ඉදිරිදර්ශන

නිව් යෝර්ක් හි අයිඩා ව්‍යසනය: ලෝක ධනවාදයේ කේන්ද්‍රයේ සිදු වූ සමාජ අපරාධයක්

[මෙය New Yorks Ida disaster: A social crime in the center of world capitalism යන මැයෙන් 2021 සැප්තැම්බර් 3 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

මේ සතියේ, ඊසානදිග ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට කර දැමූ වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් අවම වශයෙන් 48 දෙනෙකු මිය ගොස් ඇති අතර මිලියන ගනනක් ඓතිහාසික ගංවතුරෙන් සිදු වූ විපත්තිය සමග පොරබදමින් සිටිති.

අයිඩා සුලි කුනාටුවෙන් කලාපය පුරා මිලියන 60 ක ජනතාවකට අඟල් 2 (සෙන්ටිමීටර 5) ට වැඩි වර්ෂාවක් ඇද හැලුනු අතර නිව්යෝර්ක් සහ නිව් ජර්සි හි ජනාකීර්න ප්‍රදේශ වලින් එක් රැයකිම අඟල් 9 ක (සෙන්ටිමීටර 23) වර්ෂාපතනයක් වාර්තා විය. නිව් යෝර්ක් නගරයේ සෙන්ට්‍රල් පාක් උද්‍යානයේදී, කුනාටුව එක් පැයක් තුලදී අඟල් 3.15 ක (සෙන්ටිමීටර 8 ක්) වර්ෂාපතනයක් පතිත කලේ දින 11 කට පෙර තැබූ වාර්තාව බිඳ හෙලමිනි.

2021 සැප්තැම්බර් 1 වන දින නිව් යෝර්ක් නගරයේ පෙන් දුම්රිය උමං මාර්ගයට ගැලූ ගංවතුර

ලොව ධනවත්ම නගරය සහ ලොව වැඩිම බිලියනපතියන් පිරිසක් ඒකරාශී වී සිටින නගරය වන නිව්යෝර්ක් හි ඇති වූ දැවැන්ත ගංවතුර, සමාජ යටිතල පහසුකම් පද්ධතිය වෙනුවෙන් අරමුදල් වෙන් නොකිරීමේ සහ විශාල වශයෙන් කම්කරුවන්ගේ දුගී භාවයේ මාරක ප්‍රතිවිපාක හෙලිදරව් කර තිබේ.

කුනාටුවේ තීව්‍රතාවය පෙර නොවූ විරූ නමුත් එය කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. ගෝලීය උනුසුම හා සම්බන්ධව සියයට 93 ක අතිරේක තාපයක් අවශෝෂනය කර ගෙන සාගරය උනුසුම් වීම මඟින් මෙහෙයවෙන, වඩාත් දැඩි නිවර්තන කුනාටු වල නොවැලැක්විය හැකි බව ඇතුලුව ගෝලීය දේශගුනික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක ගැන විද්‍යාඥයන් දශක ගනනාවක් තිස්සේ අනතුරු අඟවා තිබේ. පසුගිය සියවසේ සම්මතයට වඩා ෆැරන්හයිට් අංශක 3-5 (සෙල්සියස් අංශක 1.7–2.8) ඉහල ගිය මෙක්සිකෝ බොක්කේ ජලයෙන් පෝෂනය වූ අයිඩා සුලි කුනාටුව පැය කිහිපයකින් 4 වන කාන්ඩයේ කුනාටුවක් දක්වා බලවත් විය.

දේශගුනික බලපෑම් සමඟ, සූදානම් වීමේදී මුහුනදෙන අති මහත් අගහිඟ පිලිබඳව විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ අනතුරු ඇඟවීය. 'ජලාපවහන හා අපද්‍රව්‍ය පද්ධති, ගංවතුර සහ කුනාටු ආරක්ෂන වත්කම්, ප්‍රවාහන පද්ධති සහ බලශක්ති සැපයුම ඇතුලු ඊසානදිග බොහෝ යටිතල පහසුකම් වල සැලසුම් කල ආයු අපේක්ෂාව අවසන් වීමට ආසන්නය' යනුවෙන් එක්සත් ජනපද ජාතික දේශගුනික තක්සේරුව සිය 2019 නවතම වාර්තාවේ සඳහන් කලේය. “එක්සත් ජනපදයේ වර්තමාන ජල ආශ්‍රිත යටිතල පහසුකම් සැලසුම් කර ඇත්තේ පසුගිය සියවසේ වාර්තා වූ දේශගුනික තත්ත්වයන්ට සාපේක්ෂව මිස, අනාගත දේශගුනික තත්වයන්හි ප්‍රක්ෂේපිත පුලුල් විචල්‍යතාවයන් සඳහා නොවේ.” ජීවිතය සහ දේපල ආරක්‍ෂා කිරීම සඳහා “යටිතල පහසුකම් සඳහා සැලකිය යුතු නව ආයෝජන” අවශ්‍ය බව කතුවරු අවධාරනය කලහ.

