ඉදිරිදර්ශන

එක්සත් ජනපදය බෙයිජිං ඔලිම්පික් උලෙල වර්ජනය කිරීම: මිනීමරු රාජ්‍යයක් “මානව හිමිකම්” ගැන කතා කරයි

[මෙය The US boycott of the Beijing Olympics: A murderous state speaks of “human rights” යන මැයෙන් 2021 දෙසැම්බර් 7 පලවූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.]

චීනයේ “මානව හිමිකම් කඩකිරීම්” වලට විරෝධය දැක්වීම සඳහා, පෙබරවාරි මාසයේ බීජිං හි විවෘත කිරීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උලෙල එක්සත් ජනපදය විසින් රාජ්‍ය තාන්ත්‍රික ලෙස වර්ජනය කරන බව, සඳුදා (දෙසැම්බර් 6) බයි‌ඩන්පරිපාලනය නිවේදනය කලේ ය. මෙයින් අදහස් කරන්නේ, ඇමරිකානු මලල ක්‍රීඩකයින් තරඟ වදින අතර, වොෂින්ටනයේ පාර්ශවයෙන් සැබවින් ම ප්‍රකෝපකාරී ක්‍රියාවක් සිදු කරමින්, නිල එක්සත් ජනපද නියෝජිත පිරිසක් උලෙලට සහභාගි නො කරන බව යි.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි කියා සිටියේ, වර්ජනය සිදු කරන්නේ චීනයේ “අඛන්ඩ ජන සංහාරය සහ ෂින්ජියැන්ග්හි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට” වොෂින්ටනයේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට බව යි.

සින්ජියැන්ග්හි ජනවාර්ගික උයිගුර් ජනගහනය බීජිං විසින් සමූල ඝාතනය කිරීම පිලිබඳ වොෂින්ටනයේ ප්‍රකාශය, ධවල මන්දිරය සහ ඇමරිකානු මාධ්‍ය විසින් බොහෝ වාරයක් පුනරුච්චාරනය කර ඇති අතර, එය දැන් ඉතා හොඳින් තහවුරු වූ මූලික අංක ගනිතමය කරුනක් ලෙස තහවුරු වී ඇති බව පුලුල් ව සලකනු ලැබේ.

බීජිංහි එලඹෙන 2022 ශීත ඍතු ඔලිම්පික් උලෙල සඳහා ස්ථානයක් වන කුරුලු කූඩුව ලෙස ද හැඳින්වෙන ජාතික ක්‍රීඩාංගනයේ පිටත ඔලිම්පික් වලලු පසුකර මිනිසෙකු ගමන් කරයි. (ඵ්පී ඡායාරූප/මාර්ක් ෂී‌‌ෆෙල්බයින්)

ජන සංහාරය යන වචනය ඉතා සංයුක්ත, ඓතිහාසික වශයෙන් ව්‍යුත්පන්න වූ අර්ථයක් නිවැරදි ව ගෙනහැර දක්වයි. එය අනාරක්ෂිත ජනගහන ක්‍රමානුකූල ව සමූල ඝාතනය කිරීම හා සම්බන්ධ වන කාර්මිකකරන පන්නයේ සමූහ ඝාතන සමග සම්බන්ධ වන අතර, එහි වඩාත් කුප්‍රකට උදාහරනය වන්නේ හොලෝකෝස්ටය යි. බයිඩන් ධවල මන්දිරය සහ කටකතා පතුරුවන ඇමරිකානු මාධ්‍ය මෙම වචනය අර්ථ දැක්වීමකින් තොර ව, බෙයිජිනය හිට්ලරියානු අපරාධවලට සමානුපාතික අපරාධවල යෙදී සිටින බව අවධාරනය කරයි.

ට්‍රම්ප් පරිපාලනයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ එල්ල කරන ලද පදනම් විරහිත චෝදනා, බයිඩන් ධවල මන්දිරය විසින් ප්‍රතිචක්‍රීකරනය කරයි. යමෙකු ප්‍රමානවත් තරම් ගැඹුරට සලකා බලන්නේ නම්, ධවල මන්දිරයේ ප්‍රකාශයෙහි අර්ථය සොයාගත හැකි ය: සුලුතර මුස්ලිම් උයිගුර් ජනගහනයේ සමූහ සිරකිරීම් සහ ආගමික හැසිරීම් වලට ඇති සීමා කිරීම් -මේවා බොහෝ දුරට සනාථ නො කල චෝදනාවන් වේ- උයිගර් සංස්කෘතිය මුලිනුපුටා දැමීමේ උත්සාහයකට සමාන වේ. මෙය 'සංස්කෘතික ජන සංහාරය' ලෙස හඳුන්වනු ලැබී ය.

