ලංකාවේ කොවිඩ් මරන අනුපාතය ලොව ඉහලම අගයක් ගනිද්දී ජනාධිපති රාජපක්ෂ යලිත් අගුලු දැමීම ප්‍රතික්ෂේප කරයි

ලංකාවේ වසංගත ව්‍යසනය කෙතරම් රුදුරු මට්ටමකට වැඩී ඇත් ද යත්, ජනගහනයට සාපේක්ෂව ගත් කල කොව්ඩ් ආසාදනයෙන් දෛනිකව මියයන සංඛ්‍යාව අනුව ලොව සිවුවන ස්ථානය ගන්නා රට බවට එය පත්ව ඇත. එය මිලියනයට 7.4 ක් ලෙස වාර්තා වෙයි. නිල සංඛ්‍යා ලේඛන වලට අනුව අගෝස්තු 10 සිට 17 දක්වා සතිය තුල ඊට පෙර සතියට සාපේක්ෂව මරන සහ ආසාදනයන් සියයට එකසිය පනහකින් ඉහල ගොස් ඇත. එම සතිය තුල රෝගීන් 25,855 ක් සහ මරන 1,140ක් වාර්තා විය. සෞඛ්‍ය අංශ වලට අනුව ආසාදිතයන්ගෙන් මරනයට පත්වන රේට්ටුව සියයට හතරක මට්ටමට නැග ඇත.

දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,500 ඉක්මවා යන තතු තුල රෝහල් පිරී ගොස් ඇති අතර නිසි ප්‍රතිකාර නොමැතිව රෝගීන්ට මිය යාමට සිදුව ඇත. මෙම අනතුර තවත් ඉහල නංවමින් වසංගතයේ ඉහල පැතිරීමකට තුඩු දී ඇති විනාශකාරී ඩෙල්ටා ප්‍රභේදයේ SA222V, SA701S සහ SA1078S යන විකෘතීන් තුන ලංකාවෙන් හමුවී ඇත.

නිල වාර්තා වලට අනුව අද වන විට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 369,359 කි. දෛනික මරන සංඛ්‍යාව 170 දක්වා ඉහල ගොස් ඇති අතර මුලු මරන ගනන 6,604 කි. ආසාදිතයෝ 46,397 ක් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිති. නිල සංඛ්‍යා ලේඛන වලින් දැක්වෙන චිත්‍රයට වඩා ව්‍යසනය ඉතා දරුනු ය. වෛද්‍ය විශේෂඥයින් කියා සිටින්නේ දෛනිකව හමුවන සංඛ්‍යාවට වඩා ආසාදිතයින් තුන්ගුනයක් පමන සමාජයේ සිටිය හැකි බවයි. දෛනික පරීක්ෂන සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවත්වාගෙන යන බැවින් සැබෑ සංඛ්‍යාව අනාවරනය නොවන බව ඔවුහු පෙන්වා දෙති.

පසුගිය දින කිහිපය තුලම, විවිධ දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශයේ සංඛ්‍යා ලේඛන අතර දැවැන්ත පරස්පරයන් පැවති අතර ආන්ඩුව දැනුවත්ව සැබෑ තත්වය වසන් කරන බවට සෑම සැකයක්ම මතුවේ.

වසංගතයේ වේගවත් පැතිරීමට ඩෙල්ටා සහ ඇල්ෆා නව ප්‍රභේද හේතු වී ඇත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂන වලට අනුව කොලඹ දිස්ත්‍රික්කයෙන් හමුවන ආසාදිත සාම්පල් වලින් සියයට 90කින් ඩෙල්ටා ප්‍රභේදය හමු වී ඇත. මෙම ප්‍රභේදයෙන් ආරක්ෂාව ලබා ගැනීමට එන්නත්වල මාත්‍රා දෙකම අත්‍යාවශ්‍ය වන අතර තවමත් එය ලැබී ඇති පිරිස සියයට විස්සටත් අඩු සංඛ්‍යාවකි.

