ඉදිරිදර්ශන

ගොවිජන අරගලයට සමාජවාදී ක්‍රියාමාර්ගයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රසායනික පොහොර හා කෘෂි රසායන ආනයනය අත්තනෝමතිකව තහනම් කිරීමට එරෙහිව දිවයින පුරා දස දහස් ගනනක් ගොවීහු මාසකයට අධික කාලයක් උද්ඝෝෂනයක නිරතව සිටිති.

කුඹුරුවල, ගොවිපොලවල සහ මහමග පැවැත්වෙන මෙම උද්ඝෝෂන වලට, වී, එලවලු, තේ, පලතුරු, ඇතුලු සියලු වගා ක්ෂේත්‍රයන්හි නිරතවූවන් සහභාගි වී සිටින අතර, “රසායනික පොහොර තහනම වහාම හකුලා ගනු!”, “සෞභාග්‍යයේ දැක්ම- ගොවියා මහපාරට!”, “ගොවි බිම් සමාගම් වලට බිලි නොදෙනු” ආදී සටන් පාඨ සහිත පුවරු සහ බැනර් මෙම උද්ඝෝෂන වල දී ප්‍රදර්ශනය කෙරේ.

ආන්ඩුව නිරෝධායන නීති උපයෝගිකර ගනිමින් මේ වන විට අනීතික ලෙස උද්ඝෝෂන තහනම් කර ඇතත් ගොවියෝ එය නොතකා තම අරගලයේ අඛන්ඩව යෙදී සිටිති. මෙයට සමගාමීව, තෙල් මිල ඉහල දැමීමට විරුද්ධව ධීවරයින්ගේ උද්ඝෝෂන ද පැන නැගුනි. මෙම අරගල මගින් සනිටුහන් කෙරෙන්නේ රාජපක්ෂ පාලනයට එරෙහිව ගම්බද දුගීන් හා ධීවරයන් ඇතුලු පීඩිත ජන කන්ඩායම් අතර මෝදු වෙමින් පවතින කැරලිකාරිත්වයකි.

තම රැකියා සහ ජීවන කොන්දේසි වලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාර වලට එරෙහි ව යලි යලිත් අරගලයට පිවිසෙමින් සිටින කම්කරු පන්තිය, ගොවියන්ගේ සහ ධීවරයන්ගේ ආරක්ෂාව සඳහා පෙරට පැමිනෙමින්, ඔවුනගේ ගැටලු විසඳීම සඳහා නායකත්වය ගත යුතු බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) කියා සිටී.

මෙම කන්නය සඳහා පොහොර ලබාදීමට ආන්ඩුව පොරොන්දු වූ නමුත් බහුතරයක් ගොවීන්ට රසායනික හෝ කාබනික පොහොර යන දෙකෙන් එකක්වත් ලැබී නොමැත. පොහොර හා කෘෂි රසායනික නොමැතිකමින් වගාවන් විනාශ වී ඔවුහු ආර්ථික ප්‍රපාතයකට අද වැටී සිටිති. කොරෝනා වසංගතය සමග සිදු ව ඇති මෙම වගා විනාශය හේතුවෙන් රට තුල සාගතයක් නිර්මානය වීමේ අන්තරාය ද තියුනු ලෙස මතු වී ඇත.

රසායනික පොහොර සහ කෘෂි රසායන ආනයනය තහනම් කල ජනාධිපති රාජපක්ෂ “කවුරු විරුද්ධ වුනත් එම පියවර කිසිසේත් ආපස්සට නොගන්නා” බවට සපත කරනුයේ මෙම තතු තුලය.

තම ආන්ඩුව යටතේ ගොවීන්ට බොහෝ දෑ කර ඇති හෙයින් ඔහුට විරුද්ධ ව උද්ඝෝෂනය කිරීමට කිසිම ගොවියෙකුට “සාධාරන අයිතියක් නැති” බව ජුනි 1 වෙනි දා ආන්ඩුවට ගැතිකම් කරන ගොවි සංවිධාන නායකයන් සමග පැවති සාකච්ඡාවක දී රාජපක්ෂ සඳහන් කලේ ය. ඔහුගේ එම ප්‍රකාශය ගොවීන්ට කල වක්‍ර තර්ජනයකි.

වී කිලෝවක සහතික මිල රුපියල් 40-50 ක් වුව ද නිෂ්පාදන පිරිවැය ද ඒ හා සමාන වේ. පසුගිය කන්න කිහිපයේ, විශේෂයෙන් කොවිඩ් වසංගතයත් සමග තම එලවලු, පලතුරු ආදිය විකුනා ගැනීමට නොහැකි වූ ගොවීන්ට ඒවා විනාශ කිරීමට සිදුවිය. නොමිලේ දුන් පොහොර යටතේ ගොවියෙකුට ලැබුනේ කිලෝ 20-30 ක් වැනි බෙහෙවින් ම අප්‍රමානවත් ප්‍රමානයකි.

