ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී නායක විජේ ඩයස්ගේ 80 වන ජන්ම දිනය වෙනුවෙන්

අගෝස්තු 27 දා, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, එහි ප්‍රධාන ලේකම්, විජේ ඩයස්ගේ අසූවන ජන්ම දිනය සමරමින් අන්තර්ජාල රැස්වීමක් පැවැත්වීය. එහිදී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති සහ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් පහත සඳහන් සුබ පැතුම් පිරිනමන ලදී.

ප්‍රිය විජේ,

ඔබේ අසූ වන ජන්ම දිනයේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් සහ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් උනුසුම්තම හා හෘදයංගම සුබපැතුම් පිරිනැමීමට මට අවසර දෙන්න.

මෙහි ලා යම්තාක් දුරකට විධිමත් විලාසයක් යොදා ගැනීමෙන් වැලැකීමට මට නොහැක. මක්නිසාද යත්, ඔබේ උපන් දිනය යනු පෞද්ගලික වැදගත්කමකින් යුත් ජීවන මං සලකුනක් පිලිබඳ සැමරුම් අවස්ථාවකට වඩා වැඩි යමකි. එම විටම එය ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ හා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙහි ද මං සලකුනක් වෙයි. ඔබේ ජීවිතය තුල දැවැන්ත ඓතිහාසික අත්දැකීමක සාරය පවතී. ඔබේ දේශපාලන චරිතාපදානයේ පරිච්ඡේද, ජාත්‍යන්තර පන්ති අරගලයේ වඩාත්ම තීරනාත්මක සිදුවීම් හා හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල ඒවායේ සවිඥානක ප්‍රකාශනය පරිග්‍රහනය කරයි. ඔබේ ජීවිතය මෙකී සිදුවීම් තුල ගැඹුරින් කා වැදී ඇති මුත්, ඉතිහාසයට ඔබ දක්වන සම්බන්ධතාවය, ඉහලින්ම සවිඥානක සහ ක්‍රියාශීලී සහභාගීකරුවෙකුගේ සම්බන්ධතාවයක් වෙයි. ඔබ, “දැනටමත් පවතින, දෙන ලද, හා අතීතයෙන් සම්ප්‍රේෂිත තතු යටතේ” ක්‍රියා කරමින් සිටින, ඔබේ කාලයේ නිෂ්පාදිතයකැයි පැවැසීම සැබැවින්ම සත්‍ය වේ.

එහෙත් ඔබ ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස දශක හයක දේශපාලන ක්‍රියාකාරකම් තුල ඓතිහාසික අවශ්‍යතාවයන්ට අනුකූලව සිදුවීම් මෙහෙයවීමට යත්න දරමින් එම තත්වයන් මත කටයුතු කර ඇත. ඔබ සටන් කර ඇත්තේ, කම්කරු පන්තියේ ස්වයංසිද්ධ අරගලයන් “අවම ප්‍රතිරෝධයේ රේඛාවෙන්” - එනම්, ඒ සා පරාජයන්ට තුඩු දුන් අවස්ථාවාදී අනුගතවීමෙන් - ඉවතට හා, දේශපාලන බලය දිනා ගැනීමේ අරමුන දෙසට හැරවීමට ය .

ශ්‍රී ලංකා‍වේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස්

එහි ප්‍රතිඵලයක් වශයෙන්, එකල ආධිපත්‍යය දැරූ දේශපාලන ප්‍රවනතාවලට - එනම්, විවෘත ධනපති පක්ෂ හා ස්ටැලින්වාදීන්, මාඕවාදීන්, ධනේශ්වර ජාතිකවාදීන් සහ එවකට පැවැති පැබ්ලෝවාදී සංවිධානවලට - එරෙහිව ඔබේ වැඩ කටයුතු පවත්වා ගෙන යාමට වෛෂයික කොන්දේසි මගින් ඔබට බල කෙරින. එහෙත් ඉතිහාසය විසින් ඔප්පු කර ඇති පරිදි, විප්ලවවාදී විරුද්ධ පක්ෂය තුල ඔබේ වැඩ කටයුතු පදනම් වූයේ පන්ති අරගලයේ නියාම පිලිබඳ නිවැරදි අවබෝධයක් මත ය.

