ඉදිරිදර්ශන

මිලියන ගනන් පවුල් විනාශයේ අද්දරට තල්ලු කරමින් ඩිමොක්‍රටිකයින්, එක්සත් ජනපදයේ කුලී නිවැසියන් නෙරපා නොහැරීමේ සහන කාලය අවසන් කිරීමට සැරසේ

[මෙය Democrats let US eviction moratorium expire, pushing millions of families to the brink ‍යන මැයෙන් 2021 ජූලි 31 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

කොවිඩ්-19 ආසාදන හා මරන අලුතෙන් පැතිර යද්දී, සැප්තැම්බර් මාසයේදී නිවේදනය කල කුලී නිවැසියන් නෙරපා නොහැරීමේ සහන කාලය ඉදිරි සති අන්තයේ දී අවසන් වන අතර, තවත් සමාජ අර්බුදයක් ඇති වීමට නියමිත ය. ඇමරිකානුවන් මේ වන විටත් මුහුනදෙමින් සිටින භයානක තත්වය හමුවේ, වසංගතය නව මාරක අවධියකට පිවිසීමත් සමඟ මිලියන සංඛ්‍යාත පිරිසක් තම නිවාස අහිමි වීමේ තර්ජනයට මුහුන පා ඇත.

2021 ජූලි 30 වන සිකුරාදා බොස්ටන්හි පිහිටි රාජ්‍ය මන්දිරය ඉදිරිපිට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වද්දී, නිවාස යුක්ති විනිශ්චය කන්ඩායම් වල සන්ධානයක් ජනතාව නිවෙස් වලින් පලවා හැරීමට විරෝධය පල කරති. (ඒපී ඡායාරූපය / මයිකල් ඩුවර්)

බයිඩන් පරිපාලනය බ්‍රහස්පතින්දා නිවේදනය කලේ, රට පුරා නෙරපා හැරීම තහනම් කිරීම සෙනසුරාදා දිනෙන් අවසන් කරන බවත්, එම පියවර දීර්ඝ කිරීමට කොංග්‍රසයට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් බවත් ය. ධවල මන්දිරය කියා සිටියේ, ජනාධිපතිගේ දෑත් බැඳ ඇති බව සහ කුලී ගෙවා නැති පවුල් මිලියන හයකට වැඩි ප්‍රමානයක් සඳහා බයිඩන්ට කල හැකි කිසිවක් නැති බව ය. සහන කාලය ජූලි මස අවසානය දක්වා පමනක් දීර්ඝ කල හැකි බවට පසුගිය මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරනය දුන් තීන්දුව උපුටා දක්වමින් එය පැවසීය.

නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව, මාර්තු මාසය අවසන් වන විට කුලී නොගෙවූ නිවැසියන් මිලියන 6.4 ක් පමන විය. ජූලි මාසය වන විට එක්සත් ජනපදයේ දල වශයෙන් මිලියන 3.6 ක ජනතාවක්, ඉදිරි මාස දෙක තුලදී ඉවත් කිරීමට සිදු වන බවට වාර්තා වූ බව එක්සත් ජනපද සංගනන කාර්යාංශයේ ගෘහස්ථ තත්ව සමීක්ෂන වාර්තාව (Household Pulse Survey) පවසයි.

නිව්යෝර්ක් ටයිම්ස් සමීක්ෂන දත්ත විශ්ලේෂනයකදී, අවම වශයෙන් සියයට 20 ක් වත් කුලී ගෙවා නැති කුලී නිවෙස් හිමියන් සිටින ප්‍රාන්ත 250 ක් සොයා ගත්තේය, එය රට පුරා නිවාස නොමැතිකම දැඩි ලෙස ඉහල නැංවීමට කරන තර්ජනයකි. ග්‍රාමීය දකුනේ සමහර ප්‍රාන්ත, වඩාත් කනගාටුදායක ප්‍රවනතාවක් පෙන්වයි, ඒවායේ කුලීකරුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු කුලී ගෙවා නැත. රට පුරා ඩොලර් මුලු හිඟය බිලියන 23 ක් වන අතර සාමාන්‍ය පවුලක් ඩොලර් 3800 ක හිඟයකින් යුක්ත බවට එය ඇස්තමේන්තු කර ඇත.

වඩාත්ම ජනාකීර්න නාගරික ප්‍රාන්ත 84 කුලී නිවෙස් හිමියන්ගේ හිඟය ඩොලර් බිලියන 13 කි. ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කුලී නිවෙස් හිමියන් 300,000 කට ආසන්න සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් ඩොලර් 5,300 බැගින් ආපසු ගෙවිය යුතුය. නිව් යෝර්ක් නගරයේ කුලී නිවැසියන් 400,000 ට වැඩි පිරිසක්, ඩොලර් බිලියන 2 ක් නය ය. චිකාගෝ, හූස්ටන්, ඩලස්, මියාමි, ෆිලඩෙල්ෆියා, ෆීනික්ස් සහ සැන් ඩියාගෝ වල පවුල් 55,000 ක් වත් මහ පාරට ඇද දැමීමේ අවදානමට මුහුන දී සිටිති.