මේ සතියේ ඇති වූ ගංවතුර, මෙම අනතුරු ඇඟවීම් වලට අනුව ක්‍රියා නොකිරීමේ අසාර්ථකභාවය මනාව හෙලිදරව් කලේය. කලාපය පුරා පිහිටි මහා මාර්ග ගංවතුර ගලා යන ගංගා බවට පත්විය, කාර් සහ රියදුරන් ගිලී ගියේය. නිව් ජර්සි හි දුසිමකට වැඩි පිරිසක් වාහන තුලම මිය ගියහ. එක් රියදුරෙකු සැතපුම් දෙකකට ආසන්න දුරක් ගංවතුරට ගසාගෙන ගොස් මරනයට පත් වී තිබේ.

නිව්යෝර්ක් නගරයේ සමස්ත පොදු ප්‍රවාහන ජාලයම බදාදා සවස නතර විය, ඒ මහජනතාව ආරක්ෂා කිරීම සඳහා වූ සූදානම් වීමේ පියවරක් ලෙස නොව, පද්ධතිය තුල ගමනාගමනය කල නොහැකි වූ නිසා ය. උමං මාර්ග දිගේ අපද්‍රව්‍ය සහ දිය දහරාව බැහැර වෙමින් උමං මාර්ග වේදිකාව මතට කඩා වැටීම නිසා මගීහු පැය ගනනාවකට අතරමං වූහ.

වැසි ජලය සහ අපජලය මිශ්‍ර වී ප්‍රාන්ත ගනනාවක් පුරා නිවාස ගිලී ගියේය. නිව් ජර්සි හි එලිසබෙත්හි එක් නිවාස සංකීර්නයක ගංවතුර හේතුවෙන් පදිංචිකරුවන් සිව් දෙනෙකු මියගොස් 600 කට උන් හිටි තැන් අහිමි විය. නිව් යෝර්ක් නගරයේ, ගංවතුරට යට වූ බිම් මහලක පිහිටි නිවාසයක සිරවී අවම වශයෙන් 11 දෙනෙකු දියේ ගිලී මිය ගියහ.

අයිඩා සුලි කුනාටුව මුලින්ම පැමින විනාශ වී ගිය ගල්ෆ් වෙරල තීරයේ ඊසානදිග පදිංචි කරුවන් දැඩි දුෂ්කරතාවයක පසුවේ. ලුසියානා සහ මිසිසිපි වල අවම වශයෙන් 16 දෙනෙකු මියගොස් තිබේ. සුලි කුනාටුවට දින දෙකකට පෙර නිවැසියන් 800 කට වැඩි ප්‍රමානයක් රඳවා තබා ගත්, පහසුකම් නොමැති, අපිරිසිදු ගබඩාවකට ඉවත් කරන ලද සාත්තු නේවාසිකයින් සිව් දෙනෙකු ද වින්දිතයින් අතරට ඇතුලත් ය. මරන හතරෙන් තුනක් කුනාටුවට සම්බන්ධ බවට නිලධාරීන් තීරනය තිබේ.

කුනාටුවේදී සිදු වූ තුවාල පමනක් නොව, විදුලි සැර වැදීම සහ කාබන් මොනොක්සයිඩ් විෂ වීමද මරනයට වෙනත් හේතු වේ. නිව් ඕර්ලියන්ස් නිලධාරීන් විසින් වයෝවෘද්ධ හා ආබාධිතයින්ට ප්‍රාන්තයෙන් ඉවත් වීමට කටයුතු සංවිධානය කරන බව පැවසුවේ අයිඩා සුලි කුනාටුවෙන් දින හතරකට පසු, බ්‍රහස්පතින්දා ය. නිවාස සිය දහස් ගනනක් විදුලිය නොමැතිව පවතින අතර, ලබන සතියෙන් මෙපිට සේවා සැපයෙනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.

