රාජපක්ෂ ආන්ඩුව පුද්ගලීකරන වැඩපිලිවෙල වේගවත් කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ රාජපක්ෂ ආන්ඩුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය වේගවත්කොට ඇත. එහි කොටසක් ලෙස වරාය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලඛනීස ), විදුලි බල මන්ඩලය (විබම) පුද්ගලීකරනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කෙරී පවතී. මෙම වර්ධනයන් කම්කරුවන්ගේ බලවත් අවධානයට යොමුව ඇත.

කොලඹ වරාය: වරාය අධිකාරිය යටතේ පවතින කොලඹ වරාය අසල ඉඩම් අක්කර 13ක් (හෙක්ටයාර 5.3ක් ) චීනයට අයත් කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (සීඅයිසීටී) පැවරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව තීන්දු කර ඇත. පසුගිය අගෝස්තු 27 දින, වරාය හා නාවික ඇමති රෝහිත අබේගුනවර්ධන විසින් මේ පිලිබඳ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනුනි.

කැබිනට් පත්‍රිකාවට අනුව, 'කොලඹ වරායේ සේවා සැපයුම් වලට අනුරූප පූර්වගාමී සංවර්ධන ක්‍රියාවලියක්' සඳහා මෙම ඉඩම පවරනු ලබයි. කොලඹ දකුනු වරායට අයත් ඉතා වටිනා බැටන්බර්ග් සහ බ්ලූමැන්ඩල් යන ප්‍රදේශ වලින් මෙම භූමිය වෙන්කෙරේ.

පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ විරෝධය

කොලඹ වරාය පුද්ගලීකරනය බොහෝ කලකට පෙර ආරම්භ කෙරුනකි. එයට එරෙහිව පැන නැගුනු කම්කරුවන්ගේ බරපතල විරෝධය හුදු ආන්ඩුවලට බලපැම් දැමීමේ වඳ සටන් වලට කොටුකිරීමට වෘත්තීය සමිති ගෙනගිය ද්‍රෝහී භූමිකාව ප්‍රයෝජනයට ගනිමින් අනුප්‍රාප්තික ආන්ඩු විසින් පුද්ගලීකරනය දීර්ඝව ඉදිරියට ගෙන යනු ලැබිනි.

1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව යටතේ කොලඹ වරායේ එලිසබෙත් රැජින පර්යන්තය පුද්ගලීකරනය කරනලද අතර, 2012 දී කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉදිකර පවත්වාගෙන යාමට චීනයේ “චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස්”සමාගමට පවරනු ලැබිනි. හම්බන්තොට වරාය හා කොලඹ වරාය නගර ව්‍යාපෘතීන් චීනයට පවරාදී තිබූ තත්වයේදී, ඊට උරනව සිටි වොෂින්ටනය හා නවදිල්ලිය කල බලපැම් යටතේ වෘත්තීය සමිතිවල අනුමැතියෙන් බටහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට පවරාදී ඇත. මෙම කාල පරිච්චේදය තුල ශ්‍රම බලකාය තියුනු ලෙස අඩු කර තිබේ. පුද්ගලික මිනිස්බල (මෑන් පවර්) සමාගම් වලින් සපයා ගන්නා කම්කරුවන් අඩු වැටුපකට කොන්ත්‍රාත් පදනමේ සේවයේ යොදවා ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලඛනීස): ලඛනීස පුද්ගලීකරනය කඩිනම් කිරීමට ද ආන්ඩුව තීන්දුකර තිබේ. ඒ සඳහා ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට නියමිත අතර එය මෙම වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බව මැයි මාසයේ දී බලශක්ති ඇමති උදය ගම්මන්පිල මාධ්‍යට සඳහන් කර තිබුනි.

ලඛනීස විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවිය යුතු නය ඩොලර් බිලියන 3.3 ක් පමන වන බව ඇමති ගම්මන්පිල කැබිනට් මන්ඩලයට දැනුම් දී ඇති අතර බලශක්ති අමාත්‍යාංශය එක්සත් ජනපදය පදනම් කරගත් ‘කන්සෙප්ට් ග්ලෝබල්’ මූල්‍ය ආයතනයෙන් ඩොලර් බිලියන 2.5 ක නයක් වහාම ලබා ගැනීමට තීරනය කර ඇතැයිද වාර්තාවේ.

ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම): ලංවිම පුද්ගලීකරනය සදහාද ආන්ඩුව පියවර ගනිමින් සිටියි. මහා භාන්ඩාගාරයට අයත් කෙරවලපිටිය යුගධනවි බලාගාරයේ කොටස් වලින් සියයට 40 ක් එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමකට විකිනිම සඳහා මුදල් අමාත්‍යාංශය අත්සන් තබා ඇති බව ජූනි 11 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කලේය.

