ආන්ඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් මාධ්‍යවේදීන් දඩයම උත්සන්න කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, පසුගිය සති කීපය තුල මාධ්‍යවේදීන් ගනනාවක්ම පොලිස් අත්අඩංගුවට ගෙන රඳවා සිටින අතර තවත් කීපදෙනෙකු පොලිස් ප්‍රශ්න කිරීම් සහ බියවැද්දීම් වලට ලක්කර ඇත. මේ සියල්ලම පාහේ සිදුකර ඇත්තේ රුදුරු 'ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත' යටතේ ය.

වසංගතයෙන් උග්‍ර කෙරුනු ගැඹුරු දේශපාලන-ආර්ථික අර්බුදයක එරී සිටින ආන්ඩුව, තම ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පන්ති අරගල තලා දැමීම සඳහා, හදිසි නීතිය, අත්‍යවශ්‍ය සේවා නියෝග සහ ආයතන සංග්‍රහයේ රෙගුලාසි බලාත්මක කරමින් පන්ති යුද්ධයකට සැර‌සෙමින් සිටී.

මෑත සති කිහිපයේ දී, ගුරු හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින්, නම් ලැයිස්තු රැස්කරමින් හා නඩු පවරමින්, රාජපක්ෂ ආන්ඩුව දියත් කර ඇති පොලිස් දඩයමට සමාන්තරව මෙම මාධ්‍ය දඩයම සිදු කෙරෙමින් පවතී. ආන්ඩුවට එරෙහි මාධ්‍ය විවේචන බියවද්දා නතර කිරීම මෙහි අරමුනයි.

මෙලෙස පසුගිය දිනවල රාජ්‍ය දඩයමට ලක්වූ මාධ්‍යවේදීන් කීපදෙනෙකු පිලිබඳ විස්තර මෙසේය:

කීර්ති රත්නායක: ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට දේශපාලන ලිපි සම්පාදනය කරන කීර්ති රත්නායක පසුගිය අගෝස්තු 14 වැනි දා කොලඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහු, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ දින 90ක රැඳවුම් භාරයට පත්කොට ඇත. මෑතක දී ම ඔහු ලියන ලද ලිපි අතර කොස්ගොඩ තාරක මරා දැමීමට නියමිත බව පෙර සඳහන් කල ලිපියක් සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විවේචනය කරමින් ලියන ලද ලිපි වෙයි.

පොලිසිය විසින් රත්නායක කැඳවනු ලැබුවේ ඔහු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට එල්ල විය හැකි යැයි සඳහන් කල ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමසීම සඳහා යැයි කියමින් වුවද, දැන් ඔහු රඳවා ගෙන ප්‍රශ්න කරනු ලබමින් සිටින්නේ රාජපක්ෂ ආන්ඩුව විවේචනය කරමින් තම වෙබ් අඩවියට ලියූ ලිපි සම්බන්ධයෙන් බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දුරකතනයෙන් සිදු කල දැනුම් දීමකට අනුව රත්නායක අගෝස්තු 14 වැනි දා උදෑසන කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ගොස් ඇත්තේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඔහු එම මහ කොමසාරිස් කාර්යාලයට පෞද්ගලික ව සිදු කල දැනුම් දීමක් සම්බන්ධයෙන් කටඋත්තර ලබා දීමටයි.

තුෂාරා වන්නිආරච්චි: අගෝස්තු 15 දා, 'විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා” තම නිවස පරීක්ෂා කල බව, මාධ්‍යවේදිනියක් වන තුෂාරා වන්නිආරච්චි තම ෆේස්බුක් ගිනුමේ සටහන්කොට ඇත. සටහනට අනුව, පරික්ෂාව සිදුකර ඇත්තේ, කීර්ති රත්නායකගේ ඉලෙක්ට්‍රොනික උපකරන එහි සඟවා ඇති බව සඳහන් කරමිනි. එහි දී, ඇය සතුව තිබූ ලැප්ටොප් පරිගනක, පෙන් ඩ්‍රයිව් උපකරන සහ ජංගම දුරකථන පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. පසුව අගෝස්තු 17 වැනි දා ඇයව කටඋත්තර සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්මේන්තුවට කැඳවනු ලැබුනි.

මේ අවස්ථා දෙකේ දී ම නිවාස සෝදිසි කර භාන්ඩ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ උසාවියෙන් නිකුත් කල සෝදිසි වරෙන්තු නොමැති ව යි.

ලංකා ඊ නිව්ස් යනු එක්සත් ජාතික පක්ෂයට සමීප සම්බන්ධකම් ඇති වොෂින්ටනයේ විදේශ ප්‍රතිපත්තියට නැඹුරු වූ දක්ෂිනාංශික ප්‍රකාශනයකි. 2011 දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ මාලබේ පිහිටි එම වෙබ් අඩවි කාර්යාලයට ගිනි තබනු ලැබින. පසු ව එම වෙබ් අඩවිය නීතියෙන් ද තහනම් කරනු ලැබුනේ එහි මාධ්‍යවේදීන් කීප දෙනෙකුට ද විවිධ අඩන්තේට්ටම් සිදු කරමිනි. 2015 දී බලයට පැමිනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම වෙබ් අඩවියේ තහනම වසර දෙකක් වැනි කෙටි කාලයකට ඉවත් කොට තිබුනද, 2017 නොවැම්බරයේ දී එය යලි තහනමට ලක්විය. එතෙක් පටන් අද දක්වා ම ලංකා ඊ නිව්ස් තහනම ඉවත් කර නැත.

