කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ධනවාදය විසින් මවන ලද ෆ්‍රැන්කන්ස්ටීන රකුසෙකි

මෙහි පලවන්නේ The Delta variant of coronavirus is a Frankenstein produced by capitalism යන මැයෙන් 2021 අගෝස්තු 17දා පලවූ ලිපියේ පරිවර්තනයයි.

වානිජ කටයුතු සහ යුද්ධ වැනි මානව ක්‍රියාකාරකම්, මාරාන්තික බෝවන රෝග විශාල ලෙස පැතිර යාමට තුඩු දෙන සත්ත්වයන් සහ මිනිසුන් අතර විෂබීජ හුවමාරුවීම සඳහා මූලික ලෙස හේතු සාධක වී ඇති බව හොඳින් වටහාගෙන ඇති කරුනකි. වසංගතයන් ලෝක ඉතිහාසය හා වෙලී බැඳී පවතින අතර, කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් තත්ත්වය මෙහි දී වෙනස් නොවේ.

වසංගතය ප්‍රකාශයට පත් කර මාස 18ක් වැනි කෙටි කාලයක් තුල ඩෙල්ටා ප්‍රභේදයට උපත දී ඇති වෛරසයේ විකාශනය, අවසාන විග්‍රහයේ දී, තර්ජනයට ප්‍රතිචාර දැක්වීමේ දී පාලක පැලැන්තියේ දැඩි නො හැකියාව සහ දුෂ්ට නො සලකා හැරීමේ ප්‍රතිඵලය යි.

වෛරසයට ලොව පුරා සංසරනය වීමට නිදහස ලබා දෙමින්, පාසල් හා ව්‍යාපාර විවෘත ව තැබීමට ඉඩ සැලසූ, ජනගහනයේ යහපැවැත්මට වඩා ලාභයට මුල් තැන දුන් ප්‍රතිපත්ති මඟින් වෛරසයේ පරිනාමීය අනුවර්තනයන්ට බෙහෙවින් රුකුල් දී ඇත.

(ඒපී නිදර්ශනය/පීටර් හැම්ලින්)

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ සංකීර්න ගෝලීය ජාලයක සන්දර්භය තුල වසංගත රෝග පිලිබඳ ආකෘති නිර්මානය කරමින් සිටින බ්‍රිතාන්‍යයේ සංකීර්න පද්ධති ආයතනයේ ප්‍රධානී ආචාර්ය යනීර් බාර්-යැම් අනතුරු ඇඟවූයේ, ගෝලීය සංචරන කටයුතු පහසු වීම හරහා ලොව සෑම ප්‍රදේශයක් ම අනෙක් සෑම තැනකට ම පැය කිහිපයකින් සම්බන්ධ වීම මගින්, වඩාත් මාරාන්තික රෝග ඉක්මනින් ගෝලීය වසංගත පරිමානය දක්වා වර්ධනය වීමට ඉඩ සැලසෙනු හැකි බවයි.

2016 වාර්තාවක “වඳවීම කරා සංක්‍රාන්තිය” යන මාතෘකාව යටතේ ඔහු මෙසේ ලියයි: “අපි දිගු දුර ප්‍රවාහනය ආකෘතියට හඳුන්වා දීමේදී වඩාත් ආක්‍රමනශීලී ප්‍රභේදවල සාර්ථකත්වය වෙනස් වේ. දිගු ප්‍රවාහන මාර්ග භාවිතයෙන් නව ධාරකයන් සොයා ගැනීමට සහ ස්ථානික වඳවීම්වලින් ගැලවී ගැනීමට ඔවුන්ට හැකි වේ ... ආකෘතියට තව ප්‍රවාහන මාර්ග හඳුන්වා දෙන තරමට, ඉතා ආක්‍රමනශීලී රෝග කාරකවලට දිවි ගලවා ගැනීමට සහ පැතිරීමට වඩාත් හැකියාව ලැබේ. ”