1964 දී ලංකා සමසමාජ පක්ෂය බන්ඩාරනායකගේ සභාග රජයට ඇතුලත් වීමට එරෙහි වීමේ දී ඔබ නිවැරදි වූයෙහිය; 1968 දී, ලංකා සමසමාජ පක්ෂය(වි)හි මූලධර්ම විරෝධී මාධ්‍යමික චපලකම්වලට එරෙහි වෙමින්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවීමට ක්‍රියා කිරීමේ දී ඔබ නිවැරදි වූයෙහිය; 1970-71 තීරනාත්මක අවධියේදී ජවිපෙ සුලු ධනේශ්වර ජාතිකවාදය ප්‍රතික්ෂේප කිරීමේ දී විකොස නිවැරදි විය; 1971 දී නැගෙනහිර පකිස්ථානය තුල ඉන්දියාවේ මැදිහත් වීම බ්‍රිතාන්‍ය එස්එල්එල් විසින් අනුමත කිරීම (වර්කර්ස් ලීගය මඟින් ඩබ්ලිව්ආර්පී හි අවස්ථාවාදය පිලිබඳ අනාගත විවේචන නැඟෙන්නට පූර්වයෙන් ක්‍රියා කරමින්) විවේචනය කිරීමෙහි දී විකොස නායකත්වය නිවැරදි විය; 1983 දී සිංහල ධනේශ්වරය දියත් කල වර්ගවාදී යුද්ධයට දැක්වූ අනම්‍ය විරුද්ධත්වයෙහි දී ද, දෙමල කොටින්ගේ බංකොලොත් ජාතිකවාදය ප්‍රතික්ෂේප කිරීමේ දී ද විකොස නිවැරදි විය; තව ද, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව සිය විරෝධය තුල ශ්‍රී ලංකා ශාඛාව නිවැරදි විය.

කෙසේවෙතත්, විප්ලවවාදී විරුද්ධත්වයේ දීර්ඝ වාර්තාව, අතිශයින්ම නිර්මානාත්මක හා සාධනීය අන්තර්ගතයක් ගැබ් කර ගත්තේය. එය නිවැරදි දේශපාලන මාවත පැහැදිලිව පෙන්වා දෙමින් වටහා දුන්නේය.

සිය තීරනාත්මක ඓතිහාසික පරීක්ෂනයට 1985 දී විකොස මූහුන දුන්නේය. ඒ, එය ඩබ්ලිව්ආර්පීයේ අවස්ථාවාදයට තීරනාත්මක ලෙස විරුද්ධ වෙමින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ආරක්ෂා කිරීමේ නිශ්චයාත්මක කාර්යභාරයක් ඉටු කල අවස්ථාවේ ය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කීර්ති බාලසූරිය සහෝදරයා ජාත්‍යන්තර කමිටුව තුළ පැවති අරගලයට සුවිශේෂී හා දුර දක්නා නායකත්වයක් සැපයීය. ඔහුගේ වැඩ කටයුතුවලට ඔබේ නොසැලෙන සහාය හිමි වූ අතර, එකී සහයෝගය නිසා එම කටයුතු මහත් සේ ශක්තිමත් විය.

විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය තුළ ඔබේ තීරනාත්මක කාර්යභාරය ජාත්‍යන්තර කමිටුව හොඳින් දන්නා එකක් විය; 1987 දෙසැම්බරයේදී කීර්ති සහෝදරයාගේ හදිසි හා ඛේදජනක අභාවයට මුහුන දීමට සිදු වූ කල් හි, ශ‍්‍රී ලංකා ශාඛාවේ නායකත්වය ඔබ භාර ගත යුතුව තිබිනැයි පිලිගනු ලැබූයේ එහෙයිනි. තවද, ඒ වූ කලී, පසුගිය වසර 34 පුරාම, ශ්‍රී ලංකාව තුල හා ජාත්‍යන්තර කමිටුව පුරා ඔබේ සහෝදරවරුන්ගේ අතිමහත් ගෞරවය පමනක් නොව ගැඹුරු සමාදරය ද ඔබට හිමි වන පරිද්දෙන් ඔබ විසින් ඉටු කරන ලද වගකීමකි.

අප පලමුවෙන්ම හමු වූයේ, 1972 ජූලි මාසයේ බ්‍රිතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීගය විසින් සංවිධානය කරන ලද ගිම්හාන පාසලක දී ය. සිංහල භාෂාවෙන් ඉදිරිපත් කෙරුනු කීර්තිගේ ප්‍රතිපදානයන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ අසීරු කර්තව්‍යය ඔබ භාර ගත් බැව් මට විශේෂයෙන් මතක ය. ඉනික්බිතිව එලැඹී දශකය තුල අපි බ්‍රිතාන්‍යයේ දී වරින්වර හමු වීමු. එහෙත් අවාසනාවට මෙන්, ඒ හමුවීම් සිදු වූයේ, විස්තීර්න දේශපාලන සාකච්ඡාවන්ට අවකාශ නොවූ තතු යටතේ ය. 1986 නොවැම්බරයේ දී මා ප්‍රථමවරට ශ්‍රී ලංකාවට සංචාරය කල අවස්ථාව දක්වා ම අපට දේශපාලන කාරනා දීර්ඝව හා දේශපාලනිකව වඩාත් සත්කාරශීලී වාතාවරනයක් තුල සාකච්ඡා කිරීමේ අවස්ථාවක් නොලැබින.

