සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ පලාත්බද උද්ඝෝෂන හා සෞඛ්‍ය කම්කරුවන් ගත යුතු මග

උතුරු මැද පලාතේ සිය ගනනක සෞඛ්‍ය වෘත්තීයවේදීහු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජනවාරි 12 දින වැඩ වර්ජනය කර අනුරාධපුරයේදී පෙලපාලියක් හා රැස්වීමක් පැවැත් වූහ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ උසස්වීම් පිලිබඳ ගැටලු විසඳනු, ප්‍රවාහන (ඩැට්) දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කරනු, අතිකාල රේට්ටු ඉහල දමනු යන ඉල්ලීම් කම්කරුවන් විසින් ඉදිරිපත් කෙරිනි.

මෙම උද්ඝෝෂනය සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය (සෞවෘස) විසින් පලාත් තුල වෙන් වෙන්ව සංවිධානය කරන උද්ඝෝෂන මාලාවේ එකක් විය. එම සම්මේලනයට හෙද හෙදියන් සාමාජිකත්වය දරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒ්කාබද්ධ බල මන්ඩලය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය වැනි සමිති අයත්වේ.

මීට ඉහතදී වෙනත් පලාත්වල ද මෙම උද්ඝෝෂන මාලාව කොටස් වශයෙන් පැවැත්විනි. ඒ අනුව, ජනවාරි 5දින දකුනු පලාතේ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනය කර ගාල්ල නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ. එමෙන්ම, දෙසැම්බර 30 දින යාපනයේදී පැවැත්වූ උද්ඝෝෂනයට සිංහල හා දෙමල සෞඛ්‍ය කම්කරුවන් වාර්ගික රේඛා කපා දමමින් ඒ්කාබද්ධවූහ.

ජනවාරි 26 දින බස්නාහිර පලාතේ වැඩ වර්ජන සංවිධානය කරන බව සෞවෘසයේ නායකයන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම උද්ඝෝෂනයන්ට සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ අඛන්ඩ සහභාගිත්වය මගින් ඉස්මතු වන්නේ තමන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි වලට එරෙහිව සටන් වැදීමට ඔවුන්ට පවතින තියුනු අවශ්‍යතාවයයි.

පසුගිය ජුනි මාසයේදී, මහනුවරදී, සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතාවයක් [ලෝසවෙඅ මාධ්‍ය]

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) එම සටන්කාමීත්වය අගය කරන අතරම, සටන්කාමීත්වය පමනක් ඉල්ලීම් දිනා ගැනීම සඳහා ප්‍රමානවත් නොවන බව අවධාරනය කරයි. ඉල්ලීම් දිනා ගැනීමේ සටන සම්මුති විරහිතව ජයග්‍රහනය දක්වා ගෙනයාමටනම් නම් එය විප්ලවවාදී ක්‍රියාමාර්ගයකින් මෙහෙයවිය යුතුය.

ඊට ප්‍රතිවිරුද්ධව, වර්ජන හා උද්ඝෝෂන මඟින් ආන්ඩුවට “බලපෑම්” කර ආන්ඩුව සමඟ කේවල් කිරීම සඳහා තත්වය සකස් කර ගැනීම සෞවෘසට සම්බන්ධ සමිති විසින් තම සමිති සාමාජිකයින් මෙහෙයවනු ලබන පිලිවෙතයි. එහි යතා ඉලක්කය වන්නේ අධික වැඩ කන්දරාව හා ලැබෙන වැටුප් හා දීමනාවන්ගෙන් ජීවන තත්වය පවත්වාගත නොහැකි වීම නිසා කෝප ගැන්වී සිටින කම්කරුවන් ආන්ඩුවට හා ධනපති ක්‍රමයට තර්ජනයක් වීම වලක්වා, ආන්ඩුව සාකච්ඡා මේසයට කැඳවා ගැනීමෙන් ප්‍රශ්න විසඳා ගත හැකිය යන්න කම්කරුවන්ට තොරොම්බල් කරමින් කම්කරු සටන් සිර කර දැමීමයි. සංඛ්‍යාවෙන් 30ක් පමනවූ පසුගිය වසරේ පැවති සෞඛ්‍ය කම්කරු අරගල වෘත්තීය සමිති විසින් සිර කරනු ලැබුවේ මේ ආකාරයෙනි.

