ඉදිරිදර්ශන

බයිඩන්-ෂී සමුලුව: යුද්ධයේ අන්තරාය ඉදිරියේ බෙලහීන හැසිරීම

[මෙය 2021 නොවැම්බර් 21 වැනි දින Biden-Xi summit: An impotent gesture before the danger of war යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජිංපිං සඳුදා (නොවැම්බර් 15) සවස පැය තුනහමාරක ඔන්ලයින් රැස්වීමක් ලෙස පවත්වන ලද ඔවුන්ගේ පලමු විධිමත් සමුලුව පැවැත්වී ය. දෙරට අතර යුද තර්ජනය ඓතිහාසික ව පෙර නුවූ විරූ මට්ටම් කරා වොෂින්ටනය විසින් ගෙනැවිත් ඇති තතු තුල වේදිකාගත වූ මෙම සිදුවීම කිසිවක් විසඳුවේ නැත.

ධවල මන්දිරයේ රූස්වෙල්ට් කාමරයේ බයිඩන් සහ බීජිංහි මහජන මහා ශාලාවේ නැඟෙනහිර ශාලාවේ සිට ෂී එකිනෙකා අමතා කතා කල බැවින් සාකච්ඡාව කිසිවිටෙක දැඩි, පරිවර්තන විධිවිධානවලින් ඔබ්බට ගියේ නැත. බලවතුන් දෙදෙනා අතර ආතතීන් කෙතරම් තියුනු වී ද යත්, විශේෂයෙන් ම වොෂින්ටනය කෙතරම් අස්ථායී ද යත්, සමුලුව කිසිදු ප්‍රධාන නිවේදනයකින් හෝ ඒකාබද්ධ ප්‍රකාශයකින් පවා තොර ව අවසන් වූ අතර, එය සමුලුවක ඓතිහාසික අසාර්ථකත්වය පිලිබඳ පැහැදිලි ම ඇඟවීමකි.

මෙම සමුලුව බෙලහීන, චාරිත්‍රානුකූල අභිනය, ප්‍රතිබාධනීය වාක්‍ය ඛණ්ඩ ප්‍රකාශ කරමින්, රාජ්‍යතාන්ත්‍රික උපාමාරු පවත්වාගෙන ගිය වතාවතක් වැනි එකක් වූයේ, බලවතුන් දෙදෙනා යුද්ධය දෙසට ඇදී යමින් සිටිය දී ය. එක්සත් ජනපදයේ සහ චීනයේ පාලක පන්තීන් ධනවාදයේ නෛසර්ගික පරස්පර-විරෝධයන් විසින් ගැටුමක් කරා තල්ලු කරනු ලැබේ. ධනේශ්වර ආර්ථිකය යනු ඒකාබද්ධ ගෝලීය සමස්තයක් වන නමුත් ධනේශ්වර පන්තිය ජාතික රාජ්‍යය හරහා සිය පාලනය ක්‍රියාත්මක කරයි. යුද්ධයට තිබෙන තල්ලුව ප්‍රකාශ කරන්නේ ප්‍රතිවාදී ධනේශ්වර ජාතීන් විසින් මිලිටරි විධික්‍රම මගින් ගෝලීය ආර්ථිකය යලි බෙදා ගැනීමට කරන අරගලය යි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් 2021 නොවැම්බර් 15 වන දින වොෂින්ටනයේ ධවල මන්දිරයේ රූස්වෙල්ට් කාමරයේ සිට චීන ජනාධිපති ෂී ජිංපිං ඔන්ලයින් ව හමුවෙයි. (ඒපී ඡායාරූප/ සුසාන් වොල්ෂ්)

දශකයකට වැඩි කාලයක් පුරා, වොෂින්ටනය, චීනයේ නැඟීම පාලනය කිරීමට සහ එය එක්සත් ජනපද ධනවාදයේ අවශ්‍යතාවලට යටත් කිරීමට, මිලිටරි තර්ජන සහ ආර්ථික සම්බාධක මගින් උත්සාහ කරමින් බීජිනයේ ඉස්කුරුප්පු ක්‍රමානුකූල ව තද කර ඇත. ඔබාමා පරිපාලනයේ 'ආසියාවට හැරීම' සහ ට්‍රම්ප් පරිපාලනයේ වෙලඳ යුද පියවර යන දෙක ම මෙම පොදු අවසානය හඹා ගියේ ය.

