ඉදිරිදර්ශන

කොවිඩ්-19 තුරන් කල හැකි බව චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඔප්පු කරයි

[මෙය Chinas Zero COVID policy proves that the elimination of COVID-19 is possible යන මැයෙන් 2021 දෙසැම්බර් මස 13 දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඊයේ (12) ප්‍රකාශයට පත් කරන ලද චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය පිලිබඳ සවිස්තරාත්මක විශ්ලේෂනය, වසංගතය අවසන් කිරීමට කුමක් කල යුතු දැයි තේරුම් ගැනීමට කැමති ඕනෑම අයෙකු විසින් ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීම ඉල්ලා සිටී. සාර්ස්-කොවිඩ්-2 ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් පාලනය යටතට ගෙන ඒම සඳහා චීනය විසින් සාර්ථකව ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳ එම සියුම් සමාලෝචනය, එක්සත් ජනපද හා යුරෝපීය ආන්ඩු විසින් අනුගමනය කරන විනාශකාරී ප්‍රතිපත්ති අරටුවටම හෙලිදරව් කිරීමක් ඇඟවුම් කරයි.

2021 දෙසැම්බර් 1 බදාදා, බීජිං හි කාර්යාල සංකීර්නයක ජංගම කොරෝනා වෛරස් පරීක්ෂන මධ්‍යස්ථානයක් තුල සිටගෙන සිටින සේවකයෙකු කොවිඩ්-19 පරීක්ෂනයක් සිදු කරයි. (ඒපී ඡායාරූප/මාර්ක් ෂීෆල්බයින්)

තම ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම තුලින්, බිලියන 1.4 ක ජනතාවක් සිටින චීනය, මුලු රෝගීන් 100,000 ට අඩු සහ මුලු මරන 5,000 ට වඩා අඩු මට්ටමක තබාගෙන ඇත (2020 අප්‍රේල් සිට, ආසාදන යන්තම් 10,000 කට වැඩි සහ මරන 3 ක් පමනක් ඇතුලුව). සංසන්දනය කිරීමේදී, චීනයේ ජනගහනයෙන් හතරෙන් එකකට වඩා අඩු ප්‍රමානයක් සිටින එක්සත් ජනපදයේ රෝගීන් මිලියන 50 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ මරන 800,000 ක් වාර්තා වී තිබේ. එය වෙනත් ආකාරයකින් පැවසුවහොත්, චීනයේ කාර්යක්ෂමතාවයෙන් එක්සත් ජනපදය වෛරසය පාලනය කිරීමට සමත් වූයේ නම්, මරන සංඛ්‍යාව 1,000 ට වඩා අඩු වනු ඇත.

ජාත්‍යන්තර සංචාර පිලිබඳ චීනයේ දැඩි පාලනයන්—ගෝලීය වශයෙන් වෛරසයේ දැවැන්ත ව්‍යාප්තිය මගින් මෙය අවශ්‍ය කෙරුනි—ඉලක්කගත අගුලු දැමීම්, ආසාදිත පුද්ගලයින් හුදකලා කිරීම, මහා පරිමාන පරීක්ෂන සහ සම්බන්ධතා සොයා ගැනීම වැනි රට තුල ඇති ආක්‍රමනශීලී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමඟ ඒකාබද්ධ කෙරුනි.

මෙම ප්‍රතිපත්තිය මගින් මිලියන සංඛ්‍යාත ජීවිත බේරාගෙන ඇතිවා පමනක් නොව, පසුගිය වසර දෙකෙන් වැඩි කාලයක් පුරා ජනගහනයට නිදහසේ එහා මෙහා යාමට සහ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ ලබා දී ඇත. ඉහත විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ පැහැදිලි කරන්නේ චීනයේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන ඇතුලුව ජීවිතය “2020 වසන්තයේ පලමු රැල්ල අවසන් වූ දා සිට සාපේක්ෂ වශයෙන් සාමාන්‍ය තත්වයක පැවති බවයි. අවන්හල්, බාර් සහ සිනමා ශාලා වැනි ව්‍යාපාර චීනය පුරා විවෘතව පවතී.” බොහෝ දුරට, චීනයේ ජනගහනය ජීවත්ව ඇත්තේ, ආසාදනය වීමට හෝ අන් අයට ආසාදනය වීමේ නිරන්තර බියෙන් තොරව ය.

