ඉන්දියාවේ බලධාරීහු ලංකාවේ සරනාගතයන් ගැන කිඹුල් කඳුලු හෙලති

[මෙහි පලවන්නේ Indian officials shed crocodile tears over Sri Lankan Tamil refugees යන මැයෙන් 2021 සැප්තැම්බර් 6දා පල වූ ලිපියේ පරිවර්තනය යි.]

තමිල්නාඩුවේ සරනාගත කඳවුරුවල දශක ගනනාවක් තිස්සේ රඳවා සිටින ශ්‍රී ලංකික දෙමල සරනාගතයන් මෙම කඳවුරුවල පවත්නා කාලකන්නි ස්වභාවය නිසා නිතර ම සියදිවි නසා ගැනීමට උත්සහ දරති. කොවිඩ්-19 ගෝලීය වසංගතයට ඉන්දියානු ආන්ඩුවේ මිනීමරු ප්‍රතිපත්තියට එරෙහි ව සමාජ කෝපය වැඩී යන තතු තුල, දෙමල සරනාගතයන් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් කුහක ප්‍රකාශයක් සිදු කලේ ය.

තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටැලින් (විකිමීඩියා කොමන්ස්)

අගෝස්තු 27දා කල මිනිත්තු නවයක කතාවක දී ස්ටැලින් මෙසේ කීවේ ය: “කඳවුරුවල ජීවත් වන හා එම කඳවුරුවලට පිටස්තර ව ලියා පදිංචි වී සිටින ශ්‍රී ලංකාවේ සරනාගතයන්ට, මූලික පහසුකම් වැඩි දියුනු කිරීම, පුරවැසි භාවය ප්‍රදානය කිරීම සහ පෙරලා ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය අයට යෝග්‍ය සැලසුම් සකස් කරමින්, සුදුසු සහයෝගය සම්පාදනය කිරීම වැනි දීර්ඝ-කාලීන විසඳුම් ගැන‌‌සොයා බැලීම සඳහා උපදේශක කමිටුවක් පත් කරනවා.”

“මේ සඳහා රුපියල් 317 කෝටි 40 ලක්ෂයක් (ඩොලර් මිලියන 51ක්) වෙන් කරන බව මේ ව්‍යවස්ථාදායකයට දැනුම් දීමට මම කැමතියි” යි ඔහු වැඩි දුරටත් කීවේ ය.

කඳවුරුවල තිබෙන ගරා වැටුනු නිවාස 7,469කට විදුලි බලය, වැසිකිලි, නල ජලය, ලමා අධ්‍යාපන පහසුකම් සහ නොමිලේ ගෑස් පෝරනු ඇතුලු උපකරන සැපයීමට ඔහු පොරොන්දු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිතුරියක වන ස්ටැලින්ගේ සහෝදරියක් ට්විටර් පනිවුඩයක මෙසේ සටහන් කලා ය: “කඳවුරු තුල මූලික පහසුකම්වලින් පවා තොර ව අත්හැර දමා සිටින ශ්‍රී ලංකික දෙමල වාර්ගිකයන්ට අනාගත සැලසුම් හා අභිමානවත් ජීවිතයක් නිවේදනය කිරීම ගැන මහ ඇමතිවරයාට ස්තුතියි. කඳුලු මුහුදක තනි වී සිටින අයවලුන්ට සමුද්‍රීය පරිවර්තනයක්.”

ඊට අමතර ව, “ශ්‍රී ලාංකික දෙමල සරනාගත කඳවුර” “ශ්‍රී ලාංකික දෙමල පුනරුත්ථාපන කඳවුර” ලෙස යලි නම් කරන ආඥාවක් තමිල්නාඩු ආන්ඩුව විසින් නිකුත් කර ඇත. හුදෙක් පාලක ඩීඑම්කේ පක්ෂය පමනක් නො ව, විපාර්ශවික ඒඅයිඒඩීඑම්කේ සහ ස්ටැලින්වාදී පක්ෂ ඇතුලු සියල්ලන්ගේ සරනාගත-විරෝධී ම්ලේච්ඡත්වයේ වාර්තාවෙන් තමන් ම දුරස්ථ වීමට, ස්ටැලින්, ප්‍රාන්ත ආන්ඩුව සහ තමිල් නාඩු දේශපාලන සංස්ථාපිතය දරන කුහක උත්සාහයකි, මෙය.