ජන සංහාරයක් ගැන බොරු චෝදනාවක් එල්ල කිරීම මත් දේශපාලන අපරාධයක් වේ. බොරුවේ දැවැන්තභාවය, එය පිටුපස සැඟවී ඇති සාපරාධී චේතනාවේ පරිමානය ප්‍රකාශ කරයි. වොෂින්ටනයට එහි අධිරාජ්‍යවාදී ආක්‍රමනකාරීත්වය යුක්ති සහගත කිරීම සඳහා “මානව හිමිකම්” ඇවිලවීමේ දිගු ඉතිහාසයක් ඇති අතර, බීජිං ශීත ඍතු ඔලිම්පික් උලෙල නිල වශයෙන් වර්ජනය කිරීමට කුහකකම සඳහා රන් පදක්කම දිනා ගැනීමේ හැකියාව ඇත.

බයිඩන් මල සිරුරු කන්දක් මත සිට චීනය දෙසට ඇඟිල්ල දිගු කරයි. ධවල මන්දිරයට, එහි “ජන සංහාරය” පිලිබඳ චෝදනා සඳහා කිසිදු සාක්ෂියක් සැපයිය නො හැකි වුව ද, චීනයට එරෙහි චෝදනා සැලසුම් කර ඇත්තේ, අද ලෝකයේ පවතින සැබෑ සමූහ මරනවලින් අවධානය වෙනතකට යොමු කිරීමට ය.

වසර දෙකකට අඩු කාලයක් තුල, ඇමරිකානුවන් අට ලක්ෂයක් කොවිඩ්-19න් මිය ගොස් ඇත. විදේශයන්හි ඇමරිකාවේ සියලු ම යුද්ධවල දී මිය ගිය සමස්ත එක්සත් ජනපද මිය ගිය ගනන ඉක්මවා යන දැවැන්ත මරනවල පරිමානය සම්පූර්නයෙන් ම වලක්වාගත හැකි විය. ඒවා ට්‍රම්ප් සහ බයිඩන් පරිපාලනයන් විසින් සමූහ මරන පිලිගනිමින්, මිනිස් ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දීම සහ වෛරසය පැතිරීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ දැනුවත් ප්‍රතිපත්තියක නිෂ්පාදිතය යි.

මෙම සංඛ්‍යාවන් චීනයේ මරන සංඛ්‍යාවට වඩා භයානක ලෙස විපරීත ව පවතී. එක්සත් ජනපදයට වඩා හතර ගුනයකටත් වැඩි ජනගහනයක් සිටින චීනය තුල සමස්ත වසංගතය පුරාවට ම මිය ගිය සංඛ්‍යාවට වැඩි පිරිසක් සෑම සතියක ම එක්සත් ජනපදයේ කොවිඩ්-19න් මිය යති. චීන රජය විසින් අනුගමනය කරන ලද සම්බන්ධීකෘත අගුලු දැමීම්, ආක්‍රමනශීලී පරීක්ෂන, රෝගීන් සොයා ගැනීම සහ නිරෝධායනය යන විද්‍යාත්මක “ශූන්‍ය-කොවිඩ්” ප්‍රතිපත්තිය මිලියන ගනනකගේ ජීවිත බේරා ගත් බවට සැකයක් නැත.

එහෙත් චීනයේ ප්‍රතිපත්තිය ජීවිත බේරාගනිද්දී, වසංගතයට ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරය ලාභ ඉතිරි කර දී ඇත්තේ, 2020 ආරම්භයේ සිට එක්සත් ජනපද ප්‍රකෝටිපතියන්ගේ ධනය සියයට 60කට වඩා ඉහල යාමට තුඩු දෙමිනි.

වසංගතයෙන් ඔබ්බට, එක්සත් ජනපදය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ නිමක් නැති යුද්ධයක් දියත් කර ඇති අතර, ඉන් මියගිය සංඛ්‍යාව මිලියන ගනනකි. “මානව හිමිකම්”යන ලෙයින් තෙත් වුනු ලද ධජය යටතේ මෙම සෑම යුද්ධයක් ම දියත් කරන ලද අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය එය ස්පර්ශ කරන සෑම දෙයක් ම නටබුන් බවට පත් කරයි. එහි එකම උත්සුකය වන්නේ ඇමරිකානු ප‍්‍රාග්ධනයේ ආර්ථික ආධිපත්‍යය පවත්වා ගැනීම සහ ව්‍යාප්ත කිරීමයි.

