දහස්ගනන් ගුරුවරු කොලඹදී විරෝධතා දක්වද්දී ගුරු සංගම් ආන්ඩුව සමඟ සාකච්ඡාවලට කන්නලවු කරති

වසර 24ක් තිස්සේ ඇදී යන ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා සිටිමින් සහ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉවත් කරගන්නා ලෙස ආන්ඩුවට බල කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දෙ දහසක වැඩි පිරිසක් බ්‍රහස්පතින්දා කොලඹදී විරෝධතාවයේ නිරත වූහ. උදෑසන පිටකොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කල ගුරු-විදුහල්පතිවරු පාගමනින් පැමින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වාඩි ලා ගත්හ.

ජූනි 23 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවය

ලංකා ගුරු සංගමය (ලගුස), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවෙන ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස), ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ඒකාබද්ධ ගුරුසේවා සංගමය (ඒගුසේස) ඇතුලු ගුරු සංගම් තිහකට ආසන්න ප්‍රමානයක් මෙම විරෝධතා සංවිධානය සඳහා ඒකාබද්ධ වී සිටින බව වාර්තා විය.

විරෝධතාවය අතර මැද ලගුස සහ ලගුසේස ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටැලින් සහ මහින්ද ජයසිංහ ඇතුලු සීමිත නියෝජිත පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් සමඟ සාකච්ඡාවක් ලැබුනු අතර ගුරු සංගම් නායකයන් පවසන පරිදි අධ්‍යාපන ලේකම් ජී.එල්.පීරිස් දුරකථනයෙන් ඊට සම්බන්ධ වී ඇත.

ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිනි සංගම් නායකයින්, ගුරු-විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් සඳුදාට නිකුත් කිරීමටත්, අඟහරුවාදා අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් සමග සාකච්ඡාවක් හා පසු ව ජනාධිපති සමග සාකච්ඡාවක් ලබාදීමටත් ආන්ඩු පාර්ශවයෙන් පොරොන්දු ලැබුනු බව ගුරුවරුන්ට නිවේදනය කලහ.

පසුව ආන්ඩුවේ ප්‍රතිචාරය ‘සුබවාදී’ බව පවසා ඔවුන් විරෝධතාවය විසුරුවා හැරියේ, “ජයග්‍රහනය තෙක් අරගලය නතර නොකරන” බවට සුපුරුදු පූච්චානම මතුරමිනි. කෙසේ වෙතත් දින 11ක් තිස්සේ අඛන්ඩ ව ගෙන ගිය මාර්ගගත (ඔන්ලයින්) ඉගැන්වීම් වර්ජනය නතර කලහොත්, ගුරුවරුන් අතරින් තමන්ට එරෙහි ව විරුද්ධත්වයක් පැන නගිනු ඇතැයි බිය වූ සමිති නායකයෝ, “නිසි විසඳුම් ලැබෙන තෙක්” එම වර්ජන දිගට ම පවත්වා ගෙන යන බව පැවසූහ.

ගුරු සංගම් විසින් ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය කැඳවනු ලැබුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඇතුලු අධ්‍යාපනය පුද්ගලීකරනයේ සහ මිලිටරීකරනයේ වැඩපිලිවෙලට එරෙහි ව ජුලි 8 වෙනි දා බත්තරමුල්ලේදී පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට ආන්ඩුව එල්ල කල මෘග පොලිස් ප්‍රහාරයට විරෝධය පෑමක් ලෙසයි. එම ප්‍රහාරයේ දී ලගුස ලේකම් ස්ටැලින් ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසු ව ඔවුන් බලහත්කාරයෙන් සහ අනීතික ව නිරෝධායනයේ රඳවන ලදී.

ස්ටැලින් ඇතුලු පිරිස නිරෝධායනයෙන් නිදහස් කරගැනීමෙන් පසු වර්ජනය අවසන් කරන බව ගුරු සංගම් නායකයින් පැවසූ නමුත් රට පුරා ගුරුවරු ඊට සම්බන්ධ වූයේ ඉහල යන ජීවන වියදම ඉදිරියේ දශක ගනනක් තිස්සේ එකතැන පල්වෙන සොච්චම් වැටුප් ඉහල දමා ගැනීමේ දැවෙන අවශ්‍යතාවය පෙරදැරි කරගනිමිනි.

