කෙරවලපිටිය ගිවිසුම: බලශක්ති නිෂ්පාදනය පුද්ගලීකරනය කිරීමේ තීරනාත්මක පියවරක්

රාජපක්ෂ ආන්ඩුව එක්සත් ජනපද නිව් ෆෝට්‍රෙස් එනර්ජි (එන්එෆ්ඊ) සමාගම සමග සැප්තැම්බර් 17 වෙනිදා අත්සන් කල ගිවිසුම මගින් කෙරවලපිටිය යුගදනව් විදුලි බලාගාරය පාලනය කරන රාජ්‍ය සමාගමක් වන සීමාසහිත වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් වලින් සියයට 40 ක්, එජ ඩොලර් මිලියන 250 කට, එකී ඇමරිකානු සමාගමට විකිනීමට එකඟ වී ඇත.

ගිවිසුම රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කඩිනම් කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික සැලසුම් වල කොටසකි.

ගිවිසුමක් අත්සන් කර නැති බවත්, දෙපාර්ශ්වය අතර 'සංකල්පීය' එකඟතාවයක් පමනක් ඇති කරගෙන ඇති බවත් මාධ්‍යයට පවසමින් ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, ඇමති ඩලස් අලහප්පෙරුම එහි යතා තත්වය වසන් කිරීමට උත්සාහ කලේය. එහෙත්, එවන් ගිවිසුමකට එලඹුන බව එන්එෆ්ඊ සමාගම සැප්තැම්බර් 21 වෙනිදා නිවේදනය කලේ ය.

සැප්තැම්බර් 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ගිවිසුම අත්සන් කෙරුනේ ආන්ඩුවේ අමාත්‍ය මංඩලයේ බහුතරයකට නොදන්වා හා රහසිගතව ය. එය සිදු කෙරී ඇත්තේ ආන්ඩුවේ පිලිවෙත් මෙහෙයවන රාජපක්ෂ පවුල සහ ඒ වටා සිටින සුලුතර කල්ලියක සහභාගිත්වයෙනි. මෙමගින් යලිදු එලිදරව් කෙරී ඇත්තේ 'හැට නව ලක්ෂයක් ජනතාවගේ ජනවරමට අනුව කටයුතු කරන' බවට රාජපක්ෂ ආන්ඩුව කරන ප්‍රකාශයන් අමු බේගල් බව යි. එය හැසිරෙන්නේ අතිශයින් ම මහජන විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතික ආකාරයකට ය.

ආන්ඩුව ගිවිසුමේ කොන්දේසි අමාත්‍ය මන්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ මාධ්‍යයට එලිදරව් කර නැත. එහෙත් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට වලට අනුව එන්එෆ්ඊ සමාගමට ගැඹුරු මුහුදෙන් ස්වාභාවික ද්‍රව ගෑස් (එල්එන්ජී) ලබා ගැනීමේ, ගබඩා කිරීමේ සහ වර්ගීකරනය කිරීමේ පර්යන්තයක් පිහිටුවීමේ අයිතිය ලැබේ. එය ගොඩ නගා පවත්වාගෙන යාම සඳහා සමාගමට වසර 15 ක කාලයක් හිමි වේ.