කෙයාස් පනත හරහා කොන්ග්‍රසය, ඩොලර් බිලියන 47 කට ආසන්න මුදලක් ෆෙඩරල් හදිසි කුලී ආධාර අරමුදල් සඳහා වෙන් කර ඇති නමුත් අවශ්‍යතා ඇති කුලී නිවැසියන් සඳහා බෙදා දී ඇත්තේ ඉන් ඉතා කුඩා කොටසක් පමනි. ජූනි මාසයේ සිට ප්‍රාන්ත සහ ෆෙඩරල් දත්ත වලට අනුව, ප්‍රාන්ත සහ පලාත් විසින් බෙදා දී ඇත්තේ පලමු ඩොලර් බිලියන 25 ක සහන මුදලින් ඩොලර් බිලියන 3 ක් පමනි. නිව්යෝර්ක් වැනි සමහර ප්‍රාන්ත කිසිවක් බෙදා හැර නැති අතර සමහරක් අනුමත කර ඇත්තේ ඩොලර් මිලියන කිහිපයක් පමනි.

උදාහරනයක් වශයෙන් නිවැසියන් ඩොලර් බිලියනයකට වඩා කුලී ආධාර සඳහා ඉල්ලුම් කල ද කැලිෆෝනියාවේ කුලී නිවැසියන් ට හිමිව ඇත්තේ ඩොලර් මිලියන 158 ක් පමනකි. දකුනු කැරොලිනාව වඩාත් නරක තත්වයක පවතී: වැය කරන ලද අරමුදල් වලින් සියයට එකකටත් අඩු මුදලක් වන, ඩොලර් මිලියන 39 ක් ඉල්ලා ඇත ද බෙදා දී ඇත්තේ මිලියන 1 ට අඩු මුදලකි. ජූලි මැද භාගය වන විට, ප්‍රාන්තයේ හදිසි කුලී ආධාර වැඩසටහන මඟින් කුලී ආධාර සඳහා අයදුම්පත් 226 ක් පමනක් සූදානම් කර ඇත. මේ අතර, දකුනු කැරොලිනා හි කුලී නිවෙස් හිමියන්ගෙන් සියයට 29 ක් කුලී ගෙවා නැති බව වාර්තා වන අතර එය රටේ ඉහලම ප්‍රතිශතයයි.

එන්බීසී ප්‍රවෘත්ති සමීක්‍ෂනයකින් හෙලි වූයේ, සමීක්‍ෂනයට ලක් කල එක්සත් ජනපද ප්‍රාන්ත 41 න් 26 ක්ම තම පලමු වටයේදී හදිසි කුලී ආධාරයෙන් සියයට 10 කටත් වඩා අඩු ප්‍රමානයක් බෙදා දී ඇති බවයි, බොහෝ ප්‍රාන්ත මුදල් ලබා දෙන්නට පටන්ගෙන ඇත්තේ ජුනි මාසයේදී ය. බෙදා හැරීම සඳහා ෆෙඩරල් මාර්ගෝපදේශ නොමැතිකම, අයදුම් කිරීමේ ක්‍රියාවලිය සංකීර්න වීම සහ කෙනෙකුගේ අවශ්‍යතාවය සනාථ කිරීම සඳහා අධික ලේඛන අවශ්‍යතා යනාදී හේතු නිසා ආධාර තවමත් කුලී නිවැසියන් වෙත ලඟා වී නැති බව ප්‍රවීනයන් පෙන්වා දෙති.

විශාල සුදුසුකම් පරතරය ගැටලුව උග්‍ර කරවයි, ඔවුන්ගේ ආදායම හේතුවෙන් පවුල් වලින් අඩක් ෆෙඩරල් ආධාර සඳහා ඇති සුදුසුකම් වලින් බැහැරට වැටී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අරමුදල් ලඟා වන්නේ අවශ්‍ය වූ අයගෙන් සුළු පිරිසක් වෙත පමනි.

