ඉදිරිදර්ශන

සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි

[මෙය Socialist Equality Party summer school prepares membership for growth of class struggle යන මැයෙන් 2021/08/12 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.

මහජන ක්‍රියාකාරකම් මත වසංගතයේ බලපෑම සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිසීම මැඩපැවැත්වීම සඳහා ගූගල්, ෆේස්බුක් සහ අනෙකුත් සංගත මාධ්‍යවල දැඩි උත්සාහය නොතකා, සසප සාමාජිකත්වය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. 2019 වසරට වඩා පාසලේ සහභාගිත්වය ඉතා විශාල විය. ලතින් ඇමරිකාව, යුරෝපය, ආසියාව සහ ආසියා පැසිෆික් කලාපයේ නියෝජිතයින් ඇතුලත්ව එහි සැලකිය යුතු ජාත්‍යන්තර සහභාගිත්වයක් විය.

සසප පාසල්, ඉතා සැලකිල්ලෙන් සූදානම් කර ඉහල දේශපාලන හා බුද්ධිමය මට්ටමින් පැවැත්වේ. සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම නිකම්ම සංඛ්‍යා පිලිබඳ කාරනයක් නොවේ. කම්කරු පන්තියේ විශ්වාසය දිනා ගැනීම ගැන බැරෑරුම් සහගතව, විප්ලවවාදී පක්ෂයකට සම්බන්ධ වන අයට, දේශපාලන අධ්‍යාපනය අවශ්‍ය වේ. ට්‍රොට්ස්කි ලියූ පරිදි, “විප්ලවවාදී සංවිධානයක් මිනිසුන් තෝරා උගන්වන්නේ, කල්ලි කන්ඩායම් අතර කුමන්ත්‍රනය කිරීමට නොව මහා අරගල සඳහාය.”

මෙවර පාසල විශේෂයෙන් අභියෝගාත්මක විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුනුම අර්බුදයට තුඩු දෙමින්, කොරෝනා රෛවරස් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. නිල සංඛ්‍යාලේඛනවලට අනුව මිලියන හතරකට වැඩි පිරිසක් මියගොස් ඇත්තේ වුවද සැබෑ මරන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි. වසංගතයට පාලක පන්තිය දක්වන ප්‍රතිචාරය, සමස්ත ධනේශ්වර පද්ධතියේ බංකොලොත්කම සහ පාලක පැලැන්තියේ සාපරාධිත්වය හෙලිදරව් කර ඇති අතර, වැඩ කරන පන්තිය තුල කෝපය හා විරුද්ධත්වය වඩ වඩාත් ජනනය කරයි.

වර්තමාන දේශපාලන දිශානතිය සඳහා පදනම වශයෙන් අතීත සිදුවීම් හා අත්දැකීම් අඛන්ඩව හා විවේචනාත්මකව යලි විමර්ශනයට භාජනය කිරීමක් මාක්ස්වාදී දේශපාලනයට අවශ්‍ය කෙරේ. පසුගිය වසර දෙකක සමාලෝචනයක් මත පාසල කේන්ද්‍රගත වී තිබුන ද එය ආරම්භ වූයේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය පිලිබඳ ඉතිහාසයේ වැදගත් සිද්ධියක් පිලිබඳ සාකච්ඡාවකිනි.

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඬල සභාපති සහ සසප ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් රචිත, ක්ලිෆ් ස්ලෝටර්ගේ දේශපාලන චරිතාපදානයේ පලමු කොටස පාසල ආරම්භය ආසන්නයේ දී සාමාජිකයින් වෙත ඉදිරිපත්කර තිබුනි. ස්ලෝටර් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සහ එහි බ්‍රිතාන්‍ය ශාඛාවේ, 1957 සහ 1986 කාලය අතර සිටි නායකයෙකි.

පසුව ස්ලෝටර් ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී ගිය ද, පූර්ව අවධිය තුල, ස්ලෝටර් විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය පිලිගැනීම ඇතුලුව ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ වෛෂයික තක්සේරුවක අවශ්‍යතාවය නෝර්ත් අවධාරනය කලේය.

1956 සහ 1963 අතර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මුහුන දුන් ප්‍රධාන න්‍යායික හා දේශපාලන ගැටලු සාකච්ඡා කිරීම, පාසලේ ඉදිරි වැඩ කටයුතු සඳහා ඓතිහාසික හා දේශපාලන රාමුවක් සැපයීය. මාක්ස්වාදීන්, සමාජයේ අතිමූලික විප්ලවවාදී බලවේගය ලෙස කම්කරු පන්තිය හඳුනා ගැනීමේදී ස්ලෝටර් විසින් පන්ති අරගලයේ කේන්ද්‍රීයභාවය සහතික කර තිබීම කෙරෙහි, නොර්ත් අවධානය යොමු කලේය. 1959 දී රචිත ස්ලෝටර්ගේ රචනාවක වැදගත් සඳහනක් වූයේ: “එහි අරටුවෙහි ම පන්ති ගැටුම අඩංගු කර නොගෙන පන්තිය වෙත කෙරෙන කිසිදු ප්‍රවේශයක මාක්ස්වාදයෙහි අංශුවක් හෝ නැත” යන්නයි.

