බඩු මිල ඉහල දමමින් ජීවන කොන්දේසි කප්පාදු කිරීම ගැන වතු කම්කරුවෝ කෝපය පල කරති

පසුගිය මාස කීපයේ බඩු මිල පිම්මේ ඉහල යාම හා භාන්ඩ හිඟය නිසා රටපුරා කම්කරුවන්ගේ, දුගීන්ගේ හා අඩු ආදායම් ලබන සමාජයේ අනෙකුත් සියලු දෙනාගේ ජීවන තත්වයන් තවතවත් ප්‍රපාතයට වැටී ඇත. වතු කම්කරුන් ඔවුන් අතරින් දරුනු ලෙස පීඩා විඳින එක් කොටසකි. හාමතට වැටීමේ කොන්දේසි වතුකරය තුල මතුවෙමින් පවතී.

පහත් ජීවන හා සමාජ කොන්දේසිවල හැමදා ජීවත්වන කම්කරුවන් මතට, සමාගම් විසින් පසුගිය මාස කිහිපයේ රුදුරු වැඩ වේගවත් කිරීම් හා පඩි කැපීම් පටවා ඇත. ජීවන හා සේවා කොන්දේසි තලා දැමීමට එරෙහිව වතුකරය අරගලවලින් ඇලලී තිබේ. ඉදිරියේ තත්වය තවත් ගිනියම් වීමට නියමිත ය.

කෝවිඩ්-19 වසංගතය ලොව පුරා මිලියන ගනන් ජනයාගේ ජීවිත බිලිගෙන තවත් මිලියන ගනනක් රෝගාතුර කර, ගෝලීය ධනපති ආර්ථික අර්බුදය ගැඹුරු කරමින් තිබේ. ඉන් මිරිකී සිටින ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ගෙන යන්නේ එම අර්බුදය මහජනයා මත පටවන අතර මහ ව්‍යාපාරිකයන්ට ලාභ ගරාගැනීමේ කොන්දේසි ඉහල දැමීමේ ප්‍රතිපත්තියකි. දැන් රටපුරා වැඩෙන හාමතයේ කොන්දේසි සාගතයක් ලෙස ඉදිරි මාසවල මහ ජනයාට අත්විඳින්නට වන බවට දැනටමත් අනතුරු ඇඟවී තිබේ.

තෙල් මිල ඉහලයාම ඇතුලුව ගැඹුරුවූ ලෝක අර්බුදයකින් ලංකාවේ ධනපති පන්තිය බැටකන තතු තුල, අගමැති සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුව විසින් 1973 බඩුමිල අසීමිතව ඉහල දැමීම හා ආහාර ගැනීම පවා සීමා කෙරුනු තත්වය කම්කරුවන් හා දුගීන් සිහිපත්කර ගැනීම අවශ්‍ය ය. වතු කම්කරුවෝ අතිශය දුෂ්කර කොන්දේසි වලට මුහුන දුන්හ. සාගත තත්වයකට වැටුනු ඔවුන්ට කැලෑ කොල, අල සහ මුල් සොයාගෙන කුසගිනි නිවා ගැනීමට බල කෙරුනි. අද තත්වය ඊට වඩා බරපතල ය.

පසුගිය අවුරුද්දක නිල වශයෙන් ප්‍රකාශිත මිල ඉහල යාම් මෙසේය: අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ රුපියල් 85 ක් වූ තිරිඟු පිටි කිලෝවක මිල දෙසැම්බර් මාසයවන විට රුපියල් 145ට නැග්ගේය. නාඩු සහල් කිලෝවක් රුපියල් 96 සිට 170ට, හාල්මැස්සන් කරවල 850 සිට 920ට කට්ටා කරවල 1600 සිට 1800 දක්වා, පරිප්පු 180 සිට 300 සහ අර්තාපල් 200 සිට 300 දක්වා මිල නැගුනි. වතුකරයට යනවිට මේ භාන්ඩ වල මිල තවත් ඉහල ගොස් ඇත.

බඩුමිල ඉහල යාමේ කෙරෙහි මහ ජනයා අතර වැඩෙන විරෝධය යටපත් කිරීමේ එල්ලය ඇතිව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ජනවාරි 3දා රජයේ සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් සහ වතු කම්කරුවන්ට තිරිඟු පිටි කිලෝ 15 ක් රුපියල් 80 ක සහන මිලට දීම ඇතුලු ඊනියා සහන පැකේජයක් නිවේදනය කලේ ය

සහන මිලට පිටි ලැබීම ගැන කම්කරුවන්ට විශ්වාසයක් නැත. ලැබුනත් බඩුමිල ඉහලයාමෙන් ඔවුන් මුහුන දී සිටින රුදුරු කොන්දේසි වලින් අත්මිදීමට හැකියාවක් ද නැත. ජනවාරි 11 වෙනිදා වතු සමාගම් සමග පැවති සාකච්ඡාවක දී රුපියල් 5000 දීමනාව වතු කම්කරුවන්ට ද ගෙවන්නැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලා සිටිය ද වතු සමාගම් එය එකහෙලා ප්‍රතික්ෂේප කලහ.

