සසප සාමාජිකයෝ හදිසි නීතියට විරුද්ධ වීමේ අවශ්‍යතාවය ගැන කම්කරුවන් සමග සාකච්ඡා කරති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගෝස්තු මස අගදී ප්‍රකාශයට පත් කල මර්දනීය හදිසි නීතිය පාලක පක්ෂයේ බහුතරයේ සහයෝගයෙන් හා විරුද්ධ පක්ෂවල යටහත් විවේචන සමගින්, පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුල සම්මත කරනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරුන්ගෙන් කීප දෙනෙක්- අගෝස්තු 5 වැනි දා ඇප මත නිදහස් කරනු ලැබීමෙන් අනතුරු ව

“මහජන ආරක්ෂාව හා යහපත තහවුරු කිරීමේ සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාමේ” ප්‍රකාශිත අරමුන සහිතව මෙම නීති සම්මත කරගැනීමේදී රාජපක්ෂ ආන්ඩුව කඩතුරාවක් ලෙස යොදාගනු ලැබුවේ පසුගිය මාස වල හාල් හා සීනි වැනි ද්‍රව්‍යයන් හිඟ වීම සහ ඒවායේ මිල දෙගුන වීමයි.

මෙම තතු තුල සමාජවාදී සමානතා පක්ෂය (සසප) ජනාධිපතිවරයාගේ මර්දනීය හදිසි නීතියට විරුද්ධ වනු! යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්, මෙම නව නීති රෙගුලාසි වල සැබෑ ඉලක්කය වනුයේ ආන්ඩුව විසින් රටෙහි ආර්ථික අර්බුදයේ බර තම උරමත පටවනු ලැබ සිටින කම්කරු පන්තිය හා ගම්බද ජනයා බව අනතුරු අඟවමින් ඔවුන් ඊට එරෙහිව සංවිධානය විය යුතු බව අවධාරනය කලේය.

ආන්ඩුවේ මර්දනයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී පැවත්වීමට නියමිත ප්‍රසිද්ධ රැස්වීම ගොඩනැගීමේ උද්ඝෝෂනයේ කොටසක් ලෙස විවිධ ක්ෂේත්‍රවල කම්කරුවන් සමඟ සසප ආරම්හ කල සාකච්ඡාවට උනන්දු සහගත ප්‍රතිචාරයක් දිනාගත හැකි විය.

අත්‍යවශ්‍ය ආහාර සැපයීම් සහ ඒවායේ මිල පාලනය කිරීමට ප්‍රමානවත් නීති තිබියදී ඒ සඳහා හදිසි නීතිය ගෙන ඒමෙන් ආන්ඩුවේ ඉලක්කය පැහැදිලි වන බව වර්ජනයේ නියුතු ගුරුවරයෙකු වන රුචිර පැවසුවේය. “හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කල බව දැනගත්තම මට සිහියට ආවේ ඕන වෙලාවක කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසියට බලය ලැබෙනවා කියන එකයි. ආන්ඩුවට ඇයි මේ වෙලාවෙ එහෙම දෙයක් කරන්න අවශ්‍ය කම්කරුවන් දඩයම් කරන්න උවමනා නිසයි කියා සසප ප්‍රකාශනයේ තියෙන දේට මම එකඟයි. මම හිතන්නේ ආන්ඩුවේ පලවෙනිම ඉලක්කය වෙන්න ඇත්තේ ගුරුවරුන්ගේ අරගලයයි”.

මාස දෙකක කාලයක් ඉක්මවා යමින් තිබෙන රජයේ පාසල් ගුරුවරුන් 250,000කගේ වර්ජනය සහ තවත් ක්ෂේත්‍ර ගනනාවක කම්කරුවන් අතරින් ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වර්ධනය වන විරෝධතා රුදුරුම අන්දමින් මර්දනය කිරීම සඳහා නව හදිසි නීති සහ දිගින් දිගටම අලුත් කරන අත්‍යවශ්‍ය සේවා නියෝග යොදා ගැනීමට ආන්ඩුව සැරසෙන බව මෙහිදී සාකච්ඡා කෙරුනි.

