ඉදිරිදර්ශන

මරනයේ සෙවනැලි මැද ඔලිම්පික් උලෙල ඇරඹේ

මෙය The Olympics open in the shadow of mass death යන මැයෙන් 2021 ජූලි 24 වනදා පලකෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි

කොවිඩ්-19 වසංගතය දැවැන්ත ලෙස ඉහල යාමේ පසුබිම තිබියදීම ගිම්හාන ඔලිම්පික් උලෙල බ්‍රහස්පතින්දා ආරම්භ විය. දෙවන ලෝක සංග්‍රාමය පුපුරා යාමට පෙර එහි භීෂනය සමගම 1936 බර්ලින් ඔලිම්පික් උලෙල ඇරඹුනාක් මෙන්, මේ වසරේ ක්‍රීඩා ඉසව්ව වටා ද මානව ඛේදවාචකයේ අග්නි මාලාවක් දිස්වේ.

වසංගතයේ පලමු රැල්ල මධ්‍යයේ 2020 ඔලිම්පික් උලෙල පසුගිය වසරේ නොපැවැත්විනි. වසංගතය පාලනය කර ඇති බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ සහායක නිලධාරී මඬුල්ල විශාල වශයෙන් එක්රැස් වීම ආරක්ෂිත බවත් මවා පාමින් දැන් ක්‍රීඩා උලෙල පවත්වනු ලැබේ.

නමුත් ඔලිම්පික් ගම්මානය තුල සහ ලොව පුරා කොවිඩ්-19 රෝගීන් විශාල වශයෙන් ඉහල යාම මගින්, මෙම මිත්‍යාව ඉරා දැමේ.

ටෝකියෝ 2020 ඔලිම්පික් උලෙල විවෘත කිරීමට එරෙහිව ටෝකියෝ හි, නාගරික ආන්ඩු ගොඩනැගිල්ල අසල ජූනි 23 වන දින ජනතාව විරෝධය පල කරති [අනුග්‍රහය: ඒපී ඡායාරූපය / ඉයුජින් හොෂිකෝ]

“මෙම ප්‍රකාශය කිරීමට මාහට ගතවන කාලය තුල 100 කට අධික පිරිසකට කෙවිඩ්-19 හේතුවෙන් ජීවිත අහිමි වනු ඇත” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ-ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් බදාදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අදහස් දක්වමින් පැවසීය. “අගෝස්තු 8 වන දින ඔලිම්පික් ගිනිසිළුව නිවී යන විට තවත් 100,000 කට වැඩි පිරිසක් මිය යනු ඇත.”

ලොව පුරා දෛනික නව කොවිඩ්-19 රෝගීන් පසුගිය මාසය තුල සියයට 47 කින් ඉහල ගොස්, දිනකට රෝගීන් 523,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර දෛනික මරන 7,900 කි.

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාර්ය මන්ඩලය අතර ආසාදන ද දහස් ගනනින් පැතිරෙමින් තිබේ. ඔලිම්පික් උලෙල සඳහා සෘජුවම වැඩ කරන හෝ සහභාගී වන පුද්ගලයින් එකසිය දහයක් මේ දක්වා ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් තුනෙන් දෙකක් පමන ක්‍රීඩා හා සම්බන්ධව සේවය කරන ජපන් පුරවැසියන් ය, සෙසු අය විදේශයන්හි සිට පැමිනි ජාතික කන්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෝ කාර්ය මන්ඩල වේ. ටෝකියෝවෙන් පිටත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුනු වන මහ නගර සභාවල අවම වශයෙන් ආසාදන හතරක් වාර්තා වී ඇති අතර, එය පැතිරීමේ ප්‍රමානය පෙන්නුම් කරයි. තවත් දුසිම් ගනනක් ආසාදිතයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවන් ය.