පොහොර තහනමට එරෙහි ගොවීන්ගේ උද්ඝෝෂනයට “කුමන්ත්‍රන” ලේබලයක් ඇල වූ රාජපක්ෂ ආන්ඩුව, නිරෝධායන නීති යොදා ගනිමින් ගොවි උද්ඝෝෂන ඇතුලු ආන්ඩු විරෝධී සියලු උද්ඝෝෂන තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ ආන්ඩුවේ දුෂ්ට පිලිවෙත් වලට එරෙහි ව අඛන්ඩ ව මතුවන මහජන විරෝධය මැඬලීම පිනිස ය.

පොහොර තහනම පැනවූයේ වස, “විෂ සහිත ආහාර නිෂ්පාදනය” නතර කිරීමට සහ කෘෂි රසායන පාවිච්චිය නිසා ගොවීන් “වකුගඩු රෝගයට ගොදුරුවීම” වලක්වා ගැනීමට යයි රාජපක්ෂ කුතර්කයක් අඹරා ඇත. ඊට විපරීත ව පොහොර තහනම පිටුපස පැවති සැබෑ අරමුන වූයේ, ආන්ඩුවේ විදේශ විනිමය සංචිතය දිය වී යන තත්වයක් තුල රටෙන් පිටතට මුදල් ගලායාම අවම කර ගැනීම යි. පොහොර ආනයනය සඳහා පමනක් වසරකට ඩොලර් මිලියන 400 ක් වැය වන බව ආන්ඩුව කියයි.

කොරෝනා වසංගතයෙන් ගැඹුරු කෙරුනු බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුව ඉන් ගොඩ ඒමට දරන මංමුලා සහගත ප්‍රයත්නයේ කොටසක් ලෙස පොහොරවලට අමතර ව තවත් භාන්ඩ රාශියක් ආනයනය කිරීම නතර කර තිබේ.

පොහොර තහනම පමනක් නොව, කම්කරු-පීඩිත ජනයාගෙන් මතු කෙරෙන කවර විරෝධයක් හෝ නොතකා ඔවුන්ගේ ජීවන තත්වයන් කාබාසිනියා කෙරෙන රුදුරු පිලිවෙත් දිගට ම ගෙන යාමට රාජපක්ෂ ආන්ඩුව අධිෂ්ඨාන කර ගෙන සිටී.

ගොවි උද්ඝෝෂන වල ක්ෂනික නිමිත්ත පොහොර හා කෘෂි රසායන තහනම වුව ද ඔවුන්ගේ අරගලය පුපුරා ඇත්තේ, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් දසක ගනනාවක් පුරා ක්‍රියාවට දමන ලද ආර්ථික ප්‍රතිසංස්කරන මගින් නිර්මානය කෙරී ඇති ආන්තික දරිද්‍රතාවය හා දැවැන්ත විරැකියාව හේතුවෙන්, ගොඩ ඒමට නොහැකි දුෂ්කර කොන්දේසිවලට ඔවුන් මුහුන දී සිටින තත්වයක් තුල ය.

ඉහත ආර්ථික ප්‍රතිසංස්කරන තුල, ගොවි සහනාධාර කප්පාදු කෙරුනු අතර, බීජ සහ කෘෂි රසායන මිල ඉහල යාම, නිෂ්පාදනවලට සාධාරන මිලක් නොලැබීම, අතර මැදියන්ගේ ගසා කෑම, ඉඩම් හිඟය ආදී දිගුකාලීන ගැටලු වඩාත් උග්‍ර කෙරුනි. කොරෝනා වසංගතය විසින් ඔවුන්ගේ ජීවිත තව තවත් වල පල්ලට ඇද දැමීම හේතුවෙන්, ගොවි ජනයා අතර ධනපති පන්ති පාලනය කෙරෙහි පැතිර පවතින කෝපය සහ නොසන්සුන්කම තියුනු ලෙස වර්ධනය වෙමින් පවතී.

දුගී ගොවී ජනයාගේ අරගලය, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුලින් පැන නැගෙමින් පවතින හා ගෝලීයව වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග මෙන්ම, අවශේෂ පසුගාමී රටවල දුගී ගොවීන්ගේ අරගල සමග සමපාත වෙයි. කෘෂි ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ජාතික සහ ජාත්‍යන්තර සංගතයන්ට තම ඉඩම්වල පාලනය අත්පත් කර ගැනීමටත්, නිෂ්පාදන හා මිල පාලනය කිරීමටත් ඉඩ සලසන නව කෘෂි නීති වලට විරුද්ධව ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ගොවීහු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුවේ රුදුරු මර්දනය නොතකා මාස හයක් ඉක්මවූ අඛන්ඩ අරගලයක යෙදී සිටිති.