ලේඛනයේ, 'දින 15 කින් පැතිර යාමක් පාලනය කිරීම' යන කොටස විශේෂයෙන් ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීම වටී. චොංකිං හි ප්‍රධාන අගනගරයේ (ජනගහනය මිලියන 20ක්) පැතිර යාමේ සිද්ධිය උපුටා දක්වමින්, එය තුරන් කිරීමේ ප්‍රතිපත්තියක් (“ශූන්‍ය කොවිඩ්”) ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල ආකාරය පැහැදිලි කරයි.

2020 මුල් මාසවල මුල් පැතිර යාමේ සිට වසරකට වැඩි කාලයක් නව ආසාදන අත්විඳීමෙන් පසු, 32 හැවිරිදි පුද්ගලයෙකු 2021 නොවැම්බර් 1 වන දින ආසාදිත බව දැනගත් විට නගරය ඊට වේගයෙන් ප්‍රතිචාර දැක්වීය. විදාඥයාගේ ඉදිරිපත් කිරීම මෙසේ පැහැදිලි කරයි:

පලමු අනාවරනයෙන් දිනක් ඇතුලත, චොංකිං නගරයේ බලශක්ති සමාගමේ මූලස්ථානය සහ ආසාදිත පුද්ගලයින් විසින් සංචාරය කරන ලද අනෙකුත් ගොඩනැගිලි වසා දමන ලදී. ආසාදිත පුද්ගලයින් ජීවත් වූ නගරයේ දිස්ත්‍රික්කවල මහා පරිමාන පරීක්ෂන ව්‍යාපාර ප්‍රකාශයට පත් කල අතර පැය 24 ක් ඇතුලත පුද්ගලයින් 125,000 කින් සාම්පල ලබා ගන්නා ලදී.

රෝගීන්ගේ නිවාස සංකීර්න දැඩි ලෙස වසා දමා තිබූ අතර, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් නගර සෞඛ්‍ය සේවකයින් විසින් නිතිපතා ලබා දෙන ලදී. … ඇතුල්වීම සහ පිටවීම දැඩි ලෙස පාලනය කරමින් නගරයේ විවිධ ප්‍රදේශ “අධි අවදානම් කලාප” ලෙස නම් කෙරුනි. නගරය පුරා, මැහ්ජොං (චීනයේ උපත ලද ක්‍රීඩාවකි) ශාලා, සිනමාහල්, පුස්තකාල, කෞතුකාගාර සහ විශාල ජනතාවක් එක්වන අනෙකුත් පොදු ස්ථාන තාවකාලිකව වසා දමන ලදී.

බලධාරීන් ආසාදිතයන් සමග පැවති සම්බන්ධතා ලුහුබැඳීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී (ස්මාර්ට්ෆෝන් පදනම් කරගත් යෙදුම් (apps) භාවිතය ඇතුලුව ආසාදිත පුද්ගලයින් කවුරුන් සමඟ අන්තර් ක්‍රියා කර ඇත්දැයි හඳුනා ගැනීමේ ක්‍රම භාවිතයෙන්). ආසාදනය වීමේ අවදානමක් ඇති අය හුදකලා කල අතර, රජය විසින් සපයනු ලබන ආරක්ෂිත නිවාස සහ ආහාර නිතිපතා බෙදා හරින ලදී. ආරම්භක ආසාදන පොකුර හඳුනා ගැනීමෙන් සතියකට පසු නිරෝධායනය වූ මුලු පුද්ගලයින් සංඛ්‍යාව 1,300 දක්වා ඉහල ගියේය.

ප්‍රතිචාරයේ විශාලත්වය නිසා, ආසාදිත බව හඳුනාගනු ලැබුවේ අතලොස්සක් පමනක් වන අතර, ඔවුන් සියල්ලන්ම පලමු දිනයේ නිරෝධායනය කර ඇත. සති දෙකකට වඩා වැඩි කාලයක්, නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත නව ආසාදන කිසිවක් අනාවරනය නොවීමත් සමඟ නොවැම්බර් 17 වන දින, පැතිර යාම පාලනය කර ඇති බව නගරය නිවේදනය කලේය. චොංකිං නිල වශයෙන් “අඩු අවදානම් කලාපයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සීමා ලිහිල් කල අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් විය.

