ඉදිරිදර්ශන

ඔක්තෝබර් 1 පාසල් වර්ජනය: වසංගතයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ වැදගත් ඉදිරි පියවරක්

[මෙය ඔක්තෝබර් 1 වැනි දින The October 1 parents’ strike: An important step forward in the international working-class struggle against the pandemic යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

තරුනයින්ගේ ජීවිත අවදානමට ලක් කල, වගකීම් විරහිතව පාසල් නැවත විවෘත කිරීමට විරෝධය පල කරමින්, බ්‍රිතාන්‍යයේ දෙමාපියන්ට තම දරුවන් නිවස තුල රඳවා ගනිමින් එක්දින පාසල් වර්ජනයක යෙදෙන ලෙස ලීසා ඩයස් කල ඉල්ලීමට කම්කරු පන්තියෙන් උද්‍යෝගිමත් සහයෝගයක් ලැබී තිබේ.

බ්‍රිතාන්‍යයේ සහ ලොව පුරා වැඩ කරන ජනතාවගෙන් සහයෝගීතාවයේ පනිවිඩ ගලා එමින් තිබේ. ලීසා ඩයස් සිය ට්විටර් ගිනුමේ පල කල වීඩියෝ පට සිය දහස් ගනන් ජනතාව නරඹා ඇත.

අද තම දරුවන් නිවසේ තබා ගන්නා දෙමාපියන්ගේ නිශ්චිත සංඛ්‍යාව දැන ගැනීමට නොහැකිය. ඒ සඳහා වූ ක්‍රියාමාර්ගය ජාතික මාධ්‍ය තුලින් වාර්තා වී නොමැත. ගෝලීය ඔන්ලයින් පිකට් ක්‍රියා මාර්ගයක් ලෙස හැඳින්විය හැකි දේ ස්ථාපිත කර ඇති අතර එය ජාත්‍යන්තර කම්කරු පන්තික ප්‍රේක්ෂකයින්ගේ ගෞරවයට පාත්‍ර වෙමින් තිබේ.

විශේෂයෙන් ලමයින් අතර වසංගතය පාලනයකින් තොර ව පැතිර යන තතු තුල, අනාරක්ෂිතව පාසල් නැවත විවෘත කිරීමට එරෙහි වීමේ මෙම තීරනාත්මක පියවර ගෙන තිබේ. එක්සත් රාජධානියේ පාසල් නැවත විවෘත කර පලමු සති දෙක තුල ලමුන් 59,000 කට කොවිඩ්-19 ආසාදනය වී ඇත. පසුගිය සති පහ තුල එක්සත් ජනපදයේ නව ලමා ආසාදිතයින් 200,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එයින් අතිමහත් බහුතරයක්, පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ සෘජු ප්‍රතිඵලයකි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මිලියන 5 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් මියගොස් ඇති අතර, සෑම දිනකම නව කොවිඩ්-19 රෝගීන් 500,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරන 7,500 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එක්සත් රාජධානියේ, මැයි මස දිනකට නව රෝගීන් 2000 ක් වූ අතර එය පසුගිය මාසය තුල 35,000 දක්වා ඉහල ගොස් තිබේ. කැනඩාවේ, ජූලි මාසය තුල දිනකට ආසාදන 400 සිට සැප්තැම්බර් මාසයේදී දිනකට 4000 කට වඩා, එනම් 10 ගුනයකින් වැඩි වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ දිනකට රෝගීන් 1600 කට වැඩි සංඛ්‍යාවක් මිය යමින් සිටින අතර, ලමා රෝහල් ද ඇතුළු රෝහල් පද්ධතිය රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ.

ඔක්තෝබර් 1 දා ක්‍රියාමාර්ගය සිදුවන්නේ පන්ති රේඛා ඉතා පැහැදිලිව මතු වී ඇති තත්වයක් යටතේ ය. එක් අතකින් ලොව පුරා ආන්ඩු සහ සමාගම් විසින් එක් හෝ තවත් ආකාරයකින් තල්ලු කෙරෙන මහා ආසාදනයේ ආධාරකරුවන් ය. අනෙක් පසින් වසංගතය නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින කම්කරුවන් ය.

වසංගතය ආරම්භයේ සිටම “රංචු ප්‍රතිශක්තිය” ප්‍රවර්ධනය කල එක්සත් රාජධානියේ ජොන්සන් ආන්ඩුවේ හෝ එන්නත්කරනය සමඟ ප්‍රමානවත් නොවන අවම කිරීමේ පියවරයන් මඟින් වසංගතය නැවැත්විය හැකිය යන ප්‍රබන්ධය ප්‍රවර්ධනය කරන බයිඩන් පරිපාලනයේ, අවසාන ප්‍රතිඵලය මෙයයි: වසංගතය පාලනය කර ගත නොහැකි ලෙස උග්‍ර වී තිබියදීත් පාසල් සහ කර්මාන්ත ශාලා විවෘතව තැබීමට නියමිතය. සෑම තැනකම, පාසල් නැවත විවෘත කිරීම මෙහෙයවනු ලබන්නේ සංගත ලාභ සහ මූල්‍ය ප්‍රභූ පැලැන්තිය පොහොසත් කිරීම සඳහා කම්කරුවන් රැකියාවේ තබා ගැනීමේ අවශ්‍යතාවය යි.

