කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිටාර ගලද්දී සෞඛ්‍ය සේවකයන් මුහුනදෙන රුදුරු කොන්දේසි ගැන වෛද්‍යවරයෙකුගෙන් ලිපියක්

මා මෙය ලියන්නේ, සෞඛ්‍ය සේවකයන් ඛේදනීය තත්ත්වයකට ඇද දමමින්, කොරෝනා වසංගතය ලැව් ගින්නක් මෙන් දිවයින පුරා පැතිර යන තත්වයකදීය. රෝහල් වල උපරිම ධාරිතාව ඉක්මවා යමින් රෝගීහු අගුපිල් වල ද වැතිර සිටිති. රෝහල් තුල මල සිරුරු ගොඩ ගැසෙමින් පවතී. ආදාහනාගාර පැය 24 තුලම ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇත. මා මෙන්ම, මගේ වෛද්‍ය සගයෝ සහ අනෙකුත් කාර්ය මන්ඩල සේවකයෝ දිවා රෑ නොබලා සහ දැඩි වෙහෙස නොතකා මිනිස් ජීවිත මරනයෙන් ගලවා ගැනීමට කල හැකි හැම දෙයක්ම කරමින් සිටිති.

රාගම රෝහලෙන් වාර්තාවන දර්ශනයක්

අපි සියලු දෙනාම දැඩි ආතතියකට මෙන්ම රෝගයට ගොදුරුවීමේ ඉමහත් අවදානමකට මුහුන දී සිටින්නෙමු. රෝගීන් සමග නිරන්තරව ගැටෙන අප තුලින් පවුල්වල සාමාජිකයන්, විශේෂයෙන්ම ආදරනීය දරුවන්, වෛරසයට ගොදුරුවීමේ ඉහලම අන්තරායක් පවතින බැවින් නිවෙස් වලින් අප පිටවන්නේ සහ නැවත නිවෙස් කරා පැමිනෙන්නේ දැඩි අවිනිශ්චිතභාවයකින් සහ අසීමිත වේදනාවකිනි.

මේ වන විට ලංකාව පුරා රෝහල්වල හෙද හෙදියන් පමනක් දහසකට අධික සංඛ්‍යාවක් කොවිඩ් වසංගතයට ගොදුරු වී ඇත. ඔවුන් සියල්ලම පාහේ එන්නත් දෙකම ලබාගත් අයවේ. කාර්ය මන්ඩලය මෙසේ රෝගයට ගොදුරු වූ හොත් දින කීපයකින් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටී, අප ද රෝගීන් ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටෙනු වැලැක්විය නොහැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස මරන සංඛ්‍යාව ද වේගයෙන් ඉහල යනු ඇත.

අපේ සේවා සගයන් වන ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍ය පද්ම ශාන්ත, වතුපිටිවල රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩලයේ අජිත් වීරසිංහ, බොරැල්ල පෞද්ගලික සායනයක සේවය කල දන්ත වෛද්‍යවරයකු වන නාලක මැදගම කොරෝනා රෝගයෙන් මරනයට පත්ව ඇති බව මා මෙය ලියද්දී දැනගන්නට ලැබුනි. ඔවුනගේ පවුල්වල අයට මගේ බලගතු ශෝකය ප්‍රකාශ කරන අතරම, ජීවත්ව සිටින සෞඛ්‍ය සේවකයන් වන අප මුහුන දී සිටින අන්තරායේ පරිමාව එම මරන මගින් ඉස්මතුවී ඇතිබව පෙන්වා දීමට කැමැත්තෙමි.

වසංගතය ආරම්භ වී වසර දෙකකට ආසන්න වෙමින් පවතී. සෞඛ්‍ය විශේෂඥයින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තිය ගැන කීප විටක්ම අනතුරු අඟවමින් වහා ගතයුතු පියවර ගැන අවධාරනය කල ද, ලොව පුරා පාලකයින් මෙන්ම ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව ද එම අනතුරු ඇඟවීම් සහ අවධාරනයන් තුට්ටුවකට මායිම් කලේ නැත. ජනාධිපති රාජපක්ෂ හැමවිටම කතා කලේ “රටේ ආර්ථිකය” අඩපන වී ඇති නිසා ආර්ථිකය බාධාවකින් තොරව ක්‍රියාත්මක විය යුතු බවයි.

