ගුරු වර්ජනයේ ක්‍රියාකාරීන්ට එරෙහිව ආන්ඩුව උසිගන්වා ඇති පොලිස් දඩයම නතර කරනු

මාස දෙකකට වැඩි කාලයක් අඛන්ඩව වර්ජනයේ නිරතව සිටින ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට එරෙහිව ආන්ඩුව සැලසුම්ගත පොලිස් දඩයමක් දියත් කර තිබේ. මෙම දඩයමේ එල්ලය වී ඇත්තේ, ආන්ඩුව ඉදිරිපත්කල සොච්චම් වැටුප් වැඩිකිරීම ප්‍රතික්ෂේප කර ඉල්ලීම් ලැබෙන තුරු වර්ජනය කිරීමට ගුරුවරුන් අතර ඇති අධිෂ්ඨානය බිඳීම හා ක්‍රියාකාරීන් මර්දනය කිරීමයි.

ගුරු-සිසු-දෙමව්පිය සුරක්ෂිතතා කමිටුව මෙම දඩයම තරයේ හෙලා දකී. එමෙන්ම, පොලිස් දඩයමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරක්ෂා කිරීමට ඉදිපත්වන ලෙස කම්කරු පන්තියේ සෑම කොටසකින්ම අපි ඉල්ලා සිටිමු.

අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරුන්ගෙන් කීප දෙනෙක්- අගෝස්තු 5 වැනි දා ඇප මත නිදහස් කරනු ලැබීමෙන් අනතුරු ව

පොලිසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව, පොලිස් ස්ථාන මගින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති ලිපියකින් ගුරු විරෝධතා සංවිධානය කල පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් සහ විරෝධතා පැවැත්වූ ස්ථාන පිලිබඳව තොරතුරු සපයන ලෙස ඉල්ලා ඇත. තවද, විරෝධතා පැවැත්වීමෙන් පසුව ප්‍රදේශයේ මියගිය විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ විස්තර ද පොලීසිය විසින් ඉල්ලා තිබේ.

දැන් ගෙනයමින් ඇති පරීක්ෂනයකට අදාලව මේ තොරතුරු අවශ්‍යවී ඇතැයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රටේ විවිධ පලාත්වල ගුරුවරුන් මෑතදී පැවැත්වූ විරෝධතා වලට සම්බන්ධ වීමෙන් පසු කෝවිඩ්-19 වසංගතයෙන් මරනයට පත්වී දැයි සොයා බැලීමට පරීක්ෂන සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියූ බව සති අන්ත සන්ඩේ ටයිම්ස් වාර්තා කලේය.

රටපුරා පැවති ගුරු විරෝධතා කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියට හේතු වී ඇතැයි යන බොරු චෝදනාවක් ගුරුවරු මත පටවා, ඔවුන්ට එරෙහි මර්දනය සඳහා මහජන මතයක් ගොඩනැගීමට මේ ඊනියා පරීක්ෂනය සිදුවේ.

මෙම විසකුරු උද්ඝෝෂනයට මුල පිරුවේ පාලක පොදුජන පෙරමුනේ අත්ගෙඩියක් වන පොදුජන අධ්‍යාපන සේවා සංගමයයි. ආන්ඩුවේ හොරනෑවක් වන සිළුමිණ පුවත්පත අගෝස්තු 28 දාතමින් පලකල වාර්තාවකට අනුව එම සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ, විරෝධතාවලට සහභාගී වූ ගුරුවරුන් 25 ක් මියගොස් ඇතැයි ද 400ක් පමන ආසාදනය වී ඇතැයි ද කියා ඇත.

