සෞඛ්‍ය සේවක සහෝදර-සහෝදරියනි,

ඉල්ලීම් දිනා ගැනීමේ සටන අපේ අතට ගෙන මෙහෙයවමු!

ආන්ඩුවට ඉදිරිපත් කල ඉල්ලීම් සැප්තැම්බර් 20 වනවිට නොලැබුනහොත්, සැප්තැම්බර් 22 දා දහවල් 12 ට සියලුම රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂන ව්‍යාපාරයක් සංවිධානය කරන බව, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස) සහ වෛද්‍ය රසායනාගාර තාක්ෂනඥයන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති 35කින් තැනුනු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කර තිබේ.

ජුනි 11දා අම්පාරේ දී විරෝධතාවේ යෙදෙන සෞඛ්‍ය කම්කරුවෝ ( ෆේස්බුක් වෙතිනි)

පසුගිය මාස තුන සඳහා ලබාදුන් රු. 7500 දීමනාව හා කොවිඩ් වසංගත සමයේ වැඩ අධික බව නිසා ලබා දුන් විශේෂ නිවාඩුව අඛන්ඩව ලබාදෙන ලෙසත්, ආරක්ෂිත ප්‍රවාහන පහසුකම්, අතිකාල සේවා ගෙවීම් හා පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) ඇතුලු කෝවිඩ් මර්දනයට අවශ්‍ය පූර්න පහසුකම් ලබාදෙන ලෙසත් සමිති ආන්ඩුවෙන් ඉල්ලා සිටිති.

පහත දැක්වෙන අයුරු වසංගතයෙන් වඩාත් උග්‍ර කෙරුනු දුෂ්කර රැකියා සහ ජීවන කොන්දේසි හමුවේ සේවයේ යෙදෙන අපට, වසංගත සමයේ විශේෂ මාසික දීමනා සහ නිවාඩු අඛන්ඩව ලබා ගැනීම මෙන්ම, සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම දැවෙන අවශ්‍යතාවයකි.

  • බොහෝ වාට්ටුවලට පීපීඊ සපයන්නේ අවශ්‍ය ප්‍රමානයෙන් තුනෙන් එකකි. ඒ නිසා ම නැවත නැවත පාවිච්චි කල නොහැකි මෙම ඇඳුම් සෝදා නැවත පාවිච්චි කිරීමට බලකෙරී ඇත. ඒ හේතුවෙන් ජීවිත අනතුරද මතු කෙරේ. අප ආසාදනය වන්නේ අපේම නොසැලකිල්ලෙන් බව පවසන සෞඛ්‍ය බලධාරීහු ආසදනයේ වගකීම අපට පවරන චක්‍රලේඛ නිරන්තරව නිකුත් කරති.
  • දැනට ආන්ඩුව පවත්වා ගෙන යන සීමීත අගුලු දැමීම තුල ප්‍රවාහන පහසුකම් කිසිත් නොමැතිවීම සෞඛ්‍ය සේවකයන් වන අප මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්නයකි. අප අතරින් සමහර අයට දිනකට රුපියල් 500 ත් 750 ත් අතර මුදලක් ප්‍රවාහන කටයුතු සඳහා වියදම් කිරීමට සිදු වී ඇත. ප්‍රවාහන අපහසුකම් නිසා නවාතැන්වල නතර වී සිටින සේවකයන්ට ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර, සේවයේ යෙදෙන අතරතුර කෑම බීම සපයා ගැනීම පවා ඉතා අසීරුව පවතී.
  • එමෙන්ම ආසාදනය වන සෞඛ්‍ය සේවකයින්, ආසාදනය වී දින 10 කින් පසු වැඩට ගෙන්වීම සහ රෝග ලක්ෂන නොමැති සේවකයින් දිගටම වැඩෙහි යෙදවීම ආන්ඩුව දිගටම කරගෙන යයි. මෙයින්, රෝගී සහ නිරෝගී සේවකයින්ට මෙන්ම, ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ට මරනීය ප්‍රතිවිපාක ජනිත කෙරී ඇත. නිල සංඛ්‍යාලේඛන වහංගු කර තිබුනද, සාමාන්‍ය ගනන් බැලීම් වලට අනුව 6,000ක් පමන සෞඛ්‍ය සේවක සේවිකාවන් මේවන විට ආසාදනය වී ඇත. අප පවුල්වල සාමාජිකයන් ආසාදනය වීම් ඉහල යන අතර සමහරුන් මරනයටද පත් වී තිබේ.
ජූනි 11 වැනි දා ගම්පොල රෝහලේ සෞඛ්‍ය කම්කරු විරෝධතාව (ලෝසවෙඅ මාධ්‍ය)

