පෙසප නායකයා කොතලාවල විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තු විවාදයට නො ගැනීම “ජයග්‍රහනක්“ ලෙස හුවා දක්වයි

අධ්‍යාපනය පෞද්ගලීකරනය හා මිලිටරීකරනය තවත් වේගවත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට යන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත (කොජාආවිප) අගෝස්තු 06 දා පාර්ලිමේන්තුවේ දෙවන වර “විවාදයට“ ගැනීමට නියමිතව තිබුනි.

නමුත්, එය එදිනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව ආරක්ෂක හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ඊට දෙදිනකට පෙර ප්‍රකාශ කලේ ය. “සියලූම පාර්ශව වලට සහ රටේ මහජනතාවට තවදුරටත් සාකච්ඡා කිරීමට ඉඩ සලසා දිය යුතු“ ය යන ප්‍රෝඩාකාරී ප්‍රකාශයක් කල ඇමති රාජපක්ෂ “වෙනත් දිනයක“ එය සාකච්ඡාවට ගන්නා බව වැඩිදුරටත් පවසා ඇත.

රාජපක්ෂ ආන්ඩුව අගෝස්තු 06 දා පනත සාකච්ඡාවට නොගැනීම, පනත සම්බන්ධව පලල් මහජනයා අතරින් වර්ධනය වන විරුද්ධත්වය අවමංගත කිරීමේ හුදු තාවකාලික උපාමාරුවක් පමනි. මේ වසරේ මාර්තු මාසයේ ආරක්ෂක අමාත්‍යාංශයයේ උපදේශක කාරක සභාවේ ද ජුනි මාසයේ කැබිනට් මන්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති පනත පසුගිය ජුනි 08 දා පාර්ලිමේන්තුවේ “විවාදයට“ ගනු ලැබී ය. ඊනියා සංශෝධන සහිත හෝ රහිතව තමන්ට හිමි පාර්ලිමේන්තු බහුතරය පාවිච්චි කොට පනත සම්මත කර ගැනීම ආන්ඩුවේ එල්ලයයි.

වසංගතය මධ්‍යයේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අත්‍යවශ්‍ය පරිගනක හා අන්තර්ජාල පහසුකම් සම්පාදනය කිරීම ප්‍රතික්ෂේප කරමින්, ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ඇති ආන්ඩුව පාර්ලිමේන්තුව තුල කඩිනමින් සම්මත කර ගැනීමට වලිකන කොජාආවිපට එරෙහිව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, ආචාර්යවරු හා අවශේෂ කම්කරුවෝ විරෝධතා අරගල මාලාවක නිරතව සිටිති.

'කොජාආවි පනත හකුලා ගනු!' යන්න වැඩි වැටුප් ඉල්ලා වර්ජනයේ යෙදී සිටින දෙලක්ෂ පනස්දාහක් වන පාසල් ගුරුවරුන්ගේ ප්‍රධාන ඉල්ලීමකි. එසේම, පනතට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අඛන්ඩව විරෝධතාවල යෙදී සිටින අතර පසුගිය සතියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු එක් දින වර්ජනයක නිරත වූහ.

ඒ තතු තුල, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) හා ඒ යටතේ ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය), ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමෙන් අධ්‍යාපනය පෞද්ගලීකරනය හා මිලිටරීකරනය නතර කල හැකි ය යන මිත්‍යාව කම්කරුවන් හා ශිෂ්‍යයන් අතර වගා දිගා කරමින් පලල්ම ධනේෂ්වර පෙරමුනක් තුල මෙම විරුද්ධත්වය දියකර හැරීමට වැඩට බැස ගෙන සිටිති.

06 දා මාධ්‍ය හමුවක් ඇමතූ පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, පනත පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට නො ගැනීම සම්බන්ධව කියා සිටියේ, “ආන්ඩුවේ උත්සාහය මහජන බලය ඉදිරියේ පරාජය වී“ ඇති බවයි. පාර්ලිමේන්තු විපක්ෂයේ සිටින පක්ෂ පමනක් නොව ආන්ඩුවේ පාර්ශවකාර පක්ෂ ද පනතට “විරුද්ධ වීම දැවැන්ත ජයග්‍රහනයක්“ යයි ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ ය.