වසංගතය මැද පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම පිලිබඳව ආන්ඩුව අංශුමාත්‍රික තැකීමක් නොකල තතු තුල ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් ඇරඹුවේ තමන්ගේ වියදමෙනි. ගුරුවරුන් සඳහා අවශ්‍ය උපකරන හෝ අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා ආන්ඩුව කවර හෝ අවධානයක් යොමු කලේ නැත. මෙම තත්වය යටතේ දී ආන්ඩුවේ ඇමතිවරුන් ඇතුලු නියෝජිතයන් ගුරුවරුන්ගේ වර්ජනයට එරෙහි වෙමින් ද්වේශ සහගත ප්‍රකාශ නිකුත් කිරීමත් සමඟ ගුරුවරුන් අතර කෝපය වඩ වඩාත් වර්ධනය කෙරුනි.

ගුරු සංගම් නායකයින් ජූලි 16 වන දා වන විට නිදහස් කෙරුනු නමුත් ගුරුවරුන්ගේ සටන්කාමීත්වය වර්ධනය වීම හේතුවෙන් වැටුප් විෂමතාවයන් ඉවත්කිරීම මුල්කරගෙන වර්ජනය දිගට ම පවත්වාගෙන යාමට ගුරු සංගම් වලට බල කෙරුනි. ජූලි 20 වන දා අධ්‍යාපන ඇමති සමඟ පැවති සාකච්ඡාවක දී ගුරුවරුන්ගේ අරගලය ආපසු හැරවීමට සඳහා සොච්චම් පොරොන්දුවක් හෝ ලබාගත නොහැකි වූ හෙයින් සාකච්ඡාව විසඳුමකින් තොර ව අවසන් වූ බව නිවේදනය කිරීමට ගුරු සංගම් වලට සිදු විය.

බ්‍රහස්පතින්දා විරෝධතාවයේ දී මෙන්ම ඊට ප්‍රථම පලාත්බද ව පැවත්වුනු විරෝධතාවල දී පුලුල් සහ අඛන්ඩ අරගලයක නිරත වීමට ගුරුවරුන්ගේ ඇති සූදානම පෙන්නුම් කලත්, ඔවුන්ගේ සටන්කාමීත්වය, ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවලට ගුරු අරගලය යට කිරීමේ උත්සහයක නිරත වී සිටින වෘත්තීය සමිතිවල ග්‍රහනය යටතේ පවතියි.

ධනපති ආන්ඩුවලට බලපෑම් දමමින් එයින් සහන බලාපොරොත්තු වීමේ මිථ්‍යාවන් තුල ගුරුවරුන් සිරකොට තැබීමට උත්සහ කරමින් ලගුසේස ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ තමන්ට “මේ කැබිනට් පත්‍රිකා විශ්වාස නැතත්, තමන් ඒ ගැන සර්ව අශුභවාදී නොවන” බවයි.

ජයසිංහ ඇතුලු සමිති නායකයින් වපුරමින් සිටින්නේ අධ්‍යාපන ඇමති සහ ජනාධිපති රාජපක්ෂ සමඟ පැවත්වීමට පොරොන්දු ලැබී ඇති සාකච්ඡා වලදී ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීමට පියවර ගැනෙනු ඇතැයි යන ව්‍යාජයයි. වත්මන් ආන්ඩුව ඇතුලු අනුප්‍රාප්තික පාලනයන් කී වතාවක් නම් මෙම පොරොන්දුව දී ඇත්දැයි ඔහු කිවේ නැත.

ගුරු ඉල්ලීම් වලට ලැබිය හැකි පිලිතුර ගැන කලින්ම ඇඟවුම් කරමින්, විරෝධතාවයට පෙර දිනයේ වෙලඳ අමාත්‍ය බන්දුල ගුනවර්ධන පැවසුවේ ආන්ඩුවේ බදු ආදායමෙන් සියයට 86ක්ම වැයවන බැවින් රජයේ සේවකයින්ගෙ පඩි වැඩි කිරීමට බදු වැඩි කිරීම සහ රජය සතු දේපල විකුනා දැමීම හැර වෙනත් කිසිදු ක්‍රමයක් නැති බවයි.