මෙම තතු තුල, අපේ ඉල්ලීම් දිනා ගැනීමේ සටන ජයග්‍රහනය දක්වා ගෙන යාමේ දැඩි අධිෂ්ඨානයක් අප සතු වුව ද, ජයග්‍රහනය සඳහා එය පමනක් ප්‍රමානවත් නොවේ. මෙම සටනේදී අප මුහුන දී සිටින යතා අභියෝග හඳුනා ගැනීමත්, එම අභියෝග ජයගත හැකි විද්‍යාත්මක වැඩපිලිවෙලක් මත අපේ සටන පාදක කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්හි සෑම කම්කරු සටනකදීම ආන්ඩුව කියා සිටින්නේ, තමා මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ, කම්කරු ඉල්ලිම් කිසිවක් ඉටුකල නොහැකි බවයි. වැඩි වැටුප් ඉල්ලා 250,000 කට අධික ගුරුවරුන් ගෙනයන වර්ජනය මාස දෙකක් ඉක්මවා තිබිය ද ආන්ඩුව එම ඉල්ලීම දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටී.

සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යංශ ඇතුලු සෑම රාජ්‍ය ආයතනයකම වියදම් කපා හරින ලෙස සහ නව බඳවා ගැනීම් නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය පසුගිය දා විධානය කලේය.

මෙම තතු තුල වෘත්තීය සමිති සිදු කරමින් සිටින්නේ, ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර තම සාමාජිකයන් මත පැටවෙන පරිදි, ඉල්ලීම් කප්පාදු කෙරෙන කූඨ ගනුදෙනු වලට යාමයි. මූලික වැටුපෙන් සියයට 78 ක විශේෂ මාසික දීමනාවක් වසංගත සමය තුල ලබාදෙන ඉල්ලා ජූනි 11 දා වර්ජනයට පිවිසි සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය, රුපියල් 7500 ක් දක්වා කප්පාදු කෙරුනු සහ මාස තුනකට පමනක් සීමා කෙරුනු මාසික දීමනාවකට යටත්කොට පාවා දීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කටයුතු කලේය.

ගුරු සංගම් ද, වර්ජනයේ යෙදී සිටින තම සාමාජිකයන්‌ගේ කැමැත්තට පිටින්, මුල් වැටුප් ඉල්ලීම තුනෙන් පංගුවකට කප්පාදු කෙරුනු ගනුදෙනුවකට කැස කවයි. නමුත් ආන්ඩුව කියා සිටින්නේ මුල් ඉල්ලීමෙන් දොලහෙන් පංගුවක් හැර අන් යමක් දිය නොහැකි බවයි. මෙම තතු තුල ගුරු සමිති විසින් සිදු කරමින් සිටින්නේ ද, ධනපති අර්බුදය ගුරුවරුන් මත පැටවීමේ භූමිකාවයි.

අනෙක් අතට, ආන්ඩුව වැඩෙන පංති අරගල තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ජනාධිපති ආඥාදායක පාලනයක් වෙතට වේගයෙන් වාරු වෙමින් සිටී. මාස කීපයකට පෙර පැනවූ 'අත්‍යාවශ්‍ය සේවා' නියෝගයන්හි සහ අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය සැපයීමේ මුවාවෙන් ආන්ඩුව පසුගිය දා පැනවූ හදිසි නීතියේ සැබෑ අරමුන මෙම අරගල රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීමයි.

