ඉදිරිදර්ශන

ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවයේ සංවත්සරයක්: සෝවියට් සංගමයේ අවසානයෙන් 30 වසරක්

[මෙහි පලවන්නේ 2021 දෙසැම්බර් 28 දින An Anniversary of Stalinist Counterrevolution: 30 years since the end of the USSR මැයෙන් පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

1991 දෙසැම්බර් 26 වන දින මිඛායෙල් ගොර්බචෙව් විසින් නායකත්වය දෙන ලද ස්ටැලින්වාදී තන්ත්‍රය, සෝවියට් සංගමය නිල වශයෙන් විසුරුවා හැරියේය. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ අවසානය හා ධනවාදය පුනස්ථාපනය වූ කලී, විප්ලවයේ උරුමය පැහැර ගෙන තුබූ ස්ටැලින්වාදීන් 70 වසරක් පුරා එකී විප්ලවය පාවා දෙමින් සිදු කල ක්‍රියා කලාපයේ කුලු ගැන්වීම විය.

දකුනේ සිට දෙවැන්නා, සෝවියට් නායක මිඛායෙල් ගොර්බචෙව් සහ වමේ සිට දෙවැන්නා, එජ ජනාධිපති රොනල්ඩ් රේගන් 1986 ඔක්තෝබර් 11 දින සාකච්ඡා මාලාවක ආරම්භක අවස්ථාවේ, අයිස්ලන්තයේ රේක්ජවික්හි හොෆ්ඩි මන්දිරයෙන් පිටත දී, අතට අත දෙමින් (අනුග්‍රහය: AP ෆොටෝ/ රොන් එඩ්මන්ඩ්ස්)     

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් සේම ශාස්ත්‍රාලයීය ප්‍රකාශන වලින් ද එකසේම ගැයුනු සමූහ ගායනයකට සවන් දීමට මෙම සිදුවීමේ 30 වන සංවත්සරයට සිදු වී තිබින. මේ සියල්ලන් විසින් නොවැලැක්විය හැකි පරිදි ප්‍රතිරාවය කල එකම ස්වරය වූයේ, 'මෙය එලැඹෙන බව කිසිවෙක් නොදුටුවෝය,' යන්නයි. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි මහාචාර්ය වලඩිස්ලාව් එම්. සුබොක් ' Collapse: The Fall of the Soviet Union (බිඳ වැටීම: සෝවියට් සංගමයේ වැටීම)' නම් සිය කෘතිය තුල මෙසේ ලියයි: 'හිට්ලර්ගේ හමුදාවල මහා ප්‍රහාරයෙන් පවා රැකී තුබූ සෝවියට් සංගමය ඇතුලතින්, එහි අභ්‍යන්තර අර්බුදයෙන් හා ගැටුම්වලින්, පරාජයට පත් වෙතැයි වඩාත්ම විචක්ෂනශීලී නිරීක්ෂකයන් ද ඇතුලුව කිසිවෙකුට පෙරදැකිය හැකි වූයේ නැත.'

සෝවියට් සංගමය විසුරුවා හැරීම කිසිවෙකු විසින් පෙරදකිනු නොලැබීය යන කියාපෑම, සෝවියට් සංගමයේ අවසාන වර්ෂ පිලිබඳව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් කරන ලද විශ්ලේෂන පිලිබඳ කවර හෝ සඳහනකින් බැහැරව කරනු ලබන්නකි. 1985 දී ගොර්බචෙව් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව ධනේශ්වර මාධ්‍ය හා ශාස්ත්‍රාලයීය සෝවියට්වේදය මත ආධිපත්‍යය පැතිර වූ 'ගොර්බෝන්මාදයේ' උමතු ප්‍රමෝදයට එම ව්‍යාපාරය හසු වූයේ නැත. ගොර්බචෙව්ගේ ග්ලාස්නොස්ට් (විවෘතකරනය) හා පෙරෙස්ට්‍රොයිකා (ප්‍රතිව්‍යුහගතකරනය) යන පිලිවෙත් මඟින්, ධනේශ්වර ක්‍රමය පුනස්ථාපනය කිරීම හරහා සෝවියට් ආර්ථිකය ලෝක වෙලඳපොල සමඟ යලි ඒකාබද්ධ කිරීම සඳහා වන පරිශ්‍රමය ප්‍රකාශයට පත් වෙතැයි හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) යලි යලිත් අනතුරු හැඟවීය.

