නොබෙල් ත්‍යාග කමිටුව එක්සත් ජනපදය සමග පෙලගැසුනු ජනමාධ්‍යවේදීන් උත්කර්ෂයට නංවමින් අසාන්ජ් ගැන නිශ්ශබ්ද ව සිටී

[මෙය Nobel Prize committee hails US-aligned journalists, silent on Assange මැයෙන් 2021 ඔක්තෝබර් 17දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

මේ මස මුල දී නොබෙල් ත්‍යාගයන් ප්‍රදානය කරනු ලැබීම, ප්‍රධාන අධිරාජ්‍යවාධී බලයන් සහ ඔවුන් සමග සහයෝගී ආයතන විසින් “මාධ්‍ය නිදහස” හා “ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්” වැනි භාෂිතයන් වරනීය, කුහක හා දේශපාලනික ව අභිප්‍රේරිත ලෙස යොදාගැනීම පිලිබඳ තවත් සිද්ධි අධ්‍යයනයක් සම්පාදනය කලේ ය.

ධනපති ආන්ඩු ඒකාධිපති පාලන රූප කරා පලල් වසයෙන් හැරීමේ කොටසක් ලෙස, ලොව පුරා ජනමාධ්‍යවේදීන්ට එල්ල කරන ප්‍රහාර තීව්‍ර වීමක් මධ්‍යයේ, නෝර්වීජියානු නොබෙල් කමිටුව 2021 වසර සඳහා එහි ඉහල ම ත්‍යාගය, “බලය අයුතු ලෙස යෙදවීමෙන්, බොරුවලින් හා යුද ප්‍රචාරනයෙන් ආරක්ෂා වීමට සේවය කරන” “නිදහස්, ස්වාධීන හා කරුනු මත පදනම් වන ජනමාධ්‍යවේදයට” කැප කලේ ය. “ප්‍රකාශනයේ නිදහස හා තොරතුරුවල නිදහස, දැනුවත් මහජනකායක් තහවුරු කිරීමට උදවු වන” බවටත්, “යුද්ධයෙන් හා ගැටුම්වලින් ආරක්ෂා වීමටත්” හේතු වන බවටත්, තමන් “ඒත්තු ගැන්වී” ඇතැයි නොබෙල් කමිටුව ප්‍රකාශ කලේ ය.

ලන්ඩන් මහාධිකරනයේ දී ජූලියන් අසාන්ජ් උදර්පනය කිරීමේ පලමු නඩුවාර‌යෙන් අනතුරු ව, පෝස්ටරයක් අතදරා සිටින විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ්ගේ ආධාරකරුවෙක්, බදාදා, අගෝස්තු 11, 2021 (ඒපී ඡායාරූප/ මැට් ඩන්හැම්)

මීට පෙර බොහෝ අවස්ථාවල දී සිදු වී තිබෙන පරිදි ම, නොබෙල් ත්‍යාගය ගැන සැලකීමේ දී, සීමිත කරුනු සලකා බැලීමක් වුව, උච්ච ගනයේ පූච්චානම් සාවද්‍ය බවට පත් කරයි. ඩයිනමයිට් සොයාගත් තැනැත්තා වන ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් ආරම්භ කරන ලද මෙම ත්‍යාගය, එමගින් අදහස් කරන උසස් පරමාදර්ශයන් අපක්ෂපාතී ව දිරිමත් කරනු වෙනුවට, යුරෝපීය පාලක පන්තියේ හා නිරතුරු ව ම එක්සත් ජනපද රාජ්‍යයේ බලගතු කොටස්වල දේශපාලන අවශ්‍යතා හා උත්සුකයන් සෑමවිට ම පිලිබිඹු කර තිබේ.

වඩාත් ම කුප්‍රකට එක් අවස්ථාවක දී, ඇමරිකානු අධිරාජ්‍යවාදය වියට්නාමය තුල මුදාහරින ලද සංහාරය මධ්‍යයේ, යුද අපරාධකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කරතැයි බියෙන් එක්සත් ජනපදයෙන් ඔහුට පිට වීමට නො හැකි වූ කොන්දේසි යටතේ, රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර්ට 1973 වසරේ ඉහල ම ත්‍යාගය ලැබුනේ, ලෝකයට සාමය ගෙන ඒමට ඔහු කල වැඩකටයුතු වෙනුවෙනි.