ජීවන වියදම ඉහලයාම තුල තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි ගැන වතු කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ.

ආගරපතන වත්තේ කේ. කර්නන් මෙසේ පැවසීය: “ජීවන වියදම දරා ගන්න බැහැ. අපේ අදායම අඩුවෙලා. නමුත් වියදම දෙගුන වෙලා. තේ දලු කිලෝ 20 දවසේ වැඩ ඉලක්කය සම්පූර්න නොකොලොත් දවස් භාගෙට පඩි ගෙවන්නේ. එතකොට දවස් හතකට ලැබිය යුතු අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදලත් අපිට අහිමි වෙනව. කොරෝනා වසංගතයට ගොදුරුවීමේ අන්තරාය තිබුනත් බොහොම දෙනෙක් වත්තේ වැඩ අතහැරලා රක්ෂා හොයාගෙන කොලඹ යනවා. ලැබෙන වැටුප එදිනෙදා කෑම වියදමටත් මදි. ලමයින් හදා වඩා ගැනීමත් දුෂ්කරයි.” අඩු මිලට සතොසෙන් බඩු ගත හැකිබව ආන්ඩුව ප්‍රකාශ කලත් එහි අත්‍යවශ්‍ය භාන්ඩ ප්‍රමානවත්ව නැතිබව ඔහු කිවේය.

“වැඩ වැඩිකිරීමට සහ වැටුප් කැපීමට විරුද්ධව අපි දෙසැම්බර් 13 සිට 20 දක්වා දවස් 7 ක් වර්ජනය කලා. ආගරපතන ප්‍රදේශයේ වතු 12 ක කම්කරුවෝ ඒකට සහභාගී වුනා. නමුත් පලක් වුනේ නැහැ.වෘත්තීය සමිති සහයෝගය දුන්නේ කම්කරුවන්ට නෙමෙයි වතු පාලකයන්ට” කර්නන් පැවසීය.

අප්කොට් හි ග්ලිනුයිජ් වත්තේ 31 වියැති එස්. රන්ජනී: “මාසේ දවස් 18 ක් වැඩ කලත් රුපියල් 15,000 ට වැඩිය ගන්න බැහැ. කිලෝ 20 ට අඩුවෙන් කැඩුවොත් කිලෝ එකකට ගෙවන්නේ රුපියල් 50 යි. මේ දවස්වල දළු කිලෝ 16 ට වැඩිය කඩන්න බැහැ එතකොට දවසේ පඩිය රුපියල් 800 යි. කිලෝ 10 ට අඩුවෙන් දලු කැඩුවොත් කිලෝවට රුපියල් 40 යි ගෙවන්නේ. සතියේ වැඩ දින ගනනත් අඩුකරනවා.” කලින් මසකට රුපියල් 10,000 බඩු ගැනීමට වැය වුවත් දැන් රුපියල් 15,000 වැයවන බව ද මිලදී ගන්නා ප්‍රමානය අඩුකිරීමට සිදුවී ඇති බව ද ඇය පැවසුවාය. “කිරිපිටි ගන්න බැරි නිසා ලමයින්ට දැන් දෙන්නේ තේ කහට විතරයි.”

ග්ලිනුයිජ් කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: බාලම හාල් කිලෝවක මිල වතුකරයේ රුපියල් 155-160යි. පොල් ගෙඩියක් රුපියල් 90 යි.එලවලු කිලෝවක් රුපියල් 400-500 ක් වෙනවා. රුපියල් 360 තිබුන පොල්තෙල් ලීටරය 750 යි. අපේ පවුලේ 8 දෙනෙක් ඉන්නවා. පසුගිය මාසේ මගේ පඩිය රුපියල් 7,000 යි. දලු අඩුනිසා කිලෝ 10 ය වැඩිය දවසකට කඩන්න බැහැ.' ඇගේ මස්සිනා ත්‍රීවීල් දුවවන නිසා යම් ආදායමක් ලැබුවත් මසක වියදම පියවා ගැනීමට නොහැකිය.

“වත්තේ පවුල් 250 ක් පමන ඉන්නව. හැමෝම ජීවත් වෙන්නේ අමාරුවෙන්. රෝහලක් තිබුනට බෙහෙත් නැහැ. පිටින් ගන්න ඕනා. නිවාස වලට වතුර, ලයිට් අරගෙන තියෙන්නේ වත්තේ කට්ටිය සල්ලි එකතු කරලා. කලින් වගේ වත්තෙන් දැන් ඒ පහසුකම් ලැබෙන්නේ නැහැ' යි ඇය තව දුරටත් කියා සිටියාය.