අනතුරුව ඔහු සඳහන් කලේ, අනෙක් කම්කරුවන් බියවැද්දීම සඳහා ආන්ඩුව පලමු කොටම හදිසි නීතිය යටතේ ගුරුවරුන්ගේ අරගලයට එරෙහිව දඩයමක් දියත් කිරීමට බොහෝ දුරට උත්සාහ දරනු ඇති බවයි. “ ආන්ඩුවෙන් කොච්චර බැට දුන්නත් ඊට විරුද්ධව ඇඟිල්ලක් වත් උස්සන්නෙ නැති මහජනතාවක් තමයි ආන්ඩුවට ඕනෙ. කම්කරුවෝ එහෙම ඉන්න සූදානම් නැහැ. ඔවුන් පන්තියක් හැටියට තමන්ගෙ ශක්තිය ගැන විශ්වාස කල යුතුයි.”

කොලඹ වරායේ සුභ සාධන අංශයේ කම්කරුවෙක් මෙසේ පැවසීය. “මේ හදිසි නීතිය සම්මත කර ඇත්තේ කම්කරුවන්ගේ අරගල ගුරුවරුන්ගේ අරගල හා සිසුන්ගේ අරගල වැඩෙන තත්වයක් තුලයි.”. ආන්ඩුවේ ආර්ථික අර්බුදය මැද වරාය අධිකාරියෙ ඉඩම් හා තවත් දේපල විකිනීමට සූදානමක් පවතින බවත් ඒ හේතුවෙන් තමන්ගේ රැකියාවන් අනාරක්ෂිත තත්වයකට පත්වන බවත් ඔහු පැවසුවේය.

“දැනටමත් වරායේ මිනිස් බල කම්කරුවන් අඩු වැටුපට සූරා කමින් ස්ථිර රැකියා ඉවත්කිරීම ආරම්භ කරලයි තියෙන්නේ. වරාය නිල නිවාස නොවැම්බර් වෙනකොට භාර දීමට නියම කරලා. කම්කරුවො නොසන්සුන් වෙමින් ඉන්නෙ. ඔවුන් නුදුරේම අරගල වලට ප්‍රවේශ වෙන බව දැනගෙනයි ආන්ඩුව මෙවැනි මර්දන නීතියක් ගෙනෙන්නේ” යැයි ඔහු අවධාරනය කලේය. “මම සසප ප්‍රකාශයට එකඟයි. කම්කරුවන්ගේ අරගල ජයග්‍රහනය කරා ගෙන යාමට නම් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම අත්‍යවශ්‍යයි”

කොලඹ වරායේම අලුත්වැඩියා අංශයේ කම්කරුවෙක් කියා සිටියේ ලංකාවේදී වගේම බොහෝ රටවල පාලක පන්තීන් ආඥාදායක පාලනයක් කරා ගමන් කරන්නේ ධනපති ක්‍රමයේ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස යැයි සසප ප්‍රකශනයේ කෙරෙන් පැහැදිලි කිරීමට තමන් එකඟ බවයි. එමෙන්ම ලංකාවේදී හදිසි නීතිය පැනවීමට විපක්ෂයේ විරුද්ධත්වය ව්‍යාජයක් බව ඔහු පැවසීය. “සියලුම ධනපති පක්ෂ කම්කරු පන්තියේ ස්වාධීන නැගිටීමකට බයයි.”

ආන්ඩුවේ පන්ති යුධ සූදානම ව්‍යාජ-වම්මුන්, වෘත්තීය සමිති ඇතුලු විපක්ෂයේ සියලු කන්ඩායම් වසංකරගෙන සිටින ආකාරය මෙම සාකච්ඡාවන් හිදී සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ.

ඊට ප්‍රතිචාර දක්වමින් වරාය කම්කරුවා මෙසේ පැවසීය: “මුලින්ම වරාය කම්කරුවන්ට එරෙහිව අත්‍යවශ්‍ය සේවා නියෝගය පනවද්දී එකම විරුද්ධ පක්ෂයක් හෝ ව්‍යාජ-වමේ පක්ෂයක් හෝ ඊට එරෙහිව එකම වචනයක් හෝ කථා කලේ නැහැ. ඒ ඔවුන් ධනපති ක්‍රමයට ගැති ව්‍යාපාර නිසයි මේ මර්දනයට එරෙහිව සටන් කිරීමේදී කම්කරුවන්ට ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සිදුවන්නේ ඒ නිසයි”