පුබුදු ජයගොඩ

පනතට එරෙහිව වර්ධනය වන පලල් මහජන විරුද්ධත්වය ගසා කමින් නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයින් හා මිලිටරීකරනයේ විරුද්ධවාදීන් ලෙස ව්‍යාජ මවා පෑමක යෙදී සිටින පාර්ලිමේන්තුව තුල සිටින ධනපති විපක්ෂ හා ආන්ඩුවේම මැති ඇමතියන් මිලිටරීකරනයේ හා පෞද්ගලීකරනයේ සටන්කරුවන් ලෙස හුවා දක්වමින් ජයගොඩ මෙසේ ප්‍රකාශ කලේ ය. “පෞද්ගලීකරනය ටිකක් හරි පස්සට ගැනීමට වැඩ කල සියලු බලවේගවලට අපි සහෝදරාත්මක ගෞරවය පුද කරනවා. විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ද්‍රවිඩ ජාතික සන්ධානය (ටීඑන්ඒ), මුස්ලිම් කොන්ග්‍රසය (මුකො) පනතට විරුද්ධ වුනා. ආන්ඩුව ඇතුලේමත් විරුද්ධත්වය පුපුරන්න පටන් ගත්තා“ යයි ජයගොඩ උද්දාමයෙන් ප්‍රකාශ කලේ ය.

කොතලාවල විශ්වවිද්‍යාල පනත පලමු වරට ඉදිරිපත් කරනු ලැබූවේ පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසිනි. ඒ 2018 වසරේ දී ය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් එවකදී පැන නැගී විරෝධය හමුවේ පනත තාවකාලිකව හකුලා ගනු ලැබූවේ අවස්ථාව ලද විගස යලි ක්‍රියාවට නැගීමේ අරමුනෙනි.

පනත මගින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ 1978 විශ්වවිද්‍යාල පනතට කිසිදු බැඳීමක් නොමැති, මිලිටරිය මගින් පාලිත ආයතනයක් බවට කොතලාවල විශ්වවිද්‍යාලය පත් කෙරේ. එසේම, කැඩෙට් සහ හමුදා භටයන්ට අමතරව, තම අභිමතය පරිදි සිවිල් ශිෂ්‍යයන් සඳහා ද මුදලට උපාධි පිරිනමන මන්ඩප සහ පීඨ රටපුරා පිහිටුවීමටත්, විදේශ විශ්වවිද්‍යාල සමග කටයුතු කිරීමටත් කොතලාවල විශ්වවිද්‍යාලයට බලය හිමිවේ.

මෙමගින් අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරන ගැනීම ත්‍රිවිධ හමුදාවේ ඉහල නිලධාරීන් අතට පත් කෙරෙන අතර විශ්වවිද්‍යාලවල පැවතිය යුතු නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය මිලිටරි විනයට යට කරනු ලැබේ.

මෙම රුදුරු පනත යලි ඉදිරියට දමා ඇත්තේ, ගෝලීය වසංගතය මගින් ගැඹුරු කෙරෙන ආර්ථික අර්බූදයේ බර ආන්ඩුව විසින් තම උරමත පැටවීමට එරෙහිව කම්කරු පන්තිය තුලින් පැන නංවා ඇති බලගතු පන්ති සටන් තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට ජනාධිපති රාජපක්ෂ විසින් වේගවත් ගමනක් යමින් ඇති තත්වයක දී ය.

පෙසප හා අවිශිබමය මූලිකත්වයෙන්, කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට පසුගිය මාසයේ 08 දා සහ මේ මාසයේ 04 දා විරෝධතා දෙකක් සංවිධානය කලහ. ආන්ඩුව එම දෙවතාවේදීම විරෝධතාකරුවන්ට එරෙහිව මුර්ග පොලිස් කඩා පැනීම් මෙහෙයවීය.

පසුගිය සතියේ පැවති විරෝධතාවයෙන් පසු එදින රාත්‍රියේ පෙසප පාලක ලේකම් චමීර කොස්වත්ත හා කෝෂිලා හංසමාලි ඔවුනගේ නිවෙස් වලදී අත්අඩංගුවට ගනු ලැබී ය. ඊට පසුදින අවිශිබම කැඳවුම්කරු හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලු තවත් 5 ක් අත්අඩංගුවට ගනු ලැබුවේ මහමග ගමන් කරමින් සිටිය දී ය. වර්ජනයේ නිරත ගුරුවරුන්ගේ විරෝධතාවලට මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එරෙහි ආන්ඩුවේ කඩා පැනීම් හා බිය ගැන්වීම් තීව්‍ර කෙරෙමින් පවතී.