ධූරයට පත්වීමෙන් යන්තම් මාස නවයකට පසුව, 2009 දී එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමාට සාම ත්‍යාගයක් පිරිනමන ලද්දේ, ගෞරවය ලැබීමට සුදුසු වන කිසිදු සුදිශ්‍ය කාර්ය සිද්ධියකින් තොර ව ය. මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව මත එක්සත් ජනපද බෝම්බ හෙලීම ප්‍රසාරනය කරමින් සහ න්‍යෂ්ටික ව සන්නද්ධ රුසියාව හා චීනය සමග ආක්‍රමනශීලී මුනගැටුම් ආරම්භ කරමින්, වතා දෙකේ ම සමස්ත ධූර කාලය තුල අඛන්ඩ ව යුද්ධය අධීක්ෂනය කරන පලමු එක්සත් ජනපද ජනාධිපති ලෙස ඔහු ඉදිරියට යාමට නියමිත විය.

මේ වසරේ ත්‍යාගලාභීන්, කිසිංජර් කෙනෙකුගෙන් හෝ ඔබාමා කෙනෙකුගෙන් වෙනස් නො වේ. ඔවුන්ගේ මාධ්‍ය නිදහස සැමරීමේ දී, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගෙන් අවශ්‍යතාවන්ට කිසිදාක අභියෝග කිරීම හෝ ඒවායේ යාන්ත්‍රනය හෙලිදරව් කිරීම කර නැති, එක්සත් ජනපද රාජ්‍ය යාන්ත්‍රනය සමග පෙලගැසෙමින් සමස්ත වෘත්තීය ජීවිත ගත කර ඇති, ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු තෝරාගැනීමට නොබෙල් කමිටුව කටයුතු කලේ ය.

ඇමරිකානු යුද අපරාධ, මහා පරිමාන ඔත්තු මෙහෙයුම් හා ගෝලීය රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රන හෙලදරව් කිරීම නිසා, එක්සත් ජනපදය හා එහි සගයන් විසින් පෙරනුවූ විරූ ජාත්‍යන්තර චෝදනා උද්ඝෝෂනයකට බඳුන් කර ඇති විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් ගැන, නොබෙල් කමිටුව කිසිවක් සඳහන් නො කලේ ය. ජනමාධ්‍යවේදී ක්‍රියාකාරකම්වල නිරත වීම නිසා ම්ලේච්ඡ දේශපාලනික චෝදනා නැගීමකට අසාන්ජ්ගේ නඩුව පැහැදිලි උදාහරනයක් වන අතර, එක්කෝ මරනය නැතහොත් ජීවිතාන්තය දක්වා වධයන්ට ලක්වෙමින් සිරගෙයි ගත කිරීම වැනි ඔහු මුහුන දෙන අන්තරායන් ප්‍රතික්ෂේප කල නො හැක.

ත්‍යාගලාභීන් “ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස වඩ වඩා අහිතකර කොන්දේසිවලට මුහුන දෙන ලෝකයක් තුල, මෙම පරමාදර්ශය වෙනුවෙන් නැගී සිටින සියලු ජනමාධ්‍යවේදීන්ගේ නියෝජිතයන්” වන බව, ත්‍යාගය නිවේදනය කිරීමේ දී නොබෙල් කමිටුව ප්‍රකාශ කලේ ය.

ඔවුන්ගේ පලකිරීම් හේතුවෙන්, මාරියා රෙසා හා ඩිමිත්‍රි මුරටොව් යන දෙදෙනා ම දේශපාලනික ප්‍රහාරයන්ට භාජනය වී ඇති බවට ප්‍රශ්නයක් නැත.

පරිපාලනයෙහි දූෂනය හා මිනීමරු “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” සිය රැප්ලර් මාධ්‍ය ද්වාරය මගින් හෙලිදරව් කිරීම නිසා, ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේගේ පිලිපීන ආන්ඩුව 2018 දී රෙසා අත්අඩංගුවට ගත්තේ ය. ව්‍යාජ “සයිබර් අපහාස” චෝදනාවන්ට පසුගිය වසරේ දී වැරදිකාරිය වූ ඇය, දැනට ඇප මත සිටින අතර, වසර හයක සිර දඬුවම් ලැබීමට මුහුන දෙයි.

පලල් වසයෙන් රුසියානු රාජ්‍යයට හා එහි ඒජන්සිවලට ආරෝපනය කරනු ලබන මරා දැමීම්වල දී, 2000 වසරේ පටන් නොවායා ගැසටාහි මුරටොව්ගේ සගයන් හත්දෙනෙකු මරා දමනු ලැබ ඇත.

