සජිත් ප්‍රේමදාස ඒකාධිපති පාලනයකයට කොල එලිය දල්වයි

සමගි ජන බලවේගයේ (සජබ) සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ “වර්තමාන ආර්ථික සහ සමාජ අර්බුදය ජය ගැනීම” සඳහා  ආඥාදායක පාලනයක් අවශ්‍ය බව සඳහන් කර ඇත. 

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ 'මැද මාවත' යන මාතෘකාව යටතේ කොලඹ දී පැවති සාකච්ඡාවක දීය. 'ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුන දී තිබෙන ආර්ථික සහ සමාජ අර්බුදය ජය ගැනීමට කුලුනු පහේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් සහ මුලෝපායාත්මක චින්තනයක් සහිත පොදු ජාතික ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ තෝරාපත්කර ගත් ආඥාදායක පාලනයක්' අවශ්‍ය බව ඔහු එහි දී සඳහන් කර තිබේ. .

මැතිවරන කල් දැමිය යුතු බවක් තමන් නොපවසන නමුත්, තමාට අවශ්‍ය දෙය නොබියව කල 'යකඩ කාන්තාව' නමින් හැඳින් වූ බ්‍රිතාන්‍ය හිටපු අගමැති 'මාගරට් තැචර්  පාලනයට සමාන ප්‍රවිෂ්ටයක්' ගත යුතු බව ද, 'දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයට නායකත්වය දුන් යොශීඩා ගේ චින්තනය අනුයා යුතු” බව ද ඔහු තවදුරත් ප්‍රකාශකර  ඇත.

ප්‍රේමදාසගේ ප්‍රකාශය පසුදින  වෙනස් කිරීමට එය පලකල ඩේලි මිරර් පත්‍රය පියවර ගෙන ඇත. එහෙත් මුල් ප්‍රවෘත්තිය වෙනස් කිරීමට හේතු දක්වන කිසිදු පසු සටනහක් නැත. කෙසේ නමුත්  ආඥාදායක පාලනයක් පිලිබඳ ඔහුගේ   යෝජනාව මහජනයා අතර බරපතල විරෝධයක් මතුවනු ඇතැයි සැලකිලිමත්වීම නිසා ප්‍රවෘත්තිය වෙනස් කෙරුන බව පෙනෙන්නට තිබේ.  

ප්‍රේමදාස උත්කර්ෂයට නංවන මාග්‍රට් තැචර්ගේ දක්ෂිනාංශික පාලන තන්ත්‍රය  1979 බලයට පත්වුයේ 1974 -79 කාලපරිච්ඡේදය තුල බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ  දැවැන්ත පන්ති සටන් පැන නැගුනු  කොන්දේසි තුලය. එය පශ්චාත් දෙවන ලෝක යුද්ධ උත්පාතය බිඳවැටීම සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලවල පෘථුල වර්ධනයට ප්‍රතිචාරයක් ලෙස ධනපති පාලක පන්තීන් දක්ෂිනාංශික හා කම්කරු විරෝධී පාලන තන්ත්‍රයන් කරා නැඹුරුවීමේ ආරම්භයක් සනිටුහන් කලේය. එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් සහ ශ්‍රී ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන ගේ දක්ෂිනාංශික පාලන තන්ත්‍රයන් බිහිවුයේ ද එවන් පසුබිමක් තුලය. 

පශ්චාත් දෙවන ලෝක යුද්ධ ප්‍රතිසංස්කරනවාදී  ආර්ථික පිලිවෙත් මුලුමනින් ඉවත ලූ තැචර් බ්‍රිතාන්‍ය මුහුන දී සිටි ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමේ ද, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමේ සහ සමාජ සහන කප්පාදු කිරීමේ ද පිලිවෙතක් ක්‍රියාවට දැමීය. ඒ යටතේ  කම්කරු පන්ති අරගල රුදුරු ලෙස මර්දනය කලාය. 

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අධිරාජයවාදය මුහුන දුන් අර්බුදයෙන් එය ගොඩ ගැනීමට ප්‍රේමදාස ඔජ වඩවන තැචර් ගේ 'මුලෝපාය' සහ “නිර්භීතකම” සමත් නො වීය. ඇයගේ දක්ෂිනාංශික ආර්ථික හා කම්කරු විරෝධී  පිලිවෙතට එරෙහි බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ බරපතල ප්‍රතිරෝධයක් මධ්‍යයේ 1990 නොවැම්බර් මාසයේ දී අගමැති ධූරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇයට බල කෙරුනි.

