අධික වැඩ බරට හා වැටුප් කප්පාදුවට එරෙහි ග්ලෙනුගී කම්කරුවන්ගේ අරගලය වෘත්තීය සමිති පාවා දෙති

අප්කොට්හි ග්ලෙනුගී වත්තේ කම්කරුවන් පන්සියයක් අධික වැඩ බරට හා වැටුප් කප්පාදුවට එරෙහි ව දවස් පහලොවක් තිස්සේ ගෙන ගිය වැඩ වර්ජනය, ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) හා ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) විසින් පාවා දෙනු ලැබී ය.

වර්ජනයේ යෙදෙන ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ [ස්තූතිය: කේ. කිෂාන්තන්]

වැඩ වර්ජනය ඉල්ලිම් දෙකක් මත පාදක විය: දෛනික ව නෙලන තේ දලු ඉලක්කය කිලෝග්‍රෑම් 20 සිට 16 දක්වා අඩු කිරීම ඉන් එකකි. අනෙක දින හයක වැඩ සතියක් තහවුරු කිරීම යි. රුපියල් 1,000 දෛනික වැටුපක් ගෙවීම සඳහා කොන්දේසියක් ලෙස, වතු සමාගම දෛනික ව නෙලිය යුතු තේ දලු ඉලක්කය කිලෝග්‍රෑම් 20 දක්වා ඉහල දැම්මේ ය. මෙම ඉලක්කය කරා ලඟා වීම දරාගත නො හැකි ලෙස දුෂ්කර බව කම්කරුවෝ විස්තර කල හ.

කම්කරුවන්ට ඔවුන්ගේ ඉල්ලීම් මත පාදකව වැඩ කල හැකි බවත්, සීඩබ්ලිව්සී හා එන්යූඩබ්ලිව් සමග ඒකාබද්ධ ව කලමනාකාරීත්වය විසින් අටවන ලද උගුල වන සටහන් පොතේ එය වාර්තා කරන බවත්, කම්කරුවන් ඉදිරියට පැමිනි වත්තේ කලමනාකරුවා සටකපට ලෙස කියූ නමුත්, ඔවුන්ගේ ඉල්ලීම් ලිඛිත ව පිලිගැනීම ප්‍රතික්ෂේප කලේ ය.

දැන් කම්කරුවන්ට දඬුවම් දීම ආරම්භ කර ඇති කලමනාකරුවා, මිනිත්තු කිහිපයක ප්‍රමාදයකින් වැඩට පැමිනෙන කම්කරුවන්ට පවා වැඩ දීම ප්‍රතික්ෂේප කරයි. කම්කරුවන්ගේ ගැටලු ගැන කතා කරන ඕනෑ ම අයෙකු නෙරපා දමන බවට, ඔහු කම්කරුවන්ට තර්ජනය කලේය.

මස්කෙලිය වතු සමාගම යටතේ ක්‍රියාත්මක වන ග්ලෙනුගී වත්තේ ඩීසයිඩ් කොටසේ කම්කරුවන්, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සැප්තැම්බර් 21දා ආරම්භ කල මෙම වැඩ වර්ජනය, ඔක්තෝබර් 6දා දක්වා ඉදිරියට ඇදුනි.

අලුතින් හඳුන්වා දෙන ලද වැඩ ඉලක්ක සම්පූර්න කිරීමට කම්කරුවන් අසමත් වන්නේ නම්, ඔවුන්ට රුපියල් 1000 දෛනික වැටුප නො ලැබේ. ඒ වෙනුවට ඔවුන් නෙලන දලු කිලෝ ප්‍රමානයට අනුව, තේ දලු කිලෝවකට රුපියල් 40ක් ගෙවනු ලැබේ. ඔවුන් ලු කිලෝ 16ක් නෙලුව හොත්, ඔවුන්ට ගෙවනු ලබන්නේ රුපියල් 640ක් පමනි. එහි අර්ථය වන්නේ, ගෙවිය යුතු දෛනික වැටුප වන රුපියල් 1,000ට වඩා රුපියල් 360ක් අඩුවෙන් ඔවුන්ට ගෙවනු ලබන බවයි. ඒ අතර ම, සතියේ වැඩ දින ගනන දින පහකට අඩු කරනු ලැබ ඇත. එය සමහර අවස්ථාවල දී දින තුනකට හෝ හතරකට සීමා කෙරේ.