පැහැදිලි ව ම, වසංගතයේ වර්තමාන පරිච්ඡේදයේ දී, එක්සත් ජනපදය යලිත් වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස ඉස්මතු වී ඇත්තේ මූලික වශයෙන් වෛරසය තුරන් කල හැකි පුලුල් ගෝලීය මූලෝපායයන් නොමැති කම හේතුවෙනි. දස ගුනයකින් අඩු තක්සේරුවක් විය හැකි යැයි සැලකෙන මිනිසුන් 400,000ක් මිය ගිය බවට වාර්තා වූ ඉන්දියාව හරහා ගැලූ වසන්ත කාලයේ ශීඝ්‍ර නැග්මෙන් පසු, ඩෙල්ටා ප්‍රභේදය ගිම්හානය මැද භාගය වන විට ලොව පුරා ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත් විය. එහි තේරුම නම් මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ලෝකය ඩෙල්ටාවේ නව ගෝලීය වසංගතයකට මුහුනපා සිටි බවයි. එම කාල පරිච්ඡේදය අතර තුර එක්සත් ජනපදය සාරාර්ථයෙන් සුපුරුදු පරිදි ව්‍යාපාරික කටයුතු ආරම්භ කල අතර එය වර්තමාන ව්‍යසනයට තුඩු දුන්නේ ය.

පසුගිය සතියේ රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) වාර්තා කලේ එක්සත් ජනපදයේ සියලුම රෝගීන්ගෙන් සියයට 97 කට වඩා ඩෙල්ටා ප්‍රභේදය හේතු වී ඇති බවයි. අගෝස්තු 13 වන දින ලොව පුරා නව කොවිඩ් -19 රෝගීන් 720,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මෙයින් 155,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූයේ එක්සත් ජනපදයෙන් වන අතර, එය දෙවන ස්ථානයේ සිටින ඉන්දියාවෙන් වාර්තා වූ ප්‍රමානයමෙන් පස් ගුනයකට ආසන්න බව වාර්තා වේ.

හදිසියේ සීඝ්‍රයෙන් ඉහල යන කොවිඩ් රෝගීන් සමඟ එක්සත් ජනපදයේ මරන සංඛ්‍යාව යලිත් ඉහල යමින් පවතින අතර එම දිනය තුල මරන 769ක් වාර්තා වී තිබේ. වාර්තා වූ මරන සඳහා දින හතේ සාමාන්‍යය පසුගිය මාසයේ සිට දෙගුනයක් දක්වා ඉහල ගොස් ඇති අතර එය දිනකට 650 ට වඩා හෝ සතියකට 4,500 කට වඩා වැඩි ය.

මෙම මරන වලක්වා ගත හැකි අතර, කොවිඩ් රෝගයෙන් තවත් එක් පුද්ගලයෙකු හෝ මිය නොයන බව සහතික වීම සඳහා සියලුම මාදිලියේ පිලියම් අවශ්‍ය ධාරිතාවයන්ගෙන් රට තුල පවතී. එන්නත් සහ මුහුනු ආවරන නියෝග මත පාදක ව ජනතාවන් තුල අසමගිය හා වෛරය වැපිරීමට රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් දේශපාලනඥයින් එක්ව ගත් උත්සාහයන් තිබිය දී ම, මෙම වින්දිතයින්ගේ රුධිරය ධවල ​​මන්දිර නිවැසියාගේ අත් වල තැවරී ඇත.

සැබෑ ගැටලුව වන්නේ, ඩෙල්ටාවේ තර්ජනයට මුලුමනින් ම ප්‍රමානවත් නො වන පියවරක් වන මුහුනු ආවරන නියෝග නො ව, බයිඩන් පරිපාලනය, සීඩීසී ය සහ පක්ෂ දෙකේ ම ප්‍රාන්ත සහ ප්‍රාදේශීය පාලනාධිකාරීන් පලල් අගුලු ලෑමක් වහා ම ක්‍රියාවට දැමීම ප්‍රතික්ෂේප කිරීම ය.