ඩීඑම්කේ හා ඒඅයිඒඩීඑම්කේ පක්ෂවල පොරොන්දු, ඒවා මුද්‍රනය කරන කඩදාසි තරම් වත් නො වටී. අවසන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරන ඇතුලු දශක ගනනාවක් පුරා, සරනාගතයන්ට ඉන්දියානු පුරවැසි භාවය ලබා දෙන බවත්, ඔවුන්ගේ ජීවිත දියුනු කරන බවටත්, ඔවුහු මැතිවරනවල දී පොරොන්දු වූ හ. අනිවාර්යයෙන් ම, මෙම පොරොන්දු ඔවුන් තේරී පත්වූ වහා ම, අත්හැර දමන ලදී.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය දෙවන ලෝක යුද්ධයෙන් පසු, 1947 ඉන්දියාව බෙදීම තුල ගබ්සා කිරීම මගින් නිර්මිත ධනපති ජාතික-රාජ්‍ය පද්ධතියේ රාමුව තුල වසංගතය මෙන් ම, ඉන්දු උප-මහාද්වීපය තුල ජනවාර්ගික ගැටුමේ කටුක උරුමයට එරෙහි ව සටන් වැදිය නො හැක. අව්‍යාජ අරගලයකට, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාව හා බලමුලුගැන්වීම අවශ්‍ය කරයි.

ස්ටැලින්‌ගේ ප්‍රකාශයන්ට, පැහැදිලි ව ගනන් බලන ලද ප්‍රතිගාමී දේශපාලනික ප්‍රේරකයන් පවතී.

  • පලමුව, කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ, මෝදි නායකත්වය දෙන බීජේපී ආන්ඩුව ද තමිල්නාඩුව තුල එය ඒඅයිඒඩීඑම්කේ හා දැන් ඩීඑම්කේ විසින් එය හසුරුවන සාපරාධී ස්වභාවය ද විශේෂයෙන් ම මෝටර් රථ කම්කරුවන් ඇතුලු වැඩ කරන ජනයා අතර විශාල කෝපයක් හා විරෝධතාවක් දැනට මත් අවුලුවා ඇත. ඉන්දියානු දෙමල කම්කරුවන් අතර පලල් සහයෝගයක් පවතින ශ්‍රී ලාංකික දෙමල සරනාගතයන්ගේ ඉරනම, සමාජ පිපිරීමක් අවුලුවතියි ඩීඑම්කේය බියට පත් වේ. එබැවින්, දෙමල ජාතිකවාදී අක්තපත්‍ර ඔප්නංවා ගැනීමට ඩීඑම්කේය ඉලක්ක කරයි.

  • දෙවනුව, මෝදි ආන්ඩුවට, එය කොවිඩ්-19 වසංගතය හසුරුවන ආකාරයට, හා එලඹෙන මැතිවරනවල දී “අනාගමික සභාගයක්” සූදානම් කරමින් සිටින එහි තමිල්නාඩු සගයන්ට එරෙහි ව පවතින සුවිශාල කෝපය අපසරනය කිරීමට එය ඉලක්ක කරයි. ඉන්දියාවේ සීපීඅයි හා සීපීඑම් යන ස්ටැලින්වාදී පක්ෂ, කුලවාදී හා ප්‍රජාගනවාදී පක්ෂ ඩීඑම්කේට මුක්කුව දෙමින් සිටිති.

1983-2009 අතර ලංකාව තුල වාර්ගික යුද්ධය පැවති සමයේ මෙම සරනාගතයෝ ඉන්දියාවට පලා ආ හ. පසුගිය වසර 38 තුල තමිල්නාඩුවේ පැවතී ඇති සියලු දේශපාලන වර්නවල ප්‍රාන්ත ආන්ඩු යටතේ, දහස් ගනනක් දෙනා මූලික පහසුකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රහිත ව, කඳවුරු තුල ජීවත් වී ඇත. මදුරායි, එරෝඩ්, දින්ඩිගුල්, රාමනාදපුරම්, සිවගංගායි, පුදුකොට්ටෛ, කොයිම්බතෝර්, කන්චිපුරම්, ට්‍රිචි හා තිරුවල්ලුර් ඇතුලු තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 28ක් තුල පවතින කඳවුරු 115ක 70,000ට අධික ජනකායක් රඳවනු ලැබ සිටිති. තවත් ශ්‍රී ලාංකික දෙමල සරනාගතයින් 34,135ක් තමිල්නාඩුවේ කඳවුරු රහිත ව සිටිති.