සසපයේ අවසාන පාසල 2019 ජූලි මාසයේදී පවත්වන ලද අතර, 1923 පටන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනයෙහි අවධි එහිදී විශ්ලේෂනය කරන ලදී. මෙම ඉතිහාසය හා ධනේශ්වර අර්බුදය පිලිබඳ සමාලෝචනයක් මත පදනම්ව සසප අපේක්ෂා කලේ, හජාජාක සම්පූර්නයෙන්ම නව අවධියකට පිවිස ඇති බවයි. පක්ෂ භාවිතය සහ පන්ති අරගලයේ වර්ධනය අතර වැඩෙන අන්තර්ඡේදනය මගින් එය සංලක්ෂිත විය. නෝර්ත් 2019 දී සිය හඳුන්වා දීමේ වාර්තාවේ සඳහන් කලේ, “අප විසින්ම විශ්ලේෂනය කරනු ලබන ලෝක අර්බුදය පිලිබඳ අපේ විශ්ලේෂනය තුල ජාත්‍යන්තර කමිටුව, වඩ වඩාත් සක්‍රීය හා සෘජු සහභාගීවන්නෙකු” බවයි.

පසුගිය වසර දෙක සමාලෝචනය කිරීමේ දී කේන්ද්‍රීය කර්තව්‍යයක් වුනේ, මෙම පුරෝකථනය සනාථ වී තිබේද යන්න නීර්නය කිරීමයි. සසප ජාතික ලේකම් ජෝශප් කිෂෝර්, මෙම කාල පරිච්ඡේදයේ ප්‍රධාන සමාජ, දේශපාලන හා සංස්කෘතික වර්ධනයන් පිලිබඳව හා ඒවාට පක්ෂයේ ප්‍රතිචාරය විමසා බැලීමක් සහිත, පාසලේ මෙම කොටස ආරම්භ කලේය. ඉතිරි සැසි වලදී මෙම වර්ධනයන් වඩාත් විස්තරාත්මකව සමාලෝචනය කරන ලදී.

මෙම සැසිවාරවල පලමුවැන්න තුල, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උසිගන්වන ලද හා මෙහෙයවන ලද ජනවාරි 6 කැරැල්ල විශ්ලේෂනය කර බැලීය. 2000 මැතිවරන වංචාව දක්වා ආපසු යන ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ දිග්ගැස්සුනු අර්බුදය ඇතුලුව, ජනවාරි 6 ට පෙර කාලය ගැන එරික් ලන්ඩන් වාර්තාවක් ලබා දුන්නේය. පසුගිය මාසය තුල ප්‍රකාශයට පත් වූ පොත්වල නව කරුනු මත පදනම්ව, රාජ්‍ය සංස්ථාපිතයේ සහ පාලක පන්තියේ සැලකිය යුතු කන්ඩායම්වල සහයෝගය ඇතිව සිදු කරන ලද කැරැල්ල, ෆැසිස්ට් කුමන්ත්‍රන උත්සාහයක් ලෙස පක්ෂය විසින් කරන ලද විශ්ලේෂනය තහවුරු කිරීමට ලන්ඩන් ට හැකි විය.

පැට්‍රික් මාටින් කුමන්ත්‍රනය ගැනම සවිස්තර වාර්තාවක් ලබා දුන් අතර, ජනවාරි 6 දා බලය මාරු කිරීම නතරකිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වූ ආකාරය ඉන් පැහැදිලි කලේය. ඩිමොක්‍රටික් පක්ෂයේ තීරනාත්මක සහයෙන් හා, ඡන්දය අවලංගු කර බලය පැවරීම නැවැත්වීමේ උත්සාහයෙහි සැලකිල්ලට ගතයුතු යමක් නැතැයි කියා සිටි ව්‍යාජ වමේ කොටස් ද ඇතුලත් කොටස් විසින් සිදු කරන ලද, කුමන්ත්‍රනය පිලිබඳ තොරතුරු යට ගැසීම පිලිබඳව ජෙකොබ් ක්‍රොස් විසින් සමාලෝචනය කරන ලදී.