එල්එන්ජී වායුව මගින් විදුලිය නිපදවන, ලංකා විදුලි බල මන්ඩලයට (ලංවීම) අයත් බලාගාර සඳහා එල්එන්ජී සැපයීම එමගින් සිදු කෙරෙයි. ආරම්භයේ දී කෙරවලපිටිය යුගදනවි බලාගාර සංකීර්නයට දිනකට එල්එන්ජී ගැලුන් මිලියන 1.2 ක් හෙවත් බ්‍රිතාන්‍ය තාප ඒකක මිලියන (එම්එම්බීටීයූ) 35,000 ක් සපයයි. පසුව එය තව පුලුල් කිරීමට නියමිතය. එල්එන්ජී සැපයීමේ ඒකාධිකාරය සමාගමට හිමි වන අතර මිල තීන්දු කෙරෙන්නේ සමාගම විසිනි. සමාගම විසින් සපයන එම්එම්බීටී ඒකකයක් සඳහා ගිවිසුම් ප්‍රකාරව දැනට නියම කර ඇති මිල ඩොලර් 1.45 කි. ඒ අනුව දිනකට යුගදනවි බලාගාරය සඳහා මිල දී ගන්නා එල්එන්ජී සඳහා ඩොලර් 50,000 ක් පමන (රුපියල් දස කෝටියක් පමන) වන සුවිශාල මුදලක් රජය විසින් සමාගමට ගෙවිය යුතු ය. මෙම සුවිසල් වියදම විදුලි බිලට එකතු වීමෙන් අවසාන වශයෙන් එම පිරිවැය පැටවෙන්නේ පාරිභෝහිකයා මතට ය..

ලංවිම ට වෙලඳපොලේ තරඟකාරී මිල ගනන් වලට එල්එන්ජී මිල දී ගැනීමේ හැකියාව ද මෙගින් අහෝසි වෙයි. බලාගාරය සහ සමාගම අතර අත්සන් කෙරෙන කොන්ත්‍රාත්තුවට අනුව නියමිත එල්එන්ජී ඒකක ප්‍රමානය සම්පූර්නයෙන් ම මිල දී ගත යුතු ය. එය පරිභෝජනය කලත් නොකලත් ඒ සඳහා නියමිත මිල ගෙවිය යුතුය. කොන්ත්‍රාත්තුවට අනුව බලාගාරය නියමිත එල්එන්ජි ප්‍රමානය පාවිච්චි නොකල හොත් ඒ සඳහා වන්දියක් ද ඊට අමතරව බ්‍රිතාන්‍ය තාප ඒකක මිලියනයක (එම්එම්බීටීයූ) අලෙවි මිලට වඩා වැඩි මිලක් ද, එනම් ඩොලර් 5.50 ක් ද එම්එම්බීටී ඒකකයක් සඳහා සමාගමට ගෙවිය යුතු බව ලංකා විදුලි බල මංඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

රාජපක්ෂ ආන්ඩුවේ පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුන, පිවිතුරු හෙල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුන ඇතුලු පක්ෂ 10 ක් ගිවිසුමට විරෝධය පෑමේ ව්‍යාාජ රංගනයක යෙදී සිටිති. මෙම පිරිස සැප්තැම්බර් 23 වෙනිදා අගමැති මහින්ද රාජපක්ෂ සමග ඒ සම්බන්ධව පැවැත් වූ සාකච්ඡාව 'අසාර්ථක' වූ අතර ගිවිසුම ගැන 'යලි සලකා බලන' ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යවා ඇත.

ඔවුන්ගේ රංගනය ගිවිසුම කෙරෙහි එල්ල වී ඇති මහජන විරෝධය සමනය කිරීමේ දේශපාලන උපාමාරුවක් මිස ගිවිසුමට විරුද්ධ වීමක් නොවේ. ආන්ඩුව ජුනි මාසයේ තෙල් මිල දැවැන්ත ලෙස ඉහල දැමූ අවස්ථාවේ ද ඛනිජ තෙල් ඇමති උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙල උරුමය හැර මෙම කල්ලියේ සෙසු පක්ෂ සහ ආන්ඩුවේ ඇතැම් මැති ඇමතියන් ද තමන් ඊට විරුද්ධ බව කියමින් ලොකු හා හූවක් ගෙන ගිය නමුත් අවසානයේ එම මිල වැඩිවීම් ක්‍රියාත්මක වූ විට ගුලට රිංගා ගත් මී පැටව් මෙන් නිහඬ වූහ.