මෙම කොන්දේසි යටතේ, පන්ති-තුල ඉගැන්වීම සඳහා පාසල් විවෘත කරන ලෙස පාලක ප්‍රභූ පැලැන්තියේ ද්විපාක්ෂික කැඳවීම දැඩි උමතුවක් වන අතර එමඟින්, අති විශාල බහුතරයක් එන්නත් නො ලද, මිලියන 75 කට අධික ලමුන්ගේ සහ නව යොවුන් වියේ දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම අනතුරේ හෙලයි.

මාසයක් තුල දී, රට තුල ආසාදනයට ගොදුරු වන දරුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහල ගොස් තිබේ. පසුගිය සතියේ ඇමරිකානු ලමා රෝග පිලිබඳ ඇකඩමිය වාර්තා කලේ ලමුන් 94,000 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බවයි. 2021 අගෝස්තු 14 වෙනි සෙනසුරාදා, කොවිඩ් ආසාදිත රෝහල් ගත කල ලමුන් සංඛ්‍යාව 1,900 කටත් වඩා වැඩි ය; එය මෙතෙක් වාර්තා වූ ඉහල ම අගය යි. වඩාත් දරුනු ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම අවම කිරීම සඳහා දැරෙන අඛන්ඩ උත්සාහයන් සලකා බලමින්, ජනගහනයේ ලාබාලතමයන් වනසන වර්තමාන කොවිඩ්-19රෝගය, “අහිංසකයින්ගේ වසංගතය” යයි සුදුසු ලෙස විස්තර කර ඇත.

කැන්සාස්හි ලීවන්වර්ත්හි ශාන්ත මේරි විශ්ව විද්‍යාලයේ උගන්වන කීර්තිමත් විද්‍යා සන්නිවේදකයෙකු වන මහාචාර්ය ඇම්බර් ෂ්මිඩ්ට් සඳහන් කල පරිදි, “මේ දරුවන් අසනීප වී සිටිනවා පමනක් නො වේ, සෑම වයස් මට්ටමක් ම කොවිඩ්-19 රෝගය සඳහා හදිසි ප්‍රතිකාර ඒකක වෙත යොමු කිරීම් සඳහා කලින් වූ උපරිමයන් සම කර හෝ ඉක්මවා හෝ ඇත. කොවිඩ්-19යෙන් ලමුන් අසනීප නො වන බව පැවසීම නිවැරදි නො වේ. ඒවා හිතාමතා කරන අසත්‍ය ප්‍රචාර වේ. ඔබ එවන් දෑ දුටු විට ඒවාට එරෙහි වන්න. ” [අවධාරනය අපේ]

ඒ මදිවාට, කොවිඩ්-19 සහ ශ්වසන සංසෛලීය වෛරස් රෝගය (ආර්එස්වී) යන රෝග දෙකෙන් ම පෙලෙන දරුවන්ගේ වැඩිවීමක් වාර්තා කරමින් ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයෝ ඒ පිලිබඳ උත්සුකතා පල කරති. ලොස් ඇන්ජලීස්හි ලමා රෝහලේ බෝවන රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය පියා පන්නරාජ් එන්පීආර් වෙත පැවසුවේ මෙම සංසිද්ධිය නිසා ‘අවුරුදු එකහමාරක් හෝ දෙකක් දක්වාවන දරුවන්ගේ ජීවිත’ අවදානමට ලක් කෙරෙන බවයි.