මර්දනීය ඒකාධිපති ක්‍රියාවන්ට ද රුසියාවේ හා පිලිපීනයේ ධනපති පාලන තන්ත්‍රයන්ට ද සමාජවාදීහු විරුද්ධ වෙති. එහෙත්, රෙසා හා මුරටොව් යන දෙදෙනා ම ජාත්‍යන්තර ප්‍රමුඛත්වයට පත් වී ඇත්තේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් සමග සමීප ව ගැලපෙන ක්‍රියාකාරකම් සහිත ව, ඔවුන් මූලික භූ-දේශපාලනික වරදකාරී රේඛා ඔස්සේ මෙහෙයවෙමින් සිටින නිසා ය.

රෙසා හා මුරටොව් යන දෙදෙනා, “වෙහෙස නො බලා, බියෙන් තොර ව කරුනු ලුහුබැඳ ගොස් තිබෙනවා. බලය අපචාරයේ යෙදවීම පරීක්ෂා කිරීමට, දූෂනය හෙලිදරව් කිරීමට හා විනිවිද භාවය ඉල්ලා සිටීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. නිදහස් මාද්‍ය ද්වාර සොයාගැනීමේ දී දැඩි ව කටයුතු කරන ඔවුන් දෙදෙනා, ඒවායේ නිශ්ශබ්දතාව අපේක්ෂා කරන බලවේගයන්ට එරෙහි ව ආරක්ෂා කර තිබෙනවා” යි ප්‍රකාශ කරමින්, එක්සත් ජනපද ජනාධිපති ජෝසෆ් බයිඩන් මෙම ත්‍යාගය උත්කර්ෂයට නැංවී ය.

එක්සත් ජනපදයේ අධිචෝදකයන්ගේ හස්තයෙහි දී මිය යා හැකිය යන්න මත පදනම් ව, අසාන්ජ් ව උදර්පනය කිරීම වැලැක්වීමේ බ්‍රිතාන්‍ය උසාවි තීරනයකට එරෙහි ව තම පරිපාලනය කර ඇති අභියාචනයක් මත මේ මස අවසානයේ දී ඇසීමට නියමිත නඩුවක් විසින් “නිර්භීත ස්වාධීන මාධ්‍ය ද්වාර” පිලිබඳ බයිඩන්ගේ සැබෑ ආකල්පය ප්‍රදර්ශනය කරනු ලබයි. “දූෂනය හෙලිදරව්” කරන හා “විනිවිද භාවය ඉල්ලා සිටින” ජනමාධ්‍යවේදීන් “නිශ්ශබ්ද කිරීමට උත්සාහ කරන බලවේගයන්” ගැන සලකද්දී, බයිඩන් පරිපාලනය අසාන්ජ් වසර 175කට සිපිරි ගෙට යවා විකිලීක්ස් විනාශ කිරීමට උත්සාහ දරමින් සිටී.

නොවායා ගැසටා පුවත්පත 1993 දී සමාරම්භ කරන ලද්දේ එහි වර්තමාන ප්‍රධාන කර්තෘ වන මුරටොව් විසිනි. සාපරාධී කතිපයාධිකාරයක පැන නැගීමට තුඩු දුන් දූෂිත නිලධරයක් විසින් සෝවියට් සංගමයේ ධනය කොල්ල කද්දී, මිලියන ගනන් මහජනයා කාලකන්නි භාවයට ඇද දැමීම ප්‍රතිඵල කිරීමට නියමිත ක්‍රියා මාර්ගයක් වූ, ධනවාදය පුනස්ථාපනය කරා හැරීමට හිලවුව ලෙස, 1990 දී මිකායිල් ගොර්බචෙව්ට පිරිනමන ලද නොබෙල් සාම ත්‍යාගයේ මුදල්වලින් එම පුවත්පත ආරම්භ කිරීමට අරමුදල් ලැබුනි.

වීරත්වයට අඩු මෙම සම්භවයේ කතාව, පුවත්පතේ ඉතිහාසය පුරා අඛන්ඩ ව පැවතී ඇති මෝස්තරයක් සකස් කලේ ය. “සෝවියට් විදෙස් ඔත්තු සේවාවේ හිටපු සාමාජිකයෙක්” හා “බැංකු ධනකුවේරයෙක්” වන “ඇලෙක්සැන්ඩර් ලෙබෙදෙව්” නොවායා ගැසටා පත්‍රයේ මුදල් යන්ත්‍රයක් වන බව 2009 දී ඒබීසී නිවුස් විසින් පල කල “පුවත්පත බටහිර තුල ආදරයට පාත්‍ර වේ, නමුත් සිය රට තුල වෛරයට ලක් වේ” නමැති ලිපියක් සටහන් කලේ ය.