වතු ප්‍රදේශවල එන්නත්කරන මධ්‍යස්ථානවලින් පිටත රැඳී සිටින දිගු පෝලිම් (ස්තුතිය: ෆේස්බුක්)

ලෝසෞස කොලඹ කාර්යාලය සංවිධානයෙහි අගෝස්තු 10 දා පැවැත්වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සාකච්ඡාවෙන් පසු නිකුත් කල වාර්තාව පවසන පරිදි “අපේ හදිසි සහ ප්‍රමුඛ පිලිවෙත විය යුත්තේ ජීවිත රැක ගැනීම” යි. ඒ සඳහා “මේ දැන් ක්‍රියාත්මක විය යුතු” බවට ඔවුන් කරන නිර්දේශය වෛද්‍යවරයෙකු ලෙසත් පුරවැසියෙකු ලෙසත් මම සපුරා අනුමත කරන්නෙමි.

මිනිසුන් දහස් ගනනින් මරනයට ඇද දමමින් ආරක්ෂා කරන “ආර්ථිකය” කුමක්ද? ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නිතිපතා පාඨකයෙකු වන මම, ඉන් ලබාගත් දැනුම මත, රාජපක්ෂ ඇතුලු ලොවපුරා පාලකයන් මිනිස් ජීවිත බිල්ලට දී ආරක්ෂා කරන්නේ ධනපතියන්ගේ ලාභපොදි බව අවබෝධ කරගෙන සිටින්නෙමි.

වසංගතය ආරම්භ වී වසර දෙකකට ආසන්න වන තුරුත් රාජපක්ෂ ආන්ඩුව වසංගතයට මුහුනදීම සඳහා අවශ්‍ය සම්පත්වල වැඩිකිරීමක් සිදු කලේ නැත. අවම වශයෙන් අප කාර්ය මන්ඩලයන්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂන උපකරන පවා ප්‍රමානාත්මකව සැපයීම ආන්ඩුව නොතකා හලේය. ඒ වෙනුවට කරමින් සිටියේ සෞඛ්‍ය කාර්යය මන්ඩලවලට ලබාදුන් සොච්චම් දීමනා ද කප්පාදු කර දැමීමයි.

ආන්ඩුව හැකි තරම් පමාකොට සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබාදීමෙන් පසු, එය දඩමීමා කර ගනිමින් රෝගය වැලැඳුනු සහ රෝගයට නිරාවරනය වූ සෞඛ්‍ය සේවකයන් බලහත්කාරයෙන් වැඩට කැඳවමින් සිටී. රෝගය වැලැඳුනු මහනුවර රෝහලේ හෙදියකට සහ රෝගයට නිරාවරනය වූ නාවලපිටිය රෝහලේ හෙදියකට එම රෝහල් පරිපාලනයන් දන්වා ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති නිසා රෝග ලක්ෂන නොමැති බැවින් වැඩට පැමිනෙන ලෙසයි.

නමුත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් සේවයට පැමිනීමේ ආරක්ෂාව ලැබී ඇතැයි යන්න අමූලික බොරුවක් මෙන්ම අවිද්‍යාත්මක ය. මේ වන විට ජනගහනයෙන් සියයට 50 කට පමන පූර්න එන්නත් ලබා දී ඇති ඇමරිකාවේ, එලෙස එන්නත් ලද අයගෙන් රෝග ලක්ෂන පෙන්නුම් කරන රෝගීන් 35000 ක් පමන සතියකට වාර්තා වෙයි. ඊට අමතරව, එන්නත ලද පුද්ගලයන්ගේ උගුර සහ මුඛය තුල වෛරසය පවතින බව සොයාගෙන ඇති අතර එමගින් අන් අයට රෝගය පැතිරීමේ ප්‍රවනතාවය එන්නත් නොකල අයෙකුට සමාන බව සොයාගෙන ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

එන්නත ලබා ගත්තද සෞඛ්‍ය සේවකයින් රෝගයට නිරාවරනය වී ඇත්නම් හෝ රෝගය වැලඳී ඇත්නම් ඔවුන් සේවයට කැඳවීම අන් සහෝදර සේවකයින්ට සහ රෝගීන්ට අනතුරුදායක වෙයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සහ හෙදියන් ඇතුළු කාර්ය මන්ඩලයේ 93 දෙනෙකු ආසාදනය වී ඇති බවට අගෝස්තු 6 වෙනි දින මාධ්‍ය වාර්තා පල විය. මෙයට ප්‍රධාන හේතුව රෝහල්වල අධික තදබදය, ආරක්ෂිත උපකරනවල හිඟය, අනාරක්ෂිත ප්‍රවාහන තත්වය සහ විඩාබර වැඩමුර යන සියල්ලයි.