සැසි වාරයේ ඊලඟ පියවර වෙන් වුනේ, කොවිඩ්-19 වසංගතය සඳහා ය. ලෝසවෙඅ හි වසංගතය පිලිබඳව ලිපි රාශියක් ප්‍රකාශයට පත් කර ඇති බෙන්ජමින් මැටයුස්, වර්තමාන වසංගතය 1918 ස්පාඤ්ඤ උන වසංගතය සමඟ සංසන්දනය කල අතර, පාලක පන්තියේ මිනීමැරුම් ප්‍රතිපත්ති හේතුවෙන් සිදු වූ ඉමහත් ජීවිත හානි වාර්තා කලේය.

පලමුව ට්‍රම්ප් යටතේ මෙන්ම දැන් බයිඩන් යටතේද වසංගතයේ සෑම අදියරකදීම මනුෂ්‍ය ජීවිතය ලාභ අවශ්‍යතාවන්ට යට කිරීම පාලක පන්තියේ ප්‍රතිචාරය වූයේ කෙසේ දැයි ලෝසවෙඅ ලේඛක ඇන්ඩ්‍රේ ඩේමන්ගේ වාර්තාවෙහි සමාලෝචනය කෙරුනි. වසංගතයේ මූලාරම්භය පිලිබඳ වූහාන් විද්‍යාගාර න්‍යාය පිලිබඳ ඩේමන්ගේ වාර්තාව තුල විමසා බැලින. චීනයට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩ වඩාත් ආක්‍රමනශීලීව පෙරට යන ව්‍යාපාරයට ඉන්ධන සපයමින්, මෙම “න්‍යාය” සමූහ මරන පිලිබඳ පාලක පන්තියේ වගකීමෙන් අවධානය වෙනතකට යොමු කිරීමට භාවිතා කෙරෙන ආකාරය ඔහු පැහැදිලි කලේය.

යුරෝපය, කැනඩාව, තුර්කිය සහ බ්‍රසීලයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛ සාමාජිකයෝ, ලොව පුරා වසංගතයේ බලපෑම පිලිබඳ අතිරේක වාර්තා ගෙන ආ අතර, එක්සත් ජනපදය තුල දේශපාලන වර්ධනයන්, ජාත්‍යන්තර ක්‍රියාවලියක සුවිශේෂී ප්‍රකාශනයක් බව පෙන්නුම් කලහ.

වසංගතය පාලනය කිරීම සඳහා වන ප්‍රතිපත්ති සඳහා සටනේදී, මූලික කාර්යභාරයක් ඉටු කල විද්‍යාඥයින් දෙදෙනෙකු සම්බන්ධ කරගත් සාකච්ඡාවකින්, සැසිය සවස අවසන් විය.

ඊලඟ සැසිය තුල, 2019 දී දියත් කරන ලද නිව් යෝර්ක් ටයිම්ස් හි “1619 ව්‍යාපෘතිය” සමාලෝචනය කරන ලද අතර එය, ඇමරිකානු විප්ලවය හා සිවිල් යුද්ධය අපකීර්තියට පත් කිරීමටත්, ඇමරිකානු ඉතිහාසය වාර්ගික පද වලින් යලි අර්ථකථනය කිරීමත් අරමුනු කර ගෙන ඇත. ටොම් මැකමන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මැදිහත් වීමකින් තොරව ඇමරිකානු ඉතිහාසයේ ඉතාමත් තීරනාත්මක සිදුවීම් මුසාකරනය ට සවිඥානක, සංවිධිත විරෝධයක් නොතිබෙනු ඇති බව පෙන්නුම් කල වාර්තාවක් ඉදිරිපත් කරමින් සැසියට මැදිහත් වුනේය.

ඩිමොක්‍රටික් පක්ෂයේ අනන්‍යතා දේශපාලනයේ න්‍යායික හා දේශපාලන මූලාරම්භය සමාලෝචනය කල අතිරේක වාර්තා දෙකක් නයිල්ස් නියමුත් සහ ටොම් කාටර් විසින් ඉදිරිපත් කරන ලදී. පශ්චාත් නූතනවාදය හා ආත්මීය විඥානවාදී දාර්ශනික ප්‍රවනතාවයන් මුල් කරගත් මාක්ස් විරෝධී සංකල්පයක් වන “විවේචනාත්මක වාර්ගික න්‍යාය” සවිස්තරාත්මකව පරීක්‍ෂා කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම කාටර්ගේ වාර්තාවට ඇතුලත් විය.

පාසලේ අවසාන දිනයේදී එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරු අරගල ඉහල නැඟීම සහ විශේෂයෙන් මේ වසරේ ජුනි සහ ජූලි මාස වලදී වර්ජිනියාවේ ඩබ්ලින් හි වොල්වෝ ට්‍රක් රථ කම්කරුවන් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය විමර්ශනයට ලක්විය.

