පෙසප සහ අවිශිබම ක්‍රියාකාරීන් නිදහස් කරනු!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) ප්‍රමුඛ ක්‍රියාකාරීන් පස්දෙනෙකු පොලිසිය විසින් ගොනුකල අභූත, ප්‍රජාතන්ත්‍ර විරෝධී චෝදනා මත මේ වන විට මසකටත් වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.

සැප්තැම්බර් 7 දින කඩුවෙල මහේස්ත්‍රාත් වෙත තෙවැනි වරටත් ඉදිරිපත් කෙරුනු පෙසප සහ අවිශිබම සාමාජිකයින් පස්දෙනා සැප්තැම්බර් 21 දින දක්වා තවත් සති දෙකක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුනි. මර්දනකාරී උසිගැන්වීම්වලින් පෙන්නුම් කෙරන්නේ එදිනට ද ඔවුන්ට ඇප ලබා දීම අවිනිශ්චිත බවය.

පෙසප නායකයෙකුවන චමීර කොස්වත්ත, සාමාජිකාවක වන කෝෂිලා හංසමාලි හා අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අවිශිබම තවත් ක්‍රියාකාරීන් දෙදෙනක් වන අමිල සන්දීප, හෂාන් හර්ෂන මෙම මර්දනයට ගොදුරුකර සිටිති.

සමාජවාදී සමානතා පක්ෂයත් (සසප), එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මෙම පොලිස් දඩයම තරයේ හෙලා දකින අතර දඩයමට ගොදුරු වී සිටින ක්‍රියාකාරීන් වහා නිදහස් කරන ලෙස කියා සිටී.

පෙසප හා අවිශිබම දේශපාලනය සමග සසපට හා සසජාතාශිට නොපෑහිය හැකි දේශපාලන වෙනස්කම් පවතින බව ප්‍රසිද්ධ කරුනකි. එසේ වුවද, පොලීසියේ මෙම කඩා පැනීම වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දැමීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ගෙනෙයන වැඩපිලිවෙලක කොටසක් බව පැවසීමට අපි නොපැකිලෙමු.

පෙසප හා අවිශිබම ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනු ලැබූවේ අගෝස්තු මස 3 දා කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව කොලඹ පාර්ලිමේන්තුව ඉදිරිපිට වටරවුමේ සංවිධානය කර තිබූ විරෝධතාවයේ දී පොදු දේපලවලට හානි කිරීම යන චෝදනා මතයි. එම විරෝධතාව සංවිධානය කලේ අවිශිබම විසින් මූලිකත්වය ගෙන පිහිටුවා ඇති 'සිසු-ජන ව්‍යාපාරය' නම්වූ ආන්ඩුවට බලපෑම් දැමීමේ සංවිධානය විසිනි. ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරු ගනනාවක් ද සම්බන්ධ වූහ.

පොදු දේපොලවලට හානි කිරීම, අයුතු ජන රාශිය හා කෝවිඩ්-19 වසංගතය මැඩීමේ නමින් පනවා ඇති රෙගුලාසි කඩකිරීම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මෙම පස්දෙනාට එරෙහිව තලංගම පොලීසිය විසින් දමා ඇති චෝදනාවන්‍ ය. විරෝධතාවයේ දී ප්‍රදර්ශනය කෙරුනු කාඩ්බෝඩ් වලින් තැනූ මීනි පෙට්ටියක් පිලිස්සීමෙන් මහා මාර්ගයට “හානි“ වූයේය යන්න, පොදු දේපොලට සිදූකල හානියක් ලෙස චෝදනා ගෙතීමට යොදාගෙන තිබේ. ඇප නොදීම සඳහා යොදාගෙන ඇත්තේ මෙම අභූත චෝදනාවයි.

“මේ එක් එක් අය සම්බන්ධව සාක්ෂි සහිත සම්පින්ඩන වාර්තාවක්“ අවශ්‍යය යැයි ඉල්ලා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඇප දීම ප්‍රතික්ෂේප කල බව චූදිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කමල් විජේසිරි මාධ්‍යයට ප්‍රකාශ කලේ ය.

අත්අඩංගුවේ පසුවන මෙම පස් දෙනා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ ඔවුන් අතරින් හතර දෙනෙකුටම බන්ධනාගාර තුල දී කෝවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇති තත්වයක දී හා ඉන් තිදෙනකුටම ශ්වසන අපහසුතා මතු වී තිබිය දී ය.