කරාපිටිය, කළුබෝවිල සහ මහනුවර යන රෝහල්වල කොරෝනා රෝගීන් සඳහා ඇති ඇඳන් සංඛ්‍යාවන් පිලිවෙලින් 129,160 සහ 54 වන නමුත්, අගෝස්තු 05 දා වනවිට ඒවායේ ප්‍රතිකාර ලැබූ රෝගීන් ගනන අනුපිලිවෙලින් 220, 256 සහ 156 විය.

මෙම සියලු රෝගීන් සඳහා සත්කාර කිරීමට සිදු වන්නේ දැනට සිටින සීමිත රෝහල් කාර්ය මන්ඩලයටමයි. මෙවැනි බරපතල තත්වයකදී පවා, වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාව ඉහල දැමීමට ආන්ඩුව කිසිම අයුරකින් පියවර ගෙන නොමැත. රෝගීන් වැඩි වීමෙන් සහ කාර්යමන්ඩල සාමාජිකයන් රෝගයට ගොදුරුවීමෙන් උසුලාගත නොහැකි බරක් සෞඛ්‍ය සේවකයින් මත පැටවී ඇති අතර මෙම තත්වය වඩාත් උග්‍ර වෙමින් පවතී.

සෞඛ්‍ය සේවකයින් සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් වල පවත්නා දැඩි හිඟය හේතුවෙන්, ප්‍රමිතිගත N95 මුහුනු ආවරන වෙනුවට ප්‍රමිතියෙන් තොර KN95 මුහුනු ආවරන තම මුදලින් මිලදී භාවිතා කිරීමට කොරෝනා වාට්ටුවල වැඩ කරන අප සේවා සගයන්ට සිදුව ඇත.

තම රෝහල් රාජකාරි වලට අමතරව, අතරමැදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ද සේවය කිරීමට කාර්ය මන්ඩල වලට බලකෙරී තිබේ. මේ අනුව පේරාදෙනිය රෝහලේ සෞඛ්‍ය සේවකයන්ට, පැනිදෙනිය වැනි අතරමැදි කොරෝනා මධ්‍යස්ථානවල ද සේවය කිරීමට සිදුව ඇතිබව එම රෝහලේ සේවයේ නියුතු මගේ වෛද්‍ය මිතුරෙකු පැවසුවේ ය. මහනුවර රෝහලේ සෞඛ්‍ය කම්කරුවන්ට කටුගස්තොට, පොල්ගොල්ල සහ භික්ෂූන් සඳහා වන ඩෙවෝන් අතරමැදි කොරෝනා මධ්‍යස්ථානවල සේවය කිරීමට සිදුවී ඇත්තේ කිසිදු අමතර හෝ ප්‍රවාහන දීමනාවක් නොමැතිවයි.

කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කෙරුනු රෝහල්වල සියලු පහසුකම් ඇති බව බලධාරීන් පැවසුවද එය සම්පූර්න මුසාවකි. ඉහල යන රෝගීන් සංඛ්‍යාවට සරිලන පරිදි ඔක්සිජන් සැපයීමට අවශ්‍ය පහසුකම්වල දැඩි හිඟයකට මුහුන දී සිටින මෙම රෝහල්වල අධ්‍යක්ෂකවරුන් මහජනතාවගෙන් විවෘතවම ආධාර ඉල්ලා යොමු කරන ලද ලිපි සමාජ මාධ්‍ය ජාලා තුල සංසරනය වෙමින් පවතී.