අත්‍යාවශ්‍ය සේවා නියෝගයන්හි හා හදිසි නීතියේ මෙම අන්තරායන් කම්කරුවන්ගෙන් සඟවන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමිති ඇතුලු සියලු වෘත්තීය සමිති ඊට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් නොපෙන්වන්නේ ඔවුන් ධනපති ආන්ඩුවේ හා ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන බැවිනි.

වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාවගේ උරමත පැටවීමටත්, එයට එරෙහිව වැඩෙන අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීමට ආඥාදායකත්වයන් වෙතට මාරුවීමටත්, රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ලොවපුරා පාලන තන්ත්‍රයන්ට වෛෂයිකව බලකෙරී ඇති තතු යටතේ, ආන්ඩු වලට පීඩනය යෙදීමෙන් ඉල්ලීම් දිනාගත නොහැකි බව ලංකාවේත් ලොවපුරාත් කම්කරු පංතිය අත්දකිමින් සිටී.

මෙම තතු තුල, අපේ අරගලය ඉදිරියට ගෙනයාම සඳහා ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට අභියෝග කෙරෙන දේශපාලන වැඩපිලිවෙලක් මත එය සංවිධානය කරගත යුතුවෙයි. ධනපති ක්‍රමයට තදින් බැඳී ඇති වෘත්තීය සමිති එවන් අරගලයකට මුලුමනින්ම සතුරුය. සෞඛ්‍ය සමිති 22 දා විරෝධතා උද්ඝෝෂනය කැඳවා ඇත්තේමත්, සෞඛ්‍ය කම්කරුවන්ගේ වැඩෙන සටන්කාමිත්වය එවන් ස්වාධීන දේශපාලන අරගලයක් වෙතට යොමුවීම වලකා, ආන්ඩුවට බලපෑම් දැමීම තුල යලිත් කොටු කිරීමේ අරමුනෙනි.

සෞඛ්‍ය සේවකයන් වන අප රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනයන්හි ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු තනාගත යුත්තේ එබැවිනි. සාමාජිකයන් අතර සිදු කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මඟින් තීන්දු තීරන ගනු ලබන එම කමිටු හරහා සටන අපේ අතට ගත යුතුව ඇතැයි අපි කියා සිටිමු.

ශ්‍රේනි භේදයකින් තොරව සෞඛ්‍ය සේවය තුල සංවිධානය කල යුතු මෙම සටන මේ වන විට අධික ජීවන බරෙන් හා වසංගතයෙන් බැටකන කම්කරු පන්තියේ සියලු කොටස් තුලට ගෙනයාම අවශ්‍යවේ. විශේෂයෙන්ම ගුරුවරුන්ගේ අරගලය සමඟ සෞඛ්‍ය කම්කරු අරගලය ඒ්කාබද්ධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරි කමිටුව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් කෙෂත්‍රයන්හි සියලු කම්කරුවන්ට ඇරයුම් කරන්නේ තම සේවා ස්ථානවල මෙවන් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස යි. ඒම කමිටු වල ජාලයක් අප ගොඩ නගා ගත යුතුය. අනෙක් රටවල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු සමග ඒකාබද්ධ වෙමින් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර ජාලයක් ගොඩ නැගීමට අපි සටන් වදින්නෙමු.

පහත විද්‍යුත් ලිපිනයෙන් හෝ දුරකථනයෙන් අප සමඟ සබඳතා ගොඩ නගා ගන්නා ලෙසත් එමගින් සාකච්ඡාවන්ට එලඹෙන ලෙසත් අපි ඔබට ආරාධනා කරමු.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව

විද්‍යුත් ලිපිනය (ඊ මේල්): healthworkers-sl@wsws.org

දුරකතන: 0773562327

Loading