වසංගතය පුරාම පාලක පන්තිය විසින් උත්සාහ කර ඇත්තේ පාසල්, වෛරසය පැතිරෙන්නේ නැති දූපත් හෝ ඒවා ප්‍රජා ව්‍යාප්තියේ දී කිසිදු කාර්ය භාරයක් ඉටු නො කරන වෙනම ආයතන යැයි යෝජනා කිරීමට ය. මෑත සංවාදයක දී ආචාර්ය බාර්-යාම් තහවුරු කරන්නේ පාසල්වල ආසාදන හා කුටුම්භ තුල ඉහල සම්ප්‍රේෂනයන් අතර සම්බන්ධය දැඩි ලෙස තහවුරු වී ඇති බව යි. පාසැල්වල ආසාදන පිලිබඳ ගැටලුව, නිවෙස්වල හා වඩාත් පුලුල් ව ප්‍රජාව තුල ආසාදනය වීමෙන් වෙන් කල නො හැක. ඩෙල්ටාවේ අඛන්ඩ ව්‍යාප්තිය නැවැත්වීම සඳහා පාසල් වසා දැමිය යුතු ය.

සිකුරාදා වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කලේ, ගෝලීය ව අවම වශයෙන් කොවිඩ්-19 මරන 4,333,094 ඇතුලු ව ආසාදනයන් 205,338,159 ක් තහවුරු වී ඇති බවයි. මෙම බිහිසුනු සංඛ්‍යාව, වාර්තාවලින් පෙන්නුම් කරන ප්‍රමානයට වඩා බෙහෙවින් වැඩි, අවම වශයෙන් තුන් ගුනයක අවගනනයක් වන මානව ව්‍යසනයක් බව අතිරික්ත මරන විශ්ලේෂනයන්වලින් ඇඟවේ.

වඩාත් දරුනු හා මාරාන්තික ප්‍රභේද ඇති කරමින්, බාධාවකින් තොර ව කොවිඩ් වෛරසයට සෑම ප්‍රජාවක් තුල ම ව්‍යාප්ත වීමට ඉඩ දී ඇත. අවාසනාවකට මෙන්, ඩෙල්ටා ප්‍රභේදය අවසන් එක නො වනු ඇත.

ඩෙල්ටා ප්‍රභේදය පිලිබඳ වඩාත් කැපී පෙනෙන කරුන වන්නේ, ප්‍රතිශක්තිය මඟ හැරීමට සහ එහි පූර්වගාමීන්ට වඩා වේගයෙන් සම්ප්‍රේෂනය වීමට එහි ඇති හැකියාව යි. එය, වසර දෙකකටත් අඩු කලකට පෙර “පාලනය කලනොහැකි” ස්වරූපය මුලින් ම මතු වූ විට දීට වඩා දහස් ගුනයක වැඩි වේගයක අතිවිශාල කාර්යක්ෂමතාවයකින් තම පිටපත් ප්‍රතිනිර්මානය කරයි.

වෛරසය, ආසාදිත සෑම පුද්ගලයෙකු තුල ම ජීවී සෛල ආක්‍රමනය කර එම සෛල වෛරස් සාදන කර්මාන්තශාලා බවට පරිවර්තනය කිරීමෙන් තමාගේ පිටපත් බිලියන ගනනක් නිපදවයි. මෙම සෑම අනුරූ පිටපතකට ම - එන්නත ලබා ගත් හෝ නැති - එක් එක් පුද්ගලයා තුල, තවදුරටත්, පරිනාමය වන වෛරසයේ ව්‍යාප්ත වීම සහ විකෘති වීම අඛන්ඩව සිදු කරනා විකෘතීන් ඇතිකිරීමේ හැකියාව ඇත.

පාසල් නැවත විවෘත කිරීමට සහ දෙමාපියන්ට නැවත රැකියා ස්ථානකරා යෑමට බල කරද්දී, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ රජයේ නිලධාරීන් නො සලකා හරින දේ වන්නේ, කලින් කොරෝනා වෛරස ව්‍යාප්තියට එරෙහි ව අර්ධ වශයෙන් පමනක් සාර්ථක වූ සීමිත ක්‍රියාමාර්ග, ඩෙල්ටා ප්‍රභේදයේ වඩාත් උග්‍ර ජීව විද්‍යාත්මක ගුනාංග නිසා සම්පූර්නයෙන් ම නිෂ්ඵල විය හැකි බව යි.