අරගලයේ කාලරාමුව, සසප ආධාරයෙන් වොල්වෝ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීම සහ යූඒඩබ්ලිව්ඩබ්ලිව් වෘත්තීය සමිතිය සමාගම් ගැති ගිවිසුමක් පැටවීම සඳහා ගෙනගිය කුමන්ත්‍රනයට එරෙහි වීමට කම්කරුවන් ගත් උත්සාහය විස්තරාත්මකව සමාලෝචනය කල මාකස් ඩේගේ වාර්තාව කෙරෙහි දැඩි උනන්දුවක් ඇති විය. වර්ජිනියා වොල්වෝ වර්ජනය මධ්‍යයේ, තමන්ගේම හදිසි වර්ජන ක්‍රියාවක් සංවිධානය කල බෙල්ජියමේ වොල්වෝ මෝටර් රථ කම්කරුවන් ද ඇතුලු ලොව පුරා කම්කරුවන්ගෙන් ලැබුනු සහයෝගය තුලින්, වොල්වෝ සේවකයින්ට සිදු වූ දැවැන්ත බලපෑම ද ඔහු සමාලෝචනය කලේය.

ලෝසවෙඅ කම්කරු අරගල කර්තෘ ජෙරී වයිට් වාර්තාවක් ඉදිරිපත් කරමින්, වෘත්තීය සමිති පිලිබඳ දීර්ඝ ඓතිහාසික අත්දැකීමක් සහිත සන්දර්භයක ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා පක්ෂය ගත් මූලිකත්වය පැහැදිලි කලේය. රේගන් පරිපාලනය විසින් වෘත්තීය සමිතිවල තීරනාත්මක සහය ද සහිතව බිඳ දමන ලද 1981 දී පැට්කෝ ගුවන් ගමන් පාලකයන්ගේ වර්ජනය ද ඇතුලුව 1970 සහ 1980 දශක වල පැවති ප්‍රමුඛ පන්ති සටන් වලදී, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉටු කල කේන්ද්‍රීය කාර්යභාරය එම වාර්තාවෙන් පෙන්නුම් කෙරුනි.

පාසල අවසන් කරමින් නෝර්ත් අවධාරනය කලේ, පසුගිය වසර දෙකේ වර්ධනයන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ භාවිතාවෙන් බැහැරව තේරුම් ගත නොහැකි බවයි. තත්වය වර්ධනය වන්නේ ෆැසිස්ට්වාදය, ඒකාධිපතිවාදය, යුද්ධය සහ දිනෙන් දින වර්ධනය වන අසමානතාවය සහ සූරාකෑම දෙසටද නැතහොත් සමාජවාදය දෙසට යන්න තීරනාත්මක ලෙස රඳා පවතින්නේ, පක්ෂය කරන්නේ කුමක් ද යන්න මත බව නෝර්ත් පැහැදිලි කලේය:

අප වෙත අසමසම අවස්ථාවන් සම්පාදනය කරමින් වෛෂයික කොන්දේසි වෙනස් වන බව අපට ඉතා පැහැදිලිව දැක ගත හැකිය. සියල්ල රඳා පවත්නේ, අප මෙම අවස්ථා ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න මතය. පසුගිය වසර දෙක තුල පවා, අපගේ සාර්ථකත්වය ඉක්මන් දේශපාලන ප්‍රතිචාරය මත රඳා පැවතුනු අවස්ථා බොහොමයක් තිබේ. ඇත්ත වශයෙන්ම මෙම අවස්ථා අප හඳුනාගත්තේ, ගැඹුරු ඓතිහාසික අවබෝධයක් මත පදනම් වය. එහෙත් වෛෂයික තත්වය තුල ඇති විභවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා නම් පක්ෂය ක්‍රියාත්මක විය යුතු අතර, එය තීරනාත්මක ලෙස ක්‍රියාත්මක විය යුතුය .

පාසල සමස්තයක් වශයෙන් මෙම සංකල්පය තුලින් සජීවීකරනය විය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසයේ සන්දර්භය තුල ගත වූ වසර දෙකක කාලය නැවත සලකා බැලීමේදී, පක්ෂය දැනටමත් මතුවෙමින් පවතින දැවැන්ත විප්ලවවාදී අරගලවල නායකත්වය ගැනීමට සූදානම් වෙමින් සිටී.

ඉදිරි දින සහ සති කිහිපය තුලදී පාසලට ඉදිරිපත්වූ සියලුම ප්‍රධාන වාර්තා ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල ප්‍රකාශයට පත් කෙරේ. මෙම ලේඛන අධ්‍යයනය කරමින්, පසුගිය අවුරුදු දෙකේ අත්දැකීම් හොඳින් විමසා බලන ලෙස අපි පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading