ඇඟලුම් ක්ෂේත්‍රයේ ස්ත්‍රී කම්කරුවන්ගෙන් බොහොමයක් රක්තහීනතාවයට ගොදුරු වී ඇතැයි සමීක්ෂනයක් හෙලිදරව් කරයි

කොලඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වෛද්‍ය සහ ඖෂධවේද පීඨයන් හි වෛද්‍යවරුන් කන්ඩායමක් විසින් කොලඔ දිස්ත්‍රික්කයේ පිහිටි ඇඟලුම් කම්හලක ස්ත්‍රී කම්කරුවන් පිලිබඳව පසුගිය මස සිදු කරන ලද සමීක්ෂනයකින් හෙලිදරව් වූයේ මෙම කම්හලේ සැලකිය යුතු කන්ඩායමක් රක්තහීනතාවය ඇතුලු විවිධ ගැටලුවලින් පෙලෙන බවයි. මෙම තත්වය දිවයිනේ අපනයන කර්මාන්ත අංශයේ, විශේෂයෙන්ම, ඇඟලුම් කම්හල් ක්ෂේත්‍රයේ, ස්ත්‍රී කම්කරුවන් මුහුන දෙන සමාජ සහ සෞඛ්‍යමය ගැටලු පිලිබඳ පිලිබිඹුවකි.

මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ඇඟලුම් කම්හලක්

වෛද්‍යවරුන් හතරදෙනෙකු වන ඊ.ඒ.ඩී.ඩී. එදිරිසිංහ, ජී.එන්. එදිරිසිංහ, සී.එස්. එදිරිසූරිය සහ එස්.ඒ. අභයරත්න විසින් මෙම සමීක්ෂනයට යොමු කෙරුනේ බියගම නිදහස් වෙලඳ කලාපයේ පිහිටි ඇඟලුම් කම්හලක් වන, මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සිලුඑටා (Silueta) පුද්ගලික සමාගමයි. ඒ අනුව වයස අවුරුදු 18 – 49 අතර ස්ත්‍රී කම්කරුවන් 120 දෙනෙකු අහඹු ලෙස තෝරාගෙන ඔවුන්ගේ ආහාර රටාව, රුධිරයේ හිමග්ලොබින් මට්ටම සහ වැටුප් යනාදිය පිලිබඳව සමීක්ෂනය කරන ලදී.

'කොලඔ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඇඟලුම් කම්හලේ අවුරුදු 18-49 අතර වයස් කාන්ඩයේ ස්ත්‍රී කම්කරුවන් අතර රක්තහීනතාවය, රෝග ලක්ෂන සහ ඒ ආශ්‍රිත සාධක ව්‍යාප්ත වීම”යන මැයෙන් එම සමීක්ෂනයේ වාර්තාව ජූලි 15 - ජූලි 17 තුල පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ 26 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය තුලදී ඉදිරිපත් කෙරිනි.

“ඇඟලුම් කර්මාන්තයේ ප්‍රමූඛවම සමන්විත වී ඇති ප්‍රජනක වයසේ සිටින කාන්තාවෝ ඔසප් රුධිර වහනය, ඉහල පෝෂක අවශ්‍යතාවය, දුර්වල පෝෂ්‍යදායක ආහාර සහ ආහාර පුරුදු හේතුවෙන් ඉහල අවදානමක සිටිති” යැයි වාර්තාව පවසයි. මෙම “අවදානමට” ගොදුරු වී ඇති ඇඟලුම් කම්කරුවන් තුල “රක්තහීනතාවයේ ව්‍යාප්තිය, වාර්තා වූ සමාන වයස් කාන්ඩයේ කාන්තාවන්ගේ රක්තහීනතාවයට වඩා බෙහෙවින් වැඩි” යැයි එය තනදුරටත් පවසයි.

රක්තහීනතාවය වනාහි ශරීරයේ ඔක්සිජන් ප්‍රවාහනය කෙරෙන හීමොග්ලොබින් මට්ටම අඩුවීමෙන් හට ගන්නා රෝගී තත්වයකි. හීමොග්ලොබින් සෑදී ඇත්තේ යකඩවල සහ ප්‍රෝටීන්වල එකතුවකිනි. යකඩ සහිත පෝෂ්‍යදායක ආහාර ඌනතාවය මෙම රෝගයට හේතු වෙයි. මෙහි ලක්ෂන වන්නේ හිස කැක්කුම, නිදිමතගතිය, අධික වෙහෙස දැනීම, යනාදිය වේ. රක්තහීනතාවය, අවිධිමත් හෘද ස්පන්දනය (arrhythmia), හෘදය විශාලවීම ආදී හෘදයාබාධයන්ට හේතු කාරක වෙයි.