මෙය, එයත් සමග ජීවත් වීමට අපට ඉගෙන ගත හැකි වෛරසයක් නො වන බව ආචාර්ය දීප්ති ගුර්දාසනී මෑතකදී අනතුරු ඇඟවූවා ය: “කාලයත් සමඟ ම ලෝකයේ විවිධ ප්‍රදේශවල නව ප්‍රභේද ගනනාවක් ඇති වූ අතර ඒවා කලින් [ධාරකයන්, එනම් මිනිසුන්, සතුව] තිබූ ප්‍රතිශක්තියෙන් මිදීමේ යම් මට්ටමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව, වෛරසයේ පෙර පැවති ප්‍රභේදයක් සඳහා ඔබ ප්‍රතිශක්ත නම්, එයින් නව ප්‍රභේදයකට එරෙහි ව ද ඔබ අවශ්‍යයෙන් ම ප්‍රතිශක්ත බව අදහස් නො වේ. එහි තේරුම නම්, පෙර ප්‍රභේදයන්ට එරෙහි ව ප්‍රතිශක්තිකරන මට්ටමක් තිබුනත්, මෙම වෛරසය නිරන්තරයෙන් පරිනාමය වන හෙයින් ඔබට රංචු ප්‍රතිශක්තිකරන සීමාවට ලඟාවීමට නො හැකි වීම යි.”

එන්නත්කරනය මගින් සම්පූර්නයෙන් ම ප්‍රතිශක්තිකරනය ලබා ගත් අය අතර ආසාදනය වීම් ද ඩෙල්ටාවත් සමඟ වඩාත් බහුල ව දක්නට ලැබේ. මේ සඳහා පාර්ශවීය වසයෙන් හේතුවන්නේ, වයිරසයේ ජීව විද්‍යාවේ ඵලයක් වන නමුත්, වැඩි වශයෙන් කාලය ගත වීමත් සමඟ එන්නත් මඟින් ජනනය කරන ප්‍රතිශක්තිය ස්වාභාවික ලෙස අඩු වීමේ ප්‍රතිඵලයකි.

එන්නත ලබා දීමෙන් පසු, ආසාදිත වූවන්ගෙන් වැඩි දෙනෙකුට ආසාදනයේ කර්කශභාවය අඩුවීමේ ඉඩක් ඇත. කෙසේ වෙතත්, එන්නත ලබා ගැනීමෙන් පසු එවැනි ආසාදනයට ගොදුරු වූවන්ගෙන් වර්ධනය වන සංඛ්‍යාවක් රෝහල් ඇඳන්, දැඩි සත්කාර ඒකක සහ සොහොන් කරා පවා යමින් සිටී. වඩාත් කනස්සලුදායක කරුන වන්නේ, එන්නත ලබා නො ගෙන ආසාදනය වූවන්ට මෙන් ම එවන් අයට ද, එම ඵලදායිත්වයෙන් ම වෛරසය සම්ප්‍රේෂනය කල හැකි වීමයි.

බොහෝ විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් ඩෙල්ටා ප්‍රභේදය සම්පූර්නයෙන් ම වෙනස් ‌වෛරසයක් ලෙස පවා හැඳින්වීමට පටන් ගෙන ඇත.“ඩෙල්ටා ප්‍රභේදය සම්පූර්නයෙන් ම පාහේ නව කොවිඩ් ‌වෛරසය කට සමාන ය. ඒ, එහි හැසිරීම පෙර පැවති කොවිඩ් ප්‍රභේදවලට වඩා බෙහෙවින් වෙනස් නිසා ය” යනුවෙන් පෙනහලු විශේෂඥ වෛද්‍ය සහ දැඩි සත්කාර වෛද්‍ය ආචාර්ය මයික් හැන්සන් සිය මහජන අධ්‍යාපන වෙබ් අඩවියේ සඳහන් කලේ, ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනයේ බහුවිධ විකෘති, එය වඩාත් පහසුවෙන් ශරීරයේ සෛල තුලට ඇතුලු වී, ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය මඟ හැරීමට ඉඩ සලසන බව පැහැදිලි කරමිනි.