කුනාටුවේ බලපෑම එක්සත් ජනපදයේ, විශේෂයෙන්ම ගෝලීය ධනවාදයේ හදවත වන නිව් යෝර්ක් නගරයේ බිහිසුනු සමාජ යථාර්ථය කෙරෙහි අවධානය යොමු කරවයි. ධනවතුන්ගේ පරිවරනය කරන ලද සුඛෝපභෝගී මහල් නිවහන්, සහ මන්දිර හොඳින් ආරක්ෂා වී ඇති අතර, කම්කරු පන්තියේ කටුක නිවාස කොන්දේසි කුනාටුවෙන් ඛේදජනක ලෙස හෙලිදරව් කරන ලදී. ක්වීන්ස් හි නීති විරෝධී බිම් මහල් නිවාස වලින් අවම වශයෙන් 11 දෙනෙකු මිය ගියහ. තවත් බොහෝ දෙනෙකුට නිවාස අහිමි වී ඇත.

නිව් යෝර්ක් නගරයේ පිටත නගර වල පවා අසාධාරන කුලී ගෙවා ගැනීමට නොහැකි නිසා, ප්‍රධාන වශයෙන් සංක්‍රමනික සේවකයින්ට දස දහස් ගනනින් අනතුරුදායක බිම් මහල් නිවාසවල පදිංචි වීමට සිදු වේ. සමහර ඒවායේ පවුල් පිටින් පදිංචිව ඇත. අනෙක් ඒවා නිදන කාමර ලෙස සකස් කර ඇති අතර ඇඳන් දුසිම් ගනනක් හෝ ඊට වැඩි ප්‍රමානයක් කුලියට දී ඇත, සමහර විට මුර මාරු ක්‍රමයට දී ඇත. හොඳම කාලය තුල යාන්තමින් වාසයට සුදුසු ඒවා වඩාත් පොදු ගංවතුර තත්ත්වයන් යටතේ මර උගුල් බවට පත්වේ.

මිඩ්ටවුන් මැන්හැටන් හි ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ මධ්‍යස්ථානය මග හැර යන්නේ උමං මාර්ග අතලොස්සක් පමනක් වන අතර නිව් යෝර්ක් නගරයේ [දුප්පතුන්ගෙන් සමන්විත]“අනෙක් භාගයේ” කොන්දේසි වලින් චිත්‍රනය කෙරෙන්නේ ජේකබ් රීස් [නම් මාධ්‍යවේදියා] විසින් හෙලිදරව් කල අපිරිසිදු හා භයානක වාසස්ථානයන් පිලිඹඳ දර්ශනයකි. එය බොහෝ කලකට පෙරම ඈත අතීතයට අයිති යැයි උපකල්පනය කරන ලදි.

අයිඩා සුලි කුනාටුව හුදෙක් ඛේදජනක ස්වාභාවික ව්‍යසනයක් නොවේ. වඩාත් මූලික වශයෙන් එය සමාජ අපරාධයකි. දශක ගනනාවක් තිස්සේ පාලක පන්තිය ඉදිරි දේශගුනික විපර්යාසයන්ට මුහුන දීම සඳහා යටිතල පහසුකම් ඉදි කිරීම හෝ අවදානම් යටිතල පහසුකම් නඩත්තු කිරීම සඳහා අරමුදල් සැපයීම ප්‍රතික්ෂේප කර ඇත. සැන්ඩි සුලි කුනාටුව කලාපය විනාශ කර වසර 9 ක් ගතවී ඇතත් නිව්යෝර්ක් ගමනාගමන පද්ධතියේ අවශ්‍ය අලුත්වැඩියාවන් පවා අවසන් කර නැත. වෙරල තීරය බොහෝ සෙයින් අනතුරුදායක ලෙස අනාරක්ෂිතව පවතී. වැඩ කරන ජනතාව සඳහා ප්‍රමානවත් නිවාස ලබා දීම සඳහා ඩොලර් බිලියන ගනනක් යෙදවීම ගැන්වීම වෙනුවට, ධනවත් අය සඳහා මහපොලවේ නොගැටෙන සුඛෝපභෝගී නිවාස තැනීම සඳහා නගරයේ ඇති අතිමහත් සම්පත් නාස්ති වී ඇත.