රෝග ලක්ෂන නොපෙන්වන සහ සුළු රෝග ලක්ෂන ඇති ආසාදිතයින් නිවෙස් වල තැබීමට ගන්නා ලද තීරනය හේතුවෙන්, නිසැකවම ගෘහස්ථ මරන සංඛ්‍යාව ඉහල නගිනු ඇත. මහනුවර කෝවිඩ් වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයෙකු පසුගිය දින පැවසුවේ, රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා උපකරන අත්‍යාවශ්‍ය බවත්, කොරෝනා රෝගීන් හට, ශ්වසන අපහසුවක් නොදැනුනද, රුධිරයෙහි ඔක්සිජන් මට්ටම අඩුවිය හැකි බවයි. එහෙත් ගෘහස්ථ රෝගීන්ගේ ඔක්සිජන් මට්ටම මැන බැලීමේ වැඩපිලිවෙලක් හෝ ආන්ඩුව විසින් යොදා නැත. ඉහත වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේ ඔහුගේ අත්දැකීමට අනුව රුධිරයේ ඔක්සිජන් අඩු වන මුල්ම අවස්ථාවේ ප්‍රතිකාර නොකලහොත් තත්ත්වය බරපතල විය හැකි බවයි.

සෞඛ්‍ය හා සමාජ පර්යේෂන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල කල සමීක්ෂනයකට අනුව, ආසාදිත සංකීර්න සංකූලතා වලට ගොදුරු විය හැකි අය අනිවාර්යෙන්ම රෝහලකට හෝ අතරමැදි මධ්‍යස්ථානයකට ඇතුලත් කල යුතු බව විශේෂඥයින්ගේ ඒකමතික අදහසයි. කෙතරම් අභියෝගාත්මක වුවද රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල රැක බලා ගත යුතු බව සමීක්ෂනයේ නිගමනය ලෙස ඉදිරිපත් කෙරී ඇත.

රෝගීන් සංඛ්‍යාව ඉහල යාම, අවශ්‍ය පරිදි රෝහල් ධාරිතාව ඉහල නොදැමීම, රෝගීන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට නිසි පහසුකම් නොසැපයීම ‌හරහා මෙම ව්‍යසනය නිර්මානය කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව මූලික වශයෙන් වගකිව යුතුය.

අහඹු පීසීආර් පරීක්ෂන සංඛ්‍යාවේ දෛනික අගය දැවැන්තව ඉහල දමමින් රෝග ව්‍යාප්තිය සංයුක්තව අධ්‍යනය කිරීමේ, ඒ පිලිබඳ සැබෑ අවබෝධයක් මහජනතාවට ලබාදීමේ සහ ඒ අනුව නිසි කලට නිසි පියවර ගැනීමේ අත්‍යවශ්‍යභාවය ‌විශේෂඥයන් නිරන්තරව පෙන්වා දුන්නද ආන්ඩුව එය මුලුමනින්ම නොතකා හලේය. අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා විවෘතව තබා ගනිමින් සිය ගනන් කම්කරුවන් සහ ඔවුනගේ ආශ්‍රිතයන් ආසාදිතයන් බවට පත් කිරීමට ආන්ඩුව කටයුතු කලේය.

දශක දෙකකට අධික කාලයක් රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල මා, පැවති සෑම ආන්ඩුවක් විසින්ම සෞඛ්‍ය සේවයේ කල කප්පාදුවල ප්‍රතිඵල සමීපව අත්දැක ඇත්තෙමි. විශේෂයෙන්ම, වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මන්ඩලය ජනගහනයට සරිලන පරිදි සංඛ්‍යාත්මකව වැඩි කිරීම මෙම සියලු ආන්ඩු අත් හලහ. මෙම ආන්ඩු ගෙනගිය රුදුරු ආර්ථික පිලිවෙත් හේතුවෙන් අප ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ වැටුපේ මූර්ත වටිනාකම් නිරන්තරව පහත වැටුනි. ඊට අමතරව දීමනාද කපා දැමුනි.

මේ සියල්ලේ ප්‍රතිඵලය වී ඇත්තේ ඉසිලිය නොහැකි වැඩ සම්භාරයක් සහ දැවැන්ත ජීවන බරක් ඉසිලීමට සෞඛ්‍ය සේවකයන්ට සිදුවීමයි. වසංගතය මගින් මෙම තත්වය තවදුරටත් ඉසිලිය නොහැකි මට්ටමකට වර්ධනය කෙරී ඇත. මෙම දැඩි පීඩනය අප ක්ෂේත්‍රයේ නිරන්තරව මතුවන අරගල ලෙස පුපුරා යමින් පවතී.