මෙම තත්වය පෙන්නුම් කරන්නේ වසංගතය පැතිරීම පාලනයට සහ මිනිස් ජීවිත අහිමි වීම වලක්වා ගැනීමට ජාතික පරිමාන අගුලු දැමීම් ඇතුලු දැඩි සෞඛ්‍ය ආරක්ෂන පියවර ගැනීමේ හදිසිභාවය යි. කෙසේ වෙතත්, එම පියවර යලිත් ප්‍රතික්ෂේප කරමින් ඊයේ (18) පැවති කැබිනට් රැස්වීමේදී අගුලු දැමීමක් සිදු නොකරන බවට ජනාධිපති රාජපක්ෂ අවධාරනය කර ඇත. අගුලු දැමීම ප්‍රතික්ෂේප කරමින් ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින්නේ මහජනතාවට වෛරසය වැලඳීමට ඉඩ හරින මිනීමරු සමූහ ප්‍රතිශක්ති පිලිවෙතයි.

වසංගතය සම්බන්ධයෙන් මහජනතාව අතරේ වැඩෙන විරුද්ධත්වය මධ්‍යයේ ආන්ඩුව පලාත් අතර ඊනියා සංචරන සීමාවන් පනවා ඇත. මෙම සීමා වසංගතය පාලනයට කිසිසේත්ම නොසෑහේ. රෝගය පතුරන මධ්‍යස්ථාන බවට පත්වී ඇති ඇඟලුම් කම්හල් ඇතුලු කර්මාන්ත ශාලා විවෘත කර ඇති අතර ඒවාට පලාත් අතර සංචරන සීමා නොතකා සේවකයින් කැඳවීමට පහසුකම් සපයා ඇත. මෙම තත්වය වසංගතයේ පැතිරීම වඩාත් ඉහල නංවනු ඇත.

දැනටමත් මෙම තත්වය ප්‍රකාශයට පත්වෙමින් පවතී. ඊයේ දිනයේදී අම්බලන්තොට ලංගම ඩිපෝවේ 23 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. පාලනාධිකාරය විසින් වෛරසය ආසාදනය වූ නිලධාරීන් පවා නිවාඩු නොදී වැඩට ගෙන්වා ගෙන ඇති බවට කම්කරුවෝ චෝදනා කරති. සෑම වැඩපලකම තත්වය මේ හා සමානය.

එන්නත් මාත්‍රා දෙකම ලබා සිටින සෞඛ්‍ය සේවකයින් පවා විශාල වශයෙන් ආසාදනය වීමෙන් වසංගතයේ ඉමහත් අන්තරාය ප්‍රකාශයට පත්වේ. අධික වැඩ කන්දරාවක සිරවී සිටින සෞඛ්‍ය සේවකයින්ට නිසි සෞඛ්‍ය ආරක්ෂන උපකරන නොමැතිවීම මීට මූලිකම හේතුවයි. වාර්තා වලට අනුව වෛද්‍යවරුන් 209ක්, හෙද හෙදියන් දහසකට වැඩි සංඛ්‍යාවක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 37 දෙනෙක් වසංගතයට ගොදුරු වී ඇත. ඊට මරන හයක් ඇතුලත් ය.

මීට අමතරව ආසාදිතයන් ඉහල යාමත් සමග රෝහල් තුල ඔක්සිජන් හිඟයක් මතුව ඇත. අද මව්බිම පුවත්පත වාර්තා කලේ කොවිඩ් නිව්මෝනියාවට ගොදුරුවන රෝගීන්ට ලබාදෙන එන්නත් හිඟයක් මතුව ඇති බවයි. ඊට අමතරව ප්‍රතිජීවක ඇතුලු ඖෂධ වර්ග හතලිහක හිඟයක් පවතින බව එය වාර්තා කලේය.

වැඩෙන අන්තරාය හමුවේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අගුලු දැමීමක් සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් දිගින් දිගටම අවධාරනය කරමින් සිටිති. මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයද දැඩි සීමා ඉල්ලා සිටිමින් වාර්තාවක් නිකුත් කලේය.

බෝවන රෝග විද්‍යා ආයතනයේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳුදා දෙරන රූපවාහිනියේ වැඩ සටහනකට සම්බන්ධවෙමින්, “රෝගී සංඛ්‍යාව අඩු කරගන්න ඉතාමත්ම ඉක්මනින් ඉතාමත්ම දැඩි පියවර ගත යුතු වෙනවා. ඒකට පරක්කුද කියලත් හිතෙනවා” යනුවෙන් සඳහන් කලේය.