පලමුව අනාවරනය වූ ආසාදනයේ සිට පැතිර යාමේ නිල අවසානය දක්වා දින 15 ක් ගත විය.

2020 මුල් භාගයේ මුල් පැතිර යාමෙන් පසු චොංකිං හි මිලියන 20 ක පදිංචිකරුවන්ට ඔවුන්ගේ ජීවිතවලට සැලකිය යුතු සීමාවන් තිබූ එකම අවස්ථාව මෙම දින 15 ක කාලය පමනි.

මෙම උපාය මාර්ගයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් සමාජ යටිතල පහසුකම් සහ මහජන සෞඛ්‍ය පද්ධති සඳහා සැලකිය යුතු ආයෝජනයක් සමඟින් පුලුල් මහජන සහයෝගය සහ සහභාගීත්වය මත ය. නිදසුනක් වශයෙන්, මිලියන පහකට අඩු ජනගහනයක් සිටින නගරවලට දින දෙකකින් මුලු ජනගහනයම පරීක්ෂා කිරීමේ හැකියාව අවශ්‍ය වන අතර මිලියන පහකට වඩා වැඩි ජනගහනයක් ඇති නගරවලට දින පහකින් සෑම කෙනෙකුම පරීක්ෂා කිරීමට හැකි විය යුතු බව කතුවරයා සටහන් කරයි.

චීනයේ “වේගවත් ශුන්‍ය” ප්‍රතිපත්තිය, සාර්ස්-කොවිඩ්-2 තුරන් කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක ශක්‍යතාව ප්‍රායෝගිකව තහවුරු කිරීමකි. ලිපිය පැහැදිලි කරන පරිදි, 2020 ගිම්හානයේදී, චීනයේ රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථාන (චීන සීඩීසී) විසින් ද ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ලිපියක් ප්‍රකාශයට පත් කරන ලද අතර එය මූලික උපාය මාර්ග දෙකක් ඉදිරිපත් කලේය: “සීමා කිරීම සහ මර්දනය” (“වේගවත් ශුන්‍යය,” හෝ තුරන් කිරීමේ ප්‍රතිපත්තියක්) සහ “අවම කිරීම”, විවිධ ආකාරවලින් ප්‍රධාන ධනේශ්වර ආන්ඩු විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති වේ.

“අවම කිරීම මගින් දිගු කලක් තිස්සේ රංචු ප්‍රතිශක්තිය (හර්ඩ් ඉමුයුනිටි) වර්ධනය වීමට ඉඩ සැලසිය හැකිය, නමුත් ආසාදන සංඛ්‍යාව, රෝගාබාධ සහ මරන සංඛ්‍යාව අනුව විශාල පිරිවැයක් දැරීමට සිදු වේ” චීන සීඩීසී ලිවීය.

විද්‍යාඥයින් පැහැදිලි කර ඇති පරිදි සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පුලුල් ලෙස ලේඛනගත කර ඇති පරිදි, 'අවම කිරීමේ' උපාය මාර්ගය පසුගිය වසර පුරාවට එන්නත් කිරීම කෙරෙහි අවධානය යොමු කල අතර වසංගතය නැවැත්වීමට සමත් නොවීය. ඇත්ත වශයෙන්ම, චීනය සම්බන්ධයෙන් පෙන්නුම් කර ඇති පරිදි, මහජන සෞඛ්‍ය පියවරයන්—අගුලු දැමීම, හුදකලා කිරීම, සම්බන්ධතා සොයා ගැනීම සහ මහා පරිමාන පරීක්ෂන—එන්නත් වලට වඩා තීරනාත්මක වන අතර, ඕනෑම එන්නතක් ලබා ගැනීමට පෙර, හුදකලා පැතිරීම් වලින් පිටත, වෛරසය තුරන් කිරීමට චීනයට හැකි විය.