“1990 ගනන්වල පටන් ඔහු පත්‍රයට ආධාර දී ඇත. 2006 ජුනි මාසයේ දී, ඔහු හා හිටපු සෝවියට් නායක මිකායිල් ගොර්බචෙව්, එවකට බංකොලොත්භාවය අද්දර පැවති නොවායා ගැසටා පත්‍රයේ කොටස්වලින් සියයට 49ක් අත් කරගත් හ. ඉතිරි කොටස අයත් වූයේ සේවකයන්ට ය.

“යුරෝ මිලියන 1.5ක් (ඩොලර් මිලියන 2.1ක්) පමන ගෙවා ලෙබෙදෙව් සේවකයන්ගේ කොටස් මිලට ගත්තේ ය. එතැන් පටන්, සෑම වසරක දී ම, මුදල් නැති කරගන්නා මෙම පුවත්පතට ඔහු මිලියන ගනන් එන්නත් කර ඇත.”

නිව් යෝක් ටයිම්ස් පත්‍රය මෑත දී පල කල ලිපියක්, 2014 වසරේ දී ද ඒ හා සමාන ව, රුසියානු විදුලි සන්දේශ ධනකුවේරයෙක් වන සර්ජි අදොනියෙව් විසින් පුවත්පත “මුදවා ගත්තේ” ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග වඩා ඍජු සම්බන්ධයක් සඳහා උත්සාහ දරන්නා වූ ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වටා සිටින කතිපයාධිකාරීන් සමග විවිධාකාර මූල්‍යමය ගැටුම්වල පැටලී සිටින්නා වූ ද රුසියානු පාලක පන්තියේ කොටසක් නියෝජනය කරන මෙම ධනවත් පිටුබලය දෙන්නන්ගේ ආස්ථාන නොවායා ගැසටා විසින් අනවරත ව ඉදිරියට දමා ඇත. පාලක ප්‍රභූවේ මෙම විමතික කන්ඩායම එක්සත් ජනපදය විසින් සාදරයෙන් පිලිගනු ලැබ ඇත්තේ, මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මෙහෙයුම් පුටින් විසින් බාධනය කරනු ලැබීම අවසන් කිරීමට දරන උත්සාහයේ කොටසක් ලෙස ය.

රටෙහි විපාර්ශවික ව්‍යාපාරයේ නායක චරිතයක් වන ඇලෙක්සේයි නැවාල්නිට මුරටොව් ඔහුගේ නොබෙල් ත්‍යාගය කැප කලේ ය. ඉතා සීමිත මහජන සහයෝගයක් හා අන්ත-දක්ෂිනාංශික දේශපාලන ඉතිහාසයක් සහිත නැවාල්නි ව, එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් විසින් සත්කාරයට පාත්‍ර කරනු ලබන අතර, ඔහු, පුටින් පාලන තන්ත්‍රයට එරෙහි ඔවුන්ගේ ප්‍රකෝපකරනයන්‌ෙග් මුඛ්‍ය චරිතයකි.

මාරියා රෙසාට එක්සත් ජනපද රාජ්‍යය සමග තිබෙන සබඳතා මුරටොව්ගේ සබඳතාවන්ට ද වඩා ඍජු ය. සීඑන්එන් ඇතුලු එක්සත් ජනපදයෙහි ප්‍රධාන ද්වාරයන් සමග පවතින දශක ගනනක වෘත්තීය ජීවිතයක් සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ උගන්වා ඇති රෙසා, 2012 දී රැප්ලර් ආරම්භ කලා ය. එක්සත් ජනපද අවශ්‍යතා ජාත්‍යන්තර ව ඉදිරියට දැමීම පිනිස කොංග්‍රසය විසින් ස්ථාපිත කරන ලද සංවිධානයක් වන, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික උපාදානයයෙන්, මෙම පුවත්පතට සැලකිය යුතු අරමුදල් ලැබී ඇත. රැප්ලර් පුවත්පත වසා දැමීම සඳහා දුතර්තේ පරිපාලනය දැරූ උත්සාහයන්වල දී, මෙම කරුන එය විසින් ගසා කනු ලැබ තිබේ.

දුතර්තේගේ ධූර කාලයෙන් වැඩි කාලයක් පුරා, මෙම පුවත්පත දුතර්තේ සමග හරහට හිට ඇත. මැර ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි විරෝධය අවුලුවන රැප්ලර් පුවත්පත, එක්සත් ජනපදයෙන් ඉවත් ව චීනය දෙසට දුතර්තේ තුල පවතින දිශානතියට එරෙහි පිලිපීන පාලක පන්තික කොටස්වල හා එක්සත් ජනපද රාජ්‍යයේ හතුරුකමට හඬ ලබා දී තිබේ.

