මහනුවර රෝහල් සේවකයෝ වසංගතය ජයගැනීමේ කම්කරු පංතික වැඩපිලිවෙල සාකච්ඡා කරති

මහනුවර රෝහලේ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයෝ, පසුගිය බ්‍රහස්පතින්දා, තම සාමාජිකත්වය පුලුල් කිරීම සඳහා රෝහල තුල උද්ඝෝෂනයක් දියත් කලහ. “පාලක ප්‍රභූව කොරෝනා වසංගතයට දක්වන මිනීමරු ප්‍රතිචාරයට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු” යන ශීර්ෂය යටතේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා නිකුත් කල ප්‍රකාශයේ මුද්‍රිත පිටපත් බෙදා හරිමින් එහි අන්තර්ගත වැඩපිලිවෙල සාකච්ඡා කෙරුනු මෙම උද්ඝෝෂනයට රෝහලේ කම්කරුවන්ගෙන් දිරිගන්වන සුලු ප්‍රතිචාරයක් ලැබින.

දිනකට වාර්තා වන නිල මරන සංඛ්‍යාව 200 ට ආසන්න වෙමින් සහ දෛනික ආසාදන සංඛ්‍යාව 4000 ඉක්මවමින් වසංගතය ව්‍යසනකාරී මට්ටමට ව්‍යාප්ත වෙද්දී, දිවයිනේ රෝහල් පද්ධතිය ආසාදිතයන්ගෙන් පිරි ඉතිරී යමින් පවතී. මේවන විට 2000 කට අධික රෝහල් සේවකයන් ආසාදිත වී ඇති අතර වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සහ අනෙකුත් කාර්ය මන්ඩල සාමාජිකයන්ගේ මරන නිරන්තරව වාර්තා වෙයි.

අනුප්‍රාප්තික ආන්ඩු මගින් අඛන්ඩව කරන ලද කප්පාදු හේතුවෙන් ගරා වැටුනු රෝහල් පද්ධතිය දැඩි සේවක හිඟයකින් පෙලෙන අතර, වසංගතය නොමැති තත්වයන්හි දී පවා රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන්, හෙද-හෙදියන් සහ අනෙකුත් සේවකයන් ප්‍රමානවත් නොවේ. එම කොන්දේසි යටතේ, දිවයිනේ අනෙක් රෝහල් සේවකයන් මෙන්ම, මහනුවර රෝහ‌ලේ කාර්ය මන්ඩලය ද දැඩි අවදානමකට සහ ඉහවහා ගිය වැඩ කන්දරාවකට මුහුන දී සිටිති.

විශේෂඥයන්ගේ නිර්දේශ මුලුමනින්ම නොතකා හරිමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතික පරිමාන අගුලු දැමීමක් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයන් අතර වැඩී පැවතියේ බලගතු විරෝධයකි. ලොවපුරා අනෙකුත් පාලකයන් මෙන්ම රාජපක්ෂ ද, වසංගතය මැඩපැවැත්වීමට අත්‍යවශ්‍ය වන සෞඛ්‍යාරක්ෂක පියවර සාපරාධී ලෙස ප්‍රතික්ෂේප කරනුයේ, මහධනපතියන්ගේ ලාභය වෙනුවෙන් ආර්ථිකය විවෘතව පවත්වාගෙන යාමේ උවමනාවෙන් බව උද්ඝෝෂකයෝ රෝහල් සේවකයන්ට පෙන්වා දුන්හ.

වසංගතයේ පාලනය තවදුරටත් ධනපති පාලකයන් අතේ පැවතියහොත් අත්වන ඉමහත් ව්‍යසනය ගැන සාකච්ඡා කල කමිටු සාමාජිකයෝ, වසංගතයේ පාලනය කම්කරු පන්තිය අතට ගතයුතුව ඇති බව කම්කරුවන්ට පැහැදිලි කලහ. ඒ සඳහා සෑම රෝහලකම, සෑම වැඩපොලකම සහ සෑම වැඩබිමකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේත්, එම කම්ටු ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත මෙහෙයවා ගැනීමේත් අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා කෙරුනි.