ගොර්බචෙව්ගේ පිලිවෙත්වල අභ්‍යන්තර තර්කනය මැනවින් සලකුනු කරන ලද සහ ස්ටැලින්වාදයේ සමීපස්ථ ගමන්පථය වන්නේ කම්කරු රාජ්‍යය විසුරුවා හැරීම බවට අනතුරු හඟවන ලද ඓතිහාසික ලේඛනවල හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාකයේ) ප්‍රකාශනවල විස්තීර්න එකතුවක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය අද දින (2021 දෙසැම්බර් 28) ප්‍රකාශයට පත් කරයි.

1987 මාර්තුවේ හජාජාක 'සෝවියට් සමූහාන්ඩුවේ සිදුවන්නේ කුමක්ද? ගොර්බචෙව් හා ස්ටැලින්වාදයේ අර්බුදය' කෘතිය තුල මෙසේ ලීවේය: 'තාක්ෂනයේ හිඟය හා කර්මාන්තත් කෘෂිකර්මයත් අතර දිගටම පවත්නා ප්‍රතිවිරෝධයන් විසඳා ලිය හැක්කේ ලෝක වෙලඳපොල වෙත ප්‍රවේශවීම හරහා පමනෙකි. සෝවියට් සංගමය එම වෙලඳපොල සමග යලි ඒකාබද්ධවීම කරා ඇත්තේ මාවත් දෙකක් පමනෙකි - එනම්, ගොර්බචෙව්ගේ නායකත්වයෙන් ධනේශ්වර පුනස්ථාපනය කරා වූ මාවත හා ලෝක සමාජවාදී විප්ලවයේ මාවතයි.'

ස්ටැලින්වාදී ජීපීයූවේ ඒජන්තයෙකු විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබීමේ 47 වන සංවත්සර රැස්වීම අමතමින් සමාජවාදී සමානතා පක්ෂයේ (එජ) පූර්වගාමී සංවිධානය වූ වර්කර්ස් ලීගයේ ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් 1987 අගෝස්තුවේ දී පැහැදිලි කල පරිදි, ගොර්බචෙව් ධනේශ්වර දේපල සම්බන්ධතා පුනස්ථාපනය කිරීම මඟින් ඔහු 'ස්ටැලින්වාදය ප්‍රතික්ෂේප කිරීමක් නියෝජනය නොවේ; ඒ වෙනුවට එම පුනස්ථාපනය ස්ථිරසාර ලෙසම පැන නැඟෙන්නේ නිලධරයේ කුනුවීම තුලිනි, ඉහත දී තමන් පහර දීමට නිර්භීත නොවූ ඔක්තෝබර් විප්ලවයේ සමාජයීය ජයග්‍රහන - එනම්, රාජ්‍ය හිමිකාරීත්වයේ සංස්ථාපනය සහ විදේශ වෙලඳාමේ ඒකාධිකාරය - හෙලා දැකීමට හා ප්‍රතික්ෂේප කිරීමට දැන් ඔවුහු ක්‍රියාකාරීව සූදානම් වෙමින් සිටිති”. (ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදය)

1989 මාර්තු හා මැයි මාස අතරතුර, 'සමාජවාදයට එරෙහිව පෙරෙස්ට්‍රොයිකාව: ස්ටැලින්වාදය හා සෝවියට් සංගමය තුල ධනේශ්වර ක්‍රමයේ පුනස්ථාපනය' මැයෙන් යුත් ලිපි මාලාවක් වර්කර්ස් ලීගයේ බුලටින් පුවත්පතේ නෝර්ත් විසින් පල කෙරින. එහිදී, ග්ලාස්නොස්ට් පිලිවෙත් මඟින් කෙරෙන 'විවෘත කිරීම' යනු කම්කරු පන්තිය සඳහා සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදය පුනස්ථාපනය කිරීමක් නොව, 'සෝවියට් සමාජයේ වඩාත්ම වරප්‍රසාදිත හා වඩාත්ම දේශපාලනිකව ප්‍රකාශමාන වූ ද, එහි සංඛ්‍යාත්මක වර්ධනය හා අභිවෘද්ධිය ස්ටැලින්වාදී තන්ත්‍රයේ ප්‍රමුඛ ඉලක්ක අතර පැවැතියා වූ ද, රාජ්‍ය කර්මාන්තවල හා ගොවිපල සාමූහිකයන්හි වඩාත්ම සමෘද්ධිමත් අංශවල කලමනාකාර ප්‍රභූවේ සිට, තාක්ෂනික විශේෂඥයන්, බුද්ධිමතුන් හා තෘෂ්නාධික සුලු ධනේශ්වරය දක්වා වූ ස්ථරය” සමඟ සන්ධානයක් හැඩ ගසා ගැනීමේ' ප්‍රයත්නයක් වූ බව නෝර්ත් පෙන්වා දුන්නේය.