මහජන අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට මෙන්ම, විරෝධතා සහ රැස්වීම් ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි මෙම ප්‍රහාරයන්ගේ මූලය වනුයේ, වසංගතයෙන් වඩාත් උග්‍ර කෙරුනු ගෝලීය ධනේශ්වර අර්බුදයයි. මෙම අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ විධානයෙන් කම්කරු-පීඩිත මහජනතාවට එල්ල කෙරෙන මෙම ප්‍රහාර ආන්ඩු වලට පීඩනය යෙදීමෙන් ආපසු හැරවිය නොහැක. ලංකාවේ සහ අනෙකුත් සෑම එටකම කම්කරු පංතිය යලියලිත් අත් දකින්නේ එයයි.

ඒ තත්වය තුල ආන්ඩුවේ මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, ධනපති ආන්ඩු වලට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයකින් පමනි. ලෝක සමාජවාදය සඳහා වන මෙම අරගලයට නායකත්වය දියහැකි සමාජ බලවේගය වනුයේ ජාත්‍යන්තර කම්කරු පංතිය බව ඓතිහාසිකව නිර්නය වී ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ගම්බද දූගීන් ඇතුලු පීඩිත ජන කොටස් කම්කරු පංතිය දෙසට හැරිය යුත්තේ එබැවිනි.

කම්කරු පන්තියේ නායකත්වය වටා ඉහත කොටස් පෙල ගස්වා ගනිමින්, රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනේෂ්වර ක්‍රමයටත් එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදක කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සටන් වදී.

එම ඉදිරිදර්ශනයට සපුරා එරෙහි පෙසප හා අවිශිබමය, 2008 සිට මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලමින් වසර 10ක කාලයක් උද්ඝෝෂනයේ යෙදුනේ, ධනපති කල්ලි කන්ඩායම්, අනෙකුත් ව්‍යාජ-වාම පක්ෂ හා වෘත්තී සමිති නිලධරය, “සටන් කරන බලවේග“ ලෙස තරුනයන් සහ ශිෂ්‍යයන් ඉදිරියේ හුවා දක්වමිනි. මෙම “බලවේග“ ඒකාබද්ධ කල අවස්ථාවාදී පෙරමුනක් වූ “නිදහස් අධ්‍යාපනය සඳහා සිසු-ජන ව්‍යාපාරය“ පෙසප හා අවිශිබමය යලි පෙරට ගෙන විත් තිබේ.

'සයිටම් වසා දමනු!' යන සටන් පාඨය තුල අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහි විරෝධය කොටු කෙරුනු තතු තුල, ආයෝජන මන්ඩලයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය යටතේ සිය ගනනක් පෞද්ගලික විශ්වවිද්‍යාල රටපුරා ආරම්භ කෙරුනු අතර නිදහස් අධ්‍යාපනය බරපතල කප්පාදුවකට ලක් කෙරුනි.

පෙසප හුවා දක්වන සජබ, ජවිපෙ, ටීඑන්ඒ වැනි ඊනියා විපක්ෂ වේවා ශ්‍රිලනිප වැනි ආන්ඩුව තුලම සිටින කොටස් පිලිබඳව කම්කරු පන්තිය හා තරුන ශිෂ්‍යයන් කිසිදු විශ්වාසයක් නොතැබිය යුතුය. මෙම කොටස් ජයගොඩ ප්‍රකාශ කරන ආකාරයට “මහජන බලය“ හමුවේ පනතට විරුද්ධ වූවා නොවේ. බලයේ සිටියදී මෙවැනිම රුදුරු ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව දීර්ඝ වාර්තාවක් ඇති මෙම පක්ෂ සිදු කරමින් සිටින්නේ මහජන විරුද්ධත්වය ගසා කෑම පමනි.

අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි මහජන සුභසාධන සේවා තවදුරටත් කප්පාදු කල යුතු යයි ආන්ඩුවට නියෝග කර සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට මෙම කොටස් මුලුමනින්ම බැඳි සිටී. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ආන්ඩුවේ විදේශ විනිමය අර්බූදය හමුවේ නැවත නැවතත් කියා සිටින්නේ ජාමූඅ සමග සමීපව ගනුදෙනුවකට යෑම එකම විසඳුම බවයි.

