ඉතිහාසයේ මෙම සතිය: අගෝස්තු 9- 15

[‍මෙය 2021 අගෝස්තු 08 වැනි දින This week in history: August 9-15 යන මැයෙන් පල වූ ලිපියේ 100 years ago: Soviets release American prisoners in exchange for aid යන කොටසේ පරිවර්තනයයි.]

වසර 100 කට පෙර: ආධාර හුවමාරු වැඩසටහනක් සඳහා සෝවියට් රුසියාව ඇමරිකානු සිරකරුවන් නිදහස් කරයි

සෝවියට් නියෝජිත මැක්සිම් ලිට්විනොව්

1921 අගෝස්තු 10 වන දින සෝවියට් සමූහාන්ඩුව විසින් ඇමරිකානු සිරකරුවන් හය දෙනෙකු එස්ටෝනියාවේ රිවෙල් (Revel, Estonia - 13 වන සියවසේ සිට 20 වන සියවසේ මැද භාගය වන තුරු එස්ටෝනියාවේ අග නුවර හැඳින්වුයේ රිවෙල් යනුවෙනි. වර්තමානයේ දී එය ටැලින් (Tallinn) නමින් හැඳින්වේ.) වෙත මුදා හැරිනි. එම සිරකරුවන් සෝවියට් රජයට එරෙහිව විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සිවිල් වැසියන්ගේ සහ ඇමරිකානු මිලිටරි සාමාජිකයන්ගේ මිශ්‍රනයකි. ඔවුන් අතර මරන දන්ඩනයට නියම වූ අයෙකු සහ ව්ලැඩිවොස්ටොක් ප්‍රදේශයේ දී අල්ලා ගත් ඇමරිකානු හමුදාවේ සාමාන්‍ය සෙබලෙක් ද විය.

එදිනම, ලැට්වියාවේ රිගා හි දී ඇමරිකානු සහන පරිපාලන ඒකකයේ (American Relief Administration - ARA) යුරෝපීය අධ්‍යක්ෂකවරයා වූ වෝල්ටර් බ්‍රවුන් (Walter Brown) හමු වූ සෝවියට් රාජ්‍යතාන්ත්‍රික මැක්සිම් ලිට්විනොව් (Maxim Litvinov), සිරකරුවන් නිදහස් කිරීම ගැන සහ සෝවියට් දේශය වෙත ආහාර හා ඖෂධ නැව්ගත කිරීම පිලිබඳව ගනුදෙනු කෙරෙන ආකාරය ගැන සාකච්ඡා කලේ ය.

ඇමරිකානුවන් විසින් ආහාර ටොන් 8,000 ක් ඒ වන විටත් නැව්ගත කොට සූදානම් කර තිබූ නමුත් වොෂිංටනයේ වානිජ ලේකම් හර්බට් හුවර් (Herbert Hoover) එයට එකඟ වන තුරු එය නිකුත් කිරීම අත්හිටුවා තිබිනි. ආධාර හුවමාරුව වෙනුවෙන් සහන ලබා දිය හැකි බවට වූ සෝවියට් රජයේ සහතිකය රැගෙන පැමිනියේ, සෝවියට් රජයේ ඉහලම තලය නියෝජනය කරමින්, විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය කොමසාරිස්වරයා වූ ලිට්විනොව් ය. මෙය ඇමරිකානුවන්ගේ සැලකිල්ලට ලක් විය.

1921-22 සෝවියට් සමූහාන්ඩුවේ මහා සාගතයේ දී මිලියන පහකට අධික ජනතාවක් මිය ගියහ. එය, 1917 බොල්ශෙවික් විප්ලවයෙන් පසු වසර හතරකටත් වැඩි කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඇමරිකානු සහ ජපන් සෘජු මිලිටරි ආධාර සහ අධිරාජ්‍යවාදී අනුග්‍රහය ඇතිව ගෙන ගිය සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් විය. සිවිල් යුද්ධය, ප්‍රතිවිප්ලවවාදී හමුදාවන්ට අධිරාජ්‍යවාදී සහයෝගය, මුදල් හා අවි ආයුධ ලබාගැනීමේ තීරනාත්මක සාධකයක් විය. අනෙක් අතට සිවිල් යුද්ධය ම කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ බෙදා හැරීමේ යටිතල පහසුකම් බොහෝමයක් විනාශ වීමට ද හේතු විය.

සෝවියට් රුසියාව තුල පුර්න ස්වාධිපත්‍යයක් ඇතිව ක්‍රියාත්මක වීමට ARA සංවිධානයට අවශ්‍ය බව හූවර් විසින් අවධාරනය කෙරිනි. රුසියාවට අයත් ඩොලර් මිලියන 18 ක් වටිනා රන් සංචිත ඇමරිකාවට ලබා දීමට ද සිදු විය. ඒ අනුව, ARA සංවිධානය විසින් රුසියාව පුරා මුලුතැන් ගෙවල් 21,000 ක් පිහිට වූ අතර එමගින් ලමයින් මිලියන ගනනකට පෝෂනය ලබා දුනි. සෝවියට් රෝහල් 16,000 ක් වෙත ඇමරිකානු වෛද්‍ය සහන සේවාවන් ද ලඟා විය.

සෝවියට් දේශය විසින් මුදා හරින ලද සිරකරුවෝ ආපසු පැමිනියේ සෝවියට් දේශය තුල දී මුහුන දුන් දුෂ්කරතා පිලිබඳ අතිශයෝක්තියට නැංවූ වාර්තා සමගිනි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත එම අවස්ථාව භාවිතා කරමින් කොමියුනිස්ට් විරෝධී ප්‍රචාරයන් විශාල ප්‍රමානයක් ඇමරිකානු ජනතාව වෙත මුදා හරියේ ය. කෙසේ වුව ද, ඒ වන විට සෝවියට් රජය පෙරලා දැමිය හැකි කිසිදු දේශපාලන හෝ හමුදා බලයක් නොමැති බව එම පුවත් පත පිලිගත්තේය.

Loading