ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ අතිකාල සේවා කප්පාදුවට විරෝධය පාති

අතිකාල කප්පාදු කිරීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරීන්ගේ සැලැස්මට විරුද්ධව සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්නයේ කම්කරුවෝ පසුගිය සෙනසුරාදා වර්ජනයක නිරත වුහ. දිවයින පුරා තෙල් බෙදා හැරීමේ කටයුතු ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ කොලඹ කොලොන්නාවේ පිහිටි සංස්ථාවේ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙනි. ඉදිරි සතියට අවශ්‍ය තෙල් බෙදා හැරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවලය.

ඒ අනුව සෙනසුරාදා දිනවල තෙල් බෙදා හැරීමේ කටයුතුවල නිරතවන කම්කරුවන්ට අතිකාල ගෙවීම් කරනු ලබයි. එහෙත් පසුගිය සිකුරාදා තෙල් මෙට්‍රික් ටොන් 6000 බෙදා හැරීමට කටයුතු කල සංස්ථා බලධාරීන් කොලොන්නාව තොග ගබඩා පර්යන්තයේ කම්කරුවන් සෙනසුරාදා අතිකාල යෙදීම වැලැක්වීමට පියවර ගෙන ඇත. ඉතිරි තෙල් ප්‍රමානය බෙදා හැරීම සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් කිරීමට උත්සාහකර තිබේ.

සැප්තැම්බර් 11 සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීරනයේ කම්කරුවන් වර්ජනයේ යෙදුනේ ඊට එරෙහිවය. අතිකාල කප්පාදුව කෙරෙහි කම්කරුවන් අතර පවතින විරෝධය නිසා වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය කැඳවනු ලැබූ නමුත් එය සපුගස්කන්ද තෙල් පිරිපහදුවට සහ එක දිනකට පමනක් සීමා කිරීමට ඔවුහු වගබලා ගත්හ. සෙනසුරාදා දින අතිකාල කප්පාදුවට අමතරව සතියේ දිනවල අතිකාල සේවාව සඳහා ගෙවීම් ද කප්පාදු කිරීමට පියවර ගෙන ඇත. පෙර දී මාසයකට පැය 160 දක්වා අතිකාල ගෙවීම් කල නමුත් දැන් එය පැය 120 දක්වා අඩුකර තිබේ.

සේවකයන්ගේ අතිකාල කප්පාදුව තෙල් සංස්ථාව මුහුන දී ඇති දැවැන්ත අලාභය සහ නය පියවා ගැනීමටත්, කොරෝනා වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරුන ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමටත් රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමීමට තීන්දු කර තිබෙන පුලුල් ආර්ථික කප්පාදු සැලැස්මක කොටසකි

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මාධ්‍යට ප්‍රකාශකර ඇති ආකාරයට මෙම වසරේ මැයි මාසය වන විට තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 57 කි. මහජන බැංකුවට සහ ලංකා බැංකුවට රුපියල් බිලියන 652 ක් නය වී ඇත. මෙම නය පියවීම සඳහා ඩොලර් බිලියන 2.5 වානිජ නයක් විදේශ මුල්‍ය ආයතනයකින් ලබා ගැනීමට නියමිතය.

සංස්ථාව මෙම මුල්‍ය අර්බුදයේ බර, එහි කම්කරුවන් මත මෙන් ම තෙල් මිල දැවැන්තව ඉහල දැමීම මගින් පොදු මහජනතාව මත ද පටවා ඇත. සංස්ථාව ජුනි මාසයේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඔක්ටේන් 95 රුපියල් 23 කින් ඔටෝ ඩීසල් රුපියල් 7 කින් සුපර් ඩීසල් රුපියල් 12කින් සහ භුමි තෙල් රුපියල් 7කින් ද වැඩි කලේ ය.

.රට බරපතල ආර්ථික අර්බුදයක කිඳී සිටින බව ඇඟවුම් කරමින් තක්සේරුගත අභ්‍යන්තර රාජ්‍ය ආදායම මෙම වසරේ රුපියල් බිලියන 1,500-1,600 අතර ප්‍රමානයකින් පහත වැටී ඇති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කලේ ය. රටේ ශුද්ධ විනිමය සංචිතය “ශුන්‍යයට ආසන්න වී” ඇති බව ද ඔහු වැඩි දුරටත් එහි දී ප්‍රකාශ කලෙහි ය.

මෙම අර්බුදයේ සමස්ත බර වැඩකරන ජනතාව මත ට කඩා පාත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව සැලසුම් කර ඇත. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වල වියදම් කප්පාදු කරන ලෙස ඇමති බැසිල් රාජපක්ෂ ආයතන ප්‍රධානින් ට නියෝග කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන්ගේ අතිකාල කප්පාදු කිරීමට සංස්ථා බලධාරීන් සැලසුම් කිරීම එහි කොටසකි.

එමෙන් ම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස තෙල් සංස්ථාව පුද්ගලීකරනය කඩිනම් කිරීමට ද ආන්ඩුව තීන්දුකර තිබේ. ඒ සඳහා ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට නියමිත අතර එය මෙම වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බව මැයි මාසයේ දී ඇමති ගම්මන්පිල මාධ්‍යට සඳහන් කර තිබුනි.

ඉන්ධන ආනයනය, පිරිපහදුව සහ බෙදා හැරීමේ ඒකාධිකාරය පෙර දී සංස්ථාව සතුව පැවතින. 2002 පනතට සිදුකල සංශෝධනය යටතේ එම කටයුතු පාර්ශවීය වශයෙන් ඉන්දියානු තෙල් සමාගමට ද පැවරූ නමුත් යෝජිත සංශෝධනය අනුව එම කටයුතු පුද්ගලික අංශයට තව දුරටත් පැවරීමේ සහ පුද්ගලික අංශය සමග ඒ සඳහා හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමේ බලය ද ඇමතිට හිමි වේ.

ආන්ඩුවේ මෙම පිලිවෙත් කොරෝනා වසංගතයෙන් හා ජීවනතත්වයන් පිරිහීමෙන් පීඩාවට පත් වී සිටින කම්කරු පන්තියේ අරගල පුලුල්ව වර්ධනයවීමට කොන්දේසි සකසනු ඇත. එම අරගල රුදුරු ලෙස මැඩීමට අත්‍යාවශ්‍ය සේවා නීති සහ හදිසි නීති රෙගුලාසි බලාත්මක කරමින් රාජපක්ෂ ආන්ඩුව අවි අමෝරාගෙන සිටින්නේ එවන් තතු තුල ය.

සේවකයන්ගේ අයිතීන් කප්පාදු කිරීම සහ පුද්ගලීකරන සැලසුම් ක්‍රමානුකුලව සිදුවෙද්දී ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු ලබන ඛනිජ තෙල් පොදු සේවක සංගමය, ඛනිජ තෙල් ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා පොදුජන පක්ෂය මෙහෙයවන වානිජ හා සේවා සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාලනය කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති පසුගිය වසර ගනනාව තුල ම කලේ ආන්ඩුවට සහ සංස්ථා බලධාරීන්ට හුදු බලපෑම් දැමීමේ පුහු විරෝධතාවලට කොටුකර කම්කරුවන්ගේ විරෝධය යටපත් කිරීමය.

Loading