ඉරාකයේ ඇමරිකානු යුද්ධය මිලියනයකට අධික ඉරාක වැසියන් මරා දැමී ය. එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීමෙන් දශක දෙකක කාලයකට පසුව, මිලියන 20කට අධික ජනතාවක් ජීවිතයට තර්ජනයක් වන ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දෙන අතර, එහි ජනතාව යුද්ධයේ සුන්බුන් තුල කුසගින්නේ සිටිති. වොෂින්ටනය විසින් සෞදි අරාබියට සැපයූ ආයුධවලින් බෝම්බ හෙලීම්වලට මුහුන දුන් යේමනයේ ජනතාව කුසගින්නේ පෙලෙමින් සිටිති. එක්සත් ජනපද යුද යන්ත්‍රය විසින් නිර්මානය කරන ලද අලු යට සිරියාවේ සහ ලිබියාවේ සිවිල් යුද්ධය උග්‍ර වේ.

මිලියන ගනනක් අවතැන් වී, ඔවුන්ගේ නිවාසවලින් සහ ප්‍රජාවන්ගෙන් පලා යති. මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ ශිෂ්ටාචාරයන් පැහැරගෙන තිබෙන්නේ, ඓතිහාසික සන්ධිස්ථාන විනාශ කරමින් සමස්ත සංස්කෘතීන් සහ භාෂා කන්ඩායම් සුලඟේ විසිරී යද්දී ය. ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ සහ ඉරාකයේ සුන්බුන් සමීක්‍ෂනය කරමින්, සංස්කෘතික ජන සංහාරය පිලිබඳ වොෂින්ටනයේ චෝදනාව පෙරලා එය කරා ම එල්ල කල හැකි ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධවලින් අවතැන් වූවෝ, සතුරු දේශසීමා, භව්‍ය වහල්භාවය සහ මංමුලා සහගත කොන්දේසිවලට මුහුන දෙති. දහස් ගණනක් මධ්‍යධරනී මුහුදේ ගිලී මිය යන අතර සංක්‍රමනික දරුවන්ගේ මල සිරුරු එහි වෙරලට ගසාගෙන යයි.

එක්සත් ජනපද දේශසීමාව තරනය කර “මානව හිමිකම්” සහ “ප්‍රජාතන්ත්‍රවාදයේ” දේශයට ඇතුල්වීමට පොදි බැඳගෙන උත්සාහ කරන ජනතාව නවතිනු ඇත්තේ සිර කූඩුවල ය. රටට ඇතුල්වීමට උත්සාහ කිරීමේ “අපරාධය” සඳහා දැනට තිස් දහසක් සංක්‍රමනිකයෝ එක්සත් ජනපදයේ සිරගතව සිටින අතර, එම සංඛ්‍යාව ට්‍රම්ප් ධූරයෙන් ඉවත් වන විට පැවතියාක් මෙන් දෙගුනයකි.

මිනීමරු ආයතනය ලෙස ලොව පුරා හැඳින්වෙන සීඅයිඒ සංවිධානය, පෙරේත යුද්ධ සඳහා අරමුදල් සපයා, ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු පෙරලා දමමින්, සහ ෂා සිට පිනෝචේ දක්වා ම්ලේච්ඡ ආඥාදායකයින් ස්ථාපනය කර ඇත. එය බෙයිජිනය හෙලා දකිද්දී ම, ධවල මන්දිරය පිලිපීනයේ ෆැසිස්ට්වාදී මැර ප්‍රධානියා වන රොඩ්‍රිගෝ ඩුතර්තේ වැලඳගත්තේ, ඔහුට මේ සතිය අග දී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුලුවකට ආරාධනා කරමිනි.

පසුගිය වසර පහ පුරා, දුතර්තේ, 'මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක' මුවාවෙන්, දුගී පිලිපීන ජාතිකයන් 30,000කට වඩා මරා දැමූ සමූහ ඝාතන ව්‍යාපාරයක් අධීක්‍ෂනය කර ඇත. දුතර්තේ වෙත බයිඩන්ගේ ආරාධනය ප්‍රකාශ කලේ, “සියලු පුරවැසියන්ට දියුනු වීමට ඉඩ සලසන ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ගරු කරන සමාජයන් ගොඩනැගීමට වැඩ කිරීමේ ඔබේ හවුල්කාරිත්වය අපි හඳුනාගෙන අගය කරමු” යනුවෙනි.