ලොව පුරා පාලක පන්තීන් ඉල්ලා සිටින්නේ, දැනට පවතින අවම කිරීමේ පියවරයන්, ඒවා කුමක් වුවත්, ඉවත් කරන ලෙසයි. වෛරසය තුරන් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කල රටවල් කිහිපයෙන් එකක් වන නවසීලන්තයේ ආසාදන පසුගිය දිනවල තියුනු ලෙස ඉහල ගොස් ඇත, ඒ අතර, විරුද්ධ පක්ෂය වන ජාතික පක්ෂය “දැඩි මර්දනයක්” වෙත මාරු වන ලෙස—එනම්, ආර්ථික සීමා ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියි.

වෛරසය පැතිරීම අවම කිරීමට ගත් උත්සාහයේදී ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් සිදු කල “ලොකු වැරදි” හෙලා දකිමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් 79 ක විවෘත ලිපියක් පිලිබඳව ෆිනෑන්ෂල් ටයිම්ස් මේ සතියේ වාර්තා කලේය. එෆ්ටී පුවත්පතට අනුව, “වෙනත් බොහෝ රටවල් කලාක් මෙන් ජාතියට ‘වෛරසය සමඟ ජීවත් වීමට’ ඉගෙන ගැනීමට සිදු වන බව” සමාගම් පවසා තිබේ.

මෙල්බර්න් පදනම් කරගත් අරමුදල් වත්කම් කලමනාකරන සමාගමක් වන ලා ට්‍රෝබ් ෆයිනෑන්ෂල් හි ප්‍රධාන විධායක ග්‍රෙග් ඕ නීල් එෆ්ටී වෙත පැවසුවේ, “ඕස්ට්‍රේලියානු සංගත තම නොසන්සුන්තාව සහ කැලඹීම් ඝෝෂාවක් බවට පත් කිරීමට කාලය පැමින තිබේ. ධෛර්යය හා අවංකභාවය සඳහා කාලය පැමින ඇත.' යනුවෙනි.

පාලක පන්තියේ “ධෛර්යය සහ අවංකභාවය” යන්නෙන් අදහස් කරන්නේ, වෛරසය පැතිරීමට ඉඩ සලසන ලෙස ඉල්ලීම සහ තවත් මිලියන සංඛ්‍යාත ජනතාවකට ආසාදනය වී සිය දහස් ගනනක් මරා දැමීමයි.

ඔක්තෝබර් 1 වන දින එක්සත් රාජධානියේ පාසල් වර්ජනය කිහිප ආකාරයකින් වැදගත් ය.

පලමුවෙන්ම, එය ලාභය සඳහා නොව, ජීවිත රැකගැනීම මත පදනම් වූ ප්‍රතිපත්තියක් සඳහා වූ කම්කරු පන්තියේ පරිශ්‍රමය විදහා දක්වයි. වෛරසය තුරන් කිරීම සහ මුලිනුපුටා දැමීම සඳහා ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයින් සහ වසංගත රෝග විද්‍යාඥයින් අවධාරනය කරන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ඉල්ලීම මත එය පදනම් වී ඇත: එනම් පාසල් සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම, මහා එන්නත්කරනය, සෑම තැනකම පරීක්ෂන පැවැත්වීම හා සම්බන්ධතා සොයා ගැනීම, සියලුම කම්කරුවන්ට පූර්න ආදායමක් ලබා දීම සහ පීඩාවට පත් කුඩා ව්‍යාපාර සඳහා ආධාර සැපයීම යි.

දෙවනුව, සෑම අවස්ථාවකදීම පාලක පන්තියේ මිනීමරු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කටයුතු කල වෘත්තීය සමිති වලින් ස්වාධීනව මෙම ක්‍රියාවලිය සංවිධානය කර ඇත. එක්සත් රාජධානියේ වෘත්තීය සමිති සම්මේලනය, අවම කිරීමේ පියවරයන් අඩුම මට්ටමින් හෝ නොමැතිව පාසල් නැවත විවෘත කිරීම පිලිගන්නා අතරම, එන්නත අනිවාර්ය කිරීමේ නියෝග වලට විරුද්ධ විය.

එක්සත් ජනපදයේ, ගුරුවරුන්ගේ හා ලමයින්ගේ හා පුළුල් ප්‍රජාවේ ජීවිතවලට තර්ජනයක් එල්ල කරමින් පාසල් නැවත විවෘත කරන ලෙස ගුරු සංගම් දැඩි උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඔක්තෝබර් 1 වර්ජනයට පෙර දින, එනම් සැප්තැම්බර් 30 දින, ඇමරිකානු ගුරු සම්මේලනය, අන්ත දක්ෂිනාංශික දෙමාපිය කන්ඩායමක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ඕපන් ස්කූල්ස් යූඑස්ඒ (පාසල් විවෘත කරනු!) කන්ඩායම සමඟ ඔන්ලයින් රැස්වීමක් පැවැත්වීය. 'රංචු ප්‍රතිශක්තිය' සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ආසාදනය ප්‍රවර්ධනය කිරීම අරමුනු කරගත්, ට්‍රම්ප් ගේ ධවල මන්දිරය සමඟ සාකච්ඡා කර සකස් කරන ලද ලේඛනය වන මහා බැරින්ටන් ප්‍රකාශනයේ කතුවරයෙකු වූ ජෙයි භට්ටාචාර්ය ද මෙම සාකච්ඡා මන්ඩපයට ඇතුලත් විය.