ආන්ඩුව වෙනුවෙන්, ගුරු වර්ජනයට පහර ගැසීම දෛනික කටයුත්තක් කරගෙන සිටින හඳපාන්ගොඩ ඇගේ වාචාල දෙඩවිලි වලට මෙම බොරුව ද එක් කලාය. ආන්ඩුවේ අමාත්‍යවරයෙකු වන රෝහිත අබේගුනවර්ධන ද මෙම ප්‍රකාශය වමාරා ඊට විශ්වාසනීයත්වයක් ලබාදීමට තැත්කර ඇත.

ලංකාවේ කෝවිඩ් වසංගතය පැතිරීමට ගුරු විරෝධතා හේතුවී යයි ප්‍රකාශ කිරීම තරම් පට්ටපල් බොරුවක් තවත් ඇත්ද? ගෝලීය වසංගතය ලංකාව තුලද ජීවිත දසදහසකට වැඩි ගනනක් දැනටමත් බිලිගැනීමට හේතු කාරක වී භයානක ලෙස පැතිරීමට තුඩු දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව විශේෂඥ යෝජනා ප්‍රතික්ෂේප කරමින් ගෙනයන වැඩපිලිවෙල බව නොදන්නා කිසිවෙකුත් ඇත්ද? ගුරුවරුන් මත පැටවීමට තැත් කරන මෙම චෝදනාව ඊට උචිත පිලිකුලෙන් හෙලා දැකිය යුතුය.

ලෝකයේ සෑම රටකම පාහේ වසංගතය මධ්‍යයේ කම්කරුවෝ හා පොදු මහජනතාවෝ වැඩ වර්ජන වලට හා උද්ඝෝෂන වලට පැමිනියහ. ඒ, එම රටවල පාලන තන්ත්‍රයන්ගේ සාපරාධී පිලිවෙත්වලට හා වසංගතයෙන් උග්‍ර කෙරුනු අර්බුදයේ බර තමා මත පැටවීමට එරෙහිව ය. ගුරුවරුන් වර්ජනයට පැමිනියේ, වත්මන් පාලනය ද ඇතුලුව අනුප්‍රාප්තික ආන්ඩු විසින් වසර 24ක් පුරා තම වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුනු හා ගුරු සමිති විසින් තම අරගල පාවාදෙනු ලැබූ තත්වය යටතේ, වසංගතයෙන් උග්‍ර කෙරුනු ජීවන වියදම් දරා ගත නොහැකි පසුබිමක ය.

දියත් කර ඇති “පරීක්ෂනය” යටතේ පොලිස් ස්ථාන වැඩට බැස ඇත. හොරන මූලස්ථාන පොලීසිය, දැනටමත් ජූලි මස 25 දා හා අගෝස්තු මස 05 දා කොලඹ දී පැවති විරෝධතා පෙලපාලි දෙකක් සම්බන්ධව, ඉංගිරිය, මදුරාවෙල, මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම්වරුන් හා ප්‍රදේශයේ කලාප අධ්‍යාපන කාර්යාලවලින් ඉහත දැක්වූ ආකාරයේ තොරතුරු ඉල්ලා ලිපි යවා තිබේ.

අගෝස්තු 04 දා කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති ගුරු උද්ඝෝෂනයක් නිම වී නිවෙස් බලා යමින් සිටි ගුරුවරු හා ගුරුවරියන් 44 දෙනෙකු, වසංගතය කඩතුරාව ලෙස යොදා ගනිමින්, නිරෝධායන නීති කඩ කිරීම, මාර්ග අවහිර කිරීම යන චෝදනා යටතේ කොලඹ වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. ඔවුන් ඇප මත නිදහස් කෙරුනේ, ගුරුවරුන් සිරගත කිරීම පලල් මහජන විරුද්ධත්වයකට හේතුවන නිසාය. මේ සිද්ධියෙන් පසුව මහනුවර ගුරුවරු 26 දෙනෙකු හා මාතර ගුරුවරු තුන් දෙ‌නෙකු අත්අඩංගුවට ගැනීම් වාර්තා විය.

