ආන්ඩුව වර්ජනයේ නිරත ගුරුවරුන්ට එරෙහි රාජ්‍ය මර්දනය තීව්‍ර කරයි

වසර 24 ක් පුරා ඇදී යන වැටුප් විෂමතා ඉවත් කිරීම, කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කිරීම, ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව අඛන්ඩව වර්ජනයේ නිරත පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඉලක්ක කර ගනිමින් රාජපක්ෂ ආන්ඩුව රාජ්‍ය මර්දනයක් දියත් කරමින් තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරුන්ගෙන් කීප දෙනෙක්- අගෝස්තු 5 වැනි දා ඇප මත නිදහස් කරනු ලැබීමෙන් අනතුරු ව

ගෝලීය වසංගතය මගින් ගැඹුරු වන ආර්ථික අර්බූදයකට මුහුන දී සිටින ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ප්‍රකාරව ගුරුවරුන්ගේ සියලු ඉල්ලීම් මුලුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. මාසයක් පුරා ඉදිරියට ඇදෙන ගුරුවරුන්ගේ අරගලය, දැනටමත් පුපුරා යමින් තිබෙන අවශේෂ කම්කරු පන්තියේ අරගල සමග ඒකාබද්ධ වනු ඇතැයි භීතියට පත්ව සිටින ආන්ඩුව ගුරුවරුන් බිය වද්දා දුර්වල කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම් හා නඩු පැවරීම් ඇතුලු මර්දන පියවර දිගේලි කර ඇත.

ගුරුවරුන්ට එරෙහි දඩයම ආරම්භ වූයේ පසුගිය 04 දා කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයට සම්බන්ධ වූ ගුරුවරුන් 44 ක් වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙනි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූවේ විරෝධතාවය අවසන් වී නිවෙස් බලා යමින් සිටිය දී ය. අත්අඩංගුවට පත් වූවන් අතර ගුරුවරියන් 16 ක් ද සිටියහ. “අයුතු අවහිරය, නීති විරෝධි ජන රාශියක සාමාජිකයන් වීම, මාර්ග අවහිර කිරීම හා නිරෝධායන නීති කඩ කිරීම යන “චෝදනා” ඔවුන්ට විරුද්ධව එල්ල විය.

පසුදා සවස ඔවුන් සියලු දෙනා කොලඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන තුරු පොලීසියේ රඳවා තැබුනි. එහිදි ඔවුන් ශරීර ඇප මත නිදහස් කරන ලදී. එම සිද්ධියෙන් පසු ගෙවුනු සතිය තුල ප්‍රදේශ කිහිපයකම ගුරුවරුන්ට එරෙහිව මෙම දඩයම දියත් වෙමින් පවතී.

ගුරු-විදුහල්පති වැටුප් අරගලයට සහයෝගය දක්වමින්, “මහනුවර දෙමාපිය සංසදය” විසින් සංවිධානය කල උද්ඝෝෂනයට, ජූලි මස අවසන් සතියේ මහනුවර නගරයේ දී පැවැත් වූ ගූරු උද්ඝෝෂනයට හා මහනුවර සිට කොලඹ දක්වා සංවිධානය කර තිබූ පාගමනට සම්බන්ධ වූ ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන් ඉලක්ක කර ගෙන තවත් දඩයමක් දියත් කර තිබේ.

ඊයේ මහනුවර උසාවියට පැමිනෙන ලෙස එයින් 26 දෙනෙකුට නොතිසී නිකුත් කරන ලදුව ඇප මත නිදහස් කර ඇති නමුත් ඔවුන් යලිත් නොවැම්බර් 03 වනදා උසාවියට කැඳවා තිබේ. “කොරෝනා රෝගය පැතිරවීමට සහයවන ලෙස ක්‍රියා කිරීම, මහජනයා උසිගැන්වීමට අදාල කටයුතු කිරීම” යන “චෝදනා” ඔවුන්ට එරෙහිව එල්ල කර තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ මහනුවර ගුරුවරයෙකු කියා සිටියේ දෙනුවර ගුරුවරු තුන්දෙනෙකු, යටිනුවර ස්වර්නජෝති විදුහලේ සහ පිලිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කන්ඩායමක් මෙම දඩයමට ලක් වූවන් අතර සිටින බවයි.

පසුගිය ජූලි මාසයේ 20 දා මාතර නගරයේ පැවති ගුරුවරුන්ගේ විරෝධතාවකට සම්බන්ධ වු ගුරුවරියක් හා ගුරුවරු දෙදෙනෙක් ද පසුගිය සඳුදා අත්අඩංගුවට ගෙන පසුදා හවස නිදහස් කර තිබේ. නමුත් ඔවුන්ට එරෙහි “චෝදනා” මේ මස 16 යලි විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ. මේ අතර යාපනයේ වීරසේකරම් ශාලාව ඉදිරියේ සිට ආරම්භ වූ ගුරුවරුන්ගේ රථ පෙලපාලියට සම්බන්ධ වූ වාහනයක රියෙදුරෙකු ද අඟහරුවාදා දිනයේ පොලීසියට කැඳවා තිබේ.

ආන්ඩුවේ මෙම මර්දනය කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරුද්ධව උද්ඝෝෂනයේ යෙදුනු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන් වෙතද එල්ල කෙරී ඇත. පසුගිය 03 දා කොලඹ පැවති විරෝධතාවයේ දී එය සංවිධානය කල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) හා ඒ යටතේ ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) ක්‍රියාකාරීන් හතර දෙ‌නෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන් බන්ධනාගාර ගත කිරීමට උසාවිය නියෝග කලේ ය.

