විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවන් උපයන මුදල් 'අවිධිමත්' ක්‍රම හරහා ලංකාවට එවීමෙන්, ප්‍රශස්ත ශ්‍රී ලාංකික විනිමය අනුපාතය ලබා ගැනීමට ඔවුනට තිබූ අවස්ථා අහුරා දමා, ඔවුන්ගෙන් උපරිම විදේශ ප්‍රේෂන උකහා ගැනීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව පියවර ගනිමින් සිටී.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් 2021 දෙසැම්බර් මස මුල ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “නීතිවිරෝධී සම්ප්‍රේෂන ක්‍රම හරහා මුදල් බෙදාහරින සහ ලබාගන්නා අයගේ බැංකු ගිනුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන” බවයි. 'නීතිමය මාර්ග පමනක් භාවිතා කරනු' යනුවෙන් ඔහු සියලුම සංක්‍රමනික ලාංකිකයන්ට නියෝගයක් ද නිකුත්කොට තිබේ.
මබැ අධිපති ගේ නියෝගය ගලා එන්නේ, වසංගතයෙන් තීව්‍ර වී ඇති ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව අනුයන රුදුරු කප්පාදු පිලිවෙත් වලිනි.
කොරෝනා වසංගතයෙන් සංචාරක ව්‍යාපාරය අඩාල වීම සහ විදේශ කම්කරුවන්ගේ ප්‍රේෂන දැවැන්තව පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතය 2021 නොවැම්බර් මස අවසානයේදී ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටුනි. මුදල් අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, 2022 දී එහි ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් බිලියන 4.5 ක් පමන විදේශයන්ට ගෙවිය යුතුය. එම තතු තුල, ආන්තික විදේශ සංචිත හිඟය පියවා ගැනීමේ ක්‍රමයක් ලෙස, විදේශ කම්කරුවන්ගේ ප්‍රේෂන ඉහල දමා ගැනීමේ මංමුලාසහගත උත්සාහයක ආන්ඩුව යෙදී සිටී.
සංක්‍රමනික කම්කරුවන් වාර්ෂිකව ලංකාවට එවන ප්‍රේෂන පසුගිය සිවු දශකය තුල ක්‍රමිකව වැඩිවී 2016 දී එය ඇමෙරිකානු ඩොලර් බිලියන හත ඉක්මවා ගිය නමුදු, එතැන් පටන් එහි කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කරයි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩා වැටීම හේතුවෙන් 'උන්ඩියල්' වැනි ක්‍රම හරහා ලංකාවට මුදල් එවීමේ ප්‍රවනතාව ඉහලයාම මෙයට හේතුවයි. වසංගතයත් සමග කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් දැවැන්තව කප්පාදුවීම නිසා එම ප්‍රේෂන වඩාත් පහත වැටුනි.
“නීතිවිරෝධී' යයි මහ බැංකු අධිපති හඳුන්වන්නේ තම ඉපයීම් සඳහා වැඩි විනිමය අනුපාතයක් ලබාදෙන උන්ඩියල් වැනි ක්‍රම හරහා ලංකාවට මුදල් එවීමයි.
සම්ප්‍රදායික බැංකු ක්‍රමවලින් පිටත පවතින විකල්ප ප්‍රේෂන නාලිකාවක් ලෙස 'උන්ඩියල්' වර්තමානයේ බහුලව භාවිතා වේ. 'උන්ඩියල්' තැරැව්කරුවන් අතර ගනුදෙනු, පොරොන්දු නෝට්ටු නොමැතිව සිදු කරනු ලබන්නේ දැඩි විශ්වාසය මත පදනම්වය. තැරැවුකරුවන් ලබාගන්නා මුදල් එවෙලේම ලංකාවේ යැපෙන්නන්ගේ ගිනුම් වලට මාරුකරන අවස්ථා මෙන්ම, ලංකවේ සිටින නියෝජිතයා හරහා බැංකු ගිනුමට මාරුකරන අවස්ථා සහ සෘජුව මුදල් ලබාදෙන අවස්ථා ද පවතී. මෙම ක්‍රමයේදී විදේශ මුදල් රට තුලට පැමිනීමක් සිදු නොවේ.