වර්තමාන ජීවන වියදමට අනුව එක රැකියාවක් කිරීම ප්‍රමානවත් නොවන බව හැටන් ඇබෝස්ලි වත්තේ මුරුගයියා පැවසීය. ඔහු මේසන් වැඩට අත්වැඩ දීමට හෝ එලවලු කොටුවක වැඩට ගොස් රුපියල් 1000-1500 ක් පමන අමතරව සොයා ගනී. ඔහු සහ බිරිඳ රුපියල් 26,000 පමන මාසිකව උපයති. පසු ගිය අවුරුද්ද මුල රුපියල් රුපියල් 20,000කින් පමන මසක කෑම වියදම පිරිමසා ගත්ත ද දැන් 30,000 ක් පමන වැයවන බව මුරුගයියා පැවසීය.

'අපි සමහර විට කුසගින්නේ හිටියත් ලමයි හාමත් කරන්න බැහැනෙ, ඒනිසා විවේකයක් නැතිව දවසකට පැය 16-18 වැඩ කරන්න වෙනවා” යයි ප්‍රකාශ කල ඔහු කම්කරුවන් වැඩි දෙනෙක් උදේට තේ කෝප්පයක් බී දවල්ට සහ රෑට පමනක් කෑමක් ගන්නා බව කීවේය. පඩි දවසට හැර බිත්තර, මස් මාලු ගැන ඔවුන් සිතන්නේ නැත. ඔවුන්ට දැන් ගෑස්, කිරිපිටි ගැනීම අසීරුය.

ඇල්ටන් පාසැල (ලෝසවෙඅ මාධ්‍ය)

දසවෙනි ශ්‍රේනියේ අධ්‍යාපනය ලබන ඔහුගේ දියනියට අමතර පන්ති සහ ගමන් වියදම් සඳහා මසකට රුපියල් 4000 ක් පමන වැයවේ. අංශභාග රෝගියෙක් වන පුතා ප්‍රතිකාර සඳහා මසකට වරක් පේරාදෙනියේ රෝහලට ගෙනයාමට රුපියල් 2500ක් ත්‍රීවීලයට දිය යුතු නිසා එම ගමන අතර මග නැවතී ඇත. සිය වැඩිමහල් දුව හදිසි රෝගයකින් වයස 10 දී මිය ගියා යි පැවසූ මුරුගයියා “අපේ ජීවිතවල හැටි එහෙමයි” කීවේය.

ඇබෝස්ලි වත්තේ තිස් වියැති එස්. ඇන්ජලී ගෘහනියකි: “පසුගිය ආන්ඩුව කාලේ බරපතල දුෂ්කරතාවලට මුහුන දුන්න නිසා අපි චන්දෙ දුන්නේ මේ ආන්ඩුවට. බොහොමයක් සිංහල දෙමල මිනිස්සු එහෙම කලා. නමුත් දැන් තත්වේ ඊටත් වඩා නරකයි.”

“මිනිස්සු අතර මේ ආන්ඩුවට විරුද්ධව බරපතල විරෝධයක් වර්ධනය වෙනවා. මම හිතන්නේ ඉක්මනින් ම ඒක පුපුරාවි” යයි ඇය සඳහන් කලාය. ඇගේ මව අනියම් කම්කරු රැකියාවක් කර මසකට රුපියල් 10,000 උපරිමයක් සොයා ගනී. මානසික රෝගියෙක් වන ඇන්ජලීගේ බාල සොයුරා සමග මව මෙම ආදායමෙන් යන්තම් ජීවිතය ගැටගසා ගනී.

“කිසිම ධනපති ආන්ඩුවකින් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන අදහසට මම එකඟයි. මම දේශපාලන විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. උසස්පෙල විභාගයෙන් මට හොඳ ප්‍රතිපල තිබුනත් රක්ෂාවක් ලබාගන්න බැරි වුනා. මට වැටහෙනවා අපේ ප්‍රශ්න විසඳිය හැක්කේ සමාජවාදය තුලින් පමනයි” ඇන්ජලී කීවේය.

කටුකැලේ වත්තේ ලයින් කාමර (ලෝසවෙඅ මාධ්‍ය)

දරුවන් තිදෙනෙකුගේ මවක් වන තලවකැලේ කටුකැලේ වත්තේ සේවය කරන එස්. රාමෙශ්වරී (38) සඳහන් කලේ ඇගේ සැමියා ද කොලඹ රැකියාවක් කලත් ඔවුන්ගේ ආදායම කෑමටවත් නොසෑහෙන බවයි. දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට ඇය වියදම් කරන්නේ අසීරුවෙනි. ලමයින්ගේ අධ්‍යාපනය අතරමග නතර කර යම් හෝ රක්ෂාවකට කොලඹ හෝ වෙනත් තැනකට යැවීමට බොහෝ දෙමව්පියන්ට බල කෙරි ඇත.