පසුගිය වසර පුරා, බයිඩන් පරිපාලනය මෙම කැකෑරෙන ආතතීන් විවෘත ගැටුමක අද්දරට ගෙනැවිත් ඇත. වොෂින්ටනය හිතාමතා ම ඉලක්ක කර ඇත්තේ, චීන විදේශ සබඳතාවල වඩාත් සංවේදී අංගය වන තායිවානයට බීජිනයේ ප්‍රකාශ කරන අයිතිවාසිකම යි. චීනයේ ප්‍රධාන භූමියට එරෙහි ව තායිවානය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය කැප වී සිටින බව බයි‌ඩන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අතර, තායිවාන හමුදා සමඟ පුහුණු අභ්‍යාස වේදිකාගත කිරීම සඳහා වොෂින්ටනය දිවයිනට හමුදා යෙදවූ බව තායිවාන ජනාධිපති ටිසායි ඉන්ග්-වෙන් තහවුරු කලේ ය. මෙම පියවරයන් පසුගිය අර්ධ ශතවර්ෂයේ භූ-දේශපාලන ස්ථාවරත්වයේ මූලික මූලධර්මය වූ ඵක චීනයක් ප්‍රතිපත්තිය ඵලදායි ලෙස යටපත් කර ඇත.

චීනයේ නැඟී එන ධනේශ්වරයේ ආර්ථික හා භූ-මූලෝපායික අවශ්‍යතා සඳහා තායිවානය තීරනාත්මක වන අතර, එහි අවශ්‍යතා නියෝජනය කරන චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) පාලන තන්ත්‍රය එය අවදානම් රේඛාවක් බව පැහැදිලි කර ඇත. “ඔවුන්ගේ නිදහසේ න්‍යාය පත්‍රය සඳහා එක්සත් ජනපද සහය ලබා ගැනීමට තායිවාන බලධාරීන්ගේ පියවර මෙන් ම චීනය කොටු කිරීමට තායිවානය යොදා ගැනීමට සමහර ඇමරිකානුවන්ගේ අභිප්‍රායය” “අතිශයින් ම භයානක වන අතර එය ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් වැනි” බව ෂී, බයිඩන්ට පැවසී ය. “ගින්දර සමඟ සෙල්ලම් කරන තැනැත්තා පිලිස්සෙනු ඇත” යි කියා ඔහු අනතුරු ඇඟවී ය.

චීනයේ ධනේශ්වර පන්තියට තමන්ගේ ම ගෝලීය ආර්ථික අවශ්‍යතා ඇත. මෙම අවශ්‍යතා ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ, විශේෂයෙන් ම එක්සත්ජනපදයේ ස්ථාපිත අවශ්‍යතාවලට බාධා පමුනුවයි. සීසීපීය, රාජ්‍යතාන්ත්‍රික, ආයෝජන සහ මිලිටරි දිගේලි කිරීම් මගින් චීනයේ ධනේශ්වර පන්තිය පුලුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට උත්සාහ කරයි.

එක්සත් ජනපදය තුල කොවිඩ්-19 වසංගතයෙන් ඉහල යන මරන සංඛ්‍යාව, අහස උසට නැඟෙන උද්ධමනය සහ විවෘත පන්ති අරගලයේ පුපුරනසුලු ඉස්මතු වීම, වොෂින්ටනයේ භූ-දේශපාලන නො සැලකිලිමත්කම තීව්‍ර කර ඇත. පන්ති අරගලය අපගමනය කිරීමේ සහ මර්දනය කිරීමේ මාධ්‍යයක් සොයන ඇමරිකානු ධනවාදය චීනය ඉලක්ක කරයි.

ෆොරින් අෆෙයාර්ස් සඟරාවේ නොවැම්බර්-දෙසැම්බර් කලාපයෙහි, ජාත්‍යන්තර සබඳතා පිලිබඳ ප්‍රමුඛ විශාරදයෙකු වන ජෝන් මෙමාසෂ්මර්, ගෝලීය යුද්ධයක අන්තරාය කෙතරම් දුරට තියුනු ද යන්න ඉස්මතු කරයි. ඔහු මෙසේ ලියයි: 'දෙවන සීතල යුද්ධය දැනට මත් පැමින ඇති අතර, සීතල යුද්ධ දෙක සංසන්දනය කරන විට, එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් එක්සත්ජනපද-සෝවියට් එදිරිවාදිකමට වඩා වෙඩි තබ‌ා ගන්නා යුද්ධයකට තුඩුදීමට ඇති ඉඩකඩ වැඩි බව පෙනී යයි.' ඔහු තවදුරටත් පවසන්නේ, 'නව සීතල යුද්ධයේ දී මහාබලවතුන්ගේ යුද්ධයක් හැකි වනවා පමනක් නො ව, න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමේ ඉඩකඩ ද වැඩි ය.'