මිනිස් ජීවිත වලට ඉහලින් මහා ව්‍යාපාරික ලාභ තැබීමේ ආන්ඩුවේ පිලිවෙත හේතුවෙන්, කෝවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් පැතිරෙමින් පවතින අතර රෝහල් පිරෙමින් තිබේ. රටෙහි දිනක නිල ආසාදිත සංඛ්‍යාව අටසිය ගනන් ඉක්මවයි.

එමෙන්ම බඩු හා සේවා මිල පිම්මේ ඉහල යාම හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයෙන් සියලු වැඩ කරන ජනයා මෙන්ම සෞඛ්‍ය සේවකයින්ද පීඩාවට ලක්ව ඇත.

ආන්ඩුවේ මෙම ප්‍රහාරයන්ට එරෙහිව ජයග්‍රාහී සටනකට එලැඹීම සෞඛ්‍ය කම්කරුවන් මුහුනදෙන අභියෝගයයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු ශ්‍රේනි සමග සහ ධනපති ප්‍රහාර වලට එරෙහිව සටන් බිමට පිවිසෙන අන්‍ය ක්ෂේත්‍රයන්හි කම්කරු පන්තික කොටස් සමඟ ඒ්කාබද්ධ ව, අරගලයට පිවිස සිටින ඇමරිකාවේ, යුරෝපයේ හා තුර්කියේ මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය කම්කරුවන් සමඟ සන්ධානගත වීම හරහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ සටන විප්ලවවාදී සටනක් ලෙස ශක්තිමත්ව සංවිධානය කිරීමට හරස්ව මෙම සමිති ක්‍රියාත්මක වෙයි.

පසුගිය වසර පුරා හා ඉන් ඉහතදී සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගල තුල, සමාජවාදී සමානතා පක්ෂයේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සටන් වැදුනේ සෞඛ්‍ය කම්කරුවන්ගේ දැවෙන ඉල්ලීම් සමිති විසින් මේ ආකාරයට සිර කිරීමෙන් විමුක්ත කර එම ඉල්ලීම් ජයග්‍රහනය කරා ගෙන යාමේ ඉහත දැක්වූ විප්ලවවාදී ක්‍රියා මාර්ගය සෞඛ්‍ය කම්කරුවන් අතර අවධානයට යොමු කර සංවිධානය කිරීම සඳහාය.

වැඩි වැටුප් ඉල්ලා දින 100ක් පුරා ගුරුවරුන් ගෙනගිය ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනය, ගුරු සමිති විසින් ආන්ඩුවේ සොච්චම් වැටුප් වැඩි කිරීමකට පාවාදුන් නමුදු එය ජයග්‍රහනයක් ලෙස හුවා දක්වමින්, ආන්ඩුව සමඟ කේවල් කිරීමෙන් ඉල්ලීම් ලැබේය යන බංකොලොත් සූත්‍රයට පන පෙවීම සෞවෘසයේ නවතම උපාමාරුවයි.

250,000ක් පමන ගුරුවරුන් දැඩි සටන්කාමිත්වයකින් නිරතව සිටි සටනේ දී ඉල්ලා සිටි වැටුප් වැඩිවීම තුනෙන් පංගුවකට කපා හෙලමින් ගුරු වෘත්තීය සමිති කල තුච්ඡ පාවාදීම සෞවෘස විසින් ජයග්‍රහනයක් ලෙස ඔජ වඩවා ඇත්තේ සෞඛ්‍ය කම්කරු සටන්ද එම පාවාදීමේ මාවතේම ගෙන යන බවට ඇඟවුම් කරමිනි.

“ගුරුවරුන්ට සමාන වැටුප් විෂමතාවයක් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට තියනවා. දැං ඒකත් ඉවත් කරන්නැ”යි පසුගියදා පරිපූරක වෛද්‍ය සේවා ඒ්කාබද්ධ බල මන්ඩලයේ සභාපති රවි කුමුදේශ් කුහක ලෙස මාධ්‍යයට ප්‍රකාශ කලේය. පරිපුරක වෛද්‍ය සේවා ඒ්කාබද්ධ බල මන්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “ගුරු වැටුප් සංශෝධනය හේතුවෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට අදාලව ඇති වන බරපතල වැටුප් විෂමතාවය” පිලිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යැවූ බවයි.

ගුරුවරුන් සහ සෞඛ්‍ය සේවකයන් අතර ක්ෂේත්‍ර භේදයන් අවුලවමින් සෞවෘස විසින් ඉදිරියට දමා ඇති ප්‍රධාන සටන් පාඨයක් වන්නේ “වැඩි කල ගුරු වැටුපට සාපේක්ෂව සෞඛ්‍ය වෘත්තික වැටුප් ගලපනු” යන්නයි.

වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමේ ඉල්ලීම වැටුප් වැඩි කිරීම සමඟ සෘජුව බැඳී ඇති අතර, පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ ඉල්ලා සිටිය යුත්තේ “වැඩිවන ජීවන වියදමට අනුව ඉහල යන වැටුපක්” මිස කම්කරු පන්තියේ කොටස් එකිනෙකාට එරෙහිව පිහිටුවන ඊනියා වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් නොවේ. එවන් බෙදීම් මගින් සිදුවන්නේ කම්කරු පන්තියේ සමස්ත පන්ති ශක්තිය මොට කිරීමයි. විය යුත්තේ පාවාදීමට ලක්වූ ගුරුවරුන්ද ඇතුලු සමස්ත කම්කරු පන්තිය බලමුලු ගන්වමින් ජාත්‍යන්තර කම්කරු පන්තියේද ඒ්කාබද්ධතාවය සහිත සටනක් සංවිධානය කිරීමයි.

මීට ප්‍රතිවිරුද්ධව, මෙම ප්‍රශ්න විසඳීම හුදෙක් පරිපාලනමය කාරනාවන්ට ලඝුකොට ආන්ඩුව කොක්කෙන් ගලවා එහි ප්‍රහාරයන්ට ලක්ව සිටින සෞඛ්‍ය කම්කරුවන්ගේ සටන් වංකගිරියක සිරකිරීමට මෙම සම්මේලනය ක්‍රියාත්මක වෙයි. වෘත්තීය සමිති විසින් සෞඛ්‍ය කම්කරුවන්ගේ සටන් මෙලෙස සිර කරන අතරතුර ආන්ඩුව විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල කර ඇති ප්‍රහාරය උග්‍ර කර ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රය හා කොරෝනා වසංගතය සඳහා මෙවර අය වැයෙන් වෙන්කල මුදල පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 12කින් කපා දමා ඇති අතර, රාජ්‍ය සේවයේ සියලු අංශ සඳහා නව බඳවා ගැනීම් හා පරිපූරක ඇස්තමේන්තු මගින් අත්‍යවශ්‍ය මුදල් ලබාදීම පවා නතර කර ඇත.

රජයේ රෝහල් දැනටමත් විශාල සේවක හිඟයකට මුහුන දෙයි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය සමග ආසාදිත රෝගීන් ඇතුලු වීම ඉහල යාම නිසා සෞඛ්‍ය කම්කරුවන්ට දෙතුන් දෙනෙකුගේ වැඩ කිරීමට සිදුවී තිබේ. එලෙස කොඳු කැඩෙන වැඩ පැටවෙන පසුබිම තුල සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛ නිකුත් කරමින් අතිකාල ගෙවීම් කප්පාදු කරයි.

මහනුවර ජාතික රෝහලේ හෙදියක් කියා සිටියේ මින්පෙර අත් නොවිඳි තරම් උග්‍ර ලෙස ආහාර මිල ඉහල යන පසුබිමක වැටුප්, දීමනා හා අතිකාල රේට්ටු ඉහල දමා ගැනීමේ අරගලයක් සංවිධානය කිරිම පිලිබඳව වෘත්තීය සමිති නිහඬ බවයි.

එම රෝහලේ කනිෂ්ඨ කම්කරුවෙකු පැවසුවේ වැඩ ඉහ වහා යන අයුරින් වැඩි වීම පිලිබඳව වාට්ටු භාර නිලධාරීන්ට නිරන්තරයෙන් දැන්වුවද පුරප්පාඩු පියවීමක් සිදු නොවන බවයි. “හදිසියකට තමන්ට හිමි නිවාඩුවක් ගන්න ගියහම වාට්ටුවේ වැඩ කරගන්න බැහැ කියල නිවාඩු දෙන්නෙ නැහැ,” යැයි ඔහු පැවසීය. කෝවිඩ් වසංගතය නිසා සිදුවූ වැඩ අධික වීම නිසා ලබාදුන් විශේෂ නිවාඩුත් දැන් කපා ඇතැයි කී ඔහු “ලෙඩ්ඩු වැඩි වෙලා ඇඳන් පිරිල වැඩ වැඩි වෙන කොට අතිකාල දීමනාත් අඩියටම කපා දමා ඇතැ”යි පැවසීය.