සෞඛ්‍ය සේවකයන් 25000ක් පමන මෙම මස මුල දී වර්ජනයක නිරත වෙමින් ඉල්ලා සිටි වැටුප් දීමනා ඇතුලු සුබසාධන ඉල්ලීම් සමිති නායකයින්ගේ පාවා දීම් යොදා ගෙන යටපත් කිරීමට ආන්ඩුව ක්‍රියා කලේ ය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ද කැබිනට් පත්‍රිකා නිකුත් කිරීමේ හිස් පොරොන්දු වල එල්ලී ඔවුන්ගේ වර්ජන ඇතුලු විරෝධතා නතර කලේ වරක් දෙවරක් නොවේ.

ගුරු වෘත්තීය සංවෘත සේවාවක් බවට පත්කිරීමේ ආන්ඩුවේ සැලසුම ගුරුවරුන් පිලිබඳ අනුකම්පාවකින් ඉදිරිපත්වී ඇති යෝජනාවක් නොවේ. ගුරුවරුන් අනෙකුත් කම්කරුවන්ගෙන් බෙදීමට ඉදිරිපත්කර ඇති සැලසුමකි. සමිති නායකයෝ එය ගිල ගෙන ගුරුවරුන් මත පැටවීමට ද සුදානම් වෙති.

වසංගතය මගින් උග්‍ර කෙරෙන ගෝලීය ආර්ථික අර්බූදය හමුවේ අපනයන ආදායම්, විදේශ ප්‍රේෂන පහත වැටීමට හා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම මගින් උග්‍ර වන විදේශ නය අර්බූදයකට ආන්ඩුව මුහුන දී සිටි. 2026 වන විට ඩොලර් බිලියන 29 දැවැන්ත නය කන්දරාවක් ගෙවීමට ජාත්‍යන්තර අරමුදලට බැඳී සිටින ආන්ඩුව ලොව පුරා සහචර පාලකයින් සේ ම අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයේ එම නියෝග ක්‍රියාවට නැගීමට සූදානම්ව සිටින්නේ, අධ්‍යාපනය ඇතුලු මහජන සමාජ සුභසාධන තවදුරටත් කප්පාදු කිරීම, මහජනයා මත බදු බර ඉහල නැංවීම, සහ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරනය තව දුරටත් වේගවත් කිරීම ආදී ප්‍රහාර මුදා හරිමිනි. හුදු විරෝධතා දැක්වීමෙන් පමනක් මෙවැනි ප්‍රහාරයක නියුතු ආන්ඩුවක් ආපසු හැරවිය නොහැකි ය.

ඊට ප්‍රතිකූල ව තමන් මුහුන දෙන සෑම රැකියා සහ ජීවන කොන්දේසිවල පරිහානියක්ම විසඳාලිය හැක්කේ මෙ ලෙස අර්බුද ග්‍රස්ත වී ඇති ධනපති ක්‍රමයට එරෙහි සටන්කින්‍ ය යන අවබෝධයට ගුරුවරුන් ප්‍රවේශ වීම මෙවර මෙන්ම සෑම විට ම ගුරු සංගම් වලක්වා ඇත.

විරෝධතාවය පැවති දිනයේ උදෑසන සිරස රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට සම්බන්ධ වුනු ස්ටැලින් ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කිරීමේ වගකීමෙන් සියලු ධනපති ආන්ඩු මුදාහරිමින් පැවසුවේ “මේ අවුරුදු 24 තුල ම අපි විවිධ අරගලවල නිරත වුවත් ඒ හැම අවස්ථාවකදීම ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීමට එරෙහි වන්නේ පරිපාලන නිලධාරීන්” බවයි.

වැටුප් විෂමතාවය වසර 24ක් දක්වා ඇදී යාම සඳහා කොන්දේසි සකස්කිරීමේ චෝදනාව සෘජු ව ම එල්ලවන්නේ, මෙවැනි ව්‍යාජ තර්ක ගෙන එමින් ගුරුවරුන් අතර ව්‍යාකූලතා නිර්මානය කර, එම කාලය මුලුල්ලේ ම ඔවුන් ධනපති වැඩපිලිවෙල පසුපස ගාල් කල වෘත්තීය සමිතිවලටයි.

වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී ක්‍රියාකලාපය ගුරුවරුන් විසින් අවබෝධ කරගනිමින් සිටිති. ගුරු සංගම් නිලධරයන්ගේ ව්‍යාජ වහසිබස්වලට නොරැවටී තමන් සංවිධානය විය යුතු ය යන්න මෙම අරගලය මධ්‍යයේ සමාජ මාධ්‍යන් තුල පුලුල්ව හුවමාරු වන අදහසක් ලෙස පවතියි.

සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මග පෙන්වීම යටතේ පිහිටුවන ලද ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ ගුරු-විදුහල්පති අරගලයට මැදිහත්වෙමින් ඔවුන් සමඟ සාකච්ඡාවක් ගොඩනගා ගත්හ. සමාජවාදී වැඩපිලිවෙලට සටන්කිරීම පිලිබඳ ව ඔවුහු ගුරුවරු සමග සාකච්චා කලහ.

විද්‍යා උපාධිධාරී ගුරුවරයෙකු වන සුරංග සුරක්ෂිතතා කමිටුවට අදහස් දැක්වමින් පැවසුවේ, “ගුරුවරුන්ගේ අරගලය අඛන්ඩව ඉදිරියට යන්නේ ගුරුවරුන් එය නතර කිරීමට සූදානම් නැති නිසා මිස වෘත්තීය සමිතිවලට සැබෑ අරගලයක් කිරීමට අවශ්‍ය නිසා නොවන” බවයි. එමෙන්ම අවුරුදු 24ක් තිස්සේ ගුරුවරුන්ට යහපත් වැටුපක් ලබාගත නොහැකි වී තිබෙන්නේ වෘත්තීය සමිති ආන්ඩුවේ කොටස්කාරයින් ලෙස ක්‍රියාකරන නිසා බව ඔහුගේ අදහස විය.

ගුරුවරුන් අතර අලුතෙන් වර්ධනය වන සටන්කාමීත්වය පෙන්නුම් කරමින් උසස්පෙල ගුරුවරයෙකු වූ චතුරංග මෙසේ පැවසීය: “ඇත්තටම මම සම්බන්ධ වුනු පලමුවෙනි විරෝධතාවය මේකයි. මම වෘත්තීය සමිතියකට බැඳිලා නැහැ. මොකද මට සමිතිවල ක්‍රියාකලාපය ගැන විශ්වාසයක් නැහැ. ඒත් සාමූහික අරගලකය නිරතවිය යුතුයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ අරගලයට නිවැරදි දේශපාලන වැඩපිලිවෙලක් තිබිය යුතුයි යන්න මම පිලිගන්නවා. අපි මොනතරම් සටන් කරන්න සූදානම් වුනත් වැඩක් නැහැ යන්නෙ වැරදි පාරෙ නම්.”

රසායන විද්‍යා ගුරුවරියක වූ රුවිනි පැවසුවේ ගුරුවරුන් වෘත්තීය සමිතිවල පාවාදීම ගැන දැනුවත් වුවත් ස්වාධීනව තමන් සතු ශක්තිය සංවිධානය කරගන්නේ කෙසේදැයි නොදන්නා කමින් වෘත්තීය සමිති සංවිධානය කරන විරෝධතාවල රස්තියාදු වෙමින් සිටින බවයි.

“වෘත්තීය සමිති කම්කරු පන්තියේ ශක්තිය හෑල්ලුවට ලක්කරල තියෙනව කියලයි මට හිතෙන්නේ, ආන්ඩුවෙන් සාකච්ඡාවක් ඉල්ලනවට වඩා කම්කරුවන්ට කරන්න දේවල් තියෙන බව ඔවුන් අවබෝධ කරගත යුතුයි. ගුරු සංගම් කියන කියන විදියට වැඩ කරන්නේ නතුව ගුරුවරුන් තීරනය කල යුතුයි තමන් අරගල කල යුත්තේ කොහොමද කියල,” ඇය සඳහන් කලාය.

Loading