ගල්ෆ් සහ අත්ලාන්තික් මුහුදු වෙරල දෙකම විනාශ කල අයිඩා, බටහිර වෙරල තීරයේ ලැව් ගින්නක් සේ පැතිර යයි. එය පැමිනෙන්නේ ජර්මනිය, චීනය සහ ටෙනසි හි මහා ගංවතුර ද පැසිෆික් වයඹදිග ප්‍රදේශ වල පෙර නොවූ විරූ තාප තරංග ද ඇතුලුව ලොව පුරා ඇති වූ නපුරු දේශගුනික විපත් මාලාවක පසුබිම මත ය. පසුගිය වසර 50 තුල දේශගුනික විපර්යාසයන් නිසා සිදුවන විපත් සංඛ්‍යාව පස් ගුනයකින් වැඩි වී, මිලියන 2 කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස්, ඩොලර් ට්‍රිලියන 3.6 කට වැඩි පාඩුවක් සිදු කර ඇති බව ලෝක කාලගුන විද්‍යා සංවිධානයේ නවතම වාර්තාවකින් හෙලිදරව් වී තබේ.

පූර්ව කාර්මික මට්ටම් වලින් ගෝලීය උෂ්නත්වය 3.4 F (අංශක 1.1 C) ක් ඉහල ගොස් ඇති කොන්දේසි යටතේ කම්කරු පන්තියට දේශගුනික විපර්යාසයන්ගේ නරක අතට හැරෙන බලපෑම් දැනටමත් ජීවිතයේ සාමාන්‍ය ලක්‍ෂන බවට පත්ව ඇත. දේශගුනික පද්ධතියේ අවස්ථිතිය හේතුවෙන් තවත් අංශක භාගයක උනුසුම් වීම දැනටමත් නොවැලැක්විය හැකිය. ගෝලීය ධනවාදය, වැඩිවීම අංශක දෙකකට සීමා කිරීම සඳහා ජාතික ආන්ඩු විසින් සිදු කල අර්ථ විරහිත කැපවීම් පසු කර යාමේ මාවතක ගමන් කරමින් සිටී. සමස්ත මානව ශිෂ්ඨාචාරයේ අනාගතයම අනතුරක පවතී.

පාලක පන්තියේ ප්‍රතිපත්ති තීරනය වන්නේ එහි සමාජ අවශ්‍යතා මත ය. පසුගිය වසර පුරාම, මිලියන ගනනක් වසංගතයෙන් සහ නැවත නැවත සිදු වූ දේශගුනික විපත්වලින් මිය යන විට මූල්‍ය කතිපයාධිකාරයේ ධනය ඉහල නැංවීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වෙලඳපොලට පොම්ප කර ඇත. පසුගිය මාස 12 තුල පමනක් එස් ඇන්ඩ් පී 500 දර්ශකය එහි වෙලඳපල ප්‍රාග්ධනකරනය සඳහා ඩොලර් ට්‍රිලියන 10 කට වඩා එකතු කලේය.

මේ අතර දේශගුනික විපර්යාස වලට පිලියම් යෙදීම සඳහා කුමක් කර තිබේද? සෑම ව්‍යසනයකින්ම පසුව දේශපාලන සංස්ථාපිතය අවදි වන ලෙස ඇමතුමක් ප්‍රකාශ කරන අතර ගමන් මග වෙනස් කරන බවට හිස් පොරොන්දු ලබා දෙයි. එසේවුවද, ක්වීන්ස් හි නූතන නිවාස හෝ දිරා යන උමං මාර්ග පද්ධතිය තවමත් මාරාන්තික ය. යටිතල පහසුකම් ගොඩ නැංවීමට අවශ්‍ය ට්‍රිලියන ගනනක්, වෝල් වීදියේ ඇති මුදල් පෙට්ටගම් තුලට ගලා යමින් පවතින අතර දේශගුනික අවදානම් වැඩෙමින් පවතී.