ගුරු දඩයමට එක්වෙමින්, ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යයන් මහා නායක බෞද්ධ භික්ෂුන් ද වඩම්මා ගෙන ප්‍රතිගාමී උද්ඝෝෂනයක් අරඹා තිබේ. ගුරු වර්ජනය නිසා දරුවන්ගේ අධ්‍යාාපනය “විනාශවන” බවත්, රට ආර්ථික දුෂ්කරතාවලට මුහුන දී සිටිය දී වැටුප් වැඩි කිරීම් ඉල්ලීම “අසාධාරන” බවත් එම ප්‍රචාරවලට ඇතුලත්ය.

“වර්ජිත ගුරුවරුන්ට වැටුප් සහිත නිවාඩු සහ තවත් දෙවල්” යන හිසින් සඳුදා පල කර තිබූ දි අයිලන්ඩ් කතුවැකියකින් වර්ජනය කරන ගුරුවරුන්ට වැටුප් දීම හෙලාදකින ප්‍රහාරයක් මුදා හැර තිබුනි.

ගුරුවරුන් භේද කිරීමට වර්ගවාදී ප්‍රකෝපකරනයක් ඇවිස්සීමේ තැතක් ද පවතී. පසුගිය සතියේ දිනමින පත්‍රය “වනක්කම් යාල්පානම් ටීචර්ස්” යනුවෙන් කතුවැකියක් පල කලේ ය. උසස් පෙල හා ශිෂ්‍යත්ව විභාග සඳහා යාපනයේ ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් අඛන්ඩව සිදු කරන බව කියා සිටින එම කතුවැකිය ඉදිරි වසර කිහිපයේ දී දකුනේ අධ්‍යාපනයේ “පසුබෑමක්” සිදු වනු ඇතැයි කියයි.

මෙම නරුම ප්‍රකාශ සැබෑ තත්වය උඩුයටිකුරු කිරීමක් ද වේ. යාපනයේ ගුරුවරු, සිය සහෝදරයන් සමග එක්ව වැටුප් අරගලයේ යෙදී සිටිති. ඒ හැරත්, පහසුකම් නැතිවීම නිසා වතුකරයේ, නාගරික හා ගම්බද දිලිඳු ජනයා, හා උතුරු නැගෙනහිර දරුවන් මාර්ගගත ඉගැන්වීම සඳහා ඉගැන්වීම්වලට සම්බන්ධවීම අඩු ප්‍රතිශතයක් ගත් බව සමීක්ෂනවලින් හෙලිදරව් කෙරුනි.

ධනපති ක්‍රමය රැකීමට කැපවී සිටින, මෙම ප්‍රචාර ගෙන යන්නන් තම අයිතීන් සඳහා අරගලයට එන කම්කරු පන්තියේ සෑම කොටසකටම එරෙහිව කඩා පනින්නේ මේ අයුරින්ම ය.

වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ආර්ථික අර්බුදයේ බර තම උර මත පැටවීමට එරෙහිව අරගලයට ඇදෙන කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයකට රාජපක්ෂ ආන්ඩුව අලුත් මට්ටමකින් සූදානම්වේ. ජනාධිපති රාජපක්ෂ අගෝස්තු 30 දා ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම ක්‍රමවත් කිරීමේ කඩතුරාවක් යටතේ රට තුල හදිසි නීතිය ප්‍රකාශ කිරීම එහි කොටසකි.

රටතුල මෙම හදිසි තත්වය ප්‍රකාශ කිරීමේ සැබෑ එල්ලය කම්කරු පන්තියේ වැඩෙන අරගල තලා දැමීම සඳහා ඒකාධිපති බලතල ජනාධිපතිගේ අතට ගැනීමයි. ඒ අනුව වර්ජන තහනම් කිරීම, කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමීම, දේශපාලන පක්ෂ තහනම් කිරීම, දේපල අත්පත් කර ගැනීම ආදී රුදුරු පියවර ගැනීමට මෙම හදිසි නීති තත්වය යොදා ගැනීමට ජනාධිපතිට බලය ලැබේ.

