පොලිස් අත්අඩංගුවට ගත් පෙසප හා අවිශිබම ක්‍රියාකාරීන් නිදහස් කරනු!

අඟහරුවාදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයකට සහභාගී වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) හා එම පක්ෂය විසින් මෙහෙයවෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) ක්‍රියාකාරීන් ඇතුලු පුද්ගලයන් සත් දෙනෙකු මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මිලිටරීකරනය හා අධ්‍යාපනයේ පෞද්ගලීකරනය පලල් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට (කොජාආප) එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබුනේ “නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය“ නමින් ක්‍රියා කරන පෙරමුන විසිනි. එම විරෝධතාවයට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකයෝ කිහිප දෙනෙක් ද සම්බන්ධ වූහ.

පොලිස් අත්අඩංගුවට ගැනීම් පැහැර ගැනීමක ස්වභාවය ගෙන තිබේ. සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් භටයන් විසින් මහමග දී හා නිවෙස්වලට පැමින මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

උද්ඝෝෂනය පැවති දිනයේම රාත්‍රියේ දී පෙසප පාලක ලේකම් චමීර කොස්වත්ත හා පෙසප තවත් සාමාජිකාවක් වන කෝෂිලා හංසමාලි ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතාවයේ දී “කලහකාරී ලෙස හැසිරීම, රජයේ දේපලවලට හානි කිරීම හා රජයේ නිලධාරීන්ට බරපතල තුවාල සිදු කිරීම” යන අභූත චෝදනා යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනු ඔවුන් දෙදෙනා, එහිදී නිකුත් කෙරුනු නියෝගයක් මත අගෝස්තු 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

එම චෝදනා යටතේම, අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ලක් වූයේ ඊයේ මහ රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී ය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ දී මෙම ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් දෙදෙනාට අමතරව විරෝධතාකරුවන් ප්‍රවාහනය කල බස් රථ තුනක රියදුරන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන බස් රථ ද පොලිස් භාරයට ගෙන ඇත. පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ තවත් 13 ක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

සිවිල් ඇඳුමින් සිටින පොලිස් භටයන් විසින් විරෝධතාවයට සම්බන්ධ වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු බසයක් තුල දී පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරනය වෙමින් තිබේ.

මෙම දඩයම දියත් කර ඇත්තේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු සිසුන්ට හා අනෙකුත් ක්‍රියාකාරීන්ට එරෙහිව යකඩ මාර්ග බාධක යොදා පොලිස් බලය යෙදීමෙන් පසුවයි. එම සිද්ධියේදී මහරගම පොලීසියේ ස්ථානාධිපතිගේ අතක ඇඟිලිවලට හිතාමතා තුවාල සිදුකර ඇති බවටත්, මාර්ගයට හානි සිදු කර තිබෙන බවටත් චෝදනා කරමින්, පොලීසිය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද යොදාගෙන දුෂ්ට ප්‍රචාරයක යෙදෙන්නේ මර්දනය දිගේලි කිරීමේ කොටසක් ලෙසයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මෙම අත්අඩංගුවට ගැනීම් හෙලා දකින අතර කොන්දේසි විරහිතව ඔවුන් සියලු දෙනා නිදහස් කල යුතු යයි කියා සිටී. පෙසප හා එය විසින් මෙහෙයවන අවිශිබම සමග සසපට හා සසජාතශි ව්‍යාපාරයට නොපෑහිය හැකි දේශපාලන මතභේද පවතින බව ප්‍රකට කරුනකි. කොජාආවි පනතට එරෙහිව ඔවුන්ගේ උද්ඝෝෂනය ආන්ඩුවට බලපෑම් දැමීමේ දේශපාලන උගුලක් බවත් අප පැහැදිලි කර ඇත.

කෙසේ වුවද, අවිශිබමය හා පෙසප නායකයන්ට එල්ල කර ඇති මර්දනය පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ට, සිසුන් ඇතුලු තරුනයන්ට හා දුගීන්ට එරෙහිව උත්සන්න කරන ප්‍රහාරයක කොටසක් බව අපි අවධාරනය කරමු. කෝවිඩ්-19 වසංගතය නිසා උග්‍රවී ඇති ආර්ථික අර්බුදය තම උරමත පැටවීමට ආන්ඩුව ගෙනයන ප්‍රහාරවලට එරෙහිව එක දිගට පැනනැගෙමින් තිබෙන කම්කරුවන්ගේ හා සිසුන්ගේ අරගල නිසා රාජපක්ෂ ආන්ඩුව තැතිගැනී සිටියි.

පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ වැටුප් වැඩිවීමක් ඉල්ලමින් හා කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂනය කල පාසල් ගුරුවරු 40ක් ඇතුලු 44 දෙනෙක් විරෝධතාව අවසන් වී නිවෙස් බලා යමින් සිටිය දී පොලීසිය අත්අඩංගුවට ගත්තේ ය. ඔවුන් ඊයේ ඇප මත නිදහස් කර තිබේ.

ඔවුන් අතරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසී, යකඩ පොලු සහිතව සුදු වෑන් රථයකින් පැමිනි කන්ඩායමක් විසිනි. තමන් ඇඳුම්වලින් ඇද වෑන්වලට නංවා ගත් බවත්, එහිදී පහරදීමට තැත් කල බවත් සිද්ධියට මුහුන දුන් එක් ගුරුවරුයෙකු කරන ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල සංසරනය වේ.

මැයි මස 27 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ආඥාදායක බලතල භාවිතා කරමින්, රාජ්‍ය අංශයේ බොහොමයක් සේවා මත පැන වූ “අත්‍යාවශ්‍ය සේවා නියෝග” දෙසතියකට වරක් බලාත්මක කරමින් ඉදිරියට යමින් තිබේ. නියෝග නොතකා පන්ති ක්‍රියාවන්හි යෙදෙන්නන්, ඒවා ප්‍රවර්ධනය කරන්නන් හා අනුබල දෙන්නන් සිරදඬුවම් හා මූල්‍ය දඩ පැනවීම්වලට යටත් කල හැක. මෙම නියෝග පනවා මාස දෙකක් ගත වී ඇතැත් සෑම අංශයකම වෘත්තීය සමිති සියලු විපක්ෂද පෙසප ද මෙම විෂඝෝර නීතියට නිහඬව සහයෝගය දී තිබේ.

සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් මත එල්ල කෙරෙන රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාර පරාජය කල හැක්කේ ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ කම්කරු පන්තියේ ස්වාධීන වැඩපිලිවෙලක් වටා ශිෂ්‍යයන් හා ගම්බද දූගීන් පෙලගස්වා ගැනීමට කරන දැනුවත් සටනකින් පමනි. සසප හා සසජතාශි කැපවී සිටින්නේ මෙම වැඩපිලිවෙලටයි.

Loading