තව දුරටත් ඔහු සඳහන් කලේ, 'නිදහස් වෙලඳපොල පිලිවෙත් ක්‍රියාවට දැමීම, විදේශ වෙලඳාමේ (රාජ්‍ය) ඒකාධිකාරය අහෝසි කිරීම හා නිෂ්පාදන මාධ්‍යන්හි පෞද්ගලික අයිතිය නීතිගත කිරීම' පෙරෙස්ට්‍රොයිකාවෙන් අධ්‍යාහාර වන බවයි. 'සෝවියට් රාජ්‍ය දේපලවලට යටින් වල කපා සෝවියට් සංගමය තුලට ම ධනපති ක්‍රමය යලි හඳුන්වා දීම ඉලක්ක කර ගත් විදේශ ප්‍රතිපත්තියක් තුල, 'තනි රටේ සමාජවාදය' පිලිබඳ ස්ටැලින්වාදී න්‍යායේ ප්‍රතිවිප්ලවවාදී තර්කනය සිය අත්‍යන්ත ප්‍රකාශනය අත්පත් කර ගන්නේ' මෙම පියවරයන් මඟිනැයි නෝර්ත් තර්ක කලේය.

මෙම අන්තර්ඥානයේ සූත්‍රගත කිරීම ඓතිහාසික වර්ධනයන් මත රඳා සිටින අතර, එහි නිරවද්‍යතාව, සෝවියට් සංගමයේ පන්ති ස්වභාවය සහ ස්ටැලින්වාදී නිලධරයේ කාර්යභාරය පිලිබඳව ලියොන් ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරනු ලැබ හජාජාක විසින් විස්තාරිත විද්‍යාත්මක මාක්ස්වාදී විශ්ලේෂනයේ බලගතු සනාථ වීමක් වෙයි.

බෝල්ෂෙවික් පක්ෂය විසින් මෙහෙයවන ලද හා පුලුල් ගොවි ජනතාවකගේ සහාය ලද රුසියානු කම්කරු පන්තිය 1917 ඔක්තෝබරයේ දී ව්ලැඩිමීර් ලෙනින්ගේ හා ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ ලෝකයේ ප්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවීය. එය වූ කලී, තව දුරටත් ධනපති නොවන්නා වූ ද, එහෙත් තවමත් සමාජවාදී නොවූ ද සංක්‍රාමී රජයක් විය.

ඔක්තෝබර් විප්ලවය මානව ඉතිහාසය තුල සිදු වී ඇති වඩාත්ම ප්‍රගතිශීලී සිදුවීමයි. එමඟින් සෝවියට් ජනයාගේ ජීවන තතුවල දැවැන්ත ප්‍රගමනයක් ඇති කලා පමනක් නොවේ. ඉතිහාසයේ ප්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවීම හා ධනපති ක්‍රමය පෙරලා දැමීම ලෝකයේ සෑම ප්‍රදේශයකම කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ අරගලවලට බලගතු ආවේශයක් සම්පාදනය කලේය. කෙසේවෙතත් රුසියාවේ ඓතිහාසිකව මුල් බැස ඇති පසුගාමීත්වයෙන් ද, ලෝක යුද්ධයේ දශකයක් මඟින් ඇති කරන ලද ආර්ථික විනාශයෙන් ද, විප්ලවවාදී නැඟිටීම් හා සිවිල් යුද්ධයෙන් ද පැන පැනනැගුන ප්‍රතිවිරෝධයන් විසින් එය වනසා ලන ලදී. අන් සියල්ලටමත් වඩා මූලික ලෙස, සමාජවාදයේ වර්ධනය රඳා පැවැතියේ, සෝවියට් සංගමයේ දේශසීමාවලින් ඔබ්බට, බටහිර යුරෝපයේ ධනේශ්වර ක්‍රමයේ දියුනු කේන්ද්‍රයන් කරා විප්ලවය ප්‍රසාරනය වීම මතය.