වැඩ වර්ජනය නැවැත්වීම සඳහා සීඩබ්ලිව්සී හා එන්යූඩබ්ලිව් අඛන්ඩ ව මැදිහත් වූ හ. ග්ලෙනුගී වත්තේ සීඩබ්ලිව්සී හා එන්යූඩබ්ලිව් ශාඛා නායකයන් වන කේ. ජයප්‍රකාශ් හා එම්. ඥානප්‍රකාශම්, ග්ලෙනුගී කොටසේ කම්කරුවන් ඩීසයිඩ් කොටසේ කම්කරුවන්ගේ වැඩ වර්ජනය සමග එක්වීම වැලැක්වීමට ක්‍රියා කලහ. ග්ලෙනුගී කොටසේ කම්කරුවන්ට ගැටලු නැති නිසා, ඩීසයිඩ් වැඩ වර්ජනය සමග එක්වීමේ අවශ්‍යතාවක් නැති බව එන්යූඩබ්ලිව් නායක ඥානප්‍රකාශම් කීවේ ය.

ශාඛා නායකයන් වැඩ වර්ජනය බිඳීමට අසමත් වූ තැන, සීඩබ්ලිව්සී හා එන්යූඩබ්ලිව් ඉහල නායකත්වය මැදිහත් වී එසේ කිරීමට උත්සාහ දැරුවේ ය. රාජපක්ෂ ආන්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු ද වන සීඩබ්ලිව්සී නායක ජීවන් තොන්ඩමන්, ග්ලෙනුගී වත්තේ වෘත්තීය සමිති නියෝජිතයන් හා කම්කරුවන් කිහිප දෙනෙකු, සැප්තැම්බර් 30දා කොටගල සීඩබ්ලිව්සී ප්‍රධාන කාර්යාලයට කැඳවී ය. කම්කරුවන්ට දිගට ම කිලෝග්‍රෑම් 16හි දෛනික ඉලක්කය නෙලිය හැකි බවත්, වත්තට පැමින කලමනාකරුවා සමග කතා කොට ප්‍රශ්නය සමථයකට පත් කරන බවත්, තොන්ඩමන් කී බව කම්කරුවෝ කීවෝ ය. එය වනාහි කම්කරුවන් රැවටීමට දුන් ව්‍යාජ පොරොන්දුවක් විය.

එදින ම මස්කෙලිය සමාජ ශාලාවේ දී ඒ හා සමාන සාකච්ඡාවක් කැඳවූ එන්යූඩබ්ලිව් මස්කෙලිය ප්‍රාදේශීය නායක නගුලේස්වරන්, “පලමුව කම්කරුවන් වැඩ වර්ජනය නවත්වා පෙරලා වැඩට යා යුතුයි, ඉල්ලීම් පිලිබඳ ව අපි දිගට ම සාකච්ඡා කරනවා” යි කීවේ ය. කම්කරුවෝ කෝපයෙන් යුතු ව සාකච්ඡාවෙන් පිට ව ගිය හ. එම නායකයන්ගේ ව්‍යාජ පොරොන්දු විශ්වාස නො කල කම්කරුවෝ, පෙරලා වැඩට යාම ප්‍රතික්ෂේප කල හ.

ඔක්තෝබර් 5දා ග්ලෙනුගී වත්තේ කාර්යාලයට පැමිනි සීඩබ්ලිව්සී මස්කෙලිය ප්‍රාදේශීය නායක පිච්චෙයිමුත්තු, කලමනාකරුවා හා වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කොට කම්කරුවන් ආපසු වැඩට යැවීමට උත්සාහ කලේ ය. කම්කරුවෝ යලිත් එය ප්‍රතික්ෂේප කල හ.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති කම්කරුවන්ගේ අරගලය හුදකලා කොට පාවා දීම නිසා, පෙරලා වැඩට යාමට කම්කරුව්නට බල කෙරුනි.