මෙම ක්‍රමයෙන් ලංකාවට මුදල් එවන්නාට ලැබෙන වාසිය වන්නේ, විධිමත් ක්‍රමයට මුදල් එවීමේදී ඩොලරයකට ලැබෙන රුපියල් ප්‍රමානයට වඩා වැඩි රුපියල් ප්‍රමානයක් ලබා ගැනීමට හැකිවීමයි. උදාහරනයක් ලෙස, විධිමත් ක්‍රමයේදී ඩොලරයකට ලැබෙනුයේ රුපියල් 200 ක් නම්, 'උන්ඩියල්' ක්‍රමයේදී රුපියල් 240 ක් වැනි අගයක් ලබාගත හැකිවෙයි.
පුද්ගලයෙකු විධිමත් ආකාරයෙන් ලංකාවේ යැපෙන්නන්ට මුදල් එවීම කලහොත් වර්තමාන තත්වය අනුව ඔවුන්ට ඩොලරයකට රුපියල් 39 පාඩුවක් සිදුවේ. මැදපෙරදිග ගෘහ සේවකයෙකුගේ වැටුප සාමාන්‍යයෙන් ඩොලර් 400ක් පමන වේ. ඒ අනුව ඔහුට හෝ ඇයට රුපියල් 15,000 ට ආසන්න පාඩුවක් සිදුවේ. විදේශ කම්කරුවන් ලංකාවට මුදල් එවීමට “නිත්‍යානුකුල” නොවන ක්‍රම යොදාගෙන ඇත්තේ මේ තතු තුලයි.
උන්ඩියල් ක්‍රමය වලක්වා විදේශ ප්‍රේෂන ඉහල දමා ගැනීමේ පියවරක් ලෙස, ලංකා බැංකු පද්ධතිය හරහා සිදු කරනු ලබන විනිමය පරිවර්තන සඳහා සෑම එක්සත් ජනපද ඩොලරයකටම අමතර රුපියල් 10ක්, පිරිනමන බව ශ්‍රී ලංකා මහ බැංකුව 2021 දෙසැම්බර් මාසයේ නිවේදනය කලේය. එනමුදු එම සොච්චම සංක්‍රමනික කම්කරුවන් 'උන්ඩියල්' ක්‍රමයෙන් ඉවත් කිරීමට කිසිසේත් ප්‍රමානවත් නොවේ.
තමා කඹුරා උපයන වැටුපෙන් තම දරුපවුල් වලට හැකි උපරිම දේශීය විනිමය සම්පාදනය කිරීම සෑම සංක්‍රමනික කම්කරුවෙකුගේම අයිතියකි. වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, රුපියල් 15,000 ක් වැනි මුදලක් අහිම්කර ගැනීම කිසිසේත් කල නොහැකි බව ඔවුහු පවසති.
කටාර් හි සේවය කරන කම්කරුවෙකු ප්‍රකාශකලේ වැඩපොල අසලම උන්ඩියල් තැරැව්කරුවන් ගැවසෙන නමුත් තමන් කිසිදිනක එවැනි ක්‍රමවලට මුදල් ලංකාවට එවා නොමැති පවයි. නමුත් බොහෝ දෙනකු එහි පවතින සරලභාවය සහ වැඩි මුදලක් ලැබෙන නිසා මුදල් එවීමට උන්ඩියල් ක්‍රමය භාවිතා කරන බව ඔහු කීවේය. 'අද වෙනකොට වැඩිපුර මුදලක් ගෙදරට යැවියහැකි නිසා මමත් මෙම ක්‍රමය යොදාගැනීමට සිතමින් සිටිනවා' යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.
මාලදිවයිනේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියාවක නියුතු තරුන කම්කරුවෙකු පැවසුවේ තමන් අවුරුදු කිහිපයක සිට මෙම ක්‍රමය අනුගමනය කරන බවයි. විශාල ලාංකික කම්කරුවන් පිරිසක් මේ ක්‍රමය අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් පැවසිය.