එහෙත් 1920 ගනන්වල මුල් කාලයේ විප්ලව - වඩාත්ම ඛේදජනක ලෙස 1923 දී ජර්මානු විප්ලවය - අසාර්ථකවීම හා පාවා දෙනු ලැබීම සෝවියට් සංගමයේ හුදෙකලාව දීර්ඝ කර එහි ප්‍රතිවිරෝධතා ගැඹුරු කලේය. නිෂ්පාදනයේ අප්‍රමානවත් බව අත්‍යවශ්‍ය ලෙසම අසමානතාවයට මඟ පෑදීය. සෝවියට් සංගමයේ හා ස්ටැලින්වාදයේ ස්වභාවය පිලිබඳ 1936 දී පල කෙරුනු සිය Revolution Betrayed (පාවා දුන් විප්ලවය) යන විචක්ෂන කෘතිය තුල ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: 'රාජ්‍යය ඍජු ලෙස හා මූලාරම්භයේ පටන්ම ද්විත්ව ස්වභාවයක් අත්පත් කර ගනී: නිෂ්පාදන මාධ්‍යයන් තුල සමාජ දේපල ආරක්ෂා කරන තාක් දුරට සමාජවාදීමය රාජ්‍යයක්; ජීවිතය සඳහා අවශ්‍ය භාන්ඩ බෙදා හැරීම වටිනාකම පිලිබඳ ධනේශ්වර මිනුම් භාවිතා කරන තාක් දුරට සහ ඉන් එලැඹෙන සියලු ප්‍රතිවිපාක සහිත ධනේශ්වර රාජ්‍යයක්.'

මෙම ධනේශ්වර බෙදාහැරීම පාලනය කරන නිලධරය වරප්‍රසාදිත කුලයක් බවට පත් විය. සමාජ දේපල කෙරේ මෙම කුලය දැක්වූ සම්බන්ධතාව මුලුමනින්ම පරපුටු සම්බන්ධයක් විය. මෙම සමාජ ස්ථරයේ ප්‍රධාන නියෝජිතයා ලෙස ජෝසෆ් ස්ටැලින් ඉස්මතු විය. ජාතික උත්සුකයන් ලෙස තමන් වටහා ගත් දෙය මත විදෙස් පිලිවෙත හා ආර්ථික සැලසුම්කරනය දිශානත ගැන්වූ නිලධරයේ බරින් මැඬි ගිය කම්කරු රාජ්‍යය පිරිහුනි.

නිලධරයේ උත්සුකයන් ජාතිකවාදයේ මකුලු දැලෙහි ඔතා ගොතන ලද, තමන් 'තනි රටේ සමාජවාදය' ගොඩ නඟමින් සිටින්නේයැයි කියා සිටීමේ ආවරනය තුල සිය පිලිවෙත් සඟවා ලීමට ස්ටැලින් කටයුතු කලේය. එහෙත් ඔහුගේ ආර්ථික සමෘද්ධිය සඳහා වූ පිලිවෙත්, නිලධරය පෝෂනය ලබමින් සිටි සමාජ සම්බන්ධතා තුල රැඳී පැවැති ඉමහත් විභවයට කවරදාටත් වඩා උග්‍ර පරිමාවකින් වල කැපීය.

මෙම අභිමතාර්ථයන්ට සේවය සලසනු වස්, නිලධරයේ විදෙස් පිලිවෙතේ උපකරන බවට ජාත්‍යන්තර පරිමානව කොමියුනිස්ට් පක්ෂ පරිවර්තනය කිරීමට ස්ටැලින්වාදය කටයුතු කලේය. නිලධරයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සුකයන් 'අදියර දෙකකින් යුත් විප්ලවයක' මුල් අදියර ලෙස වෙස් ගැන්වූ එය, ධනේශ්වර පන්තියේ කොටසක් ප්‍රගතිශීලී ලෙස සලකා වැලඳ ගැනීමට ලෝක ගෝලය පුරා කම්කරුවන්ට උපදෙස් දීමේ දැනුවත් ප්‍රතිවිප්ලවවාදී මූලෝපායයක් ක්‍රියාවට නැංවීය.