ඇස්පන් ආයතනයේ 2020 වසරේ වාර්තාවකින් හෙලි වූයේ, එක්සත් ජනපදයේ සියලුම කුටුම්භ වලින් හතරෙන් එකකට ආසන්න ප්‍රමානයක් තම මාසික ආදායමෙන් හරි අඩකටත් වඩා ගෙවල් කුලිය සඳහා වියදම් කරන බවයි. මෙම කාන්ඩයේ කුලී නිවැසියන් බොහෝ දුරට ෆෙඩරල් දරිද්‍රතා රේඛාවේ හෝ ඊට පහලින් සිටියි. මෙම කුටුම්භයන් නියෝජනය කරන මිලියන ගනන් කම්කරුවන් පඩිපතින් පඩිපතට ජීවත් වීමට අරගල කරන හෝ මූල්‍ය විනාශයෙන් බේරී ජීවත් වීම සඳහා අනතුරකට, අවාසනාවන්ත සිදුවීමකට මුහුන දෙන අය වෙති. වසංගතයේ සමාජ-ආර්ථික ප්‍රතිවිපාක හේතුවෙන් මේ වන විටත් විනාශ වී ඇති මෙම කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල මිලියන 30 ත් 40 ත් අතර ජනතාවක්, කොවිඩ් -19 වැලඳීමේ හා මිය යාමේ දැඩි අවදානමට ලක් වෙමින් දොට්ට දැමීමට මුහුන දෙති.

පුද්ගල මට්ටමින් ඉවත් කල පවුල්වලට, දොට්ට දැමීමෙන් පසු පහසුවෙන් ගොඩ ඒමට නොහැකි වනු ඇත. ඉවත් කිරීම යනු වසර ගනනාවක් තිස්සේ පුද්ගලයෙකු පසුපස හඹා යා හැකි පැල්ලමකි. නිවාස හිමියන් බොහෝ විට, නය ගෙවීමේ ඉතිහාසය තුල නෙරපා හරින පුද්ගලයින්ට වෙනස්කම් කරන අතර ඔවුන්ට නවාතැන් දීම ප්‍රතික්ෂේප කරති.

ඒ අතරම, ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යද්දී මිලියන ගනන් නිවැසියන් කුලී නිවෙස් වලින් පිටමං කිරීම් ඇරඹීම ඉදිරි සති කිහිපය තුල සිදුවිය හැකි සමාජ ව්‍යසනයක පෙරනිමිති පෙන්වයි.

බයිඩන් පරිපාලනයේ පැලැස්තර එන්නත් ව්‍යාපාරය හේතුවෙන්, රටේ බොහෝ ප්‍රදේශ වල ජනතාව තවමත් වෛරසයට හා එහි විවිධ විකෘති වලට ගොදුරු වනු ඇත. වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇමරිකානුවන්ගෙන් සියයට 40 කට වැඩි ප්‍රමානයක් ප්‍රමානවත් ලෙස ආරක්‍ෂා නොවිය හැකි බවට මහජන සෞඛ්‍ය තොරතුරු, පරිගනක හා මෙහෙයුම් පර්යේෂන (පීඑච්අයිසීඕආර්) සංවිධානය ගනන් බලා තිබේ.

එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ගෙන් සියයට 98 කට වැඩි ප්‍රමානයක් ජීවත් වන්නේ, ජනගහනයෙන් සියයට 70 කටත් වඩා අඩු ප්‍රමානයක් පූර්න එන්නත්කරනයට ලක්ව ඇති ප්‍රාන්තවල බව එම සංවිධානය ගනන් බලා තිබේ. ඊට අමතරව, පදිංචිකරුවන්ගෙන් සියයට 82 ක් ජීවත් වන්නේ ජනගහනයෙන් සියයට 60 කටත් වඩා අඩුවෙන් පූර්න එන්නත ලබා දී ඇති ප්‍රදේශවල ය.

ඩෙල්ටා ප්‍රභේදය එන්නත මඟින් ලබා දෙන ප්‍රතිශක්තිය මග හැරීමේ හැකියාව පෙන්නුම් කර ඇති හෙයින්, එන්නත ලබා ගත් අය පවා අවදානමට ලක්ව සිටිති. එක්සත් ජනපදය පුරාම, වයස අවුරුදු 12 ට අඩු ලමුන් එන්නත ලබා ගැනීමට නුසුදුසු වන අතර, බයිඩන් පරිපාලනය පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමට බල කරන බැවින් රෝගය පැතිරීම තවදුරටත් සිදුවනු ඇත.

ධවල මන්දිරය “දැඩි අවදානමට ලක්විය හැකි” මොහොතකට මුහුන දෙන කුලී නිවෙස් හිමියන් කෙරෙහි අනුකම්පාව දක්වමින් නිවට ප්‍රකාශයක් නිකුත් කරමින් බයිඩන් නිවට ලෙස කොංග්‍රසයෙන් ඉල්ලා සිටියේ “එවැනි අවදානමට ලක්විය හැකි කුලී නිවැසියන් සහ ඔවුන්ගේ පවුල් ප්‍රමාදයකින් තොරව ආරක්ෂා කර ගැනීම සඳහා පමා සහන කාලය දීර්ඝ කරන ලෙස” යි.