ලංකාව තුල රාජ්‍ය ආයතන සහ සංස්ථා පුද්ගලීකරනය ආරම්භ කෙරුනේ, 1977 දී බලයට පත් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව මගින් හඳුන්වාදෙනු ලැබූ 'විවෘත ආර්ථික ප්‍රතිපත්තිය' යටතේ ය. 1970 ගනන් වල අග භාගයේ ඇරැඹුනු නිෂ්පාදනයේ භූගෝලීයකරන සන්තතියට ලංකාව ඒකාග්‍ර කෙරුනු 'විවෘත ආර්ථික ප්‍රතිපත්තිය' යටතේ රට තුල විදේශ ආයෝජනයන් සහ පුද්ගලීකරනය දිරිමත් කෙරුනි. අනතුරුව බලයට පැමිනි සියලු අනුප්‍රාප්තික ආන්ඩු විසින් මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙනයන ලදී.

එමගින් රැකියා දසදහස් ගනනක් විනාශ කල ධනපති පාලකයෝ, පුද්ගලීකරනයට ලක් කෙරුනු ආයතනයන්හි තවදුරටත් සේවයේ යෙදුනු කම්කරුවන්ගේ දීමනා සහ වැටුප් දැවැන්තව කප්පාදු කරමින් වැඩ වේගවත් කලෝය. මෙයට සමාන්තරව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වඩවඩාත් පාගා දැමුනි.

කොවිඩ්-19 වසංගතයෙන් ගැඹුරු කෙරුනු දැවැන්ත ආර්ථික අර්බූදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුවට, පෙරනොවූවිරූ අයුරින් පුද්ගලීකරනය වේගවත් කිරීමට බලකෙරී ඇත. ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබන මාසයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන ඩොලර් මිලියන 800 ක නය මුදල සඳහා පැනවෙන කොන්දේසි අතර පුද්ගලීකරනය වේගවත් කිරීම ඉහලින්ම පවතී.

තම අර්බූදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේදී පැන නගින කම්කරු විරෝධය තලා දැමීම සඳහා ආන්ඩුව හදිසි නීතිය බලාත්මක කර අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා ඇත.

වරායේ, විදුලි බල මන්ඩලයේ හා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එක්ව පිහිටුවා ගත් “ජාතික සම්පත් ව්කිනීමට එරෙහි තෙල්, වරාය, ව්දුලිබල ඒකාබද්ධ සන්ධානය”, බෞද්ධ භික්ෂූන් සහ අන්‍ය ආගමික පූජකයන් සමග එක්ව සියලු 'දේශප්‍රේමීන්ට' සහ ආන්ඩුවේ හා විරුද්ධ පක්ෂ කොටස් වලට ආයාචනා කරන 'ජාතික සංවිධානයක්' ගොඩනැගීමේ ප්‍රතිගාමී වැඩපිලිවෙලකට කම්කරුවන් යටත් කිරීමේ ප්‍රයත්නයක නියැලෙමින් සිටින්නේ මෙම තත්වයේදීය.

මෙම සංවිධානය මගින් සැප්තෑම්බර් 12 දින කැඳවන ලද රැස්වීමක විඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුනි. රැස්වීම මෙහෙය වූ තැනැත්තාට අනුව නව සංවිධානය ගොඩනැගීම සඳහා මූලික වී ඇත්තේ ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු හා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්‍ ය. විදුලි බල කම්කරුවන්ගේ අරගල, බලපැම් දමීමේ නිශ්ඵල සටන්වල සිරකොට පාවාදීමේ කුප්‍රකට වාර්තාවක් ඔහු සතුය.

ජවිපෙ ට අයත්, වරාය පොදු සේවක සමිතියේ ලේකම් නිරෝශන් ගොරකාන රැස්වීමේ ප්‍ර‍ධාන කථිකයෙකු විය. පුද්ගලීකරනයට එරෙහිව 'ජාතික සම්පත් රැකගැනීම' සඳහා 'විවිධ මතිමතාන්තර ඇති සහෝදරවරු පක්ෂ භේද අමතක කර මෙතන එක්වී ඉන්නවා' යැයි ගොරකාන පැවසීය.

ධනපති පක්ෂ හා සංවිධාන සමග එක්ව ගොඩනගන ධනපති පෙරමුනක් තුල කම්කරුවන් කොටුකොට, පුද්ගලීකරනයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන මැදිහත් වීමක් වැලැක්වීම මෙම සන්ධානයේ අරමුන බව එමගින් ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත්විය.