“වසංගතයට එරෙහිව සටන් වැදීමේ සමාජවාදී වැඩපිලිවෙල” සාකච්ඡා කිරීමට අගෝස්තු 26 දා සසප පවත්වන ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීමට සහභාගි වීම සඳහා ලියාපදිංචි වන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

උද්ඝෝෂනය දියත් කෙරුනේ, සෞඛ්‍ය සහායක කම්කරුවන් දිවා භෝජනය ගැනීමට පැමිනෙන මුලුතැන්ගේ පරිශ්‍රයේ ය. එහි පැමිනි කම්කරුවන් 20 කට අධික ප්‍රමානයක් ඉහත සාකච්ඡාවන්ට උනන්දුවෙන් සම්බන්ධ වූහ. බොහෝ දෙනෙක් මහනුවර රෝහලේ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ “වට්ස් අප් කන්ඩායමට” එකතු වීම සඳහා ස්වකැමැත්තෙන්ම තම දුරකථන අංක ලබා දුන්හ. කීපදෙනෙකු එම අවස්ථාවේදීම අන්තර්ජාල රැස්වීමට ලියාපදිංචි වූ අතර සෙසු කම්කරුවන් තම නිවෙස් වලට ගිය පසු ඒ සඳහා ලියාපදිංචි වීමට පොරොන්දු වුහ.

සසප ප්‍රකාශනයේ යෝජනා කෙරෙන අයුරු, ජාතික පරිමාන අගුලු දැමීමක් සහ අත්‍යාවශ්‍ය නොවන කම්හල් වසා දැමීමක් වසංගත පාලනයට අනිවාර්යය බව මෙහිදී සාකච්ඡා කෙරුනි. වසා දැමෙන කම්හල්වල සියලු සේවකයින්ට පූර්න වැටුප් ද, ස්වයං- රැකියා වල නිරත අයට සහ කුඩා වෙලෙන්දන්ට ජිවන දීමනා ද සම්පාදනය කලයුතු අතර, පාසල් විවෘත නොකොට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් ලමුන්ට හා ගුරුවරුන්ට නොමිලේ ලබා දිය යුතුය. මෙම ඉල්ලීම් පිලිබඳව කම්කරුවෝ ඉතා උනන්දු සහගත වූහ.

“අප වැනි දුප්පත් රටවල් මෙවැනි වැඩ පිලිවෙලකට මුදල් සොයා ගන්නේ කොහොමද?” යන ප්‍රශ්නය එක් සහෝදර සේවිකාවක් මතුකලාය.

කමිටු සාමාජිකයින් තමන් බෙදාහල ප්‍රකාශයම උපුටා දක්වමින්, ඒ සඳහා මුදල් සොයාගන්නා ආකාරය පෙන්වා දුන්හ. විදේශ නය නොගෙවා හැරීම, මහා ව්‍යාපාරිකයින් තර කිරීමට මුදල් යෙදවීම නතර කිරීම සහ ඉන් ඉතිරිවන මුදල්, හදිසි සෞඛ්‍ය පහසුකම් ගොඩ නැගීමට සහ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජිවන අවශ්‍යතා සම්පාදනය කිරීමට යොදාගත හැකිවේ.

“විශාල වතු සමාගම් හා බැංකු කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කල යුතුය. සුලුතරයේ ලාභ නොව, බහුතරයේ අවශ්‍ය සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට තිබෙන එකම මාවත මෙය යි. එවන් ක්‍රියාමාර්ගයකට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීම අවශ්‍ය වෙයි” යනුවෙන් සසප ප්‍රකාශනයේ සදහන් වැඩපිලිවෙලට කම්කරුවන්ගේ එකඟත්වය පල විය.

එක් කම්කරුවෙක්, “වෘත්තීය සමිති යෝජනා කරන ‘විද්‍යාත්මක’ අගුලු දැමීම පිලිබඳව එකඟ ද?” යි ප්‍රශ්න කලේය.