1927 දී චීනයේ කොමියුනිස්ට් පක්ෂය විනාශ කිරීම හා, 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට නැඟීමේ අත්‍යන්ත ව්‍යසනය සෝවියට් කම්කරු පන්තිය දුර්වල කොට නිලධරය ශක්තිමත් කලේය. සෝවියට් තන්ත්‍රයේ විදේශ පිලිවෙත අන් කවරදාටත් වඩා වැඩි පරිමානයකින් නිර්නය කෙරුනේ නිලධරයේ ජාතික උත්සුකයන් පිලිබඳ ස්ටැලින්ගේ තක්සේරුව විසිනි. නිලධරයේ වරප්‍රසාද ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව මඟින් ක්‍රෙම්ලිනය අධිරාජ්‍යවාදය හා ධනේශ්වර තන්ත්‍රයන් සමඟ සන්ධානයක් කරා පොලඹවනු ලැබීය. 1930 ගනන්වල මැද භාගයේ සෝවියට් සහාය ලද කොමියුනිස්ට් පක්ෂ ධනේශ්වර පක්ෂ සමඟ සන්ධාන ගත වෙමින් 'මහජන පෙරමුනු' පිහිටුවීම සහ 1939 දී ස්ටැලින් හිට්ලර් සමඟ සන්ධානයකට ඇතුලු වීම ස්ටැලින්වාදයේ ප්‍රතිවිප්ලවවාදී ස්වභාවය තහවුරු කලේය.

1923 දී පැවැති එහි මුල්ම අදියරයන්හි පටන්ම ට්‍රොට්ස්කි, නොනවතින විප්ලවයේ ඉදිරි දර්ශනය මත ස්ටැලින්වාදී ජාතිකවාදයට එරෙහි වෙමින් නිලධරයේ වර්ධනයට එරෙහිව සටන් කලේය. 1933 වන විට, ස්ටැලින්ගේ පිලිවෙත් නාසීන්ට ජර්මනියේ බලයට ඒමට පහසුකම් සම්පාදනය කල කල්හි, නිලධරය ප්‍රතිසංස්කරනය කල නොහැකි බවටත් එය පෙරලා දැමිය යුතු බවටත් වන නිගමනය කරා ට්‍රොට්ස්කි එලැඹුනි. මේ අරමුන වෙනුවෙන් ඔහු හතරවැනි ජාත්‍යන්තරය සංවිධානය කලේය.

1938 වසරේ හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ දී ලියන ලද 'ධනපති ක්‍රමයේ මරලතෝනිය සහ හතරවැනි ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ (සංක්‍රමනීය ක්‍රියාමාර්ගය)' තුල ට්‍රොට්ස්කි මෙසේ තර්ක කරයි: 'ඒ අනුව සෝවියට් සංගමය අතිමහත් ප්‍රතිවිරෝධතා ගැබ් කොට ගෙන සිටියි. එහෙත් තවමත් එය පිරිහුනු කම්කරු රාජ්‍යයක් ලෙස පවතියි. එහි සමාජමය රෝග විනිශ්චය එපරිද්දෙනි. දේශපාලනමය රෝග විනිශ්චය විකල්ප ස්වභාවයකින් යුතුය: එක්කෝ වඩවඩාත් කම්කරු රාජ්‍යය තුල ලෝක ධනේශ්වරයේ අවයවය බවට පත් වෙමින් සිටින නිලධරය දේපලවල නව ස්වභාවය පෙරලා දමා රට නැවත ධනේශ්වර ක්‍රමය තුල ගිල්වා දමනු ඇත; නැතහොත්, කම්කරු පන්තිය නිලධරය කුඩු පට්ටම් කොට සමාජවාදය කරා මාවත විවර කරනු ඇත.'

සමාජවාදී දේපල සම්බන්ධතා සහ ලෝක සමාජවාදී විප්ලවය ආරක්ෂා කිරීම සඳහා ස්ටැලින්වාදී නිලධරය පෙරලා දැමීමට සෝවියට් කම්කරු පන්තිය කැඳවා සිටි ට්‍රොට්ස්කිගේ ඉදිරි දර්ශනය වූ කලී ඔක්තෝබර් විප්ලවයේ වැඩ පිලිවෙලම දිගටම පවත්වා ගෙන යාමක් විය. මුසාවාද, විමෝචනයන්, ව්‍යාජ නඩු විභාග හා සමූහ ඝාතනයන් මඟින් ස්ටැලින් ප්‍රතිචාර දැක්වීය.