සමීක්ෂනයට බඳුන් වූ කම්කරුවන්ගෙන් බහුතරයක්, එනම් සියයට 57.5 ක් අවුරුදු 20 – 29 වයස් කාන්ඩයේද, සියයට 27.5 ක් 30 – 39 වයස් කාන්ඩයේද, සියයට 11.7 ක් 40-49 වයස් කාන්ඩයේද, සහ සියයට 3.3 ක් 10 – 19 වයස් කාන්ඩයේද වූහ.

සමීක්ෂනයට බඳුන් වූ කම්කරුවන්ගෙන් අඩකට ආසන්නව, එනම් සියයට 48.3 ක්, රක්තහීනතාවයෙන් පෙලෙන බව සොයා ගැනුනි. මෙය, දිවයිනේ සමස්ත ජනගහනයේ රක්තහීනතා ප්‍රතිශතය වන සියයට 25 ට වඩා බෙහෙවින් වැඩිය. මෙම තත්වය, කම්කරුවන්ගේ දුගීභාවය නිසාම ඔවුන්ට මස්, මාලු, බිත්තර යනාදි යකඩ අඩංගු පෝෂ්‍යදායක ආහාර වර්ග ගැනීමට නොහැකි වීමෙන් හට ගනී. අගෝස්තු 5 ද මෝනිං පුවත්පතේ පල කෙරුනු ලිපියක් ඉහත සමීක්ෂන වාර්තාවට අවධානය යොමු කරමින් සඳහන් කරන්නේ සතියකට එක්වරක් සහ තුන් වරක් පමනක් මස්, මාලු සහ බිත්තර අනුභව කරන ස්ත්‍රී කම්කරුවන් සංඛ්‍යාව, අනුපිලිවෙලින් සියයට 65.9 ක්, 43.3 ක් සහ 71.7 ක් වන බවයි.

සමීක්ෂනයට බඳුන් වූ මෙම කම්කරුවන්ගෙන් රක්තහීනතාවය ඇති අයගේ යකඩ මට්ටම දිනකට මිලිග්‍රෑම් 11.9 ක් වූ අතර, රක්තහීනතාවය නොමැති අනෙක් සියයට 51.7 හි එම අගය 17.8 කි. සෞඛ්‍ය සම්පන්න සිරුරක් සඳහා අවශ්‍ය සාමාන්‍ය යකඩ මට්ටම දිනකට මිලිග්‍රෑම් 15 ක් බව සැලකේ.

සමීක්ෂන වාර්තාවට අනුව, ආසියානු කලාපය තුල ජනගහනයෙන් සියයට 35 ක් වැනි වැඩි කන්ඩාමකට රක්තහීනතාවය ඇත. ලාභ ශ්‍රමය හේතුවෙන් ඇඟලුම් නිෂ්පාදනය වැඩියෙන් සිදුකෙරෙන ආසියානු රටවල, ස්ත්‍රී කම්කරුවන් තුල රෝගී තත්වය බහුලය: බංග්ලාදේශයේ සියයට 77 ක්ද; ඉන්දුනීසියාවේ සියයට 31.2 ක්ද; පකිස්ථානයේ 61.3 ක්ද; සහ කාම්බොජයේ සියයට 26.9 ක්ද වේ.

ස්ත්‍රී ඇඟලුම් කම්කරුවන් කිහිප දෙනෙක් කම්හල් තුල පවතින දුෂ්කර රැකියා කොන්දේසි ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ට පැහැදිලි කලහ. ජා-ඇල ප්‍රදේශයේ ප්‍රධාන ඇඟලුම් කම්හලක වසර තුනකට ආසන්න කාලයක් සේවයේ නිරත කම්කරු ස්ත්‍රියක් පැවසුවේ තමා උදෑසන 6.00 ට ගෙදරින් පිටත් වී, 7.30 සිට සවස 5.15 දක්වාද අතිකාල ලැබෙන දිනවල දී සවස 6.15 දක්වාද වැඩ කරන බවයි.

මේ කාලය අතර තුර ඇයට ආහාර විවේකයන් ලෙස ලැබෙන්නේ, දවල් ආහාර සඳහා විනාඩි 35 ක් හා උදේ හා සවස තේ සඳහා විනාඩි 30 ක් පමනි. “කටින් අංශයේ ලමයින්ට අවශ්‍ය රෙදි මම මැෂින් එකෙන් ලබා දෙනවා. සමහර රෙදි බරයි. මුලු දවසේම හිටගෙන ඉන්නේ. දවසේ අන්තීමේ දී ගොඩක් මහන්සියි. මෙතන වැඩට ආවට පස්සේ මගේ බර කිලෝ 15 න් පහල බැස්සා. මට ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තත්වයක් තියෙනවා,” යයි ඇය පැවසූවා ය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇගේ සැමියාට ස්ථීර ආදායමක් නොමැත. ඒ හේතුවෙන් ඇයට රැකියාවට යාමට සිදුවී ඇත.