ආන්ඩුව අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන පවා විවෘතව පවත්වාගෙන යමින් කම්කරුවන් වසංගතයට බිලි දෙද්දී එම මිනීමරු පිලිවෙතට දිගටම සහයෝගය දුන් මෙම සමිති, “විද්‍යාත්මක අගුලු දැමීම” යෝජනා කලේ ආන්ඩුවට එරෙහිව සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අතර වැඩුනු දැවැන්ත විරෝධය හමුවේය. මෙම විරෝධය ධනපති ආන්ඩුවට පමනක් නොව ධනපති ක්‍රමයටම අභියෝග කෙරෙන සමාජ පිපිරීමක් දෙසට වැඩෙතැයි පාලක පංතිය මෙන්ම, ධනපති ක්‍රමයට තදින් බැඳී සිටින සමිති නිලධරය බියවැදී සිටිති. සමිති විසින් ඉදිරිපත් කෙරුනු “විද්‍යාත්මක අගුලු දැමීමේ” මූලික අරමුන වනුයේ වැඩුනු කම්කරු පංතික විරෝධය තම අතයට රඳවා පාලනය කර ගැනීම බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

“විද්‍යාත්මක අගුලු දැමීමක්” යනු, දැඩි සෞඛ්‍ය ආරක්ෂාවන් සහිතව අත්‍යවශ්‍ය නිෂ්පාදන සහ සේවා පවත්වාගෙන යන අතරේ, ඇඟලුම් වැනි අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ සේවා වසා දමා මිනිසුන්ගේ සංචරනය දැඩි ලෙස සිමා කිරීමයි. මෙහිදී අගුලු දැමීමෙන් වසා දැමෙන කම්හල් වල කම්කරුවන්ට පූර්න වැටුප් සහ ආදායම් අහිමිවන සියලු දෙනාට පූර්න වන්දි ලබා නොදේනම් එය නිසිසේත් “විද්‍යාත්මක අගුලු දැමීමක්” නොවේ. එවන් අගුලු දැමීමක් සමිති විසින් ඉදිරිපත් නොකෙරෙන්නේ එය ධනපති ක්‍රමයට අභියෝග කෙරෙන බැවිනි.

වෘත්තීය සමිති ධනපති උපකරන බවට පත්ව බොහෝ කල් බවත්, කම්කරුවන් මෙම සමිති වලින් බිඳී තම අවශ්‍යතා වෙනුවෙන් සටන් කරන නව සංවිධානයන් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතු බව සසප සාමාජිකයෝ අවධාරනය කලහ. මෙහිදී ක්‍රියාකාරී කමිටු සහ වෘත්තීය සමිති අතර වෙනස පිලිබඳව සාකච්ඡා කෙරුනි.

මෑතකදී සේවයට බැඳුනු සෞඛ්‍ය සේවිකාවක් අදහස් දක්වමින් පැවසුවේ, “වෘත්තීය සමිති සේවකයින් වෙන් කරනවා, ක්‍රියාකාරී කමිටු කම්කරුවන් එකතු කරනවා. ඒක අලුත් අදහසක් මම ඒකට කැමතියි” යනුවෙනි. ඇය තව දුරටත් කියා සිටියේ, වෘත්තීය සමිති සටන් පාවාදෙන බවයි. පසුගිය ජූලි මාසයේ පැවති දීමනා ඉල්ලීමේ සටනට ශ්‍රේනි භේදයකින් තොරව සියලුම ශ්‍රේනිවල කම්කරුවන් සහභාගි වූ අයුරු සහ මාස තුනකට පමනක් ගෙවන රු 7,500 ක දීමනාවක් පිලිගනිමින් වෘත්තීය සමිති එම සටන පාවා දුන් අයුරු ඇය සිහිපත් කලාය. “අපි රුපියල් 7500 ප්‍රතික්ෂේප කරමින් සියලු ඉල්ලීම් දිනා ගැනීමට දිගටම සටන් කිරීමට සූදානම්ව සිටිද්දී සමිති සටන අතහැර දැමුවා” යැයි ඇය තවදුරටත් පැවසුවාය.

අවසානයේ ඇය මෙසේ කීවාය: “අපි දැන් දරාගත නොහැකි වැඩ කන්දරාවකින්ද මරන බියකින්ද පසුවනවා, අපි අන්ත අසරන වෙලා වෘත්තීය සමිති පරිපාලනය සමග එකතු වී අලුතින් කොරෝනා වාට්ටු විවෘත කරනවා සේවා මුර වැඩිකරනවා, දැන් අපි තනකොල ගහක වුනත් එල්ලෙන්න බලාගෙන ඉන්න වෙලාවකයි ඔබලා මේ යෝජනාව ගෙනාවේ, එය අපිට යම් ශක්තියක් ඇතිකලා.”