ලංකාවේ ප්‍රමුඛතම විදේශ විනිමය උත්පාදකයන් සංක්‍රමනික කම්කරුවන් වුවද, ඔවුන් මුහුනදෙන රුදුරු කොන්දේසි සම්බන්ධයෙන් සෑම ආන්ඩුවක්ම අනුගමනය කරනුයේ සපුරා නොතැකීමේ පිලිවෙතකි. ඔවුන් පිලිබදව රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධි නොතැකීම වසංගතය මගින් වඩාත් එලිදරවු විය. වසංගතය මධ්‍යයේ රැකියා අහිමි වූ විශාල සංඛ්‍යාවක්, ලංකාවට පැමිනීමට නොහැකිව රැඳවිම් මධ්‍යස්ථානවල ඉතා දුෂ්කර ජිවිත ගත කිරීමේදී මියගිය අවස්ථාද විය. ඔවුන් යලි ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්ෂනික පියවර ගැනීමෙන් ආන්ඩුව වැලකී සිටියේ ඔවුන් 'මිනිස් බෝම්බ' ලෙස නම් කරමිනි.
නමුත්, විදේශ ප්‍රේෂන හිගයෙන් පෙලෙන ආන්ඩුවේ පිලිවෙත වන්නේ, කම්කරුවන්ගේ සේවා සහ ජීවන කොන්දේසි කුමක් වුවද, කෙසේ හෝ රට පටවා යැවීමයි. 'ගුවන් යානාවල ආසන සොයා දී හෝ' ඔවුන් රට පැටවීම කඩිනම් කරන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කල කුප්‍රකට ප්‍රකාශය පිටුපස ඇත්තේ මෙම පිලිවෙතයි.
විදේශගත කම්කරුවන් අසීරුවෙන් උපයන මුදල් ඔවුන්ගේ දරුපවුල් අතට පත්වීම සීමාකොට ධනපති අර්බුදයේ බර ඔවුන් මත පැටවීමට වලිකන ආන්ඩුව, දැනටමත් එම පවුල්වල බැංකු ගිනුම් වලට බැර කෙරෙන මුදල් පැමිනි ආකාරය සොයා බැලීම ආරම්භ කොට ඇත.
විදේශ සංචිත හිගයට පිලියමක් ලෙස විදේශ වියදම් අඩු කරනුවස්, ලාංකික කම්කරුවන් සේවය කරන විදේශ රටවල තානාපති කාර්යාල වසා දැමීම සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුබද්ධ විදේශවල සේවයකල නිලධාරීන් නැවත ලංකාවට ගෙන්වාගැනීම වැනි පියවර ගනනාවක් ආන්ඩුව ක්‍රියාත්මක කර තිබේ. එමගින්, එම කම්කරුවන්ගේ රැකියා සහ ජීවන කොන්දේසි සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය සීමිත වගකීම් පවා ආන්ඩුව මුලුමනින්ම අත්හැර දමා තිබේ.
ආන්ඩුව ක්‍රියාවට දමන මෙම සාපරාධී පිලිවෙත් වලට එරෙහිව කම්කරු පන්තියේ නැගෙන කෝපය සමනය කරගැනීමේ පියවරක් ලෙස, පසුගියදා බත්තරමුල්ල විදේශ නියුක්ති කාර්‍යංශයේ පැවැති රැස්වීමකදී නිමල් සිරිපාල සිල්වා කියා සිටියේ 'ශ්‍රමිකයන් එවන මුදල් වලට අවම වශයෙන් ඩොලර් එකකට රුපියල් දෙසිය හතලිහක් හෝ ලබා දෙන ලෙසට යෝජනා කරන' බවයි.
සංක්‍රමනික කම්කරුවන්ට එල්ලකරන ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව සමස්ත කම්කරු පංතියට එල්ලකරන ප්‍රහාරයේ කොටසකි. එය පරාජය කිරීම සඳහා, සංක්‍රමනික කම්කරුවන් අවශේෂ කම්කරුවන් සමග ඒකාබද්ධව ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි ස්වාධීන දේශපාලන අරගලයක් දියත් කල යුතුය.