බඩු මිල ඉහල යාම නිසා මුහුන දෙන අගහිඟකම ගැන කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හලේ කම්කරු කාන්තාවක් මෙසේ කීවාය: “බෝඩිමට කුලිය දීල කෑමට වියදම් කරපුවම වෙන දෙයක් කරගන්න බැහැ. රෑ වෙනකන් මැරීගෙන වැඩ කරලත් ලොකු පඩියක් ගන්න බැහැ, පඩිය රුපියල් තිස්දාහක්, තිස් දෙදාහක් විතරයි ලැබෙන්නේ.”

වැඩ වේගවත් කිරීම නිසා අධික වෙහෙසකරභාවයට පත් වී ඇති බව ඇය සඳහන් කලාය: “ඉස්සර ලමයින් දෙන්නෙක් කරන වැඩ දැන් එක්කෙනෙක් කරන්නේ ....... ඉස්සර ලමයින් දාහක් දෙදාහක් හිටියා දැන් ඉන්නේ තුන් හාරසීයක් විතරයි.” කුරුනෑගල සිට පැමින වසර 6 ක් කටුනායක කලාපයේ වැඩ කරන ඇය අටවැනි ශ්‍රේනියේ ඉගෙනුම ලබන තම පුතා සමග කුඩා කාමරයක ජීවත් වේ.

කොරෝනා වසංගතයෙන් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදයේ මුලු බර කම්කරුවන් මතට හෙලනු ලැබීම හේතුවෙන් ඔවුනගේ වැටුප් කැපී ඇති ආකාරය, ද මෝනිං පුවත්පතේ වාර්තාවෙන් අනාවරනය වෙයි. සමීක්ෂන වාර්තාව උපුටා දක්වමින් එය පෙන්වා දෙන්නේ, කම්කරුවන්ගෙන් සියයට 85 කගේ වැටුප රු. 15,000 සහ රු. 29,999 අතරද, සියයට 25.8 කගේ වැටුප රු. 30,000 සහ රු. 44,999 අතරද වන බවයි. සියයට 38.3 ක් කම්කරුවන් පවසා ඇත්තේ තමන් ඉතා අධිකව වෙහෙසට පත්වී ඇති බවත් සහ තම ශක්තිය හීනවී ඇති බවත්ය. සියයට 18.4 ක් අධික ඔසප් රුධිර වහනයෙන් පෙලෙන බවද පැවසිනි. ඔසප් කාලය තුලදීද එක දිගටම වැඩ කිරීමට සිදුවන නිසා මෙම තත්වය උද්ගත වී ඇත.

2018 දී රුහුනු විශ්ව විද්‍යාලයේ සහභාගිත්වයෙන් කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ වයස අවුරුදු 35 ඉක්මවූ ස්ත්‍රී කම්කරුවන් අලලා සිදු කෙරෙනු සමීක්ෂනයකින් ඉහත කොලඹ විශ්ව විද්‍යාල සමීක්ෂන වාර්තාවේ සත්‍යතාවය තවදුරටත් තහවුරු කරයි. මෙම වාර්තාවට අනුව සෑම ඇඟලුම් කම්කරු ස්ත්‍රියක්ම රැකියාව නිසා මාංශ පේශිවල වේදනාව, සමේ රෝග, හිසේ රුදාව, මානසික සෞඛ්‍ය ගැටලු හා හදිසි අනතුරුවලින් පීඩා විඳී.

කොලඔ විශ්ව විද්‍යාල සමීක්ෂන වාර්තාවට යොමු වූ සිලුඑටා පුද්ගලික සමාගම, මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් වෙයි. බියගම, තුල්හිරිය, හොරන, පානදුර, කිලිනොච්චිය, පන්නල ආදී ප්‍රදේශයන්හි, මෙම සමූහයට අයත් කම්හල් ගනනාවක් ක්‍රියාත්මක වෙයි. රටවල් 17 ක් අලලාගත්, මාස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් කම්හල් ජාලයේ දසදහස් ගනනක් කම්කරුවෝ වැඩ කරති. මාස් සමූහය වාර්ෂිකව ඩොලර් බිලියනයක් උපයාගනී. කම්හල්වල අනාරක්ෂිත කොන්දේසි හේතුවෙන් දහසකට අධික සංඛ්‍යාවකට කොරෝනා රෝගය ආසාදනය වූ අතර මහියංගනයේ ෂේඩ්ලයින් ඇඟලුම් කම්හලේ කම්කරු තරුනියක් ද රෝගයෙන් මරනයට ගොදුරු වූවාය.