ඉදිකිරීම් අංශයේ තාක්ෂනික නිලධාරියෙක් පැවසුවේ ලංකාවේ හදිසි නීතිය පැනවීමේ ඉතිහාසය දෙස හැරී බැලීමෙන් කම්කරු පන්තියට තමන් වෙත එල්ල වී ඇති අනතුර වටහාගත හැකි බවයි. “මම දන්නා තරමින් ලංකාවේ චිත්‍රපට කලා නිර්මාන පවා මේ හදිසි නීතිය යොදාගෙන තහනමට ලක්කරල තියෙනවා. විශේෂයෙන්ම මේ දිනවල අපි දකිනවා ආන්ඩුවට විරුද්ධව අදහස් දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ට අසත්‍ය තොරතුරු මුදාහැරීමේ චෝදනා ගොනු කරමින් දඩයමක් දියත් කරනවා. ඒ හැම අවස්ථාවකම දකින්න ලැබුනේ ආන්ඩුව තමන්ට එරෙහිව එල්ලවෙන කිසිම විවේචනයකට ඉඩනොතබන බවයි. හදිසි නීතිය යටතේ වැඩි වැඩියෙන් ආන්ඩුව මේ වගේ ප්‍රහාරවලට යයි”

ආන්ඩුව හදිසි නීතිය යෙදුවේ ජන ජීවිතය යහපත් කිරීම යැයි කිසිඳු මිත්‍යාවක් කම්කරුවන්ට නොතිබිය යුතුයැයි ඔහු පැවසුවේය.

“මිනිස්සුන්ගෙ යහපත හිතනව නම් මේ වෙලාවෙ ආන්ඩුව කල යුත්තේ වසංගතයෙන් ජීවිත ආරක්ෂා කිරීමයි. අත්‍යවශ්‍ය නොවන නිශ්පාදන වසා දැමිය යුතුයි. අපි වැඩකරන ව්‍යාපෘති වල දිනපතාම ආසාදිතයන් වාර්තා වෙනවා. ඒත් ආන්ඩුව ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කරදීම සඳහා මේවා විවෘතව තබාගැනීමට ඉඩදීල තියෙනවා. දැන් එන්න එන්නම පීසීආර් පරීක්ෂන අඩුකරනවා. රෝහල් පහසුකම් වැඩි කිරීමක් සිද්ධ වෙන්නෙ නැහැ. එක පැත්තකින් බඩු මිල වැඩිවෙද්දි අනික් පැත්තෙන් මිනිස්සුන්ට ලැබෙන සොච්චම් සහනාධාර පවා කප්පාදු කරනවා. හදිසි නීතිය මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් කියල ආන්ඩුව කියන කතාව මේ නොතැකීමත් එක්ක අපි සංසන්දනය කරල බලන්න අවශ්‍යයි. එතකොට ආන්ඩුවේ බොරුව තේරුම්ගන්න පුලුවන්”.

සසප දේශපාලන මගපෙන්වීම යටතේ පිහිටුවන ලද ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ ඊයේ පැවති සාකච්ඡාවේදී සසප ප්‍රකාශය සාකච්ඡාවට ගැනුනු අතර එහිදී එක් ගුරුවරයෙකු පැවසුවේ ආන්ඩුවේ පියවර ඔවුන්ගේ පැත්තෙන් පන්ති යුද්ධය තීවෘ කිරීමක් බවට කෙරෙන පැහැදිලි කිරීමට තමන් එකඟ වන බවයි. “ඉදිරියේදී එන අරගල මතුවීමටත් පෙර තලා දැමීමට ආන්ඩුව සූදානම් වෙමින් ඉන්නේ. මේ නීති කම්කරු පන්තියට කරන තර්ජනයක් වගෙයි. ආන්ඩුව කම්කරුවන්ට කියන්නේ පුලුවන් නම් නැගිටපල්ලා, අපි උඹලට විරුද්ධව හැම ආයුධයක්ම මුවහත් කරගෙන ඉන්නේ කියලයි”

තවමත් මේ තත්වයට මුහුනදීමට කම්කරුවන්ට සූදානමක් නැතැයි පැවසූ ඔහු අවධාරනය කලේ, ඒ සූදානම් ඇතිකර ගැනීමට නම් ඔවුන් ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන, ඒ කමිටු අතර පුලුල් සාකච්ඡා ගොඩනගමින් පලමු කොටම මේ අනතුරේ සැබෑ ගැඹුර වටහාගත යුතු බවයි. “පන්තියක් හැටියට ස්වාධීනව තමන්ගේ ශක්තිය ගොනු කිරීම කම්කරුවන්ට ආන්ඩුවේ ප්‍රහාරයට මුහුනදීමට ඇති එකම ක්‍රමයයි”

Loading