ජනාධිපතිවරනයකට පෙරාතුව, පිලිපීනය තුල පවතිනවා යයි උපකල්පිත චීන බලපෑමට එරෙහි ව මැකාතිවාදී උද්ඝෝෂනයක් පුවත්පත විසින් ගෙන යන අතර, එහි ඉලක්කය වන්නේ මීලඟ ජනාධිපතිවරයා බෙයිජිනයෙන් ඉවත හැරී එක්සත් ජනපදයට අවශ්‍ය ලෙස ක්‍රියා කරනු ඇතැයි තහවුරු කිරීම යි. අප්‍රේල් මාසයේ දී, රෙසා හිලරි ක්ලින්ටන් සමග “සුවිශේෂී සාකච්ඡාවක්” පැවැත්වූ අතර, එක්සත් ජනපද යුදවාදිනිය එහි දී “පිලිපීනය චීනයේ මූලික යටත් රාජ්‍යයක් බවට පත්වීම” පිලිබඳ ව ඇයට පවතින භීතිය ගැන කතා කලා ය.

“මාධ්‍ය නිදහස” ගැන රෙසාගේ සංකල්පය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එම සංකල්පය සමග සිත් කාවදින ලෙස සමාන වේ. උදාහරනයක් ලෙස, 2009 දී සිඩ්නිහි පවත්වන ලද ප්‍රසිද්ධ සාකච්ඡා මන්ඩපයක දී, අන්තර්ජාලය සහ තනි පුද්ගලයන්ට හා ඔන්ලයින් ප්‍රකාශනයන්ට තොරතුරු ප්‍රචලිත කිරීමට පවතින හැකියාව, මාධ්‍ය නිදහසට විශාලතම තර්ජනය නියෝජනය කරන බව ඇය ප්‍රකාශ කලා ය.

“අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍යවල පවතින ශ්‍රේෂ්ට ලක්ෂනයන්ගෙන්” එකක් වන්නේ, තොරතුරු පලකිරීම “ප්‍රජාතන්ත්‍රකරනය” කිරීමට එයට පවතින හැකියාව යයි සටහන් කල රෙසා, එම රැල්ල ගැන වැලපුනා ය. තොරතුරු “පරීක්ෂාවේ දී” වැදගත් සේවයක් ඉටු කල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය “ද්වාර පාලකයන්ට” වල කපනු ලැබ තිබිනි. “අපි ද්වාර පාලකයන් ව අමතක කලා” යි ඇය කනිපින්දම් කීවා ය.

පුදුමයකට ඉඩක් නො තබා, අසාන්ජ් හා විකිලීක්ස් කෙරෙහි රෙසාගේ ආකල්පය තීව්‍ර හතුරුකම පිලිබඳ එකකි.

2019 අප්‍රේල් මාසයේ දී අසාන්ජ් ව ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීම ගැන විමසූ විට, ඔහුට එරෙහි ප්‍රහාරය හෝ එක්සත් ජනපදයේ උදර්පන උත්සාහය හෙලා දැකීමට රෙසා කටයුතු කලේ නැත. ඒ වෙනුවට ඇය ප්‍රකාශ කලේ, ඔහු හා විකිලීක්ස් සැබෑ ජනමාධ්‍යවේදීන් නො වන බවයි. සැබෑ ජනමාධ්‍යවේදියෙක් “සුපරීක්ෂනයේ යෙදී, යමක් ජාතික ආරක්ෂාවට වැදගත් යයි තීන්දු කොට හා ඒ බව දැනගෙන, එය එසේ නො වේ යයි සත්‍යාපනය කරන තෙක් රඳවා තබා ගන්නා බැවින්” එය එසේ වෙයි. අසාන්ජ්ට චෝදනා නැගීම සහ එක්සත් ජනපද ව්‍යවස්ථාවේ පලමු සංශෝධනයෙන් තහවුරු කරන මාධ්‍ය නිදහස ඔහුට අහිමි කිරීමට චෝදනා නැගීම විසින් දරන උත්සාහය මෙම අදහස් මගින් යුක්ති යුක්ත කල අතර ම, “ජාතික ආරක්ෂක” යාන්ත්‍රනය කෙරෙහි රෙසාට ම තිබෙන පක්ෂපාතීත්වය ද ප්‍රකාශයට පත් කලේ ය.

ඇමරිකානු රාජ්‍යය විසින් අරමුදල් සැපයිය හැකි, නොබෙල් කමිටුව විසින් උත්කර්ෂයට නංවනු ලබන “නිර්භීත,” “නිදහස්” හා “ස්වාධීන” ජනමාධ්‍යවේදය එබඳු ය.

Loading