චීනයේ සාමූහික විප්ලවවාදී අරගලයේ යෝධ සමාජ අත්දැකීම, ධනවාදයේ ප්‍රතිෂ්ඨාපනය වීම නොතකා නොනැසී පවතින අතර, මහජනතාවගේ විඥානය මත ගැඹුරු සලකුනක් ඉතිරි කර ඇති බවට විවාදයක් නැත. එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ තවමත් නොපවතින සමාජ සහයෝගීතාවයේ සහ විඥානයේ මට්ටමක් ප්‍රකාශ කරන ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය සඳහා අතිවිශාල මහජන සහයෝගයක් ඇත.

වසංගතය නැවැත්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන අපේක්ෂාව බීජිං පාලනයට නොසලකා හැරිය නොහැකි විය. මෙම පියවර ඉතා ප්‍රගතිශීලී ස්වභාවයක් ගන්නා නමුත් ඒවා විශේෂයෙන් සමාජවාදී නොවේ. චීනය විසින් ක්‍රියාවට නංවා ඇති ක්‍රියාමාර්ග, සන්නිවේදන විප්ලවය විසින් කල හැකි වූ වඩා දියුනු තාක්‍ෂනයේ ආධාර ඇතිව, 19 වැනි සහ 20 වැනි සියවසේ අගභාගයේ දී සංවර්ධනය කරන ලද මහජන සෞඛ්‍ය පිලිබඳ දිගුකාලීන ස්ථාපිත මූලධර්ම සහ ක්‍රියා පටිපාටි මත පදනම් වේ.

එපමනක් නොව, නවසීලන්තය, සිංගප්පූරුව, තායිවානය සහ වියට්නාමය ඇතුලු ආසියා පැසිෆික් කලාපයේ අතලොස්සක් රටවල් කුඩා පරිමානයෙන් තුරන්කිරීමේ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කර ඇත. සියල්ලටත් වඩා, වොෂින්ටනයෙන් එල්ලවන දැඩි පීඩනය යටතේ, මෙම රටවල් බොහෝ දුරට ගමන් මග ආපසු හරවා ගෙන ඇති අතර, චීනය “අවසානය දක්වාම ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය රඳවා තබා ගත් රට” ලෙස පවතී. 1947 වසරේ නිව් යෝර්ක් නගරයේ වසූරිය පැතිරීමේදී, සමූහ සම්බන්ධතා සොයා ගැනීම සහ එන්නත් කිරීම මගින් එය නතර කල හැකි වූ පරිදි, එක්සත් ජනපදයේ, පූර්ව කාලපරිච්ඡේදය තුල, ආක්‍රමනශීලී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුලින් බෝවන රෝග පාලනය කරන ලදී.

පිලිතුරු සැපයිය යුතු ප්‍රශ්නය වන්නේ චීනයේ පැහැදිලිවම ක්‍රියාත්මක වන එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ මන්ද යන්න නොව, මිනිස් ජීවිත විශාල වශයෙන් විනාශ වී තිබියදීත්, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඒවා ප්‍රතික්ෂේප කර ඇත්තේ මන්ද යන්නයි.

පැහැදිලි කිරීම පන්ති අවශ්‍යතා විශ්ලේෂනයෙන් පැමිනිය යුතුය. වසංගතය නැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒවා අකාර්යක්ෂම නිසා නොව, ඒවා පාලක ප්‍රභූවේ අවශ්‍යතා සමඟ ගැටෙන බැවිනි. ආරම්භයේ සිටම, ජීවිත සුරැකීමට වඩා මූල්‍ය වෙලඳපොලවල් සහ සමාගම් ලාභ වල ක්‍රියාකාරිත්වයට ප්‍රමුඛත්වය දීමට දැනුවත් තීරනයක් ගන්නා ලදී.

2020 මාර්තු අගදී එක්සත් ජනපදය තුල ආසන්න වශයෙන් ඒකමතික ද්විපාර්ශ්වික පදනමක් මත කෙයාර්ස් පනත සම්මත කිරීම, වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන ගනන් බෙදා හැරීම අනුමත කරන ලදී, මෙය අනෙකුත් ප්‍රධාන ධනේශ්වර රටවල ද අනුකරනය කරන ලද ප්‍රතිපත්තියයි. මෙය සිදු වූ පසු, පාලක පන්තිය සියල්ල නැවත විවෘත කිරීමට යොමු වූ අතර, වෛරසය පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුනි.