මාස් සමූහය මෙන්ම, අනෙක් ප්‍රමූඛ ඇඟලුම් සමාගම් වන හයිඩ්‍රාමනි සමූහය සහ බ්‍රැන්ඩික්ස් සමාගම් වසංගතයට මුවාවී, ආන්ඩුවේ සමාජ ඝාතක පිලිවෙතේ වාසිය ඩැහැ ගනිමින් උග්‍ර ලෙස කම්කරු ශ්‍රමය සූරා කෑමේ යෙදී සිටී. මෙම සූරාකෑම උග්‍ර කීරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇඟලුම් කම්හල් හිමියන්ගේ ආදායම් වැඩිවී ඇත. ද මෝනිං අගෝස්තු 20 පුවත්පත වාර්තා කරන්නේ මහා බැංකුවේ දත්තයන්ට අනුව මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ කාර්තු දෙක තුල ඇඟලුම් සහ රෙදිපිලි අපනයනයෙන් ඩොලර් බිලියන 2.5 ක් උපයා ඇත. එයින්, මෙම වසරේ ඉලක්කය වන ඩොලර් බිලියන 5.1 සාක්ෂාත් කරමින් සිටින බව තහවුරු වෙයි. පසුගිය වසරේ මෙම කාල සීමාවේ ආදායමට සාපේක්ෂව එය සියයට 28 ක වැඩි වීමකි. පසුගිය වසරේ ඇඟලුම් අපනයන ආදායම වූයේ ඩොලර් බිලියන 4.4 කි.

අපනයන කර්මාන්තය මත යැපෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මෙම වසර තුල දිවයිනේ සමස්ත අපනයන ආදායම් ලෙස ඩොලර් බිලියන 12 ක ඉලක්කයක් තබා ඇත.

ආයෝජන මන්ඩලයේ වාර්තාවකට අනුව පසුගිය වසරේ නිදහස් වෙලඳ කලාප හා ඉන් පිටත ආයෝජන මන්ඩලයේ අධීක්ෂනය යටතේ පවතින කම්හල්වල කම්කරුවන් ලක්ෂ 7 ක් සේවයේ නිරත වූහ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පසුගිය වසරේ ඔක්තෝබර් මස වාර්තාවකට අනුව ලංකාව තුල කාන්තා කම්කරුවන් හත්දෙනෙකුගෙන් එක් අයෙකු ඇඟලුම් කම්කරුවකු වේ.

කොලඹ විශ්ව විද්‍යාල සමීක්ෂන වාර්තාව ආන්ඩුවට නිර්දේශ කරන්නේ ඇඟලුම් කම්කරුවන් අතර රක්තහීනතාවය හඳුනා ගැනීම සහ වැලැක්වීම සඳහා ඵලදායි ක්‍රමෝපායන් සකස් කර ක්‍රියාත්මක කල යුතු බවයි.

ලෝකයේ අනෙකුත් සියලු රටවල ධනපති පාලක පන්තීන් අනු යමින් රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට දමනු ලැබ ඇත්තේ “නව සාමාන්‍යය” හෙවත් මාරක කොරෝනා වසංගතය සමග ජීවත් වීමේ පිලිවෙතයි. මෙම තතු යටතේ වසංගතයේ බර කම්කරු පන්තිය මතට පැටවීමට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙමින් පවත්නා කැරලිකාරිත්වය ද, කොරෝනා රෝගීන්ගේ සහ මරනවල දැවැන්ත වැඩිවීම නිසා ආන්ඩුවට එරෙහිව මහජනයාගෙන් එල්ල වූ ඉමහත් විරෝධය ද හේතුවෙන්, අගෝස්තු 21 සිට 30 දක්වා දින දහයක් දිවයින පුරා 'අගුලු දැමීමක්' පැන වීමට ආන්ඩුවට සිදුවිය. එහෙත් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන ක්ෂේත්‍රයක් වන ඇඟලුම් කර්මාන්තය මින් මුදා හැරිනි.

ඇඟලුම් කම්කරුවන් එන්නත්කරනයට භාජනය කර ඇති හෙයින් ඔවුන්ට ජීවිත අනතුරක් නැතැයි යන ප්‍රෝඩාව තොරොම්බල් කරමින් ජනාධිපති රාජපක්ෂ ඔවුන් වැඩට දක්කයි. වෛද්‍ය විශේෂඥයින්ගේ කෙතරම් නිර්දේශ තිබුනද, ධනපති පන්තියේ පිලිවෙත වන මිනිස් ජීවිතවලට ඉහලින් ලාභය පවත්වා ගැනීම හේතුවෙන් ඇඟලුම් කම්කරුවන් ඇතුලු සෙසු කම්කරුවන්ගේද තත්වය තව තවත් බරපතල වනු ඇත.

Loading