“කෝවිඩ්-19 වසංගත අවදානම තුල උද්ඝෝෂන සිදු කලා නම් දැන් කොවිඩ් ආසාදිත වීම ඇප ලබා දීම සඳහා සලකා බැලිය නො හැකි“ යයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කල බව පෙසප නායකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) සඳහන් කලේ ය.

අත්අඩංගුවේ පසුවෙන අයගේ ජීවිත අවදානම වැඩි වී ඇත. කොස්වත්ත, මුදලිගේ සහ සන්දීප යන තිදෙනාම බදුල්ල තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයේ දී වෛරසයට ගොදුරු වී තිබේ. එහි 125 කට සිදු කරන ලද පීසිආර් පරීක්ෂනවලින් මේ තිදෙනාත් ඇතුලුව 85 ක්ම ආසාදිතයන් බව හෙලිවිය.

දඩයමට ලක්වූ පස්දෙනා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ පසු වන අතර එහි අඩි 10ත් 12 ත් වන කාමරයක 20 ක් පමන අමානුෂික කොන්දේසි තුල රඳවා තිබෙන බවත් යලි ඩෙල්ටා වැනි ප්‍රභේදයක් වැලඳීමේ අන්තරාය තිබෙන බවත් පෙසප ප්‍රකාශකයා සඳහන් කලේ ය. ඉන් සන්දීප මේ වන විට දෙවන වරටත් කොවිඩ් ආසාදිත වූවෙකි. හෂාන් හර්ෂන අඛන්ඩව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතර ආසාදිත වීමේ අවදානම පවතී. ඔවුන් සියලුදෙනාගේ ජීවිත පවතින්නේ අනතුරුදායක තත්වයකයි.

හංසමාලි මීගමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටිය දී වෛරසයට ගොදුරු වී ඇත. ඇය පසුගිය දා උන වැලඳී සිටියද දින දෙකක් කිසිදු ප්‍රතිකාරයක් නො මැතිව බන්ධනාගාරයේ රඳවා තිබීමෙන් අනතුරුව මේ වනවිට අඹේපුස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත මාරු කර යවා තිබේ. එම ප්‍රතිකාර මධ්‍යස්ථාන ද අධික තදබදයකින් යුක්ත වේ.

හංසමාලි, කොස්වත්ත හා මුදලිගේ යන අයගේ ශ්වසන අපහසුතා හා වෙනත් සංකූලතා සම්බන්ධව වෛද්‍ය වාර්තා වෙන වෙනම ඉදිරිපත් කලත් මේ සියල්ල අධිකරනය ප්‍රතික්ෂේප කර තිබේ.

පෙසප හා අවිශිබම ක්‍රියාකාරීන්ට දඩයම එල්ල වී ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව පලල් මර්දනකාරී ව්‍යාපාරයක් දියත් කිරීමට සුදානම් වන කොන්දේසි තුලය. වර්ජනයේ යෙදෙන ගුරුවරුන්ගේ විරෝධතා ක්‍රියා විවිධ ප්‍රදේශවල සංවිධානය කිරීමට මූලිකත්වය ගත් ක්‍රියාකාරීන්ගේ නම් හා ලිපින එකතු කිරීමින් ඔවුන් හඹා යාමට පොලීසිය උසිගන්වා ඇත.

සියලු විරෝධතා ක්‍රියා මැඬලීමට ආන්ඩුව මර්දන හස්තය ඔසවා ඇත. අධිකරන සේවා කොමිෂන් සභාව (ජේඑස්සී) හා ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ ආයතනය එක්ව අගෝස්තු මස මුල පැවැත්වූ සමුලුවක දී, අගවිනිසුරු ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් විසින් මහජන උද්ඝෝෂන වලක්වමින් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවය ගැන මහේස්ත්‍රාත්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.

වැඩ වර්ජන සාපරාධිකරනය කිරීමේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත බලාත්මක කර තිබියදීම, ජනාධිපති රාජපක්ෂ අගෝස්තු 30 දා ලංකාව තුල මර්දනකාරී හදිසි තත්වය ප්‍රකාශයට පත් කලේය. වසංගතයෙන් උත්සන්නවී ඇති ආර්ථික ආර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට ආන්ඩුව සුදානම් වන්නේ රුදුරු මර්දනයක් මතින්‍ය යන්න ඕනෑවටත් වඩා පැහැදිලිව ඇඟවුම් කර ඇත.

Loading