සෞකක්‍රික සමඟ සාකච්ඡා කල ඖෂධවේදියෙකු කියා සිටියේ නියමාකාරයේ සංවිධානය කිරීමකින් පවා තොරව තැනින් තැන කඩින් කඩ කෙරෙන අරගලයන් නිසා සෞඛ්‍ය සේවකයින් මහජනයාගේ වෛරයට ලක් කිරීමට ආන්ඩුව හා ජනමාධ්‍ය ක්‍රියාකරන බවයි. ඉහල යන උද්ධමනය තුල වැටුප් වැඩි කිරීම සඳහා සටන වැඩිවන ජීවන වියදමට අනුව ඉහල යන වැටුපක් ලෙස පැවතීමේ අවශ්‍යතාව ඔහු අවධාරනය කලේය.

ජාත්‍යන්තර සංගත ඇතුලු ධනපති මහා ව්‍යාපාරිකයේ ලාභ ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු ජීවිත විනාශ වීම නොතකන ආන්ඩුවක් වසංගතයට එරෙහිව මුල් පෙල සටන් වදින සෞඛ්‍ය කම්කරු ජීවිත ආරක්ෂා කිරීමට හා ජීවන කොන්දේසි ඉහල දැමීමට කිසිසේත් වැඩ නොකරන බව පසුගිය වසර දෙක තුල එහි ක්‍රියා කලාපය විභාග කිරීමෙන් අතිශය පැහැදිලිය. වසංගතයෙන් හා දැරිය නොහැකි ආර්ථික පීඩනයෙන් වැඩ කරන ජනයා සාපරාධී ලෙස මරනයට හා කුසගින්නට ලක් කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ක්‍රියා කරමින් සිටියි.

මෙම වාතාවරනය තුල, වෘත්තීය සමිති විසින් සපථ කෙරෙන පරිදි හුදෙකලා කට්ටිවාදී “බලපෑම්” යෙදීමේ සටන් මඟින් ආන්ඩුව නම්මාගෙන තම දැවෙන ඉල්ලීම් දිනා ගත හැකිය යන සූත්‍රයේ පවතින බංකොලොත් බව කම්කරුවන් දැඩිව අවබෝධකර ගත යුතුය. සමිති ක්‍රියා කරන්නේ, කම්කරුවන්ගේ වෛරයට ලක්ව ඇති ආන්ඩුවට හා සමස්ත ධනපති සංස්ථාපිතයටම පිටුබලයක් ලබාදීම පිනිස මිස කම්කරුවන් මුහුනදෙන මරනීය කොන්දේසි පිලිබඳ උත්සුකයකින් නොවේ.

සෞඛ්‍ය කම්කරුවන්, ශ්‍රේනිවාදය ඇතුලු සමිති නායකයන් වපුරන සියලු භේදයන්ට එරෙහිව සිය සහෝදර සෞඛ්‍ය කම්කරුවන් සමඟ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍ර වල කම්කරුවන් සමඟද ඒ්කාබද්ධව පන්ති ශක්තිය වර්ධනය කරගත යුතුය. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ සංවිධානගතව සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් කරා ඉදිරියට යන සම්මුති විරහිත සටනක් සංවිධානය කල යුතුය. සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඇතුලු සියලු සෞඛ්‍ය කම්කරුවන් මෙම සටන සියතට ගැනීම අත්‍යවශ්‍යය. ඒ් සඳහා කම්කරුවන්ට අවශ්‍ය වන්නේ ධනපති ක්‍රමයට කත් අදින නිලධාරීවාදී සමිති නොව කම්කරුවන්ගේ සටන්කාමී අදහස් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡාකොට තීන්දු ගෙන ක්‍රියාත්මක කරන සංවිධානයකි.

සසප විසින් රෝහල් තුල ගොඩ නගනු ලබන සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවල ඉලක්කය එයයි. එලෙස සංවිධානය වෙමින් සියලු ඉල්ලීම් දිනාගන්නා තෙක් පසු නොබසින අරගලයක් දියත් කිරීම සඳහා සිය රෝහල හෝ වැඩපල තුල සෞකක්‍රිකමිටු තනා ගැනීමට ඉදිරිපත් වන ලෙස සියලු සෞඛ්‍ය සේවක සේවිකාවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ඔබට අවශ්‍ය සහය ලබා ගැනීම සඳහා පහත දැක්වෙන දුරකථනයෙන් සෞකක්‍රික සම්බන්ධ කර ගත හැක.

දුරකතන: 0773562327

ඊ මේල් ලිපිනය: healthworkers-sl@wsws.org

Loading