වෛද්‍යවරුන්, හෙද සේවකයන් සහ අනෙකුත් කාර්ය මන්ඩල සමාජිකයන් සියලු දෙනාට අවශ්‍ය වන්නේ ශීලාචාර ලෙස ජීවත්විය හැකි වැටුපක් සහ වැඩ බර ලිහිල් කෙරුනු ආතතියෙන් තොර රුකියා කොන්දේසි තහවුරු කර ගැනීමයි. එහෙත් අප සියලු දෙනා ඒකාබද්ධ අරගලයකට යොමුවීම වලකාලන බාධකය ලෙස මූලික වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ වෘත්තීය සමිති බව වඩවඩාත් පැහැදිලි වෙම්න් පවතී. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙම ශ්‍රේනිභේදවාදී වැඩකටයුතුවල ප්‍රමුඛම කාර්ය භාරයක් ඉටු කරන අතර අනෙකුත් සමිති ඊට දෙවැනි නොවේ.

පහල සාමාජිකත්වයෙන් එල්ල වූ පීඩනය හමුවේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති එකමුතුව විසින්, අගෝස්තු 05 දා කැඳවූ වර්ජනයට දිවයින පුරා 30,000 කට අධික සෞඛ්‍ය සේවකයින් සහභාගි වූ අතර, ඊට පෙර ජුලි 11 වැනිදා පැවැත්වූ වර්ජනයට 50,000 කට අධික සංඛ්‍යාවක් එකතු වූහ. හෙද-හෙදියන් සහ අනෙකුත් කාර්ය මන්ඩල සේවකයන් මෙම වර්ජන දෙකටම සහභාගි වී සිටියේ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකට පවත්නා සූදානම ප්‍රකාශයට පත් කරමිනි.

අගෝස්තු 05 වර්ජනය කැඳවූයේ, මෙතෙක් සෞඛ්‍ය සේවකයන්ට හිමි ව තිබූ විශේෂ නිවාඩු, ගර්භනී සෞඛ්‍ය සේවිකාවන් සඳහා වූ ආරක්ෂිත වැඩ මුර සහ රුපියල් 7,500 ක අවදානම් දීමනාව දිගටම ලබා දෙනු! යන ඉල්ලීම් මතයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුවගේ එක්සත් හෙද සංගමය මෙම ඒකාබද්ධ අරගලයට හොරිකඩකම් කරන ලදී.

සෞඛ්‍ය සේවකයන්ගේ අරගලය සමග අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ද එක්විය හැකි බවට ගනන් බැලූ ආන්ඩුව පලමු ඉල්ලීම් දෙක ලබාදෙන බවට දුන් පොරොන්දුවක් මත, එදින උදේ ආරම්භ කරන ලද වර්ජනය පෙරවරු 10.30 ට පමන අතහැර දැමීමට වෘත්තීය සමිති ක්‍රියා කලහ. දැවෙන ඉල්ලීමක් වූ අවදානම් දීමනාව සමිති විසින් අත්හැර දැමින.

වැඩි වැටුප් ඉල්ලා ගුරුවරුන් ගෙනයන අරගලය ද, ආන්ඩුවේ ඊනියා කැබිනට් අනු කමිටුවේ ව්‍යාජ පොරොන්දුවකට යටත්කොට පාවා දීමට ගුරු වෘත්තීය සමිති ක්‍රියා කරමින් සිටින්නේ මෙම තතු තුලයි. වෘත්තීය සමිති විසින් ඉෂ්ඨ කරන මෙම ද්‍රෝහී භූමිකාව ලංකාවේ පමනක් නොව ජාත්‍යන්තරව සිදුවන්නක් බවටත්, කම්කරුවන් මෙම සමිති වලින් බිඳී තම අවශ්‍යතා වෙනුවෙන් අව්‍යාජව සටන් වදින කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට පෙරට ආයුතු බවටත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරන පැහැදිලි කිරීමට මම මුලුමනින්ම එකඟ වෙමි.

වසංගත ව්‍යසනය ජය ගැනීමටත්, අනෙකුත් දැවෙන අවශ්‍යතා සපුරා ගැනීමටත්, වර්ග භේද, ක්ෂේත්‍ර භේද සහ ශ්‍රේනි භේද වලට එරෙහිව සියලුම කම්කරුවන් මෙම ක්‍රියාකාරී කමිටු වලට එක්ව, ඒ වටා අනෙකුත් දුගීන් රැලිකර ගනිමින් ආන්ඩුවේ මිනිමරු පිලිවෙත් වලට විරුද්ධව ඒකාග්‍ර සටනක් දියත් කලයුතු යැයි මම තරයේ විශ්වාස කරමි.

Loading