කීර්ති සහෝදරයාගේ අභාවයෙන් පසු අපගේ සාමූහික වැඩ කටයුතු සමීප හා ක්‍රමානුකූල ස්වභාවයක් අත්පත් කර ගත්තේය. අපේ දේශපාලන සම්බන්ධතාවය, ම'විසින් අගය කොට සලකනු ලැබෙන පෞද්ගලික මිත්‍රත්වයක් බවට වර්ධනය විය. ඔබ අව්‍යාජ විප්ලවවාදියෙකුගේ මාහැඟිම ගුනාංග - එනම්, අවිවාදිත ඍජු ගුනය, අධිෂ්ඨානය, අවංකභාවය, වෛෂයිකතාව, ධෛර්යය, පෞද්ගලික කරුනාවන්ත භාවය, ශුභවාදී බව සහ අපූර්ව හාස්‍ය රස ඥානය - විදහා දක්වන මිනිසෙකි.

මීට පෙර එලැඹී ඔබේ ප්‍රධාන පෞද්ගලික ජීවන මං සලකුන වූ ඔබේ 75 වන උපන් දිනයේ දී මම මෙසේ ලීවෙමි:

සහෝදරයෙකු, සටන්කරුවෙකු හා මනුෂ්‍යයෙකු ලෙස ඔබ පිලිබඳව මගේ ගෞරවයේ ගැඹුර ප්‍රමානවත් ලෙස මට වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකිය. ප්‍රමාද දෝෂවල පංගුවක් ඔබට ද ඇති බවට සැකයක් නැත. එහෙත්, ඒ කිසිවක් මේ මොහොතේ සිහියට නොනැඟෙන බව හෙලිකිරීම ගැන මට සමාවන්න. මාක්ස්වාදී මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඔබ සම්මුති විරහිතව සිට ඇත්තෙහිය. සිරගතව සිටි කාලයක දී, සමාජවාදී විප්ලවය සඳහා වූ ඔබේ කැපවීම ගැන බන්ධනාගාර පාලකයා පවා පුදුමයට පත් විය.

නිර්මල විප්ලවවාදී ඍජු ගුනයෙන් යුත් මිනිසෙකු ලෙස ඔබ ශ්‍රී ලංකාව පුරාම - ඔබේ දේශපාලන සතුරන් විසින් පවා - ගෞරවයෙන් සලකනු ලබන්නෙහිය. ශ්‍රී ලංකාව තුල සිංහල හා දෙමල යන ජන සමාජ දෙකටම අයත් පීඩිතයන්ගේ ගෞරවය හා ප්‍රසාදය දිනා ගත් එකම දේශපාලන නායකයා ඔබ ය. සමස්ත කම්කරු පන්තියේ සමඟිය සඳහා සහ සෑම ආකාරයකම වර්ගවාදී නිකායවාදයන්ට එරෙහිව සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනක් බව ඔවුහු හඳුනා ගෙන සිටිති. අඩ සියවසක් ඉක්මවා විහිදෙන දේශපාලන අරගලයක ගමන් මඟ තුල, - ඔබේ දයාබර බිරිඳ වූ පියසීලී සහෝදරියගේ වියෝව ද ඇතුලු - අප්‍රමාන දුෂ්කරතා අබියස, හතරවැනි ජාත්‍යන්තරයේ ධජය ඉහලින් ඔසොවා තැබීමට ඔබ ක්‍රියා කර ඇත්තෙහිය.

2016 දී මා විසින් පලකෙරුනු හැඟීම්, පසුගිය පස් වසරේ අත්දැකීම්වලින් වඩාත් වැර ගැන්වී ඇත. ඒ, ඔබ දිගින් දිගටම ශ්‍රී ලංකා ශාඛාව තුල හා ජාත්‍යන්තර කමිටුව තුල බලගතු හඬක් හා රූපකායයක්ව පැවතීම නිසා ය.

විජේ සහෝදරය: හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසය තුල සහ ලොව පුරා ඔබේ සහෝදරවරුන්ගේ හදවත් තුල ගෞරවනීය ස්ථානයක් සුරක්ෂිත කර ගැනීමට ඔබ සමත්ව ඇත්තෙහිය.

ගැඹුරු සමාදරයෙන් යුතුව,

ඩේවිඩ්

Loading