සෝවියට් ඉතිහාසඥ වාඩිම් රොගොවින් 'විකල්පයක් වී ද?' යන සිය වෙලුම් හතකින් යුතු ලේඛන මාලාව තුල ට්‍රොට්ස්කිවාදය කුඩු පට්ටම් කිරීම සඳහා ස්ටැලින් විසින් භාවිතා කෙරුනු මර්දන යාන්ත්‍රන පිලිබඳව වෙහෙසකර ලේඛනගත කිරීමක් සිදු කර ඇත. ස්ටැලින් ක්‍රමානුකූලව විප්ලවවාදීන්ගේ සමස්ත පරපුරක්, ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, ඝාතනය කර දැමීය. රොගොවින් මෙය හඳුන්වන්නේ 'දේශපාලන ජනඝාතයක්' ලෙස ය. 1940 අගෝස්තු 20 වන දින මෙක්සිකෝවේ කොයෝවාකාන්හි පිටුවාහලේ සිටි ට්‍රොට්ස්කිමත් රේමන් මර්කාඩර් නම් ස්ටැලින්වාදී ඒජන්තයා විසින් ඝාතනය කරනු ලැබීමෙන් මෙම ඝාතනයේ ලේ වැකි රල වේගය කුලු ගැන්වින.

සෝවියට් සංගමයේ සංස්කෘතිකමය හා බුද්ධිමය ජීවිතය කෙරෙහි ද, එහි දේශපාලන වාතාවරනය සහ එහි ජීව ගුනය කෙරේ ද මෙකී අපරාධ එල්ල කල බලපෑම අපමන විනාශකාරීත්වයකින් යුතු එකක් විය. එම ඝාතනවල රෞද්‍රභාවය - මිනිත්තු පහක නඩු විභාගයක්, හිස පසුපසට උන්ඩයක් හා පවුලේ ඥාතීන්ට බිල් පතක් - ෆැසිස්ට්වාදී ස්වභාවයකින් යුතු විය. ඒ අතරම නිලධරය විප්ලවයේ “විෂබීජය” මූලෝත්පාටනය කොට සෝවියට් කම්කරු පන්තියේ සංස්කෘතිය ස්වකීය පිලිස්තීනුභාවයේ මට්ටම දක්වා කපා හෙලීමට මං සෙවීය.

ස්ටැලින් 1953 දී මිය ගියේය. තෙවසරක ඇවෑමෙන් නිකිතා කෘෂෙව්, ස්ටැලින්ගේ ඇතැම් සීමාව ඉක්මවා යාම් හා පුද්ගලාභිවාදනය හෙලා දකිමින් සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනය හමුවේ 'රහස් දේශනයක්' පැවැත්වීය. ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගොස් තුබූ, මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දෙන ලද අවස්ථාවාදී ප්‍රවනතාවයක්, ස්ටැලින්වාදය පීඩනය යොදා ප්‍රගතිශීලී දිශාවට පරිනාමය කල හැකියැයි කියා සිටිමින්, මෙම වර්ධනයන් ඔල්වර සන් නඟා පිලිගත්තේය. (ඔවුන්ට අනුව) මෙකී ප්‍රති-ස්ටැලින්කරනය නිසා ට්‍රොට්ස්කිවාදය අනවශ්‍ය වනු ඇත. ඔවුහු ස්ටැලින්වාදයේ වලිගය බවට පත් වෙමින් එය 'වමට' තල්ලු කිරීම වෙනුවෙන් නොනවතින විප්ලවයේ න්‍යාය හා ලෝක කම්කරු පන්තිය කරා වන කවර හෝ නැඹුරුවීමක් අත්හැර දැමූහ.

පැබ්ලෝවාදය විසින් වගා කරන ලද මායාවන් යතාර්ථය විසින් යලියලිත් කුඩුපට්ටම් කර දමනු ලැබ ඇත. සිය රහස් දේශනයෙන් මාස කිහිපයක් තුල කෘෂෙව් හංගේරියානු විප්ලවය තලා දැමීමට යුද ටැංකි පිටත් කර යැවීය.