බොහෝ දෙනා ආසාදනය වීමෙන් පැහැදිලි වන්නේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුළුල් ජනගහනයෙන් හෝ එහි ප්‍රතිලෝම ලෙස හුදකලා කිරීමේ නාමික ක්‍රියාමාර්ග වලින් පලක් වී නැති බවයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජපානයට පැමිනීමට පෙර සහ පසුව මෙන්ම සම්පූර්නයෙන්ම එන්නත ලබාගෙන වෛරසයට එරෙහිව “සෑම පූර්වෝපායක්ම ගත්” කිහිප දෙනෙකු අතර ද ආසාදන සිදු වී ඇති බව ෆෝබ්ස් හි ගනනය කිරීම්වලින් පෙනී යයි.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය හා ක්‍රීඩා පිලිබඳ ආයතනයේ මහාචාර්යවරයකු වන හාන්ස් වෙස්ටර්බීක් නිව්ස්වීක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනතුරු ඇඟවූයේ, “ටෝකියෝවේ වාර්තා වී ඇති මලල ක්‍රීඩක කොවිඩ් ආසාදනයන් බොහෝ දුරට සුපිරි ව්‍යාප්තියක ආරම්භයක් විය හැකි” බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ, “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ කන්ඩායම් වලට නිරන්තරයෙන් සමීපව ගමන් කිරීමට හා අන්තර්ක්‍රියා කිරීමට සිදුවන නිල නිවාස, කෑම ශාලා සහ පුහුනු හා තරඟ සඳහා රැස්වන ස්ථානවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට ඉඩ තිබේ.”

අන් අයුරකින් කිවහොත්, සෑම ක්‍රීඩකයෙක්ම එකිනෙකට වෙනස් තරඟ දෙකකට තරඟ කරයි: මලල ක්‍රීඩාවන් මානව ශාරීරික ජයග්‍රහනයේ මායිම් හඹා ගොස් පුලුල් කරයි, ඒ සමඟම ආසාදනයෙන් බේරීම සඳහා භයානක තරඟයක යෙදී සිටියි.

ඔලිම්පික් උලෙලේ සත්කාරක රට වන ජපානය දිනකට නව කොවිඩ්-19 රෝගීන් 3,500 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කරන අතර එය ඉහල යමින් තිබේ, ටෝකියෝවේ පමනක් 1,400 කට ආසන්න ය. සමස්තයක් ලෙස ගත් කල, ජපානය තුල රෝගීන් 852,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර වාර්තාගත මරන ගනන 15,000 කි, ඉන් වැඩි ප්‍රමානයක් සිදුව ඇත්තේ මෙම වසර ආරම්භයේ සිට ය.

ජපානයේ ජනගහනයෙන් සියයට 83 ක් පමන මේ වසරේ ඔලිම්පික් පැවැත්වීමට විරුද්ධ බව ඡන්ද විමසීම්වලින් පෙනී යයි. සමාරම්භක උත්සවය අතරතුර, විරෝධතා කරුවන් ජාතික ක්‍රීඩාංගනය පිටත රැස්වී “ ඔලිම්පික් උලෙල අවලංගු කරනු! වහාම ඒවා නවත්වනු! විවෘත කිරීමේ උත්සවය දැන්ම නවත්වනු!” යයි හඬ නැගූහ.

Change.org හි ඔන්ලයින් පෙත්සමක් වන “අපගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ටෝකියෝ ඔලිම්පික් උලෙල අවලංගු කරනු”, මේ දක්වා අත්සන් 458,000 කට වඩා ලබාගෙන ඇත. “ඔලිම්පික් උලෙල පැවැත්වීම සඳහා අපගේ ජීවිත අවදානමට ලක් කිරීම වටී ද?” යි එය ප්‍රශ්න කරයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ඔවුන්ගේ පුහුනුකරුවන්ට, ක්‍රීඩාංගන කාර්ය මන්ඩලයට සහ පුළුල් ජනගහනයට මාරාන්තික තර්ජන තිබියදීත්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයිඕසී) සභාපති තෝමස් බැච් කියා සිටියේ ඔලිම්පික් උලෙල “ආරක්ෂිත සහ සුරක්‍ෂිත” ලෙස පවත්වන බවත් අගෝස්තු 8 දක්වා එය දිගටම පවතින බවත් ය.

මෙම ප්‍රකාශයන්හි අන්තර්ගත වන්නේ එක් අතකින් විශේෂයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි වන නොතැකීම සහ කෘෘරත්වය යි, අනෙක් පැත්තෙන් නග්න පන්ති අවශ්‍යතාවන් ය.