ඊටත් වඩා, වසංගතයට පෙර වසර වලදී, වැඩිහිටියන්ගේ ඉහල ආයු අපේක්ෂාව සහ සෞඛ්‍ය සේවා පිරිවැය පිලිබඳ “ගැටලුව” පාලක පන්තිය තුල දැඩි සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් වූ බව කෙනෙකුට නොසලකා හැරිය නොහැක.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ඊයේ වාර්තා කලේ වයස අවුරුදු 65 ට වැඩි සෑම වැඩිහිටි ඇමරිකානුවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ්-19 වලින් මිය ගොස් ඇති බවයි. මෙය අති විශාල අගයකි—එනම් 100 න් එක් අයෙක් යනු, 65 ට වැඩි ඇමරිකානුවන් 600,000 කි. මෙයින් අදහස් කරන්නේ මිලියන සංඛ්‍යාත මිනිසුන්ට මාපියන්, මුත්තනු මිත්තනියන් හෝ සහකරු හෝ සහකාරිය වසංගතය නිසා අහිමි වී ඇති බවයි.

තවද මෙම දැවැන්ත සමාජ අපරාධය දිගටම පවතී. කොවිඩ්-19 හි ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නමුත් එය නැවැත්වීමට කිසිදු බැරෑරුම් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පාලක පන්තිය පැහැදිලි කර ඇත. එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්, ඉරිදා, “ඔමික්‍රොන්හි උදම් රැල්ලක් පැමිනෙමින් තිබෙන” බව පිලිගත් නමුත් “දැන් බූස්ටර් එන්නත ලබාගන්න” කීම හැර වෙන කිසිවක් කල යුතු බවට යෝජනා නොකලේය. සියලුම ව්‍යාපාර සහ පාසල් විවෘතව පවතිනු ඇත.

දැනට ඩෙල්ටා ප්‍රභේදයේ නැගීමක් මධ්‍යයේ සිටින එක්සත් ජනපදයේ, ජනාධිපති බයිඩන් ඔමික්‍රොන් ප්‍රභේදයට ප්‍රතිචාර වශයෙන් “අගුලු දැමීම්” නොමැති බව අවධාරනය කර ඇත. එක්සත් ජනපදයේ දිනකට පුද්ගලයින් 1,100 කට වැඩි පිරිසක් මිය යන අතර, චීනය තුල වසංගතයේ සමස්ත කාලය පුරාවටම වඩා වැඩි පිරිසක් සෑම සතියකම මිය යති.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව මිලියන 5.3 කට වැඩි පිරිසක් කොවිඩ්-19 වලින් මිය ගොස් ඇති අතර සැබෑ සංඛ්‍යාව (“අතිරික්ත මරන”) මිලියන 15 ක් පමන වේ. එක්සත් ජනපදයේ පමනක්, වසංගතයෙන් සිදුව ඇති සැබෑ මරන සංඛ්‍යාව මිලියනයකට වඩා වැඩි ය. මෙම මරන වැලැක්විය හැකි ඒවා නම්—වැලැක්විය හැකි බව චීනය පෙන්වා දී ඇතid.1fob9te—යමෙක් කතා කරන්නේ නූතන ඉතිහාසයේ විශාලතම සමාජ අපරාධවලින් එකක් වන අති විශාල සමාජ අපරාධයක් ගැන ය.

පසුගිය දෙවසරේ අත්දැකීම් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ අනෙකුත් ප්‍රධාන ධනේශ්වර රටවල ආන්ඩු විසින් පිලිගැනීමට කැමති මරන සංඛ්‍යාවට සීමාවක් නොමැති බවයි. සීමාව නියම කරනු ලැබියයුත්තේ පාලක පන්තියේ ආන්ඩු විසින් නොව කම්කරු පන්තියේ ස්වාධීන සංවිධානය හා මැදිහත්වීම මගිනි.