අතිරික්ත මිලිටරි උපකරන විදේශයන්හි මානව හිමිකම් තලා දැමීම සඳහා යල්පැන ගිය විට, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම සඳහා එක්සත් ජනපද පොලිස් දෙපාර්තමේන්තු වෙත සපයනු ලැබේ. පොලිස් ඝාතනවලට එරෙහි මහජන විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය පුරා නගරවල සන්නද්ධ හමුදා වාහන යොදවනු ලැබ ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ මානව හිමිකම් පිළිබඳ “කන්ද උඩ සිට දේශනා කරන රටේ” පොලීසිය, 1980 පටන් පුද්ගලයන් 30,000කට වඩා මරා දමා ඇත.

දැන් ඇමරිකානු මාධ්‍ය නමැති කුහකත්වයේ සහ අමනාපයේ යෝධ උපකරන චීනය වෙත යොමු කරනු ලැබේ. තායිවානයේ සහ හොංකොංහි 'ප්‍රජාතන්ත්‍රවාදය', ෂින්ජියැන්ග්හි 'මානව හිමිකම්' සහ දකුනු චීන මුහුදේ 'නිදහස' ඉල්ලා සිටින එක්සත් ජනපදය, ජාත්‍යන්තර සබඳතා අස්ථාවර කර ලෝකය ගෝලීය යුද්ධයකට භයානක ලෙස සමීප කර ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ දේශපාලනික අවශ්‍යතා සහ චීනයේ ආර්ථික නැඟීම පාලනය කිරීමට දරන එහි ප්‍රයත්නයන්ට අමතර ව, එහි උද්ඝෝෂනය පොලඹවනු ලබන්නේ දේශීය හා දේශපාලනික සලකා බැලීම් වලින් විසිනි. වසංගතයට වොෂින්ටනයේ ප්‍රතිචාරයේ විස්මිත සාපරාධීත්වය - 800,000ක් මිය ගියෝ ය! - චීනයේ ශූන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය මගින් මුලුමනින් ම හෙලිදරව් වේ. මෙය දිගට ම පවතින සෑම දිනක් පාසා ම ජාත්‍යන්තර කම්කරු පන්තියට පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ ආන්ඩු ඔවුන්ගේ ජීවිතවලට එරෙහි ව කුමන්ත්‍රනය කරමින් සිටින බව යි.

නොවැම්බර් මාසය පුරාවට, නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර මාධ්‍ය තුල ආක්‍රමනශීලී උද්ඝෝෂනයක් ගෙන යන ලද අතර, එම උද්ඝෝෂනය චීනයෙන් එහි “හුදකලා කිරීම” අවසන් කොට “විවෘත කරන” ලෙස අනවා සිටියේ ය. ශූන්‍ය කෝවිඩ් නඩත්තු කරගෙන යනු ලැබිය නො හැකි බවට තරයේ ම තර්ක කරනු ලැබී ය.

තුරන් කිරීමේ විද්‍යාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ප්‍රමුඛ ධනේශ්වර බලවතුන් විසින් ප්‍රතික්ෂේප කිරීම මගින් ලෝකය මත මුදා හරින ලද විකෘතියක් වන ඔමි‌‌ක්‍රෝන් ප්‍රභේදයේ සොයාගැනීම සහ වේගවත් ව්‍යාප්තිය මෙම උද්ඝෝෂනය තාවකාලික ව නිහඬ කර ඇත. බයිඩන් ධවල මන්දිරය වෙනත් පියවරයන් වෙත යොමු වී මානව හිමිකම් නාමයෙන් ශීත ඍතු ඔලිම්පික් උලෙල වර්ජනය කරන බව නිවේදනය කර ඇති අතර, චීනයට ජන සංහාරයක් සම්බන්ධයෙන් චෝදනා කර ඇත.

චීනය එක්සත් ජනපදයේ නියමයන් අනුගමනය කර එහි ශූන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය අවසන් කර වෛරසයට විවෘත වුවහොත්, නිසැක වසයෙන් ම උයිගුර්වරුන් දස දහස් ගනනක් ඇතුලු ව මිලියන ගනනක් මිය යනු ඇත. ධවල මන්දිරය මේ ගැන සැලකිල්ලක් නො දක්වයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන කතා කරන අතර ම, වොෂින්ටනය සෑම ආන්ඩුවකින් ම ඉල්ලා සිටින්නේ එහි සමූහ මරන පිලිවෙත අනුගමනය කල යුතු බවයි.

Loading