට ගෙන සිටින, අහ්නාෆ් ජසීම් කවියා නිදහස්කර ගැනීම උදෙසා, සමාජවාදී සමානතා පක්ෂය සහ කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරි කමිටුව ගෙන ඇති දේශපාලනික ප්‍රවේශය මම අගය කරනවා.”

රංගම මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන සුමිත් ප්‍රසන්න:

“මුස්ලිම් ජන වර්ගයට එරෙහිව සිංහල ජන කොටස් පෙලඹවීම මේ ආන්ඩුව දිගටම කල දෙයක්. එය පාලනය පහසුවට කරන දෙයක්. අහ්නාෆ් ජසීම් කවියා ද එහි කොටසක් ලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ කරුනු යථා පරිදි විමසුමට ලක්කරමින්, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරි කමිටුව ගෙනයන වැඩපිලිවෙල සුවිශේෂී වෙනව.”

කාටුන් ශිල්පිනියක් වන සඳුනි සෝමරත්න:

“කලාවේ හා ප්‍රකාශනයේ නිදහස සියලුම පුරවැසියන් ට අයිතියි. එය වර්ගය, ආගම සහ කුලය අනුව අඩු වැඩි වශයෙන් හිමි අයිතියක් නොවෙයි. අහ්නාෆ් ගේ ප්‍රකාශනයේ නිදහස අතිශය පිලිකුල් සහගත ලෙස මර්දනය කිරීමට ආන්ඩුව ගෙනඇති පියවර මම තරයේ හෙලා දකිනවා. සියලු දෙනා මෙම අයිතිය වෙනුවෙන් පෙල ගැසිය යුතුයි.”

Loading