අධික වැඩ බරට එරෙහි ව පසුගිය වසරේ ඔක්තෝබරයේ පැවති වැඩ වර්ජනය සමයේ, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහයෝගයෙන් පිහිටුවන ලද ග්ලෙනුගී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව (ජීඊඒසී), වැඩ වර්ජනයට වැදගත් මැදිහත් වීමක් කලේ ය. ග්ලෙනුගී කොටසේ කම්කරුවන් ඩීසයිඩ් කොටසේ කම්කරුවන්ගේ වැඩ වර්ජනය සමග එක්වීමෙන් වැලැක්වීමට කටයුතු කල වෘත්තීය සමිති ශාඛා නායකයන්ට එරෙහි ව එය උද්ඝෝෂනය කලේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස සැප්තැම්බර් 29දා එක්ව වැඩ වර්ජනය කල කොටස් දෙකේම කම්කරුවෝ, ඔක්තෝබර් 6දා දක්වා එය අඛන්ඩ පවත්වාගෙන ගියහ.

සැප්තැම්බර් 26දා සාකච්ඡාවක් පැවැත්වූ ග්ලෙනුගී ක්‍රියාකාරී කමිටුව, අධික වැඩ බර හා වැටුප් කප්පාදු සම්බන්ධයෙන් ඩීසයිඩ් කොටසේ කම්කරුවන් මුහුන දෙන ගැටලුවලට ම සියලු වතු කම්කරුවන් මුහුන දී සිටින බව සඳහන් කලේ ය. මෙම සාකච්ඡාවේ දී, මෙම ප්‍රහාරවලට එරෙහි ව පොදු අරගලයක් සඳහා අනෙකුත් වතුවල උද්ඝෝෂනය කිරීමට, කම්කරුවෝ එකඟ වූ හ.

යලිත් සැප්තැම්බර් 30දා හමු වූ ක්‍රියාකාරී කමිටුව, ග්ලෙනුගී වත්තේ කම්කරුවන්ගේ වැඩ වර්ජනයට සහයෝගය ලබා ගැනීම සඳහා අනෙකුත් වතුවල කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමට තීරනය කලේ ය.

සාකච්ඡාවේ දී ඩීසයිඩ් කොටසේ එක් කම්කරු කාන්තාවක් මෙසේ කීවාය: “වතු සමාගම් හා ආන්ඩුව විසින් කරන ප්‍රකෝපකරනයන්ට හා ප්‍රහාරවලට කම්කරුවන් මුහුන දී සිටින බව සසප එක දිගට ම අනතුරු ඇඟවූවා. මෙම ප්‍රහාරවලට විරුද්ධ ව සටන් කිරීමට කම්කරුවන් එකමුතු විය යුතු බව එය අවධාරනය කලා. 2016 ඔක්තෝබරයේ දී අපේ වත්තේ කම්කරුවන් ඉහල දැමූ වැඩ බරට එරෙහි ව වැඩ වර්ජනය කල විට, කම්කරුවන් 7ක් අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කලා. ඔවුන්ගේ නිදහස හා යලි ඔවුන් ව වැඩෙහි පිහිටුවීම සඳහා සටන් කල එක ම පක්ෂය සසප යි.”

ග්ලෙනුගී වත්තේ කම්කරුවන්ගේ අරගලය පිලිබඳ ලෝසවෙඅ පලවූ ලිපිය බෙදාහැරි කමිටු සාමාජිකයෝ, එම කම්කරුවන්ගේ වර්ජනයට සහයෝගය ගොඩනැගීම සඳහා උද්ඝෝෂනය කලහ. “ග්ලෙනුගී කම්කරුවන්ගේ අරගලය හුදකලා කිරීමට හා පාවා දීමට ඉඩ නො දීම පිනිස, ඔවුන් හා සමාන ම ප්‍රශ්නවලට මුහුන දී සිටින අනෙකුත් වතුවල කම්කරුවෝ ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් එම අරගලය හා ඒකාබද්ධ විය යුතු ය. එවන් ක්‍රියාකාරී කමිටුවල සන්ධානයක් හරහා අරගලය වටා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් බලමුලු ගැන්වීමට වතු කම්කරුවන් පියවර ගත යුතු ය” යි ලිපිය අවධාරනය කලේ ය.