ජවිපෙ, ටීඑන්ඒ වැනි පක්ෂ, ප්‍රධාන ධනපති කන්ඩායම් බලයට ගෙන ඒමට ඉතිහාස පුරා වැඩ කර ඇති අතරම, අධ්‍යාපනය පෞද්ගලීකරනය ඇතුලු ධනපති අර්බූදයේ බර මහජනතාව මත පැටවීමේ පිලිවෙත් සම්බන්ධයෙන් ඔවුනගේ කිසිදු විරුද්ධත්වයක් නො මැත.

එසේම, විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුලු සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති නිලධරය කම්කරු පන්තියේ ස්වාධීන හා ඒකාබද්ධ මැදිහත්වීමකට මුලුමනින්ම හතුරු ය. පෙසප හා අවිශිබමය මෙම වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපය ආවරනය කරමින් ඒවාට පිටුබලය දෙන ලංකාවේ ප්‍රධාන ව්‍යාජ-වාම පක්ෂයයි.

අනෙක් අතින්, කම්කරු පන්තියට එරෙහිව ධනේෂ්වර රාජ්‍යය හා මිලිටරිය බල ගැන්වීම සම්බන්ධයෙන් මෙම පක්ෂවලට සහ සමිති වලට කිසිදු විරුද්ධත්වයක් ඇත්තේ නැත. වැඩවර්ජන ඇතුලු පංති ක්‍රියා තහනම් කරමින් ආන්ඩුව රාජ්‍ය අංශයේ සේවකයන්ට එරෙහිව පනවා ඇති රුදුරු අත්‍යවශ්‍ය සේවා නියෝගයන්ට එරෙහිව මෙම පක්ෂ සහ වෘත්තීය සමිති කවර හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ නොකරන්නේ එබැවිනි.

ජවිපෙ නායකත්වය දෙන ධනේෂ්වර පෙරමුනක් වන ජාතික ජන බලවේගයේ (ජාජබ) පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය, දෙමල ජාතික මහජන සන්ධානයේ (ටීඑන්පීඒ) ජී. පොන්නබ්මලම් හා දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) ශානක්‍යන් රාසමානිකම් ජුලි 08 දා පැවැති පාර්ලිමේන්තු විවාදයේ දී කොතලාවල විශ්වවිද්‍යාලය හරහා මිලිටරියට “පුහුනුව“ සහ “උසස් විශේෂඥ බවක්“ ලබා දීමට කිසිදු විරුද්ධත්වයක් නැතැ යි කියා සිටියහ.

මිලිටරිය නවීන තාක්ෂනික දැනුමෙන් සන්නද්ධ වන්නේ කම්කරු පන්තියට එරෙහිව බව එහි මිනීමරු වාර්තාව පෙන්වා දෙමින් කම්කරු පන්තියට අනතුරු අගවා සිටින්නේ සසප හා සසජාතශි පමනි.

ජයගොඩ මාධ්‍ය සාකච්ඡාව අවසානයේ දී කියා සිටියේ, කොතලාවල පනතේ දී ආන්ඩුව “දන ගැස්සුවා වගේ ගුරු සටනේ දීත්, ගොවි සටනේදීත්, ධීවරයන්ගේ සටනේදීත් ආන්ඩුව දන ගස්සන“ බවයි. ආන්ඩුවේ උපාමාරු ජයග්‍රහන ලෙස හුවා දක්වමින් ජයගොඩ ඇතුලු මෙම නඩය කරනුයේ කම්කරු-පීඩිත මහජනතාව මුහුන දී සිටින සැබෑ අන්තරායන් වසන්කොට ඔවුන් නිරායුධ කිරීමයි.

මෙම වැඩකටයුතුවල සැබෑ අර්ථය අන් කිසිවක් නොව, ගෝලීය වසංගතය මගින් තවත් වේගවත් කර තිබෙන ලෝක ධනේෂ්වර ක්‍රමයේ ගැඹුරු වන අර්බූදය හමුවේ සටන්කාමී වී සිටින කම්කරුවන් සහ තරුනයන් අවමංගත කොට කෙසේ හෝ ධනපති ක්‍රමය රැක දීමයි.

ධනේෂ්වර ලාභ පද්ධතියට බැඳී ගත් පෙසප වැනි ව්‍යාජ-වාම පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් බිඳී ගනිමින්, සෑම වැඩපලකම, පාසලකම, විශ්වවිද්‍යාලයකම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලයක් පෙරට ගැනීමට ඒකාබද්ධ වන ලෙස, සසප හා සසජාතශි, කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටී.

Loading