නොනවතින විප්ලවය සප්‍රතිපත්තික ලෙස ආරක්ෂා කිරීමේ පදනම මත, පැබ්ලෝවාදී පාවාදීම්වලට එරෙහිව ස්ටැලින්වාදයේ ස්වභාවය පිලිබඳ අභිනිවේශයන් වඩාත් මුවහත් කරමින්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1953 දී පිහිටුවා ගන්නා ලදී. 1980 ගනන්වල මුල් භාගයේ දී, එහි නායකත්වය ධනපති ජාතිකවාදයට හා අවස්ථාවාදී දේශපාලනයට අනුගත වී සිටි කම්කරු විප්ලවවාදී පක්ෂයේ (ඩබ්ලිව්ආර්පී) පැබ්ලෝවාදී ප්‍රවනතාවලට එරෙහිව හජාජාකය දියත් කරන ලද අරගලය තුල නොනවතින විප්ලවයේ න්‍යායය පිලිබඳ හජාජාකයේ අවබෝධය වඩාත් ගැඹුරු විය.

අවසානයේ ස්ටැලින්ගේ කබාය ලා ගත් හෙංචයියන් වූ බ්‍රෙෂ්නෙව්, අන්ද්‍රොපොව්, ගොර්බචෙව් හා ඔවුන්ගේ මාදිලියේ සෙස්සන්ට 1917 ඔක්තෝබරය ගැන කිසිදු මතකයක් නොතිබින. උපකරනයේ මුද්‍රාව දරා සිටි ඔවුහු එහි ප්‍රතිපත්ති විරහිත භාවයෙන් හා මුසාවෙන් සන් තබනු ලැබ, ස්ටැලින්වාදය විසින් පින්ඩ විච්ඡේදනය කරන ලද රටක නායකත්වය ඉසුලූහ. තමන්ගේම ඉතිහාසය පිලිබඳ දැනුමට ද, අන් සියල්ලටමත් වඩා ට්‍රොට්ස්කිවාදය පිලිබඳ දැනුමට ද ක්‍රමානුකූලව අහිමි කරන ලදුව සිටි කම්කරු පන්තියේ දේශපාලනික මංමුලාව නොවන්නට සෝවියට් සංගමයේ ධනපති ක්‍රමය පුනස්ථාපනය කිරීම නොකල හැකි වනු ඇත.

1989 නොවැම්බරයේ දී මොස්කව්හි ඓතිහාසික ලේඛනාගාර ආයතනයේ දේශනයක් පවත්වමින්, ගොර්බචෙව්ගේ ප්‍රතිපත්තිවල අර්ථය වන්නේ 'ධනපති ක්‍රමයේ පුනස්ථාපනය සහ සෝවියට් සංගමයේ සංස්කෘතික හා සමාජ මට්ටම්වල බිහිසුනු පහත වැටීමක්' බවට ඩේවිඩ් නෝර්ත් අනතුරු හඟවා තිබිනි. සෝවියට් කම්කරු පන්තියට හොර රහසේ ඔවුන්ට පසුපසින් ගොර්බචෙව්ගේ දේශපාලන නිලදරුවෝ ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ගලවා දමා, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ කොල්ලකෑමට කම්කරුවන් නිරාවරනය කරමින් ධන සම්පත් උපයා ගත්හ. සෝවියට් කම්කරු පන්තියට අත් දකින්නට සිදු වූ ප්‍රතිඵලය ව්‍යසනකාරී එකක් විය. ජීවිතාපේක්ෂා කාලයේ සාමාන්‍යය ඇතුලු, සාමාජයීය යහ-පැවැත්ම පිලිබඳ සෑම මිනුමක්ම ඇද වැටුනි.

ස්ටැලින්වාදී නිලධරය ක්‍රියාවට නැංවූ අවසාන පාවාදීම් වූයේ ධනපති ක්‍රමයේ පුනස්ථාපනය සහ සෝවියට් සංගමය විසුරුවා හැරීමයි. ට්‍රොට්ස්කි හා හතරවැනි ජාත්‍යන්තරය විසින් කරන ලද සෑම හදිසි අනතුරු හැඟවීමක් ම මෙම අපරාධ මඟින් සනාථ කෙරින.