තෙවනුව, මෙම මුලපිරීම ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙස වර්ධනය වෙමින් පවතී. එක්සත් රාජධානියේ දී දෙමාපිය වර්ජනය සඳහා කැඳවීම ආරම්භ වූ අතර, එයට ලොව පුරා කම්කරුවන්ගේ සහයෝගය ලැබුනි. සහයෝගීතාවයේ තනි තනි ප්‍රකාශයන්ට අමතරව, බොහෝ රටවල ගුරු කන්ඩායම් සහ ක්‍රියාකාරී කමිටු විසින් මෙම ක්‍රියාව අනුමත කර ඇත.

ලීසා ඩයස් බ්‍රහස්පතින්දා දහවල් ප්‍රකාශයට පත් කරන ලද ට්විටර් සටහනක, තමාගේ මුල් ට්විටර් පනිවිඩයට ප්‍රතිචාරය අතිමහත් යැයි සඳහන් කල අතර, කැනඩාව, එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල ට්විරේ පරිශීලකයෝ තම පනිවිඩය ශෙයා කර (retweet කර) ඇති බව සඳහන් කලාය. “අපි ලෝකයේ විවිධ තැන්වලින් පැමිනියද අපගේ අරගලය එකක් බව ඉන් පෙන්නුම් කෙරේ. අපට අවශ්‍ය අපේ දරුවන් පාසලේදී ආරක්‍ෂිතව තබා ගැනීමයි.”

ලීසා ලොව පුරා සිටින දෙමාපියන්ගෙන් සහ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, #SchoolStrike2021, #SittingDucks සහ #October1st යන හැෂ් ටැග් භාවිතා කර ඔවුන්ගේ වීඩියෝ සහ සහයෝගිතා පනිවිඩ සමාජ මාධ්‍ය තුල ප්‍රකාශයට පත් කරන ලෙසයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම ක්‍රියාව අනුමත කරන අතර, ට්විටර් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල සහයෝගිතා පනිවිඩ පල කරමින් ඔන්ලයින් පිකට් ක්‍රියාමාර්ගයට සම්බන්ධ වන ලෙස සිය පාඨකයින් දිරිමත් කරයි.

ඔක්තෝබර් 1 වර්ජනය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනයේ ඇතැම් තීරනාත්මක කරුනු සනාථ කරයි: ඒවා නම්, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව, පන්ති අරගලයේ ජාත්‍යන්තර ස්වභාවය සහ කම්කරුවන්ගේ අවශ්‍යතා හා සංස්ථාපිත වෘත්තීය සමිති අතර සමහන් කල නොහැකි ගැටුම යි.

වසංගතයට එරෙහි සටන සඳහා ජාත්‍යන්තර පරිමානයෙන්, පහත සිට එන අව්‍යාජ ක්‍රියාකාරී කැරැල්ලක් අවශ්‍යය යන ඉදිරිදර්ශනය මත පදනම්ව ජාත්‍යන්තර කමිටුව මෙම වසරේ මැයි මාසයේදී ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සංධානය (ක්‍රික-ජාකස) පිහිටුවන ලදී.

අසමානතාවයට හා ධනේශ්වර සූරාකෑමට එරෙහිව ලොව පුරා වැඩෙන කම්කරුවන්ගේ අරගල සමඟ වසංගතයට එරෙහි අරගලය එක්සත් කරමින්, කම්කරු පන්තියේ සෑම අංශයකම ස්වාධීන කමිටු ගොඩනැගීම හරහා ඔක්තෝබර් 1 වර්ජනයේ මුලපිරීම ඉදිරියට ගෙන යා යුතුය.

අපි මෙම වර්ධනයන් දිරිමත් කර ප්‍රවර්ධනය කරන විට, හජාජාක සහ එහි ජාතික කොටස් මෙම අරගලයේ නියුතු කම්කරුවන් සමඟ වඩාත් මූලික දේශපාලන නිගමනවලට එලඹීමේ අවශ්‍යතාව මතු කරති. වසංගතය, යුද්ධය, අසමානතාවය, සූරාකෑම සහ ඒකාධිපතිවාදයට එරෙහි සටන සමස්ත ධනේශ්වර සමාජ හා ආර්ථික ක්‍රමයට එරෙහි සටනකි. එය, නිෂ්පාදනයේ තාර්කික, විද්‍යාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මත පදනම්ව, සියළුම රටවල කම්කරුවන්ට බලය ලබා ගැනීමේ, පාලක පැලැන්තිය අස්වාමික කිරීමේ හා සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මතු කරයි.

Loading