දේශගුනික ඔරොත්තු දීමේ පියවරයන් සඳහා ආයෝජනය කිරීම නිව් යෝර්ක් නගරයේ පාලක පන්තිය ප්‍රතික්ෂේප කිරීම, අර්බුදයට අර්ථවත් ප්‍රතිචාරයක් දැක්වීමට ගෝලීය පාලක පන්තියේ නොහැකියාව හා සමපාත වී තිබේ. 1997 කියෝතෝ සම්මුතියේ සිට 2015 පැරිස් ගිවිසුම දක්වා ගෝලීය උනුසුම නැවැත්වීම සඳහා ජාත්‍යන්තර පාලනයක් ගොඩනැගීමට දශක ගනනාවක් තිස්සේ දැරූ උත්සාහයන් ශෝකී ලෙස ලෙස අසාර්ථක විය.

ජාත්‍යන්තර ප්‍රශ්නයක් වන දේශගුනික අර්බුදය ඵලදායීව විසඳීම සඳහා සමාජ ජීවිතයේ සෑම අංශයක්ම ලාභයට යටත් කරන පසමිතුරු ජාතික රාජ්‍යයන් ලෙස බෙදී ඇති පද්ධතියක් යටතේ සැලසුම් කිරීම හා සම්බන්ධීකරනය කිරීම කල නොහැක. කර්මාන්ත, ප්‍රවාහන සහ නිවාස සඳහා පුනර්ජනනීය බලශක්තිය වෙත වේගයෙන් සංක්‍රමනය වෙමින් ද්‍රව්‍යමය නිෂ්පාදනයේ සහ බලශක්ති උත්පාදනයේ සම්පූර්න වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා සමාජ සම්පත් බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

දේශගුනික විපර්යාස සමඟ බැඳී ඇති පන්ති ගැටලු, වසංගතය තුල සම්පීඩිත ස්වරූපයෙන් පිලිබිඹු වේ. කොවිඩ්-19 හි බිහිසුනු මරන සංඛ්‍යාව—නිල වශයෙන් එක්සත් ජනපදයේ 660,000 කට වඩා සහ ගෝලීය වශයෙන් මිලියන 4.5 කට වඩා—වෛරසය තුරන් කිරීම සඳහා පාලක පන්තියෙන් තාර්කික ප්‍රතිචාරයක් ප්‍රේරනය කර නැත. ඒ වෙනුවට, එක්සත් ජනපදයේ බිලියනපතියන්, මල මිනී මත ප්‍රීති උත්සව පවත්වනුයේ වසංගතය අතරතුර ඩොලර් ට්‍රිලියන 1.2 ක ධනයක් වැඩි කර ගනිමිනි.

දේශපාලන ආර්ථික විද්‍යාවේ විවේචනයට ප්‍රතිපදානයක් පොතෙහි පෙරවදනේ කාල් මාක්ස් මෙසේ ලිවීය, “සංවර්ධනයේ එක්තරා අවධියකදී, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමඟ නැතහොත්—මෙය හුදෙක් නෛතික වශයෙන් එකම දෙය ප්‍රකාශ කරයි—ඒවා මෙතෙක් ක්‍රියාත්මක වූ රාමුව තුල ඇති දේපල සම්බන්ධතා සමඟ ගැටුමකට පැමිනේ. මෙම සබඳතා නිෂ්පාදන බලවේග වල වර්ධනයේ රූපයන්ගේ සිට ඒවායේ විලංගු බවට පරිවර්තනය වේ. එවිට සමාජ විප්ලවයේ යුගයක් ආරම්භ වේ.”

වසංගතය සහ දේශගුනික විපර්යාස යන දෙකටම තාර්කික විසඳුමක් අවහිර කරනුයේ 1) නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය; සහ 2) ලෝකය ජාතික රාජ්‍යයන් ලෙස බෙදීම යි. මේවා මානව වර්ගයාගේ ප්‍රගතිශීලී වර්ධනය වලක්වන 'විලංගු' ය. ඒවා ඉවත් කිරීම, දේශගුනික විපර්යාස සමඟ කටයුතු කිරීමටත්, මානව සමාජයේ අතිමහත් තාක්ෂනික හා විද්‍යාත්මක දියුනුව සඳහා මාවතක් විවෘත කිරීමටත්, ඉතා සුලු පිරිසක් සඳහා නොව, අතිමහත් බහුතරයකගේ අවශ්‍යතාවයන් සඳහා වූ පූර්ව කොන්දේසියයි.

Loading