ආන්ඩුව මේ සෑම අවස්ථාවකදීම අනෙක් චෝදනාවලට අමතරව “සෞඛ්‍යය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම” යන චෝදනාව ගුරුවරුන්ට එල්ල කර තිබේ. මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන්, සංචරන සීමා ඉවත් කොට කම්හල් සහ වැඩපොලවල් විවෘත කල ආන්ඩුව වෛරසයේ ප්‍රබල ඩෙල්ටා ප්‍රභේදය දිවයින පුරාම පැතිරීමට ඉඩ හලේය. මහජන ජීවිත නොතකා එම සාපරාධී පිලිවෙත අනුගමනය කල ආන්ඩුව විරෝධතා මැඩීම සඳහා සෞඛ්‍යාරක්ෂන පිලිවෙත් ගසා කමින් සිටියි.

ආන්ඩුවේ මර්දනය මුලුමනින්ම හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එය විසින් නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව, ගුරුවරුන්ට සහ අනෙකුත් විරෝධතාකරුවන්ට එරෙහි චෝදනා කොන්දේසි විරහිතව වහා ඉවත්කර ගන්නා ලෙස කියා සිටී.

ආන්ඩුව ගුරුවරුන්ට එරෙහි රුදුරු රාජ්‍ය මර්දනය දිගේලි කරන අතරේ, අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කලේ ගුරුවරුන් සඳහා ක්ෂනික වැටුප් වැඩිවීමක් ලබා දිය නොහැකි බව සඳුදා පැවති කැබිනට් මන්ඩලයේදී ද තීරනය කල බවයි. ඇමතිවරයා එහිදී සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ කොටසක් ලෙස ලබන අය-වැයේ දී ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබාදෙන බවට වන සුපුරුදු කෙප්පය ඇද බෑවේ ය.

ගුරුවරුන්ට එරෙහි පොලිස් දඩයමක් රටපුරා දියත් කර තිබිය දී පීරිස් කුහක ලෙස පැවසුවේ, “අපට ගුරු-විදුහල්පතිවරු පිලිබඳව විශාල ගෞරවයක් තිබෙන” බවයි. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම පිලිබඳවත් ආන්ඩුව “කනගාටු” වන බව පැවසූ ඇමතිවරයා “ඔන්ලයින් අධ්‍යාපන” කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඔන්ලයින් අධ්‍යාපනයට අවශ්‍ය පරිගනක හා අන්තර්ජාල පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති ආන්ඩුව, විභාග කටයුතු ප්‍රමාද වීම ඇතුලු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමේ වගකීම ගුරුවරු මත පැටවීමට හා අවශේෂ මහජනයා ගුරුවරුන්ට එරෙහිව මෙහෙයවීමට ධනපති මාධ්‍යය මෙහෙයවා තිබේ.

ලැබෙන සොච්චම් වැටුප ඉහල යන ජීවන වියදමට කිසිසේත් නොසෑහෙන තතු යටතේ, ඔන්ලයින් ඉගැන්වීමට ද ගුරුවරුන්ට අමතර වියදමක් දැරීමට සිදුව ඇත. එම තතු යටතේ තම වැටුප් ඉල්ලීම දිගින්දිගටම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ආන්ඩුවට එරෙහිව ගුරුවරුන් අතර වැඩී ඇත්තේ බලගතු විරෝධයකි. අධ්‍යාපනයේ පෞද්ගලීකරනය හා මිලිටරීකරනය ඉස්මත්තට ගැනෙන කොතලාවල විශ්ව විද්‍යාල පනත මගින් මෙම විරෝධය වඩාත් ගැඹුරු කෙරි පවතී.

එසේම, වසර ගනනාවක් බලයට පත් ආන්ඩුවල බොරු පොරොන්දු ගුරුවරු මත පටවමින් ගුරු අරගල පාවාදීම සම්බන්ධව ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) ඇතුලු ගුරු-විදුහල්පති සමිති කෙරෙහි සාමාන්‍ය ගුරුවරු අතර ඇත්තේ බරපතල අප්‍රසාදයකි.

වර්ජනය නතර කිරීමට පොටක් සොයමින් වැටුප් විෂමතා ඉවත් කිරීමට “ප්‍රතිපත්තිමය තීන්දුවක්” ගන්නා ලෙස ආන්ඩුවෙන් ඉල්ලා ඇති වෘත්තීය සමිති ගුරුවරුන්ට එරෙහි දඩයම හමුවේ, “අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කරන ලෙස ඉල්ලා” පොලිස්පතිට ලිපියක් යොමු කර තිබේ.

සමිතිවල එම බෙලහීන ආයාචනයට විපරිතව, ගුරුවරුන්ට එරෙහි දඩයම සමස්ත කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකා, වර්ජන සහ විරෝධතා ආදී කාර්මික ක්‍රියාවන් සංවිධානය කරමින් අවශේෂ කම්කරුවන් ගුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා පෙරට පැමිනිය යුතුවෙයි.

ගුරුවරුන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට තම සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයීතීන් දිනා ගත හැක්කේ රාජපක්ෂ ආන්ඩුවටත් සමස්ත ධනේශ්වර ක්‍රමයටත් එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් මත සටන් වැදීමෙන් පමනි.

Loading