මූලාසනයෙන් ගොරකාන හඳුන්වා දෙනු ලැබූවේ කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරාගත් නායකයා වශයෙනි. මෙය සත්‍යය මුලුමනින්ම කනපිට ගැසීමකි. 2021 ජනවාරියේ, ගොරකාන නායකත්වය දෙන වරාය පොදු සේවක සමිතිය ඇතුලු සමිති සන්ධානය, ජවිපෙ, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී නඩ, පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධාන සහ වෙනත් වෘත්තීය සමිති එක්ව,''කොලඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ ජාතික ව්‍යාපාරය' නමින් අටවාගත් අන්ත දක්ෂිනාංශික සංවිධානයක් මගින්, පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරුවන්ගේ අරගලය පාවාදී නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට පවරාදීමට කටයුතු කලහ. මෙම අරගලයට 10,000කට අධික වරාය කම්කරුවෝ, ශ්‍රේනිභේද සහ පර්යන්ත භේද නොතකා සහභාගි වූහ.

එජාප ට අයත් ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛා ලේකම් සමිත අසින්ත, ජාත්‍යන්තර ප්‍රාග්ධනය වෙනුවෙන් තම කැපවීම ප්‍ර‍කාශයට පත් කරමින් මෙසේ පැවසීය: 'ආයෝජන ගෙන්වීම අවශ්‍යයි, වගකිව යුතු වෘත්තීය සමිති ලෙස ආයෝජන ගෙන්වීමට කිසිලෙසක විරුද්ධ නැහැ.' ඔහු තව දුරටත් කියා සිටියේ, වෘත්තීය සමිති විරුද්ධ වන්නේ 'ආයෝජන ගෙන්වීමේ මුවාවෙන් රාජ්‍යය සම්පත් තුට්ටු දෙකට විකිනීමට' බවයි.

රන්ජන් ජයලාල්, රැස්වීමේ ප්‍රධාන කතාව තුල මෙසේ කීවේය: 'අපි ආන්ඩුවට කියනවා සන්ධානයක් හැදුවෙ කොස් කොටන්න නෙමෙයි. පාලකයන්ගෙ නරුම ගමන නවත්තන්න කල හැකි හැම දෙයක්ම කරනවා.' අතීතයේ 'ජනසතු' කල ව්‍යාපාරයන් වන, තෙල්, වරාය සහ විදුලි බලය, ඇමරිකාව, ඉන්දියාව හා චීනය සතු කිරීමට සැරසෙන බව පැවසූ ජයලාල්, 'සහතිකයි, අපි දිවුරා පොරොන්දු වෙනවා ආන්ඩුව අපි දනගස්සනවා” යයි මොර දුන්නේය.

ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සහ විධානයන් මත සිදු කෙරෙන පුද්ගලීකරනය, එම ප්‍රාග්ධනයේ ආවතේවකරුවන් වන ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් නතර කල හැකි බවට ජයලාල් ඇතුලු නායකයන් දෙන පොරොන්දු හුදු ප්‍රලාපයන් පමනක් නොව කම්කරු පංතිය දැනුවත්ව අලාමුලා කිරීමකි. අනෙක් අතට, ඇමරිකාවේ, ඉන්දියාවේ සහ චීනයේ භූ-දේශපාලනික අවශ්‍යතාවයන් සමග ලංකාව තුල සිදු කෙරෙන පුද්ගලීකරන වැඩකටයුතු අත්‍යන්තයෙන්ම බැඳී පවත්නා බව මෙම සමිති නායකයෝ කම්කරුවන්ට දැනුවත්ව වසන් කරති.

පුද්ගලීකරනයට එරෙහි සටන අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර ප්‍රාග්ධනයට එරෙහි සටනක් වන බැවින්, එය, ධනපති ආන්ඩුවට සහ ගෝලීය ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකි. එම සටන දියත් කලහැකි ඓතිහාසික සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පංතිය යි. පුද්ගලීකරනය ඇතුලු අනෙකුත් ධනපති ප්‍රහාර පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගියයුතු බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) දිගින් දිගටම අවධාරනය කරන්නේ එබැවිනි.

ධනපති ක්‍රමයට තදින් බැඳී සිටින වෘත්තීය සමිති, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට පරම ලෙසින්ම සතුරු ය. වරාය, ලඛනීස හා ලංවිබම ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ධනපති-ගැති වෘත්තීය සමිතිවලින් බිඳී ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කිරීම මෙහිලා අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි.

සසප සහ එයට නායකත්වය දෙන ලෝක ට්‍රොට්ස්කිවාදී පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, එසේ ස්ථාපිත කෙරෙන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩ නැගීමටත්, එම සන්ධානය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත මෙහෙයවා ගැනීමටත් සටන් වදී. ඒ සඳහා එක්වන ලෙස සියලු කම්කරුවන්ගෙන් සසප ඉල්ලා සිටී.

Loading