විපක්ෂයේ පක්ෂ ද ව්‍ය‍ාජ විරෝධය පෑමක යෙදී සිටිති. 'සමගි ජන බලවේගය ඇතුලු මෙරට සමස්ත ජනතාව ආන්ඩුවේ මේ අන්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව කඳවුරු බඳින' බව සමගි ජන බලවේගයේ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගිවිසුමට විරුද්ධව නිකුත් කල ප්‍රකාශයක සඳහන් වේ. එය හුදෙක් ම රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි මහජනතාවගේ විරුද්ධත්වය තම දේශපාලන වාසිය සඳහා ගසාකෑමේ කුහක ප්‍රකාශයකි. රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනයට 1980 දසකයේ මුල පිරූ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය තුල ලැග සිටි සජබ කල්ලිය කිසිසේත් ම පුද්ගලීකරනයට හෝ විදේශ ආයෝජකයන්ට ඒවා පැවරීමට විරුද්ධ නැත.

ගිවිසුමට විරුද්ධව 'උසාවි යන' බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 19 වෙනිදා.මාධ්‍යට පැවසීය. 'ආන්ඩුව මේ මොහොතේ වෘත්තීය සමිති විරෝධය නොතකා කෙරවලපිටිය යුගදනවි බලාගාරය වෙනුවෙන් අත්තනෝමතික තීරනයක් ගන්නේ නම් බලශක්තිය සම්බන්ධ ප්‍රධාන ආයතන දෙකත්, වරායත් වැඩ වර්ජනයකට යන' බවට ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායක ලාල් කාන්ත ද ව්‍යාජ තර්ජනයක් කර ඇත.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් 2009 සංශෝධිත විදුලි බල පනත යටතේ වීදුලි බල මන්ඩලය පුද්ගලීකරනය කිරීම ආරම්භ කෙරුන විට ජවිපෙ සහ එය විසින් මෙහෙය වන ලංකා විදුලි සේවක සංගමයේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබෙන ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුන බොරු විරෝධතා ව්‍යාපාරයක් තුලින් සේවක විරෝධය යටපත් කර දැමුහ.

ලංවිම කොටස් අයිතීය සියයට 51 ක් ආන්ඩුව අතේ තිබෙන හෙයින් සංශෝධිත පනත තුලින් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා වන බව පවසමින් ව්‍යාජ වාම පක්ෂයක් වන නව සම සමාජ පක්ෂයට අනුබද්ධ ලංවිම බිල් නිලධාරීන්ගේ සංගමය පනතට ඍජුවම සහයෝගය දුන්නේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල ලිපිය මගින් මෙම වෘත්තීය සමිති වල ද්‍රෝහී භූමිකාව සහ විදුලි බල පනත සංශෝධන යෙහි ඇඟවීම් පිලිබඳව මෙසේ පැහැදිලි කෙරුනි: 'විදුලිබල අංශයේ සියලු ක්ෂේත්‍රයන් වෙලඳපොල බලවේග සඳහා විවෘත කෙරුන වහාම තරඟකාරීත්වය හා ලාභ සඳහා වන පොරය ආන්ඩුවේ හිමිකම් කුමන මට්ටමේ පැවතුන ද වියදම් කප්පාදුව කරා තුඩු දෙනු' ඇති බවටත් “කම්කරුවන්ගේ රැකියා ඇතුලු සමාජ අයිතීන්ට එරෙහි ප්‍රහාරය තීව්‍ර වන” බවටත් එය අනතුරු ඇඟවීය.

දේශීය සහ විදේශීය නය කන්දරාවක් සහිතව කොරෝනා වසංගතය විසින් වඩාත් ගැඹුරු කෙරුනු දැවැන්ත ආර්ථික අර්බුදයක කරවටක් එරී සිටින රාජපක්ෂ ආන්ඩුව විදේශ ආයෝජකයන් කැඳවා ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක යෙදී සිටී. ඒ සඳහා විදේශ ආයෝජකයන් ට බදු සහන, ඉඩම් ඇතුලු යටිතල පහසුකම් සැපයීමට සහ ඒ සම්බන්ධයෙන් මතුවන කවර හෝ විරෝධයක් නිර්දය ලෙස තලා දැමීමට ද එය පසුබට වන්නේ නැත.