එක්තරා අයුරකින්, ඩෙල්ටා යනු ලොව පුරා ධනේශ්වර ආන්ඩුවල අක්‍රියතාවෙන් මවන ලද ෆ්‍රැන්කන්ස්ටයින [පාලනය කල නොහැකි සහ තම නිර්මාපකයාවද විනාශ කරදමන අර්ථය දේ - පරිවර්තක] ‌වෛරසයකි. පසුගිය ශීත කාලයෙන් පසු අත්දුටු නරක ම තත්ත්වයන් තුල එය දැන් රෝහල් පුරවමින් තිබෙන අතර, පෙර නො වූ විරූ ලෙස ලමයින්ට දැඩි දුක්පීඩා එල්ල කරමින් සිටී. මේ සති අන්තයේ දී මත් ටෙක්සාස්හි ඩැලස් නගරයෙන් වාර්තා වූයේ, ලමුන් සඳහා වූ සියලු ම දැඩි සත්කාර ඒකක (අයිසීයූ) ඇඳන් සම්පූර්නයෙන් ම පිරී ඇති බව යි.

මෙම අන්තරායන් මධ්‍යයේ වුව ද, ‌වෛරසය මුලිනුපුටා දැමීම සිය න්‍යාය පත්‍රයට ඇතුලත් කරන, ඕනෑම ඵලදායි පලල් මහජන සෞඛ්‍ය මූලෝපායයක් වැලැක්වීම සඳහා, පාලක ප්‍රභූ පැලැන්තිය සිතා ගත හැකි සෑම පියවරක් ම අඛන්ඩ ව අනුගමනය කර ඇත. මූල්‍ය වෙලඳපොලවල නියමයන්ට යටත් කල මහජන සෞඛ්‍ය ප්‍රයත්නයන්, විද්‍යාත්මක මූලධර්මයන්ට ඍජු ව ම පටහැනි වෙමින්, කොරෝනා ‌වෛරසයට සංවර්ධනය වීමට හා ව්‍යාප්ත වීමට ප්‍රමානවත් ඉඩක් ලබා දී ඇත.

කෙටියෙන් කිවහොත්, ඩෙල්ටා ප්‍රභේදය මිනිස් ජීවිත කෙරෙහි ධනවාදයේ සම්පූර්න නො සලකා හැරීමෙහි ප්‍රතිඵලයයි. ලෝක ජනගහනයෙන් පහෙන් එකකටත් වඩා අඩු ප්‍රමානයක් එන්නත් කර ඇති වුව ද, සැලකිය යුතු කොටසක් වෛරසය ට ප්‍රතිශක්තික වශයෙන් ආගන්තුක ව ද (පෙර ආසාදන නොමැති වීම නිසාවෙන්) සිටීම නිසා, අප තවමත්, හුදෙක් වෛද්‍යමය පමනක් නො ව සමාජීය සහ දේශපාලනික සිද්ධියක් වශයෙන් එහි අවසන් ප්‍රතිඵලය තීන්දු වී නැති, වසංගතයේ මුල් අවධියේ සිටින බව උපකල්පනය කල හැකිය.

සියලු සම්පත් හා ධාරිතාව උපයෝගී කරගනිමින්, ‌වෛරසය ගෝලීය වශයෙන් තුරන් කිරීම, ලෝක ජනතාවගේ මූලික අරමුන විය යුතු ය. පෘථිවියේ සෑම ප්‍රදේශයකින් ම කොරෝනා වෛරසය තුරන් වන තුරු ජනගහනයට මූල්‍ය, රැකියා සහ ආහාර සුරක්‍ෂිතතාව මෙන් ම, හුදකලාකරන හා වෛද්‍ය ප්‍රතිකාර සහ පහසුකම් ඇතුලු දෑ වෙනුවෙන් අනෙකුත් සියලුම අවශ්‍යතා යටපත් කල යුතු ය.

Loading