පුන්‍යමූර්ති සසිකරන්: මඩකලපුව මාධ්‍යවේදී සංසදයේ භාන්ඩාගාරික පුන්‍යමූර්ති සසිකරන් අගෝස්තු 23 වැනි දා මඩකලපුව පොලිසියට කැඳවා, “2020 දී මුහුදේ දී මිය ගිය ඉන්දියානු ධීවරයන් සැමරීමට” පැවැත් වූ උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇති බව, 'මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (Committee to Protect Journalists)' තම වෙබ් අඩවියේ වාර්තාකොට තිබේ.

එම උත්සවය තමන් සංවිධානය නොකල බව පවසන මාධ්‍යවේදියා තම වෘත්තියේ කොටසක් වශයෙන් එම උත්සවය වාර්තා කිරීමට සම්බන්ධ වූ බව සඳහන් කර ඇත. පැය දෙකක් රඳවා තබා ගැනීමෙන් පසු ඔහු මුදා හරිනු ලැබ ඇත.

උතුරු නැගෙනහිර දෙමල ජනතාව සිවිල් යුද්ධය තුල මුහුන දුන් රාජ්‍ය අපරාධ ඇතුලු සුලු ජන කන්ඩායම් මුහුන දෙන ගැටලු සම්බන්ධ ව පෙබරවාරි මාසයේ මුල් සතියේ පැවැත් වූ පීටුපී විරෝධතා උද්ඝෝෂන සංවිධානය කිරීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක් වීම නිසා ජූලි මාසයේ දී සසිකරන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පැමිනිල්ලක් ගොනු කලේ ය.

සෙල්වකුමාර් නිලාන්දන්: මඩකලපුව මාධ්‍යවේදී සංසදයේ ම තවත් මාධ්‍යවේදියෙකු වන සෙල්වකුමාර් නිලාන්දන්, “එල්ටීටීඊය සමග පැවති සහ පවත්නා සම්බන්ධතා සම්බන්ධයෙන්”, කල්ලඩි ත්‍රස්ත මර්දන විමර්ශන ඒකකය විසින් ජූලි මාසයේ දී ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරී ඇත. මෙම ප්‍රශ්න කිරීම්වල දී නිලධාරීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඔහුගේ විද්‍යුත් ලිපිනයේ, ෆේස්බුක් ගිනුමේ සහ වට්ස්ඇප් ගිනුම්වල මුරපද ඉල්ලා තිබේ.

කෝකිලන් දාසන් : සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන ෆේස්බුක් සටහන් තැබීම “ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක්” වශයෙන් හුවා දක්වමින්, මාධ්‍යවේදියෙකු වන කෝකිලන් දාසන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබ සිටී.

අහ්නාෆ් ජසීම්: 'නවරසම්' යන මැයෙන් කවි පොතක් ලියා පල කල අහ්නාෆ් ජසීම් “මුස්ලිම් අන්තවාදය ප්‍රවර්ධනය කලේය” යන ව්‍යාජ චෝදනාව මත එම පනත යටතේ ම අත් අඩංගුවට ගෙන තවමත් රඳවා සිටී.

මාධ්‍යවේදීන්ට එල්ල කෙරී ඇති මෙම තර්ජනවල මූලික ඉලක්කය වනුයේ අරගලයට ඇදෙමින් පවත්නා කම්කරු පංතිය යි. පොලිසිය මාධ්‍යවේදීන් ලියන කියන දෙයෙහි සත්‍යාසත්‍යතාව තීරනය කරන්නෙකු ලෙස පෙරට පැමිනීමේ බලගතු අන්තරායකාරී ඇඟවුම් පවතී. පසුගිය මාසයේ දී නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් ෆේස්බුක් හි තැබූ සටහනක් හරහා, තරිඳු ජයවර්ධන නම් මාධ්‍යවේදියාට තරවටු කල බව මාධ්‍යය වාර්තා කලේ ය. “බොරු” නොලියන මෙන් තෙන්නකෝන්, ජයවර්ධනට තර්ජනය කර ඇත.

රාජපක්ෂ ආන්ඩුව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින්, මාධ්‍යවේදීන් දඩයම් කිරීමට දිගින් දිගට ම සිදු කරන අතර, එම දඩයම පුලුල් කිරීම සඳහා නව මර්දන අන පනත් ද සම්මත කර ගනිමින් සිටී. ජූනි මාසයේ දී අපරාධ පරීක්ෂන දෙපාර්මේන්තුව, “කොවිඩ්-19 හෝ වෙනත් ඕනෑ ම සංවේදී කරුනක් පිලිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති” හසු කර ගැනීමට විශේෂ සයිබර් මුර සංචාරක පොලිස් කන්ඩායමක් ස්ථාපිත කලේ ය.

මාර්තු මාසයේ දී ජනාධිපති රාජපක්ෂ මාධ්‍ය සම්බන්ධයෙන් තම ආකල්පය කුමක් දැයි විවෘත ව ම ප්‍රකාශ කලේ මෙසේය: “මේ මාෆියා, රජයවල්, පාලකයන් පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා ඒවාට පාඩම් උගන්වන්න. ඕන නම් උගන්වන විදිහත් මම දන්නවා” යනුවෙනි. මහින්ද රාජපක්ෂගේ ජනාධිපති සමයේ දී ආරක්ෂක ලේකම් වශයෙන් මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවක් ජනාධිපති රාජපක්ෂ සතු ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන මෙම රුදුරු ප්‍රහාර මගින්, ශ්‍රී ලංකාව තුල ප්‍රකාශයට පත්වෙමින් පවතින්නේ, ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බුදය තුල ලොව පුරා පාලක පන්තීන් ආඥාදායක පාලන රූපයන්ට හැරී ගැනීමේ ජාත්‍යන්තර ප්‍රපංචයයි.

Loading