ප්‍රේමදාස සඳහන් කරන අගමැති යොශීඩා ෂිගේරු 1946 මැයි මාසයේ බලයට පත්ව, යුද්ධයෙන් විනාශභාග්ව පැවති ජපානය “යලි ගොඩ නැගීමේ' ජාතිකවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දැමීය. බෙහෙවින් ම එක්සත් ජනපද අධිරාජ්‍යය මත වාරු වූ විදේශ පිලිවෙතක් ඔහු අනුගමනය කලේ ය.  එක්සත් ජනපදය සමග 1951 ආරක්ෂක ගිවිසුමකට ඇතුලත් වූ ඔහු සෝවියට් සංගමයට එරෙහි සීතල යුද්ධයේ දී එක්සත් ජනපදය සමග සන්ධාන ගතවිය. ගිවිසුමට විරුද්ධව වම සහ දක්ෂිනාංශික දෙපාර්ශවයෙන් ම මතු වූ බරපතල විරෝධය රුදුරු ලෙස මඩින  ලදී. ලේවැකි මැයි දිනය යනුවෙන් හැඳින්වෙන 1952 මැයි 1 වෙනිදා ගිවිසුම් විරෝධී ජනයාට එරෙහිව ඔහු පොලීසිය මුදා හලේ ය.  පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමෙන් විරෝධතාකරුවන් දෙදෙනෙක් මිය ගොස් විරෝධතාකරුවන් 1500 ක් බරපතල ලෙස තුවාල ලැබීය.  

ප්‍රේමදාස අනුගමනය කරන ලෙස පවසන අගමැති යොෂිඩා ගේ 'චින්තනය' එයයි. ඔහු යෝජනා කරන්නේ එවන් ජාතිකවාදී ආර්ථික පිලිවෙතක් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-දේශපාලන මුලෝපාය  සමග බද්ධ වූ විදේශ පිලිවෙතක් අනුගමනය කරන ලෙසය. එක්සත් ජනපදය, රාජපක්ෂ ආන්ඩුව 2015 තන්ත්‍ර මාරුවකින් ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව බලයට දමාගත්තේ එම අරමුන ඇතිවය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය තුල සිටි ප්‍රේමදාස ඇතුලු සජබ නායකයෝ එහි පාර්ශවකරුවෝය. 

දරුනු මුල්‍ය අර්බුදයකින් වෙලී සිටින රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනය සහ වොෂින්ටනය සමග තුලන පිලිවෙතක් පවත්වාගෙන යාමට උත්සාකරන නමුත් එක්සත් ජනපදයේ ජෝ බයිඩන් පාලන තන්ත්‍රය ඉන්දු පැසිපික් කලාපය තුල චීනයට එරෙහි එහි මුලෝපාය සමග  ශ්‍රී ලංකාව  යලි පෙලගස්වා ගැනීමේ ගැනීමේ ප්‍රයත්නය තීව්‍ර කර තිබේ. 

කුලුනු පහක් - ව්ධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරනය, සිවිල් සමාජය සහ මාධ්‍ය- මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ගැන ඔහුගේ සඳහන ආඥාදායක පාලනයකට සුදුහුනු තවරා මහජනයා නොමග යැවීමේ සටකපට කතාවක් පමනි. 

විධායකය, එනම් ජනාධිපති 20 වන ව්‍යවස්ථා සංශෝධනය  තුලින්. ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් හා විනිසුරුවන් පත්කිරීම, පාර්ලිමේන්තුව විසිරවීම හා පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව හදිසි පනත් සම්මත කිරීම ඇතුලු ආඥාදායක බලතල ඔහු අතේ ගොනුකරගෙන ඇත. ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් බවට පරිවර්තනය කෙරී පවතී. විනිසුරුවන් පත්කිරීම ජනාධිපතිගේ අභිමතයට අනුව කෙරෙන තතු තුල අධිකරනයේ ස්වාධීනත්වයක් තිබිය නොහැක. මාධ්‍යවෙදීන්, කලාකරුවන්, ලේකඛයන් හා සමාජ මාධ්‍ය  දඬු ගැසීම තුලින් මාධ්‍ය හා සිවිල් සමාජයේ  අයිතීන් ට එරෙහි රුදුරු මර්දනයක්  දිගේලිකර  තිබේ.  

ඒකාධිපති පාලන තන්ත්‍රයක් පිලිබඳ ප්‍රේමදාසගේ යෝප්ජනාව ඉදිරිපත් කෙරී ඇත්තේ ධනපති පාලක පන්තිය තුල ආඥාදායක පාලනයක් සඳහා කතිකාවකට සමගාමීව ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 'හිට්ලර්' කෙනෙකු ලෙස ක්‍රියා කල යුතුයැයි ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුනුගම පසුගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කලේ ය. ආන්ඩුවට තිබෙන තුනෙන් දෙකේ බලය යොදාගෙන  ජනාධිපතිගේ සහ පාර්ලිමේන්තුවේ කාලය වසර දෙකකින් දීර්ග කල යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවට යෝජනා කල අතර මෑතදී පැවති දුම්රිය ස්ථානාධිපති  වර්ජනය ගැන සඳහන් කරමින් එවන් ක්‍රියාවන් වැලැක්වීම සඳහා 'හිට්ලර්ලා  තමයි අද මේ රටට ඕන වෙලා තියෙන්නේ' යයි ඉඩම් ඇමති එස්. එම්, චන්ද්‍රසේන ජනවාරි 21 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පන්තිය තුල ආඥාදායක පාලනයක් පිලිබඳ මෙම කතිකාව ආරම්භ කෙරී  ඇත්තේ කෝවිඩ්-19 වසංගතය විසින් වඩ වඩා ගැඹුරු වන ආර්ථික අර්බුදයකට සහ ජාත්‍යන්තරව වර්ධනය වන පන්ති අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අරගල මෙන් ම, ගම්බද දුගී ගොවීන්  ඇතුලු පීඩිත මහජනතාවගේ පෙරලිකාරිත්වය විසින් ශ්‍රී ලංකාවේ ධනපති පාලනය පෙරනොවුවිරු දේශපාලන අර්බුදයකට මුහුන දී ඇති කොන්දාසි තුල ය. 