1983 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පුපුරා ගිය විට, ඉන්දියාවේ කොංග්‍රස් ආන්ඩුව සහ ස්ටැලින්වාදීන් සමග මැතිවරන සන්ධානයක් යටතේ ප්‍රාන්තයේ බලයට පැමිනි ඒඅයිඒඩීඑම්කේ ආන්ඩුව, සියලු ඉන්දීය නාවික ආරක්ෂක සීමාවන් ඉවත් කොට, සරනාගතයන්ට ඉන්දියාවට ඇතුල් වීමට අවසර දුන් හ. වෙරලට සේන්දු වූ දෙමල ජාතිකවාදී දේශපාලනඥයෝ, සරනාගතයන් සාදරයෙන් පිලිගත් හ. ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වූ ඔවුහු, “සිංහල හමුදාව මාරුවෙන් මාරුව දෙමල කාන්තාවන් දූෂනය කරනවා” වැනි සිංහල-විරෝදී උන්මාදනීය සටන් පාඨ දියත් කල හ.

එක්සත් ජනපද ආන්ඩුව සහ සෝවියට් සංගමය අතර පැවති සීතල යුද්ධය සමයේ, ඉන්දියානු ධනේශ්වරයේ නියෝජිතයෝ, සරනාගතයන් ඉන්දියාවට පමුනුවා ගැනීම සඳහා උද්ඝෝෂනය කල හ. ඔවුන්ගේ කලාපීය ආධිපත්‍යධාරී අවශ්‍යතා ඉදිරියට දැමීමට ඔවුන් මෙය යොදාගත්තේ, ශ්‍රී ලංකාවේ “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” ඉස්මතු කොට දක්වමිනි. ඉන්දියානු මාධ්‍ය තුල, ශ්‍රී ලංකාවේ මිලිටරි අපරාධ සහ සරනාගතයන්ගේ ඉරනම පිලිබඳ වාර්තා දෝරේ ගැලුවේ ය.

ස්ටැලින්වාදීන් විසින් 1991 දී සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් පසුව, ඉන්දියානු ධනේශ්වරය වොෂින්ටනය දෙසට ප්‍රතිපත්ති මාරු කිරීම අරඹද්දී, ඉන්දියානු දේශපාලන සංස්ථාපිතය ඔවුන් ව වඩ වඩා “නීති-විරෝධී සංක්‍රමනිකයන්” ලෙස හෙලාදුටුවේ ය. වාර්ගික යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ ආන්ඩුවට එරෙහි ව සටන් වැදුනු දෙමල ජාතිකවාදී සන්නද්ධ කන්ඩායමක් වූ දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සමග සබඳතා තිබූ “සැකකරුවන්” ලෙස ඔවුන් ව වඩ වඩා හංවඩු ගසනු ලැබිනි.

සරනාගතයන්ගේ පැරනි පරම්පරාව කිසිදු වැඩක් කිරීමෙන් වලක්වනු ලැබ ඇත. ඔවුන්ගේ දරුවන් උපාධි ලබා සිටියත්, රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවය කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. තීන්ත ගෑම, ගොඩනැගිලි වැඩ, මාර්ග ඇතිරීම හා සාප්පු වැඩවල දෛනික කම්කරුවන් ලෙස වැඩ කිරීමට, දහස් ගනනක් වන නූගත් තරුන ජනයාට බලකරනු ලැබේ.

එල්ටීටීඊය සමග සබඳතා තිබේ යයි ඉන්දියානු ආන්ඩුව විසින් සැකකරනු ලබන සමහර සරනාගතයෝ, දැන් චෙංගල්පත්තු, පූනමලේ හා ට්‍රිචීහි වෙන ම කඳවුරු තුල රඳවනු ලැබ සිටී. මෙම “විශේෂ කඳවුරු” ඇත්ත වශයෙන් ම හිරගෙවල් ය. ඒවායේ වාසය කරන්නන්ට එලියට යාමට අවසර නැත. දිස්ත්‍රික්කවල නගරවලින් බොහෝ දුර ග්‍රාමීය ප්‍රදේශවල පිහිටුවන මෙම කඳවුරු, පොලීසිය හා තමිල්නාඩුවේ කිව් ඔත්තු බැලීමේ ඒජන්සිය විසින් පැය 24 පුරා අධීක්ෂනය කරනු ලැබේ. කඳවුරු තුල සිටින ඥාතීන් බැලීමට එන පිටස්තර අයවලුන්ගෙන්, පොලීසිය හා ඔත්තු සේවා ප්‍රශ්න කරති.