වොෂින්ටනය සහ බීජිං යන දෙඅංශය තුල ම පරදුවට තැබී ඇති අත්‍යවශ්‍ය දේවල් ගැන දැනුවත් කමක් ඇති නමුත්, කිසිදු පාර්ශවයකට පසු බැසිය නො හැක. ඔවුන් ගැටුමක් කරා තල්ලු කරනු ලැබේ. සඳුදා සමුලුවේ චාරිත්‍රානුකූල විධිවිධාන ප්‍රකාශ කරන්නේ ලෝකය සාමකාමී ව යලි බෙදීමට ධනේශ්වර පන්තීන්ට ඇති මූලික නො හැකියාව යි. වොෂින්ටනයේ සහ බීජිනයේ ආර්ථික ප්‍රදේශ මාරු වීම ඔවුන් ව යුද්ධය දෙසට තල්ලු කරයි.

මෙම වැඩෙන ගැටුමේ ආක්‍රමනිකයා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යි. දේශගුනික විපර්යාස සම්බන්ධයෙන් චීනයට දොස් පවරමින් සහ ෂින්ජියැන්ග්, හොංකොං සහ ටිබෙටයෙහි බීජිනයේ “මානවහිමිකම්” වාර්තාව විවේචනය කරමින් බයිඩන්, ෂීට දේශන පැවැත්වී ය.

බයිඩෙන්ගේ කුහකකම පුදුමසහගත ය. මෙම සති අන්තයේ යන්තම්, නිව් යෝක් ටයිම්ස් හෙලි කලේ, එක්සත් ජනපද හමුදා අවම වශයෙන් නිරායුධ කාන්තාවන්සහ ලමුන් 80ක් පුලුස්සා, අපරාධය සැඟවීමට සුන්බුන් යට සිරුරු වල දමා, සිරියාව තුල විශාල යුද අපරාධයක් සිදුකර ඇති බව යි. වොෂින්ටනය ලේවලින් වැසී ඇත. බයිඩන් මානව හිමිකම් ගැන කනස්සල්ල පලකරන විට, එමගින් කරන්නේ, ඊටත් වඩා විශාල අපරාධ සඳහා කඩතුරාවක් සැපයීම පමනි.

වසංගතය ගැන කතා කරමින්, “ඕනෑ ම ප්‍රධාන රෝගයකට ප්‍රතිචාරය විද්‍යාව මත පදනම් විය යුතු” බව ෂී, බයිඩන්ට ආයාචනා කරමින් “රෝග දේශපාලනීකරනය කිරීමෙන් යහපතක් සිදු නො වන අතර හානියක් පමනක් සිදු වේ” යනුවෙන් ප්‍රකාශ කලේ ය. මිලියන 330 ක ජනතාවක් සිටින එක්සත් ජනපදයේ කොවිඩ් හේතුවෙන් පුද්ගලයින් 780,000 කට වැඩි පිරිසක් මිය ගොස්ඇත; බිලියන 1.4 ක ජාතියක් වන චීනයේ මිය ගොස් ඇත්තේ 5,000 ට අඩු සංඛ්‍යාවක් පමනි. බීජිනය වෛරසය තුරන් කිරීමේ විද්‍යාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙද්දී, ට්‍රම්ප් සහ බයිඩන්පරිපාලනයන්, දැනුවත් සාපරාධී ආකාරයකින්, මිනිස් ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දී ඇති අතර එහි ප්‍රතිඵලය සමූහ මිනිස් ඝාතනය යි.

“රෝග දේශපාලනීකරනය කිරීමට” ෂීගේ විරුද්ධත්වය වූහාන් රසායනාගාර බොරුව, විශේෂයෙන් ම වොෂින්ටන් පෝස්ට් ඇතුලු ඇමරිකානු මාධ්‍ය විසින් බෙදාහරිනු ලබන පදනම් විරහිත ප්‍රකාශය සහ බයිඩන් ධවල මන්දිරය විසින් විශ්වාසදායක ලෙස සලකනු ලබන, කොවිඩ්-19 වුහාන්හි විද්‍යාගාරයකින් ආරම්භ වූ බවට සහ චීනය වසංගතයට වගකිව යුතු බව පිලිබඳ සැඟවුණු සඳහනකි.