'මෑතකදී පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන්, පිටමං කිරීමේ හා එන්නත් නොමැති වීමේ අවදානමට මුහුන පෑමට සිදු වූ ඇමරිකානුවන් අතර දැඩි අවදානමක් පවතින මේ මොහොතේ, කුලී නිවැසියන් ආරක්ෂා කිරීම සඳහා මෙම පමා සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට සීඩීසී ගත් තීරනයට ජනාධිපති බයිඩන් දැඩි ලෙස සහාය වනු ඇත' යනුවෙන් ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 'අවාසනාවකට මෙන්, මෙම විකල්පය තවදුරටත් ක්‍රියාත්මක කල නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරනය පැහැදිලි කර ඇත.'

පිටමං කිරීමේ තහනම ජූලි මස අවසානය දක්වා දිගටම ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරනය පසුගිය මාසයේ 5-4 ක බලයක් ලබා දුන්නේය. මෙම තීන්දුවේදී අධිකරනයේ 'ලිබරල්' අංශයට සම්බන්ධ විනිසුරු බ්රෙට් කවානාග් පැහැදිලි කලේ, 'පැහැදිලි සහ නිශ්චිත කොංග්‍රස් අනුමැතියක්' නොමැති නම් ඕනෑම අතිරේක දිගු කිරීමක් අවහිර කරන බවයි.

වසර අවසානය දක්වා තහනම දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඩිමොක්‍රටිකයින් බ්‍රහස්පතින්දා අවසාන මිනිත්තුවේ පනතක් ඉදිරිපත් කල නමුත් මෙය සිදු වූයේ මුහුන බේරා ගැනීම සඳහා පමනි. මෙම පනත් කෙටුම්පත සෙනෙට් සභාවට පැමිනි විගසම අභාවයට යන බව ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන් හොඳින් දන්නා අතර, එහිදී ඩිමොක්‍රටිකයින් වාචික ඡන්දයෙන් මාසයක කාලයක් දීර්ඝ කිරීමට අදහස් කරගෙන තිබුනි. කෙසේ වෙතත්, තනි රිපබ්ලිකානුවෙකුගේ විරෝධයක්, නීතිය ක්ෂනිකව මරා දමනු ඇත. රිපබ්ලිකානුවන්ගෙන් අතිමහත් බහුතරයක් සහ බොහෝ “මධ්‍යස්ථ” ඩිමොක්‍රටිකයින් දීර්ඝ කිරීමකට විරුද්ධ වන තත්වයක් තුල, පනතේ ඉරනම ගැන ප්‍රශ්නයක් නැත.

එලඹීමට නියමිත පිටමං කිරීම් සිදුවීම පැතිරෙමින් ඇති වසංගතයේ ප්‍රතිඵලයක් නොව, මූල්‍ය ප්‍රභූවේ සවිඥානක ප්‍රතිපත්තියෙන් පැන නගී. වසංගත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගත් සෑම තීරනයක්ම වෝල් වීදියේ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා මත පුරෝකථනය කර ඇත. කම්කරු පන්තියෙන් අඛන්ඩව ලාභ ගරා ගැනීම සහතික කිරීම සඳහා අධිෂ්ඨාන කරගෙන සිටින පාලක පන්තිය, කොවිඩ් -19 පාලනය කිරීම සඳහා වූ සෑම බැරෑරුම් පියවරක්ම අත්හැර දමා ඇත.

සමාජ දුරස්ථ පියවරයන් අතහැර දැමීමට සහ බලහත්කාරයෙන් පාසල් හා ව්‍යාපාර නැවත විවෘත කිරීමට ප්‍රතිචාර වශයෙන්, කොටස් වෙලඳපොල ඉහල ගොස් ඇති අතර, ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය සහ එස් ඇන්ඩ් පී මේ සතියේ වාර්තාගත ලෙස ඉහල නැඟ තිබේ. ප්‍රකෝටිපතියන්ගේ ධනස්කන්ධය වසංගතය අතරතුර අහස උසට නඟිද්දී, මරන සංඛ්‍යාව ලොව පුරා මිලියන හතර ඉක්මවා ගොස් ඇත.

එක්සත් ජනපදයේ දිග හැරෙමින් පවතින සමාජ අර්බුදය ධනේශ්වර ක්‍රමයට අධි චෝදනාවකි. සමාජ අර්බුදය විසඳීමේ නොහැකියාව එය මැනවින් පෙන්නුම් කරයි. ලාභ අපේක්ෂාවට එරෙහිව මානව අවශ්‍යතා මත පදනම්ව සමාජය ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කරන කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩ නැගීමේ තීරනාත්මක අවශ්‍යතාවය මින් පෙන්නුම් කරයි.

Loading