ශ්‍රී ලංකාව සහ ඇමරිකානු සමාගම අතර මෙම ගිවිසුම තුලින් සිදු කෙරෙන්නේ හුදෙක් බලශක්ති නිෂ්පාදනය පුද්ගලීකරනය පමනක් නොවේ. එය, කලාපය තුල ආධිපත්‍ය ය සඳහා චීනයට එරෙහිව පොරවදින එක්සත් ජනපද මූලෝපාය සමග ශ්‍රී ලංකාව පෙල ගස්වා ගැනීම පිනිස, වොෂින්ටනයෙන් යෙදෙන පීඩනය හමුවේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට රටේ මර්මස්ඨානවලට දොර විවෘත කිරීමක් ද වේ.

මහජන විරෝධය මධ්‍යයේ සහශ්‍ර සහයෝගිතා සංවර්ධන (එම්සීසී) ගිවිසුමෙන් ඉවත් වීමට රාජපක්ෂ ආන්ඩුව තීන්දු කිරීමෙන් පසු 2020 දෙසැම්බර් මාසයේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම එක්සත් ජනපදය විසින් අත්හිටුවනු ලැබුව ද, ශ්‍රී ලංකාව තම අනසකට යටත් කරතබා ගනිමින් බෙයිජිනයට එරෙහි මූලෝපායික සැලසුම් සමග ශ්‍රී ලංකාව පෙල ගස්වා ගැනීමේ ප්‍රයත්නය වොෂින්ටනය අත්හැර නැත. මානව හිමිකම් උල්ලංඝනය සහ යුද අපරාධ පිලිබඳ චෝදනා ඉදිරිපත්කරමින් රාජපක්ෂ ආන්ඩුව මත පීඩනය යෙදීම බයිඩන් ආන්ඩුව යටතේ තවදුරටත් තීව්‍ර කර තිබේ. ගිවිසුම රාජපක්ෂ ආන්ඩුව ඊට ප්‍රතිචාර දැක්වීමකි.

නිව් ෆෝට්‍රෙස් සමාගම සමග අත්සන් කෙරුන ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදනය මත සැලකියයුතු බලපෑමක් පවත්වාගෙන යාමට එක්සත් ජනපදය සමත් වෙයි. කලාපය තුල භූ දේශපාලන ආතතිය තීව්‍ර වන කොන්දේසි තුල ශ්‍රී ලංකාව තම මූලෝත්පායික සැලසුම් සමග වඩා ඍජුව පෙල ගස්වා ගැනීමේ දී මෙම ගිවිසුම තුලින් අත්කරගෙන ඇති වාසිය වොෂින්ටනය නිසැකව ම යොදා ගනු ඇත.

චීනය හා එක්සත් ජනපදය අතර ආතතිය වඩ වඩා උග්‍ර වෙමින් තිබෙන අතර මෑත දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව අතර අත්සන් කෙරුන ගිවිසුම මගින් චීනයට එරෙහි මිලිටරි ප්‍රහාරයක සැලසුම් එක්සත් ජනපදය විසින් නව මට්ටමකින් ඉස්මත්තට ගෙන තිබේ. චීනය සහ එක්සත් ජනපදය අතර යුද්ධයක් න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරාය දැඩිව මතු කෙරෙයි. එහෙයින් ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද සමාගම සමග බලශක්ති ගිවිසුම න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරාය ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ඉදිරියේ වඩාත් තීව්‍රව මුනගස්වා ඇත.

බලශක්ති පුද්ගලීකරනයට එරෙහි අරගලය ලෝක යුද්ධයට හා රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලය සමග අත්‍යන්තයෙන් බැඳී ඇත. එවන් අරගලයක් වර්ධනය කල හැක්කේ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගනිමින් ලෝක යුද්ධයට හා ලංකාවේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන සටනක් තුල පමනි.

Loading