ඇත්ත වශයෙන්ම, ක්‍රීඩා උලෙල සඳහා විශාල මුදලක් ආයෝජනය කර ඇති අතර එය ඩොලර් බිලියන 15 ක් පමන වේ. අයිඕසී විසින් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන විකාශන සහ අනුග්‍රාහක ගිවිසුම් සඳහා ඇස්තමේන්තු මුදල ඩොලර් බිලියන 5.7 කි.

එහෙත්, ඊටත් වඩා දුෂ්ට අභිප්‍රායක් ක්‍රියාත්මක වෙමින් පවතී. ලෝකයේ පාලක පංති අතර, ඔලිම්පික් උලෙල පැවැත්විය හැකි ද යන්න විශාල අත්හදා බැලීමක් ලෙස සලකනු ලැබේ, ක්‍රීඩා උලෙලේ “ඉදිරියටම යනු” ආදර්ශ පාඨය උපුටා දක්වමින්, ආසාදන, රෝහල් ගතවීම් සහ මරන ඉහල යමින් තිබියදී පවා ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම එහි අරමුන යි.

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වචනවලින් කියතොත්, ලෝකය, “වෛරසයේ වේගයෙන් සම්ප්‍රේෂනය වන ප්‍රභේදයන් හමුවේ පූර්ව වසංගත ජීවිතයට ලඟා වන යමක් භුක්ති විඳිය හැකිද” යන්න පිලිබඳව “පරීක්ෂනයක්” සිදු කරයි.

“කොවිඩ් -19 පාලනය කල හැකි, ඉන්ෆ්ලුවෙන්සා වැනි සෘතුමය උවදුරක තත්වයට ඇද දැමිය හැකිද යන්නත්, අගුලු දැමීම් සහ සමාජ දුරස්ථභාවය අතීතයට පැවරිය හැකිද යන්නත් සම්බන්ධයෙන් මෙම අත්හදා බැලීම ප්‍රබල සංඥාවක් ලබා දිය යුතුය.”

ඔලිම්පික් උලෙල ද එවැනි කුරිරු අත්හදා බැලීමක් වන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාර්ය මන්ඩලය සහ ජපානයේ ජනගහනය “අගුලු දැමීම් සහ සමාජ දුරස්ථභාවය ආදිය අතීතයේ කුනු කූඩයට දැමිය හැකි දේවල්දැයි ” සොයා බැලීම සඳහා පරීක්ෂනාගාර මීයන් විය යුතුය.

එවැනි “අත්හදා බැලීමක” තර්කනය වන්නේ මුළු පෘථිවියම කොරෝනා වෛරසය සඳහා පෙට්‍රි දීසියක් බවට පත් කිරීමයි. එය නිසැකවම පාහේ ආසාදන වල නවතම ගෝලීය නැගීමට වගකිව යුතු ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට වඩා “වේගවත්, ඉහල, ශක්තිමත්” ප්‍රභේදයක් නිපදවනු ඇත. එය පෘථිවියේ සිටින සෑම පුද්ගලයෙකුගේම ජීවිත තුලාවක් මත තබයි.

1936 දී ෆැසිස්ට් නාසි පක්ෂය විසින් වාර්ගික ආධිපත්‍යය සහ යුදෙව් විරෝධය පිලිබඳ දෘෂ්ටිවාදාත්මක සංකල්ප ඉදිරියට ගෙන යාම සඳහා බර්ලින් ඔලිම්පික් උලෙල භාවිතා කරන ලදී. එසේම, 2020 ඔලිම්පික් උලෙල සැලසුම් කර ඇත්තේ ධනපති පංතියේ දෘෂ්ටිවාදාත්මක පනිවිඩයක් ලෝක ජනගහනය වෙත ගෙන යාමට ය: වියදම කුමක් වුවත් මිනිස් ජීවිත බේරා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.

එවැනි මිනීමරු ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතුය. ජපානයේ මෙන්ම ලෝකයේ වෙනත් තැන්වල ද මිනිස් ජීවිත නොසැලකිලිමත් ලෙස අන්තරායට පත්වීම පිලිබඳ මහජන කෝපය, ධනේශ්වර සමාජ පර්යායට සහ මූල්‍ය කතිපයාධිකාරයේ ලාභ අවශ්‍යතා සඳහා මිනිස් ජීවිතය යටත් කිරීමට එරෙහිව ස්වාධීන දේශපාලන මාවත් ඔස්සේ යොමු කල යුතු ය.

Loading