ආන්ඩුව බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින බව සිය අයවැය කතාවේ දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ  සඳහන් කලේ ය. නය වගුරක එරී සිටින රාජපක්ෂ ආන්ඩුවේ ,විදේශ සංචිත හිඳී යමින් සහ වෙලඳ ශේෂ හිඟය පුලුල් වෙමින් ඇත. රාජපක්ෂ ආන්ඩුව මහජනයා මත එහි බර පැටවීමේ සැලසුම් ක්‍රියාවට දමා ඇත. 

රාජ්‍ය  ව්‍යවසායන් පුද්ගලීකරනය කඩිනම් කර තිබේ.  අපාලිතව බඩුමිල ඉහල යයි. කම්කරු පන්තියේ වැටුප් සහ සමාජ අයිතීන් කප්පාදු කෙරෙයි. ජීවන තත්වයන්ට, සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ පුලුල් අරගල වර්ධනය වෙමින් ඇත. පසුගිය වසර අවසන් වුයේ මිලියනයකට අධික රාජ්‍ය අංශයේ, ගුරුවරුන්ගේ, සෞඛ්‍ය සේවකයන් ගේ සහ වතු කම්කරුවන්  ඇතුලු පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ අරගල මාලාවකිනි. මෙම වසර තුල පන්ති සටන් වැඩි ජවයකින් වර්ධනවීමේ ලක්ෂන දුම්රිය, සෞඛ්‍ය හා  කහටගහ පතල් කම්කරුවන්ගේ වර්ජන තුලින් දැනටමත් ප්‍රදර්ශනය කෙරී ඇත. 

රසායනික පොහොර තහනමට විරුද්ධව දසදහස් ගනනක් ගම්බද දුගී ගොවීහු  පසුගිය සැප්තැම්බර් මාසයේ සිට අඛන්ඩ අරගලයක යෙදී සිටිති. රැකියා විරහිත තරුනයන්ගේ හා ශිෂ්‍යන්ගේ අරගල වර්ධනය වෙමින් ඇත.

කම්කරු-පීඩිත ජනයා අතර වැඩෙන අරගලවලට රාජපක්ෂ ආන්ඩුව ප්‍රතිචාර දක්වා ඇත්තේ සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ව භේද කිරීම එල්ල කරගත්, දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහි වාර්ගික උසිගැන්වීම් තුලිනි. “එක රටක් එක නීතියක්” යන ව්‍යාජය යටතේ මෙම භේදකරනය නව මට්ටමකට ඔසවා තිබේ..

ජාත්‍යන්තර පන්ති අරගලය සමග සමගාමීව වැඩෙන මෙම අරගල ධනපති පන්ති පාලනයට වල කපනු ඇතැයි රාජපක්ෂ ආන්ඩුවත්, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂත් භීතියට පත්ව සිටිති. ප්‍රේමදාසගේ යෝජනාවෙන් විශදව පෙන්නුම් කර ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව සමග කවර උපායාත්මක මතභේද පැවතියත් එහි ආඥාදායක මුලෝපාය සමග පෙල ගැසීමට ඔහුගේ සහ සජබයේ සූදානමයි   

ආඥාදායක පාලනයක් කරා ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ නැඹුරුව කොරෝනා වසංගතය විසින් තීව්‍ර කෙරුනු ලෝක ධනවාදයේ අර්බුදය තුල ධනපති පාලක පන්තීන්ගේ ෆැසිස්ට්  සහ දක්ෂිනාෂික පාලන තන්ත්‍රයන් වෙත මාරුවීමේ කොටසකි. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩන් බලයට පත්වීම වැලැක්වීම සඳහා පසුගිය වසරේ ජනවාරි 6 වෙනිදා ෆැසිස්ට් කුමන්ත්‍රනයක් උසිගැන්වීය. සැප්තැම්බර් 7 වෙනිදා බ්‍රසීලයේ  ජනාධිපති ජායිර්  බෝල්සනාරෝගේ දක්ෂිනාංශික පිලිවෙත්වලට සහයෝගය දෙන  ෆැසිස්ට්වාදීහු  පෙලපාලි දැක්වුහ. ජර්මනිය තුල “ජර්මනිය සඳහා විකල්පයක්” නමින් නව නාසිවාදීන්ගේ ව්‍යාපාරයක් මතු වී ඇත.

Loading