එහෙත්, එල්ටීටීඊයේ ඉතිරි ව සිටින ඉන්දියාව තුල තවමත් තහනම් වන නායකයන් මෙන් ම, කවියන්, ලේඛකයන් හා එල්ටීටීඊයේ දෙවන ගනයේ ඔත්තු බලන්නන්ට හා ඔවුන්ගේ පවුල්වලට තමිල්නාඩු පාලක සංස්ථාපිතය තුල සැලකිය යුතු බලපෑමක් තිබේ. සංස්ථාපිතයේ එම පුද්ගලයන් අතරට, ඩීඑම්කේ, ඒඅයිඒඩීඑම්කේ, ස්ටැලින්වාදී පක්ෂ මෙන් ම චිත්‍රපට කර්මාන්තයේ නිරත පුද්ගලයන් ඇතුලත් වේ.

ඉන්දීය පුරවැසි භාවය ඉල්ලමින් 2009 දී මදුරායි මහාධිකරනයේ ශ්‍රී ලාංකික සරනාගතයින් විසින් පවරා තිබූ නඩුවක්, පසුගිය මාසයේ කැඳවා තිබූ අවස්ථාවේ, ඉන්දීය ආන්ඩුව ශ්‍රී ලාංකික සරනාගතයින් නීති-විරෝධී සංක්‍රමනිකයන් ලෙස හැඳින්වී ය. ශ්‍රී ලාංකික සරනාගතයින්ට පුරවැසි භාවය ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙලෙස කරන ලද්දේ, එලෙස පුරවැසි භාවය ප්‍රදානය කලහොත්, බංග්ලාදේශ, ඇෆ්ගන්, රොහින්ග්යා, අප්‍රිකානු හා මධ්‍යම ආසියානු සරනාගතයන්ට ද ඉන්දීය පුරවැසි භාවය ප්‍රදානය කිරීමට සිදුවෙතැයි යන පදනම මත ය. ශ්‍රී ලාංකීය සරනාගතයන් දීර්ඝ-කාලයක් අපේක්ෂා කල බලාපොරොත්තු සුනු විසුනු කරමින් ව්‍යසනකාරී බලපෑමක් ඇති කල මෙම නිවේදනය, විරෝධතා මාලාවක් ම ඇවිලවී ය.

තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින්, ට්‍රිචිහි විශේෂ සරනාගත කඳවුරේ ශ්‍රී ලාංකීය දෙමල රැඳවියන් අසූ දෙනෙක් විරෝධතා දැක්වූ හ. තමන් නිදහස් කරන ලෙසත්, තමන්ගේ පවුල් සමග ජීවත් වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා, ඔවුහු විවිධාකාර උපවාස ද පවත්වමින් සිටිති. පසුගිය මාසයේ , “විශේෂ කඳවුරක” පැවැත්වූ උපවාසයක් සම්බන්ධයෙන්, පුද්ගලයන් 20 දෙනෙකුට චෝදනා එල්ල කරනු ලැබ තිබේ.

නිදි පෙති ගැනීම, එල්ලීම හෝ තමන්ගේ බඩවල් ඉරා විවර කිරීම ආදිය මගින් පුද්ගලයින් 16 දෙනෙක් එකවර දිවි නසා ගැනීමට තැත් කිරීමක් තමිල්නාඩුව කම්පනයට පත් කලේ ය. අගෝස්තු 29 සෙනසුරාදා, වසර අටක් තිස්සේ විශේෂ කඳවුරක සිටින මහේන්ද්‍රන්, වස බී දිවි නසා ගැනීමට තැත් කල අතර, අවසානයේ රෝහල්ගත කරන ලදී.

කෙසේ වෙතත්, ඩීඑම්කේ ආන්ඩුව නිදහස පිලිබඳ කිසිදු සහතිකයක් නො දෙන බවට දෘඪතර ව සිටී. ඩීඑම්කේ හෝ ඒඅයිඒඩීඑම්කේ සහ ඔවුන්ගේ ස්ටැලින්වාදී සගයන් මැතිවරන කාලවල දී හිස් පොරොන්දු ලබා දුන්න ද ඔවුන් සරනාගතයන් ව ආරක්ෂා කරන්නේ නැති බව, පසුගිය දශක හතර පෙන්වා දී ඇත. ඔවුහු යුද්ධය කරා ධාවනය වන හා මෑත වසරවල දී සරනාගතයන් කෝටි ගනනක් නිෂ්පන්න කර ඇති ධනේශ්වර පර්යායේ කොටසක් වෙති.

කොවිඩ්-19 වසංගතය නවතා මුලිනුපුටා දමන විද්‍යාත්මක පිලිවෙතක් සඳහා සටන් කිරීමටත්, සමාජවාදය සඳහා අරගලයේ පදනම මත කලාපය පුරා මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමටත් බලමුලුගැන්විය යුතු, ඉන්දීය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය ශ්‍රී ලාංකික සරනාගතයන්ගේ සැබෑ ආරක්ෂකයා වේ.