දරාගත නො හැකි වැඩ කොන්දේසි හා වැටුප් කප්පාදුවලට විරුද්ධ ව, වතු කම්කරුවන් අතර පලල් විරෝධයක් වැඩෙමින් පවතී.

මස්කෙලිය වතු සමාගමට අයත්, මස්කෙලියේ මෝරේ වත්තේ හා තලවාකැලේ කටුකැලේ වත්තේ කම්කරුවෝ, ඉහල වැඩ ඉලක්කවලට හා වැටුප් කැපීමට විරුද්ධ ව සැප්තැම්බර් 27 දා 29දා වැඩ වර්ජනවලට පිලිපන් හ. බොගවන්තලාව වතු සමාගම, කොටගල වතු සමාගම, හොරන වතු සමාගම හා ආගරපතන වතු සමාගම යන ඒවා විසින් පාලනය කරනු ලබන වතු කිහිපයක කම්කරුවෝ, පසුගිය මාසයේ දී මෙම ප්‍රශ්න අරබයා ම විරෝධතා හා වැඩ වර්ජන දියත් කල හ.

කොවිඩ්-19 වසංගතය විසින් ගැඹුරු කර ඇති වතු කර්මාන්තයේ අර්බුදය යටතේ, වතු සමාගම් ඵලදායිතාව ඉහල දැමීම හා වැටුප් කප්පාදු කිරීම තීව්‍ර කර ඇත. කෙන්යාව, චීනය, ඉන්දියාව හා වියට්නාමය ඇතුලු තේ නිපදවන රටවල් සමග තරඟය ඉහල යමින් පවතිද්දී, ලංකාවේ තේ වතු සමාගම් පහල වැටෙන වන ඉල්ලුමට මුහුන දී සිටිති.

අර්බුදයෙහි බර වතු කම්කරුවන් මතට පටවමින් තම ලාභ ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන වතු සමාගම්, එයට එරෙහි ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කිරීමට තීරනය කර ඇත.

අප්‍රේල් මාසයේ දී, හැටන්හි ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකු රැකියාවලින් නෙරපන ලද අතර, වත්තේ කම්කරුවන් 24ක් හා තරුනයන් දෙදෙනෙක් බොරු නඩුවකට මුහුන දෙති. කටුකැලේ වත්තේ මෑත අරගලයේ දී එහි කම්කරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ, ඒ හා සමාන බොරු නඩුවකට පටලවා තිබේ.

මේ සියලු ප්‍රහාරවල දී, සියලු වතු වෘත්තීය සමිති සමාගම් සමග ඒකාබද්ධ වූ හ.

වතු කම්කරුවන්ගේ අරගල, තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය අතර වැඩෙන, ගෝලීය අරගලවල කොටසකි. තම වැටුප් ඉල්ලීම් මුල් කරගෙන ලංකාවේ 250,000ක් පමන වන පාසල් ගුරුවරු මාස 3කට අධික කාලයක් වර්ජනයේ නියැලී සිටිති. තම වැටුප් ඉල්ලීම් හා අහිතකර වැඩ කොන්දේසි මුල් කරගෙන සෞඛ්‍ය කම්කරුවෝ අඛන්ඩ ව සටන් කරමින් සිටිති. වරාය, විදුලි බල හා ඛනිජ තෙල් කම්කරුවෝ, පුද්ගලීකරනයට එරෙහි ව සටන් කිරීමට තර්ජනය කර ඇත.

තම අයිතීන් දිනා ගැනීම සඳහා, වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තිය, කම්කරු අරගල මර්දනය කිරීමේ දී හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් බිඳිය යුතු ය. තම අයිතීන් සඳහා වන අරගලය සියතට ගැනීමට ක්‍රියාකාරී කමිටු බිහිකල යුතු කම්කරුවන්, රාජපක්ෂ ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරවලට විරුද්ධ ව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කල යුතු ය. ලංකාවේ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු වීම අත්‍යවශ්‍ය ය. එය ලඟා කරගත හැක්කේ, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා පමනි.

Loading