පොහොර තහනමට එරෙහි ව ගොවීන් අතර වැඩී ඇති බලගතු කෝපය ගසා කනු වස් විවිධ රැස්වීම් සහ උද්ඝෝෂන සංවිධානය කරන විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු ධනපති පක්ෂ, ගොවි අරගලය දේශපාලනික ව අවමංගත කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටිති.

ජවිපෙ විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා ගොවි සම්මේලනය සහ අනෙකුත් ගොවි සංවිධාන වල භූමිකාව වන්නේ මෙම ධනපති පක්ෂ පිටුපස ගොවි ජනතාව ගාල් කරමින්, ධනපති පන්ති පාලනයට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වටා ඔවුන් රැලිකර ගැනීම වලකාලීමයි.

ගම්බද දුගී ගොවීන්ගේ ජීවිත විනාශයට ඇද දැමීම සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂගේ පොදු ජන පෙරමුනු ආන්ඩුවට සම්බන්ධ පක්ෂ මෙන් ම, සජබ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජවිපෙ සහ දෙමල ජාතික සන්ධානය ඇතුලු සියලු ධනපති පක්ෂ වගකිව යුතුය.

සමාජවාදී නන්දෙඩවිලි සහිතව ගම්බද දුගී ගොවීන් මත පදනම් වී පැවති සුලු ධනේශ්වර පක්ෂයක් වූ ජවිපෙ අද මුලුමනින් ම ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට බද්ධ වූ ධනපති පක්ෂයකි. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවේ කෘෂිකර්ම ඇමති පට්ටමක් දැරූ එහි වර්තමාන නායක අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ ක්‍රියාවට දැමුනු ගොවි ජන සහනාධාර කප්පාදුව ඇතුලු ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීමට ඍජු ව සහයෝගය දුන්නේ ය.

ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි ගොවි සංවිධානය ද ගොවීන්ගේ අරගලය තුලට පැන ගෙන එය දිය කර හැරීමේ ප්‍රයත්නයක යෙදී සිටිති. එහි නායකයෝ ජවිපෙ සමග සිටිය දී කුමාරතුංග ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට සහයෝගය දුන්හ. මෙම ධනේශ්වර පක්ෂ උත්සුක වන්නේ ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට නොවේ.

ලියොන් ට්‍රොට්ස්කි 1906 නොනවතින විප්ලව න්‍යාය විස්තාරනය කරමින් පැහැදිලි කල පරිදි ධනපති පක්ෂ ගොවිජනතාව තම පක්ෂවල “දේශපාලන වහලුන්” ලෙස සලකන අතර ඒ සමගම ඔවුන්ව “ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ වහලුන්” බවට පත් කරනු ලබයි. ට්‍රොට්ස්කි මෙසේ පවසයි:

“ගම්බද, අවසාන වශයෙන්, ප්‍රාග්ධනයේ වහල්භාවයට පත් කෙරුනි. එසේම, ගොවි ජනතාව, ධනපති දේශපාලන පක්ෂ වල දේශපාලන වහලුන් බවට පත් කෙරුනේය. මේ පක්ෂ විසින්, පාර්ලිමේන්තුවාදී දේශපාලනය තුල, වැඩවසම් ක්‍රමය පුනර්ජීවනය කෙරුනි. මෙය සිදුවූයේ, ධනපතියන්ට ඡන්ද ගැරීමේ දඩයම් කෙලියෙහි කොටසක් බවට ගොවි ජනතාව පත් කර ගැනීම ලෙස ය. නූතන ධනපති රාජ්‍යය, සිය බදු ප්‍රතිපත්ති හා මිලිටරීකරනය මගින්, ගොවි ජනතාව, පොලීකාර ධනපති ප්‍රාග්ධනයේ දඬු අඩුවට හසු කරලන අතර, රාජ්‍ය පූජ්‍ය නඩ, රාජ්‍ය පාසැල් සහ බැරැක්ක ජීවිතයේ දූෂන මගින්, පොලීකාරයන්ගේ දේශපාලනයෙහි ගොදුරක් බවට පත් කෙරුනාහ.” ( නොනවතින විප්ලවය:ප්‍රතිපල සහ සක්‍යතා 1906 -සිංහල පරිවර්තනය පිටු 60-61)

1948 ඊනියා නිදහසින් පසු ගෙවුන දසක හතකට අධික කාලයක් තුල ශ්‍රී ලංකාව තුල බලයට පත් වූ සියලු ම ආන්ඩු ගොවි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීමෙහි ලා ධනපති පන්තියට පවතින ඓතිහාසික අසමත්කම විශද ව ඔප්පුකර තිබේ. තම ‌දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට ඒවා වඩාත් ගැඹුරු කෙරුනු තත්වයක් තුල ධනපති පාලනයට එරෙහි ව ගම්බද තරුනයන් තුල වැඩුනු සටන්කාමීත්වය දේශපාලනික ව අවමංගත කරමින් 1971 දී සහ 1988-89 දී ජවිපෙ මෙහෙය වූ කැරලි, ධනපති ආන්ඩු විසින් මඬිනු ලැබුවේ ලක්ෂයකට අධික තරුනයන් ලේ විලක ගිල්වා දමමිනි.