පසුගිය 16 වනදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, “ලංකාව අධි අවදානම් තත්වයක ඉන්නෙ” යනුවෙන් අනතුරු ඇඟවූයේය. සෞඛ්‍ය ආරක්ෂන පියවර වලට එරෙහිව එන්නත්කරනය ප්‍රවර්ධනය කිරීමේ ආන්ඩුවේ අවිද්‍යාත්මක වැඩපිලිවෙල විවේචනය කල ඔහු “මේ රැල්ල නවත්තන්නට එන්නත්කරනයට බැහැ” යැයි ප්‍රකාශ කලේය

වෛරසය පැතිරීම පාලනය කිරීමේ අවශ්‍යතාවය මතු කරමින් ප්‍රනාන්දු සඳහන් කලේ ඩෙල්ටා ප්‍රභේදය බොහෝ දෙනෙක් අතර පැතිරුනොත් එය “ප්‍රතිශක්තිය” නොව විනාශකාරී “නව ප්‍රභේද” ඇති කල හැකි බවයි. ඔහු ඒ සඳහා අගුලු දැමීමක අවශ්‍යතාවය අවධාරනය කලේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුනරත්න එම සාකච්ඡාවේදීම සඳහන් කලේ එකම විකල්පය “රටක් විදියට තද සංචරන සීමා” පැනවීම බවයි. ඊට අත්‍යවශ්‍ය සේවා සහ එන්නත්කරන කටයුතු පමනක් ක්‍රියාත්මක වන ආකාරයට දවස් කීපයක “ඇඳිරි නීතිය පැනවීම සහ පසුව රට අගුලු දැමීම” වැනි තත්වයක් අඩංගු විය යුතු බව ඇය අවධාරනය කලාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය අවධාරනය කල ආකාරයට මෙම පියවර පැනවීම කලහොත් ජීවිත 18,000 ක් ආරක්ෂා කල හැකි බව ඇය සඳහන් කලාය. සාකච්ඡාවක් ඉල්ලා සිය සංගමය ජනාධිපතිට යොමු කල ලිපියට ප්‍රතිචාර නොදැක්වීම පිලිබඳව කනගාටු වේදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඇය සඳහන් කලේ තමා කනගාටු වන්නේ “රෝගීන් මියයාම” පිලිබඳව බවයි.

විශේෂඥයන්ගේ නිර්දේශයන්ට විරුද්ධත්වය පල කරමින් පසුගිය අඟහරුවාදා සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කලේ රාත්‍රී කාලයේ ඇඳිරි නීති පැනවීම “කරන්න පුලුවන් උපරිම දෙය” බවයි. “අපි යම් අවස්ථාවල රටවල් වැහුවා. වහලා ආයෙ විවෘත කරන කොට ආයෙත් ඒ තත්වයම තියෙනවා” යැයි ඔහු පැවසීය.

අගුලු දැමීමකින් තත්වය වෙනස් නොවන බවට රඹුක්වැල්ල කරන ප්‍රකාශය ව්‍යාජයකි. ලෝකය පුරාම ධනපති ආන්ඩු අත්‍යාවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවා ජාතික පරිමානව වසා දමන සැබෑ අගුලු දැමීමකට විරුද්ධය. එවන් සැබෑ අගුලු දැමීමකින් වසංගතයේ පැතිරීම සීමා කෙරෙන අතර එහි ප්‍රතිඵල ලබා ගැනීමට රෝහල් පහසුකම් වැඩි දියුනු කිරීම, පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව ඉහල නැංවීම වැනි පියවරයන් ක්‍රියාවට දැමිය යුතුය. ධනපති ආන්ඩුවලට එවන් පිලිවෙතක් ක්‍රියාවට දැමිය නොහැකි අතර ඔවුන්ගේ ව්‍යාජ අගුලු දැමීම් වලින් ප්‍රතිපල හිමි නොවූයේ එබැවිනි.