සාරාංශ ලියවිල්ලක් පවා ඉදිරිපත් කිරීමට නො හැකි වූ බයිඩන්-ෂී සමුලුවේ අන්ත අසාර්ථකත්වය, වොෂින්ටනයේ යුදවාදීත්වය සියල්ලට ම වඩා ප්‍රකාශ කරයි. සීඑන්එන් පුවත් සේවය ජ්‍යෙෂ්ඨ බයිඩන් පරිපාලන නිලධාරියෙකු උපුටාදක්වමින් හා සිද්ධිය සාරාංශගත කරමින් මෙසේ පැවසීය: “විශේෂයෙන් ආතතීන් සමනය කිරීම මෙම සමුලුවේ අරමුන වූ බව හෝ එහි ප්‍රතිඵලය එය යැයි මම නො සිතමි. තරඟය වගකීමෙන් කලමනාකරනය කරන බවට සහතික කර ගැනීමට අපට අවශ්‍ය යි, එය කිරීමට අපට ක්‍රම තිබේ. ඔහු එම දැඩි තරඟයක නිරත වන බව ජනාධිපතිවරයා හොඳින් ම පැහැදිලි කර ඇත”.

ෂී, බයිඩන් සමඟ “සහයෝගීතාව” ගැන කතා කල තැන බයිඩන් “තරඟය” යන්න සමගින් ප්‍රතිචාර දැක්වූ අතර “අපේ රටවල් අතර තරඟය අපේක්ෂා කරමින් හෝ අනපේක්ෂිත ව ගැටුමකට නො පැමිනෙන බව සහතික කිරීම සඳහා “සාමාන්‍ය බුද්ධියේ ආරක්ෂක වැටවල්” ස්ථාපිත කිරීමට කැඳවුම් කලේ ය.

ෂී ජිංපිං ප්‍රධානියා වන සීසීපී නිලධරය සතුව යුද්ධයේ අන්තරායට පිළිතුරක් නැත. ස්ටැලින්වාදී සීසීපීය චීනවිප්ලවයේ නායකත්වය උදුරාගත් අතර, එහි ජාතිකවාදී ඉදිරි දර්ශනය ආවෘත අන්තරයකට ලඟා වූ විට, ධනවාදයේ පුනස්ථාපනය අධීක්ෂනය කලේ ය. එය චීන කම්කරු පන්තිය මර්දනය කල අතර කම්කරුවන්ගේ ශ්‍රම ශක්තිය ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට විකිනීමෙන් ලාභ උපයා ගත්තේ ය. එය ලෝක වේදිකාවේ භූමිකාවක් සොයමින් සිටින චීන ධනේශ්වරයේ අවශ්‍යතා නියෝජනය කරයි.

මිලිටරියට සම්බන්ධ පාලන තන්ත‍්‍රයේ කොටස්, තායිවානය මත සන්නද්ධ ගැටුමකට තර්ජනය කරමින්, ග්ලෝබල් ටයිම්ස්හි රුදුරු කතුවැකි පල කරති. ආන්ඩුව හිතාමතා ම ජාතිකවාදය පිලිබඳ හැඟීමක් වගා කරන්නේ, මහජනයා බලමුලුගැන්වීම සහ යුද්ධය සඳහා දෘෂ්ටිවාදාත්මක පදනම සූදානම් කිරීමට යි. යුද්ධයට බියෙන් සිටින අනෙකුත් කොටස් වොෂින්ටනය සමඟනව සහයෝගීතාවක් සඳහා නිෂ්ඵල ලෙස බලාපොරොත්තු වෙති.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට චීනය සමග මහා බල ගැටුමක් කරා යන ගමනේ දී මහා සැලැස්මක් හෝ ජයග්‍රහනය සඳහා මූලෝපායක් නොමැත. එය සතුව වසංගතයට හෝ උද්ධමනයට විසඳුමක් නැත. පන්ති ගැටුමේ වර්ධනයට මර්දනය සහ යුද්ධය මිස එයට පිලිතුරක් නැත.

ගැටුමට “පෙරළීමේ” අන්තරාය වළක්වා ගැනීම සඳහා “ආරක්ෂාව” පිහිටුවීම ගැන බයිඩන් කතා කල නමුත් යුද්ධය එක්සත් ජනපදයේ සහ චීනයේ වත්මන් ගමන් පථයෙන් පිටපැනීමක් නො වනු ඇත. ධනවාදයේ වෛෂයික තර්කනය විසින් ඔවුන් ව මෙහෙයවනු ලබන අවසානය එය යි.

ගෝලීය යුද්ධය දෙසට යන මෙම අදූරදර්ශී තල්ලුව කම්කරු පන්තියට නැවැත්විය හැකි අතර එය නැවැත්විය යුතු ය. චීන හා ඇමරිකානු කම්කරුවන්ට ඇත්තේ එක ම අවශ්‍යතා වන අතර, ධනවාදයට සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ තර්ජනයට තිත තැබීමේ පොදු ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් තුලින් පමනක් එම අවශ්‍යතා ආරක්ෂා කල හැක. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව තුල සංවිධානය වී ඇති ට්‍රොට්ස්කිවාදයේ ඉදිරි දර්ශනය මෙයයි.

Loading