දෙසැම්බර් 26 දින රතු ධජය පහත දමමින්, සාර්වාදී රුසියානු ලාංඡනය එහි ස්ථානය ගත් කල්හි, බටහිර මාධ්‍ය හා ශාස්ත්‍රාලයීය උගතුන් ග්‍රහනය කොට තුබූ ගොර්බෝන්මාදය ධනේශ්වර විජයග්‍රහනවාදයට ඉඩ දී බැහැර විය. ධනේශ්වර පුනස්ථාපනයක් පෙර දකිනු නොහැකිව හුන් ඔව්හු, දැන් එය සිදුව තුබූ තතු තුල එහි වඩාත් ගැඹුරු වූ හේතූන් නොතකා හලහ. සෝවියට් සංගමයේ විසුරුවා හැරීම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ, නිදහසේ සහ ප්‍රගතියේ නව යුගයක ඇරඹුම ලෙස උත්සවාකාරයෙන් පිලිගැනීමට බටහිර ධනේශ්වර බලවේග කටයුතු කලෝය.

රුසියානු විප්ලවයේ ස්ටැලින්වාදී පාවාදීම පිලිබඳ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විශ්ලේෂනය හා විරුද්ධත්වය මත පදනම් වූ හජාජාක, සෝවියට් සංගමයේ අවසානය සමඟ සාමකාමී ධනේශ්වර වර්ධනයේ කාල පරිච්ඡේදයක් ගෙන එනු නැති බැව් වටහා ගෙන සිටියේය. රුසියානු විප්ලවයේ මතුවීමට තුඩු දුන් සියලු ප්‍රතිවිරෝධයන් තවමත් පැවතුනා පමනක් නොවේ; ඒවා අන් කවර කලෙකටත් වඩා පුපුරන සුලු ආකාරයෙන් මතු වී එනු ඇත. 20 වන සියවස තුල කම්කරු පන්තිය මුහුන දී සිටි කේන්ද්‍රීය ප්‍රශ්න 21 වන සියවස තුල විසඳනු ලැබීමට නියමිතව ඇත.

මෙම ඉදිරි දර්ශනයේ පදනම මත හජාජාකවේ ශාඛා 1995 පටන් සමාජවාදී සමානතා පක්ෂ පිහිටුවීය. 1998 දී හජාජාක ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටවූ අතර, එය අද දින ජාත්‍යන්තර සමාජවාදයේ සාධිකාරී හඬ බවට පත්ව ඇතැයි යන්න ගැන විවාදයක් නැත.

ගත වූ දශක තුන සංලක්ෂනය වී ඇත්තේ අවසානයක් නැති යුද්ධයෙන්, ඓතිහාසිකව නොවූ විරූ මට්ටම්වලට වර්ධනය වී ඇති සමාජ අසමානතාවයෙන්, ආර්ථික අර්බුද මාලාවන් ගෙන්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ කුනු වීමෙන් හා ෆැසිස්ට්වාදයේ නැඟීමෙනි. ධනේශ්වර කතිපයාධිකාරීන්ගේ අපරාධකාරී පිලිවෙත් හේතුවෙන් අතිශය විනාශකාරී වසංගතයක් පසුගිය දෙවසර පුරා දශ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ මරනය කරා මඟ පාදා ඇති අතර, එය ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතින කෝපයේ හා විරුද්ධත්වයේ මනෝභාවයන්ගේ ගින්නට ඉන්ධන සපයයි.

සෝවියට් සංගමය විසුරුවා හැරීමට පූර්වයෙන් ද, එය විසුරුවා හැරෙමින් පැවැතුනු අවස්ථාවේ ද, ඉන් පසු කාලයේ ද හජාජාක විසින් විස්තාරනය කෙරුනු ඉදිරි දර්ශනය සනාථ වී ඇත. ධනේශ්වර ක්‍රමය අවසාන කරමින් රුසියානු විප්ලවය තුල මූර්තිමත් වූ ක්‍රියා මාර්ගය ලෝක පරිමානයෙන් සාක්ෂාත් කරන දේශපාලන නායකත්වයක් කම්කරු පන්තිය තුලින් ගොඩ නැඟීමට අවශ්‍ය පදනම වන්නේ ට්‍රොට්ස්කිවාදී හා මාක්ස්වාදී ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසය තුල මුල් බැස ඇති එම ඉදිරි දර්ශනයයි.

Loading