“මේකට තියෙන පලවෙනි දේ තමා එන්නත, දෙවනි එක තමා කොවිඩ් නීතිරීති අනුව ජීවත් වෙන එක” යැයි ඔහු වැඩිදුරටත් කීවේය. වෛද්‍ය විශේෂඥයන් අවධාරනය කරන පරිදි ජීවිත ආරක්ෂා කිරීමට “දැඩි සංචරන සීමා” පැනවීම අත්‍යවශ්‍ය වුවද එය ධනපති ආන්ඩුවේ පිලිවෙත් සමග නොපෑහේ. මන්දයත්, එය මහ ධනපතියන්ගේ ලාභ වලට වල කපන බැවිනි.

ආන්ඩුවේ පියවර වලට එරෙහිව ජනතාව විසින් තිහකට වැඩි සංඛ්‍යාවක් නගර වසා දමමින් ඉදිරියට පැමින ඇත. මෙම වැඩෙන විරුද්ධත්වය හමුවේ භීතියට පත්ව සිටින ධනපති පක්ෂ, රට වසා දමන ලෙස ඉල්ලා කන්නලව් කරමින් සිටී. ආන්ඩුවේ පක්ෂ සංවිධාන දහයක්, මෙම විරුද්ධත්වය අපගමනය කිරීමේ අරමුනෙන්, රට අගුලු දමන ලෙස ඉල්ලා ජනාධිපතිට ලිපියක් යැවීය. “ස්වයං අගුලු දැමීමක්” යෝජනා කරමින් සිටින ජනතා විමුක්ති පෙරමුනේ විජිත හේරත් පෙරේදා “මුලු රටම ජාතික න්‍යාය පත්‍රයකට වැඩ කරන තත්වයට” ගෙනෙන ලෙස පාර්ලිමේන්තුවේදී ආයාචනා කලේය.

ආන්ඩුවේ ඊනියා කොවිඩ් මර්දන වැඩ පිලිවෙලට සහය දෙමින් සිටි මේ සියලු කන්ඩායම් ඉදිරියට පැමින ඇත්තේ වසංගතය සම්බන්ධයෙන් කම්කරු පන්තියේ ස්වාධීන ප්‍රතිචාරයක් වර්ධනය වීම වැලැක්වීමටය. මහජනතාවට ධනපති ක්‍රමය යටතේ ඇත්තේ විකල්පයන් දෙකකි; එනම් රැකියාවට නොගොස් කුසගින්නේ මියයාම හෝ රැකියාවට ගොස් වෛරසය වැලඳී මිය යාම ය.

කම්කරු පන්තිය මෙම විකල්පයන් ප්‍රතික්ෂේප කල යුතුය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ආරම්භයේ සිට අවධාරනය කල පරිදි, කම්කරුවන් විසින්, ජාතික පරිමාන අගුලු දැමීමක් සහ අත්‍යවශ්‍ය නො වන කම්හල්වල සියලු සේවකයන්ට සම්පූර්න වැටුප් සමගින් එම නිෂ්පාදන නැවැත්වීමක් ඉල්ලා සිටිය යුතු ය. සියලු සෞඛ්‍ය සේවකයන්ට පහසුකම් සැපයීම, රෝහල් වැඩි දියුනු කිරීම, පීසීආර් පරීක්ෂන ඉහල නැංවීම ඒ හා බැඳුනු පියවරයන් ය.

කම්කරු පන්තියේ ජීවිත ආරක්ෂා කර ගත හැක්කේ එවන් පිලිවෙතක් ක්‍රියාවට දැමීමෙනි. අගෝස්තු 18 දා සසප නිකුත් කල ප්‍රකාශයේ සඳහන් කෙරුනු පරිදි “වසංගතය දූරීභූත කිරීම සඳහා වන සටනේ දී අවශ්‍ය වන විද්‍යාත්මක ඥානය හා සම්පත් බලමුලු ගැන්වීම සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සම්බන්ධීකෘත ප්‍රයත්නය අවශ්‍ය වෙයි. සෑම රටක් තුල ම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින්, කම්කරුවන්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානයක් තනන ලෙස හජාජාක කැඳවුම් කර ඇත්තේ ඒ නිසා ය. සසප ලංකාව හා දකුනු ආසියාව තුල මෙම ක්‍රියා මාර්ගයට සටන් වදී.”

Loading