පසුගිය ආන්ඩු, හදිසි නීති දිගහැරියේ කෙසේද යන්න ගැන කම්කරු පන්තියට හා දුගීන්ට හා තරුනයන්ට ඇත්තේ ලේ වැකි අත්දැකීමකි. පෙර නුවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, ආන්ඩුව සූදානම් කරන්නේ ඒකාධිපති පාලනයකි.

පසුගිය මැයි මාසයේ හා ජුනි මාසවල දී රාජ්‍ය සේවයේ අංශ ගනනාවක මිලියනයකට අධික කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග තහනම් කිරීමේ හා අරගලයට පිවිසෙන කම්කරුවන් මත්තේ අපරාධ දඬුවම් පැනවීමේ හැකියාව ඇති “අත්‍යාවශ්‍ය සේවා පනත” මේ සතියේ නැවත වරක් බලාත්මක කලේ ය.

අඛන්ඩව අරගලයේ යෙදන ගුරුවරුන් ආන්ඩුවේ දඩයමට ඉලක්ක වීම සිදුවන්නේ මේ තත්වය තුලයි. ඊට එරෙහිව, ගුරු සමිති හැරී ඇත්තේ කම්කරු පන්තියේ අවශේෂ කොටස්, අධ්‍යාපනිකයන් ආරක්ෂා කිරීම සඳහා ගොනුකර ගැනීමට නොවේ. සන්ඩේ ටයිම්ස් වෙත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටැලින් ප්‍රකාශ කර ඇත්තේ, “ඇමති අබේගුනවර්ධනගේ ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා සෞඛ්‍ය බලධාරීන්ට ලිපියක් යැවීමට” ගුරු සමිති සැලසුම් කරන බවයි.

ආන්ඩුව සොච්චම් “වැටුප් වැඩිවීමක්” දී ගුරු අරගලය බිඳීමට ක්‍රියා කරද්දී වෘත්තීය සමිති එම සොච්චම එකවර දෙන ලෙස ඉල්ලමින් ඊට අනුගතවීම දැනටමත් ප්‍රකාශ කර තිබේ.

ගුරු දඩයමට එරෙහිව පලල් කම්කරු පන්තියේ සහයෝගය දිනාගනුවස් ගුරු-සිසු-දෙමව්පිය සුරක්ෂිතතා කමිටුව උද්ඝෝෂනයක් දියත් කරයි. එහි මුල් පියවරක් ලෙස ගුරු ක්‍රියාකාරීන්ට අත නොතබනු! රහස් පොලිසියේ පරීක්ෂනය නතර කරුනු! යනුවෙන් ප්‍රකාශ නිකුත් කරන ලෙස අපි ඉල්ලමු.

වැටුප් සටන ආරක්ෂා කිරීමට සහ අධ්‍යාපන අයිතීන් ජය ගැනීමේ සටන ඉදිරියට ගෙන යාමට සෑම පාසලකම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙසද අපි ඉල්ලමු.

ගුරුවරුන් මත එල්ල කෙරෙන ප්‍රහාරය ආන්ඩුවේ කප්පාදුවලට එරෙහිව අරගලවලට පිවිස සිටින අවශේෂ කම්කරුවන්, ගොවීන් ඇතුලු පීඩිත ජන කොටස් මත ආන්ඩුව දිගේලි කරමින් යන පලල් ප්‍රහාරයක කොටසකි.

ආන්ඩුවේ මෙම ප්‍රහාර නැවත නැවතත් ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය ඉදිරියේ මතු කර ඇත්තේ වෘත්තීය සමිතිවලින් බිඳී ගනිමින් රාජපක්ෂ ආන්ඩුවටත්, සමස්ත ධනේශ්වර පද්ධතියටත් එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන හා ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කිරීමේ දැවෙන අවශ්‍යතාවයයි.

Loading