සාකච්ඡාවට එක්වූ ෆාතිමා “මෙවැනි ජාත්‍යන්තර ව්‍යාපාරයක් අපිට විතරක් නොවේ අපේ ලමයින්ටද අනාගතය සඳහා අවශ්‍ය යි” කීවාය. ඇය තවදුරටත් පැවසුවේ මුස්ලිම් වීම නිසාම තමා බොහෝ පිඩාවන්ට මුහුන දෙන බවයි. කම්කරු පන්තිය භේද කිරීම සඳහා වාර්ගික ආගමික භේද වැපිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය ඇතුලු මුස්ලිම් කම්කරුවන් මේ තත්වයට මුහුනදෙන බව කියාසිටි ඇය ඒ නිසාම කම්කරු පංතියේ ඒකාබද්ධතාවය ගොඩනැගීමට සටන්වදින ක්‍රියාකාරි කමිටුවට සම්බන්ධ වීමට සුදානම් බව ප්‍රකාශ කලාය. “වසංගතයෙන් මැරෙන්න පෙර සටන් කිරීමට සූදානම්” බව ඇය උද්යෝගයෙන් පැවසුවාය.

සාකච්ඡාවට සම්බන්ධ වූ කම්කරුවන් දෙදෙනෙකුට රැස්වීමට ලියාපදිංචි වීමට නොහැකි වූයේ ඔවුන් සඳහා ඊමේල් ලිපිනයක් නොමැති වීමත් බොහෝ දෙනෙකුට අන්තර්ජාල හා සම්බන්ධ විය හැකි ස්මාර්ට් වර්ගයේ දුරකථන නොමැති වීම නිසාය.

වසංගතයට ගොදුරු වී ඇති තම සහෝදර කම්කරුවන් ගේ වැඩ කොටස් ද ඉතිරි කම්කරුවන් මත පටවා ඇති නිසා කතා කිරීමට තබා කෑම බීමට පවා අවස්ථාවක් නැති තරම් සේවා කොන්දේසි දුෂ්කර වී ඇති බව 23 වාට්ටුවේ කම්කරු සහෝදරියක් ප්‍රකාශ කලාය. රෝහලේ සේවා කටයුතු අවසන් කර තමන් නිවෙස් වලට ගිය පසු ද පවුලේ සාමාජිකයන් ගෙන් වෙන්වී සිටීමට සිදුවී ඇති බවත් ඇය කීවාය.

නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපකරන හා ක්‍රමෝපායන්ගෙන් තොරව රෝගීන් සමඟ සමීපව කටයුතු කරන ඔවුන් මත දැඩි බර පටවා ඇති බවත්, පීසීආර් පරීක්ෂන මගින් ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන සේවකයින්ට පවා වැඩට එන ලෙස පරිපාලනය දන්වා ඇති සිද්ධීන් වාර්තා වන බවත්, ඇය පැවසුවාය. මැරෙන තුරු දිගටම වැඩ කරන්නට සිදුවී ඇති කොන්දේසි හමුවේ තමා අසරන වී ඇති බව ද ඇය කීවාය.

ඉදිරියේදී සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවට ද රැස්වීමට ද සම්බන්ධ වීමට තීරනය කල බව පැවසූ ඇය වැඩිදුර සාකච්චා කිරීමට දුරකථන අංකය ලබා දුන්නාය.

රසායනාගාරයේ වැඩ කරන චන්ද්‍රිකා, අන්තර්ජාලයට පිවිසීමට අපහසු කුඩා දුරකථනය භාවිතා කරමින් පැය කාලකට වඩා උත්සාහ කර සාකච්ඡාව අතරතුර දී ම අපගේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වූවාය. අපගේ පැහැදිලි කිරීම් වලට එකඟ වූ ඇය නිවසට ගිය පසු ඊමේල් ලිපිනයක් සාදාගෙන රැස්වීමට ලියා පදිංචි වන බවත්, ඉදිරියේදී එන ඕනෑම සටනකට සූදානම් බවත් සටන්කාමී ලෙස පැවසුවාය.

Loading