චීනය විසින්ම මුහුන දෙන උභතෝකෝටික ප්‍රශ්නය නම්, එක් රටක් තුල ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමේ උත්සාහය දිගු කාලීනව තිරසාර නොවන බවයි. මෙම පිලිවෙත අත්හැරීමට චීනයට ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් දැවැන්ත පීඩනයක් ගෙන එයි. මෙම ධාවනය පිටුපස චේතනාවන් දෙකක් තිබේ. පලමුව, චීනය ගෝලීය ධනේශ්වර වෙලඳපොල සඳහා ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන බැවින් චීනයේ සීමා කිරීම් එක්සත් ජනපද හා යුරෝපීය ලාභ අවශ්‍යතාවලට පෙනෙන්නේ කඩාකප්පල්කාරී ලෙස ය.

කෙසේ වෙතත්, වඩාත් වැදගත් වන්නේ දේශීය දේශපාලන සලකා බැලීම් ය. විද්‍යාඥයාගේ ඉදිරිපත් කිරීමෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලැබී ඇති පොදු ප්‍රතික්‍රියාවක් වන්නේ චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ සාර්ථකත්වය සහ එහි පුලුල් මහජන සහයෝගය යන දෙකම පිලිබඳ විමතියයි. සිය දේශසීමා තුල වෛරසය තුරන් කිරීමට චීනයට ඇති හැකියාව, මූල්‍ය කතිපයාධිකාරය ආරම්භ කර ඇති මිනීමරු මාවතට ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රතිරෝධය වර්ධනය කිරීම දිරිමත් කරනු ඇතැයි පාලක පන්තිය බියෙන් සිටිති.

ඇමරිකාව සහ යුරෝපීය බලයෝ තමන්ට වඩා තම පුරවැසියන් (උයිගර් ජන වර්ගය ද ඇතුලත් ව) කෙරෙහි වඩා ගැඹුරු වුවමනාවක් පෙන්නුම් කර ඇති චීනයට එරෙහි ව උයිගර් “ජනසංහාර” චෝදනා එල්ල කරමින් වැඩිවන හීස්ටීරික තානයකින් චීන විරෝධී උද්ඝෝෂනය උත්සන්න කරමින් සිටින්නේ මේ නිසා ය. වසංගතයට චීනයම වගකිව යුතුය යන “වූහාන් පරීක්ෂනාගාර” බොරුව මෙයට අතිරේකව ඇත.

සමස්ත කාරනය වන්නේ මහජන මතය බොරුවෙන් විෂ කිරීම සහ ප්‍රධාන ධනේශ්වර රටවල අනුගමනය කරන ප්‍රතිපත්තියට විකල්පයන් පිලිබඳ සැබෑ මහජන සාකච්ඡාවක් අපකීර්තියට පත් කිරීම සහ අවහිර කිරීමයි. මෙම ව්‍යාපාරය, අනෙක් අතට වෛරසයට රට විවෘත කිරීම සඳහා වන මාරුවකට චීනය තුල ව්‍යාපාරික ප්‍රභූන්ගෙන් එල්ල වන පීඩනය තීව්‍ර කරනු ඇති අතර, ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියෙන් ඕනෑම පසුබැසීමක් චීන කම්කරු පන්තියේ දැවැන්ත ප්‍රතිරෝධයකට මුහුන දෙනු ඇත.

චීනයේ උදාහරනය පෙන්නුම් කරන්නේ කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන ප්‍රථමයෙන්ම දේශපාලන ප්‍රශ්නයක් බවයි. ගෝලීය තුරන් කිරීමේ මූලෝපායක් ක්‍රියාවට නැංවීම සඳහා, වසංගතය පුරාවට ප්‍රමුඛත්වය දී ඇති ආර්ථික අවශ්‍යතා ප්‍රතික්ෂේප කිරීම මත පදනම්ව, කම්කරු පන්තියේ මහජන සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ, නොවැලැක්විය හැකි ලෙස, සමස්ත ධනේශ්වර පද්ධතියට එරෙහි විප්ලවවාදී අරගලයකි.

සිදු වී ඇති දේ කුමක්ද, වගකිව යුත්තේ කවුරුන්ද සහ කල යුතු දේ කුමක්ද යන්න පිලිබඳ අවබෝධයක් කම්කරු පන්තිය තුල වර්ධනය කිරීම ඉතා වැදගත් වේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් ආරම්භ කරන ලද කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්‍ෂනයේ අරමුන මෙයයි.

Loading