ගම්බද දුගී ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නම්, පොහොර ඇතුලු කෘෂි රසායනික නිපදවන සහ අලෙවි කරන සංගතයන්ගේ, ගොවි නිෂ්පාදන මිල දී ගනු ලබන මහා ව්‍යාපාරිකයන්ගේ සහ විෂම නය චක්‍රයක ඔවුන් සිර කර ගෙන සිටින බැංකු පද්ධතියේ ග්‍රහනයෙන් ඔවුන් මුලුමනින්ම මුදා ගත යුතු ය.

එය කල හැක්කේ, කම්කරු පංතියේ විප්ලවවාදී මැදිහත්වීමක් මගින්, මහා සමාගම් අතෙහි පවත්නා නිෂ්පාදන මාධ්‍යයන්‌ සහ බැංකු, කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතට ගෙන ඒමෙනි. මෙය සාක්ෂාත් කල හැක්කේ, ධනේශ්වර පාලනයට සහ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනකින් පමනකි. එම සටනේදී කම්කරු පංතිය තම මිතුරන් වන පීඩිත ගොවි ජනයාගේ සහාය ගොනු කර ගත යුතු ය.

පසුගිය දශක කිහිපය තුල සිදු වූ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ කා වැදීම සහ ගොවි ජනතාවට එරෙහි ව ක්‍රියාවට දමන ලද කප්පාදු පිලිවෙත් හේතුවෙන්, කම්කරු පන්තික නායකත්වය යටතේ, කම්කරුවන් හා ගම්බද දුගී ගොවීන් ඇතුලු පීඩිත ජනයා බලමුලු ගන්වාගත් එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වන වෛෂයික පදනම් වඩාත් ශක්තිමත් වී ඇත. ගම්බද දුගීන්ගෙන් විශාල කොටසක් අර්ධ කම්කරුවන් බවට පරිවර්තනය වී ඇති අතර රැකියා සොයා නගරවලට සහ නිදහස් වෙලඳ කලාප වලට සංක්‍රමනය වූ ලක්ෂ සංඛ්‍යාත ගම්බද තරුන ජනයා කම්කරු පන්තිය තුලට අවශෝෂනය කරගෙන තිබේ.

එම දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා, ගොවීන්, සියලු ධනපති පක්ෂ වලින් සහ ඒවාට ඔවුන් ගැට ගැසීමට ක්‍රියාකරන ගොවි සංවිධාන හා ව්‍යාජ වාම පක්ෂ වලින් ස්වාධීනව, කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වෙමින්, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය.

එම ක්‍රියාකාරී කමිටු වටා කම්කරුවන්, ගොවීන් සහ අවශේෂ පීඩිතයන් රැලිකර ගනිමින් ගෙන යන සටනක් තුල, සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවකින්, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්ති පාලනය විස්ථාපනය කල යුතු ය. එය ලෝක ධනවාදය සහ ධනේශ්වර ලාබ පද්ධතිය අහෝසි කරන්නා වූ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ අත්‍යන්ත කොටසකි.

කම්කරු-ගොවි ආන්ඩුවක් යටතේ විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කොට, මහා පරිමාන ඉඩම්, කෘෂි සමාගම් හා ධනපති බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කල යුතු ය. ගොවීන්ගේ නය ගැතිකම අහෝසි කොට ලාබ නය සම්පාදනය කිරීම, බීජ, පොහොර සහ කෘෂි උපකරන පහසු මිලට සම්පාදනය කිරීම, කෘෂි නිෂ්පාදන මිල දී ගැනීමේ වෙලඳ පොල පෞද්ගලික ඒකාධිකාරය අහෝසි කරන ගොවි සමුපකාර ක්‍රමයක් ස්ථාපිත කිරීම ඒ යටතේ ක්‍රියාවට දැමිය හැක. සුලු ඉඩම් කැබලි තුල තනි ගොවීන්ගේ වගාව වෙනුවට ගොවීන්ට වඩාත් පලදායී වන නවීන තාක්ෂනය සහිත මහා පරිමාන සාමූහික කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කල යුතු වෙයි.

මෙම ක්‍රියාමාර්ගයට සටන් වදින සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස එය ගොඩනැගීමට එක්වන ලෙස කම්කරුවන්, දුගී ගොවීන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

Loading