කිලෝ මීටර් තුනක් පමන දුරගෙවා පාසැල් ගොස් දුෂ්කර කොන්දේසි යටතේ අධ්‍යාපනය ලැබුව ද වතුකරයේ ලමුන්ට නිසි රක්ෂාවක් ලබා ගත නොහැකි යයි සඳහන් කල රාමේශ්වරී දුෂ්කර වැඩ කොන්දේසි ගැන මෙසේ පැවසුවාය:

“දැන් පාලකයෝ තේ පඳුරු කප්පාදු කරන්නෙ මැෂින් පාවිච්චි කරලා. [රැකියාවලට හා ආදායමට පහර වැදෙන නිසා] අපි ඒකට විරුද්ධව සති දෙකක් වර්ජනය කලා. නමුත් පාලකය එක්ක රහසේ සාකච්චා කරලා වෘත්තීය සමිති පාවා දුන්න නිසා ජනවාරි 6 ආපසු වැඩට යන්න සිදුවුනා. මැෂින් යොදන එකයි පිටතින් කම්කරුවෝ වැඩට ගන්න එක දිගටම කෙරෙනවා. රුපියල් 1000 ගන්න නම් දලු කිලෝ 20 ක් කඩන්න කියල පාලකයෝ අපට බලකරනවා. අඩුවුනොත් පඩි කපනවා.”

පනස් අට වියැති එන්. මලර්විලි කටුකැලේ වත්තේ ලමා සුබසාධන මධ්‍යස්ථානයේ සේවිකාවකි. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 කිරීමෙන් පසු වතු පාලකයන් ඇය රැකියාවෙන් ඉවත් කර අනියම් සේවිකාවක ලෙස යලි සේවයට ගෙන ඇත්තේ අඩු වැටුපකටය: “දැන් මගේ වැටුප රුපියල් 700 යි. කිසිම සමිතියක් මගේ රැකියාව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුනේ නැහැ. වතු පාලකයෝ ඒ විදිහට අපේ අනෙකුත් අයිතීනුත් කප්පාදු කරලා. මගේ පුතාගේ බිරිඳ දරු ප්‍රසූතියට රුපියල් 50,000 ක් වත්තෙන් ගත්ත. ස්ථීර කෙනෙකුට ඒ මුදල දෙන්නේ ආධාරයක් විදිහට. නමුත් වසර දෙකක් ඇය වත්තේ වැඩ කලත් ස්ථීර කලේ නැහැ. දැන් මේ අමාරුකම් මැද්දේ ඒ මුදලත් ආපසු ගෙවන්න වෙලා”.

නුදුරින් ඇති ලිඳුල රෝහලේ දරු ප්‍රසූතියට අවශ්‍ය පහසුකම් නැති නිසා නුවරඑලිය රෝහලට යායුතුය. එහි යාමට වරකට ත්‍රීවීලයකට රුපියල් 6000 ක් අය කරයි.

“පාලකයන්ගේ රුදුරු වැඩ කොන්දේසි ප්‍රතික්ෂේප කිරීම නිසා අපට මාස දෙකක් වැඩ දුන්නේ නැහැ. නමුත් කිසිම වෘත්තීය සමිතියක් අප වෙනුවෙන් සටන් කලේ නැහැ. කඳුරට පෙරමුනේ නායකයා කලේ එම කාලය තුල කෑම ටිකක් දුන්න එක විතරයි. හැම සමිතියක්ම කම්කරුවා රවටනවා. ඒ ගොල්ලෝ සහයෝගය දෙන්නේ පාලකයන්ට. කම්කරුවෝ තමන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගාගන්න ඕන කියන අදහසට මම එකඟයි” ඇය පැවසුවාය.

කොවිඩ් 19 වසංගතය මධ්‍යයේ කම්කරුවන් වඩ වඩා දරිද්‍රතාවයට හා ජීවන තත්වයන් කාබාසිනියාවීමට මුහුන දෙද්දී 2020 දී රුපියල් බිලියන 230 වූ තේ අපනයන ආදායම 2021 බිලියන 264 දක්වා ඉහල ගොස් ඇත. වතු සමාගම් එලෙස ආදායම වැඩිකර ගන්නේ ආන්ඩුවට සම්බන්ධ ලංකා කම්කරු කොංග්‍රසය, විපක්ෂයේ ජාතික කම්කරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුන සහ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන සමස්ත ලංකා වතු කම්කරු සංගමය ඇතුලු වතු වෘත්තීය සමිති වල සහයෝගයෙනි.

Loading