සමාජවාදී සමානතා පක්ෂය වසංගතයට එරෙහිව සටන් වැදීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කිරීමට ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවයි

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), 'වැඩෙන වසංගතය, නැගී එන පන්ති අරගලය සහ සමාජවාදී වැඩපිලිවෙලක අවශ්‍යතාවය' යන මැයෙන් ඔන්ලයින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එය අගෝස්තු 26 වන බ්‍රහස්පතින්දා ප.ව. 7 ට පැවැත්වේ. රැස්වීම සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන අතර පක්ෂයේ ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශය කෙරෙනු ඇත.

කොවිඩ්-19 හි වේගයෙන් සම්ප්‍රේෂනය වන ඩෙල්ටා ප්‍රභේදයේ නව ගෝලීය ආසාදන නැග්ම මධ්‍යයේ, ලොව පුරා නිල වශයෙන් වාර්තා වූ ආසාදන සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ගොස් ඇති අතර මරන මිලියන 4.3 ක් වාර්තා වී තිබේ. ආන්ඩුවේ අව ප්‍රමාන කරන ලද දත්ත වලට අනුව වුවද, ශ්‍රී ලංකාව තුල දිනකට ආසාදන 3,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර මරන 150 කට වඩා වාර්තා වේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ ජන ගහනයට සාපේක්ෂව කොවිඩ්-19 මරන අනුපාතය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ සිව්වන ස්ථානයේ සිටින බවයි. සෞඛ්‍ය සේවකයින් වේගයෙන් ආසාදනය වෙමින් පවතින අතර රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇත.

ජුලි 23 දින කොලඹ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ ඒකාබද්ධ විරෝධතාව (ඡායාරූප: ලෝසවෙඅ මාධ්‍ය)

මෙම භයානක තත්වය තුල පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව වෛද්‍ය විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා ජාතික මට්ටමේ අගුලු දැමීමක් පැනවීම උද්දච්ච ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. මෙතරම් වූ විනාශකාරී මරන සංඛ්‍යා නැවැත්වීම සඳහා ආන්ඩුව වහාම දැඩි සංචරන සීමා පැනවිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞස) විශේෂඥ කන්ඩාම මෑතකදී අනතුරු ඇඟවීය. විශේෂඥයින් පවසන පරිදි, එවැනි පියවර මඟින් 2022 ජනවාරි වන විට සිදු වීමට නියමිත මරන 18,000 ක් පමන වලක්වා ගත හැකිය.

ලොව පුරා සිටින සිය සගයන් මෙන් ම රාජපක්ෂ ආන්ඩුව ද ජනතාවගේ ජීවිතවලට ඉහලින් ලාභ තබමින් ආර්ථිකය මුළුමනින්ම විවෘතව තැබීමට නිර්දය ලෙස කැප වී සිටී. එහි ප්‍රතිඵලයක් වශයෙන් කර්මාන්ත ශාලා, කාර්යාල සහ පොදු ප්‍රවාහන සේවා වෛරසය බෝවීමේ තෝතැනි බවට පත්ව ඇත. දිග හැරෙන සෞඛ්‍ය හා සමාජ අර්බුදය හේතුවෙන් ඇති විය හැකි සමාජ පිපිරීමක් ගැන නොසන්සුන්වූ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන වැනි 'විරුද්ධ පක්ෂ' ජනතාවගෙන් 'ස්වයං සංචරන සීමා පනවාගන්නා ලෙස' ඉල්ලා ඇත.

වසංගතයට එරෙහිව සටන් කිරීමට ආන්ඩුව අසමත් වීම පිලිබඳව මහජන විරෝධය ඉහල යත්ම, අංශ ගනනාවක කම්කරුවන් වැඩ වර්ජන හා විරෝධතා ආරම්භ කර ඇති අතර එය ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයේ කොටසකි. ඒවා අතර, 250,000 කට ආසන්න සංඛ්‍යාවක් ගුරුවරු සිය වැටුප් ඉල්ලීම් මුල් කරගනිමින් මාර්ගගත ඉගැන්වීමෙන් ඉවත් වීමේ වර්ජනය දෙවන මාසයට එලඹ තිබේ.

ආන්ඩුව ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇත්තේ නැගී එන මහජන විරෝධය මැඩපැවැත්වීමට සහ මෙම අර්බුදයේ බර කම්කරුවන් හා ගම්බද දුගීන් මත පැටවීම සඳහා ඒකාධිපති පාලන ක්‍රම සඳහා වූ සිය සූදානම තීව්‍ර කිරීමෙනි. වසංගතය හේතුවෙන් ඇති වන විනාශයට එරෙහිව සටන් කිරීමට සහ ඔවුන්ගේ අරගල ඉදිරියට ගෙන යාමට වැඩ කරන ජනතාවට අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙල ගැන සසප රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත. මෙම රැස්වීමට සහභාගී වන ලෙසත් මෙම අරගලය සඳහා සසප සමඟ එකතු වන ලෙසත් අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා අනෙකුත් ලෝසවෙඅ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

දිනය සහ වේලාව: අගෝස්තු 26, බ්‍රහස්පතින්දා ප.ව. 7 ට

භාෂා: සිංහල සහ දෙමල

රැස්වීමට සහභාගී වීම සඳහා ලියාපදිංචි වීමේ සබැඳිය:
https://us02web.zoom.us/meeting/register/tZUocu6rrDkjE9Z6ICySMPval66o1QJxat4N

Loading