ශ්‍රී ලංකාව ඔමික්‍රෝන් ආසාදන සුනාමියකට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පවසති

[මෙය Health experts declare Sri Lanka is being hit by a tsunami of Omicron infections යන මැයෙන් 2022 පෙබරවාරි 18 වැනි දින පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

බදාදා, ඩේලි මිරර් පුවත්පත, ශ්‍රී ලංකාව “රට පීරා යන දැවැන්ත ඔමික්‍රොන් රැල්ලක් මධ්‍යයේ” සිටින බවට අනතුරු ඇඟවමින් සෞඛ්‍ය විශේෂඥයින් පලකල අදහස් උපුටා දැක්වීය. “සැබෑ ආසාදන සංඛ්‍යාව අපි නොදනිමු, නමුත් තත්වය සාමාන්‍ය තත්වයට වඩා බොහෝ සෙයින් වෙනස් ය. ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ආසාදන සංඛ්‍යාව විශාල ලෙස ඉහල ගොස් ඇතැ' යි ඔවුහු තවදුරටත් පවසති.

වසංගතයේ සම්පූර්න පරිමානය සැඟවීම සඳහා පරීක්ෂන විශාල ලෙස පහත දමා ඇතත්, ජනවාරි 31 සිට දිනකට රෝගීන් 1,000 කට වැඩි ප්‍රමානයක් නිල වශයෙන් වාර්තා වී තිබේ. බදාදා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂනික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි අද දෙරන ට පැවසුවේ, කොවිඩ්-19 ආසාදිත රෝගීන් පෙර සතියට වඩා සියයට 20 කින්, මරන සියයට 17 කින් සහ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සියයට 12 කින් වැඩි වී ඇති බව යි.

කොලඹ තදාසන්න ප්‍රදේශයේ දුම්රිය ස්ථානයක පඩිපෙල මත පාසල් සිසුන් සහ ගුරුවරුන් තදබද වෙමින් [ඡායාරූප: ලෝසවෙඅ මාධ්‍ය]

වර්තමාන, දෛනික නිල කොවිඩ්-19 මරන සංඛ්‍යාව 30 ක් පමන වේ. බදාදා (16) මරන 36 ක් වාර්තා වී ඇති අතර එය, පෙර දින සංඛ්‍යාව වූ 31 ඉක්මවා ගියේය. සංඛ්‍යාලේඛනවලට අනුව, වසංගතය දිවයින තුල පැතිර යාමට පටන්ගත් දා සිට මේ වන විට මුලු ආසාදන සංඛ්‍යාව 633,000 ඉක්මවා ඇත. මුලු මරන 15,899 කි. ඉහල යන ආසාදන හේතුවෙන් සීමිත වූ කොවිඩ් රෝගීන්ට වෙන් කල රෝහල් සංඛ්‍යාව පිරී ගොස් ඇති අතර රෝගීන් දහස් ගනනක් ඊනියා “නිවස තුල නිරෝධායනය” වෙත තල්ලු කර තිබේ.

හෙදියන් 1,000 කට වැඩි ප්‍රමානයක් ඇතුලුව සෞඛ්‍ය සේවකයින් 5,000 කට අධික සංඛ්‍යාවක් ආසාදනය වී ඇත. සඳුදා බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් 20 දෙනෙකු සහ අනෙකුත් ඉදිරි පෙල සේවකයින් 60 දෙනෙකු ආසාදිත බව සොයාගන්නා ලදී.

පසුගිය මාසයේ, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ සිසුවියක කොරෝනා වෛරසයෙන් මිය යාමත් සමග, 2020 දී වසංගතය ආරම්භ වූ දා සිට නිල ශිෂ්‍ය මරන සංඛ්‍යාව 90 දක්වා ඉහල ගියේය. දිවයින පුරා සිසුන් සහ ගුරුවරුන් අතර කොවිඩ් ආසාදන වාර්තා වී ඇත.

'වෛරසය සමඟ ජීවත් වීමේ' ආන්ඩුවේ මිනීමරු ප්‍රතිපත්තිය නිසා, පසුගිය මාසයේ, වෛරසය ආසාදිත 5 ශ්‍රේනියේ සිසුන් 232 දෙනෙකුට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සිදු විය. කොවිඩ්-19 ආසාදිත අපේක්ෂකයින්ට උසස් පෙල විභාග සඳහා පෙනීසිටිය හැකි පරිදි මේ මස වෙනම දිස්ත්‍රික් මට්ටමේ මධ්‍යස්ථාන 29 ක් ස්ථාපිත කර ඇත. අධ්‍යාපන බලධාරීන්, නිරෝධායනයෙහි සිටින ආසාදිත සිසුන්ට “ඔවුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් නියමිත විභාග මධ්‍යස්ථානයට වාර්තා කරන ලෙස” නියෝග කලේය.

රැකියා ස්ථානවලට දැඩි ලෙස පහර වැදී ඇත. නිදහස් වෙලඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ කොවිඩ්-19 හේතුවෙන් “සෑම කර්මාන්ත ශාලාවකම සියයට 15 සිට 20 දක්වා විශාල පිරිසක් නොපැමිනෙන” බවය. කර්මාන්තශාලා ඔවුන්ගේ ඇනවුම් ඉටු කිරීමට ප්‍රමාද වන බවට ඔහු වැලපුනේ ය.

සන්ඩේ ටයිම්ස් වාර්තා කලේ, පෙර ඇති වූ වේගවත් පැතිරීම්වලට දැක්වූ ප්‍රතිචාරයන්ට ප්‍රතිකූලව, “අද කලමනාකාරීත්වය සේවකයින්ගෙන් දිගටම වැඩ කරන ලෙස ඉල්ලා සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා තුල වසංගතය බහුලව පැතිරී ඇත.”

මෙයට අභියෝග කරනවා වෙනුවට, වෘත්තීය සමිති, සමාගම් සමඟ පූර්න සහයෝගයෙන් කටයුතු කරයි. නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නායක ඇන්ටන් මාකස් පැවසුවේ තම සංගමය, ජාතික කම්කරු උපදේශක සභාවේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ රැස්වීමක් ඉල්ලා සිටින බවයි. සේවා යෝජකයන් 'තමන්ගේ කම්කරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමේ වගකීමක් ඔවුන්ට ද ඇති බැවින් තත්වය බැරෑරුම් ලෙස ගත යුතුයැ' යි ඔහු ප්‍රකාශ කලේය.

මාකස්ගේ වෘත්තීය සිමිතිය—ආර්ථිකය යලි විවෘත කිරීමට සහ ඕනෑම වැයක් දරමින් නිෂ්පාදනය පවත්වා ගැනීමට මුලුමනින්ම සහාය දුන් අනෙකුත් සියලුම වෘත්තීය සමිති මෙන්—අත්‍යවශ්‍ය නොවන කර්මාන්තශාලා තාවකාලිකව වසා දැමීම හෝ සම්පූර්න වැටුප්, ආසාදිතයින්ට නිසි සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රතිකාර ඉල්ලා නැත.

ඔමික්‍රෝන් සුනාමිය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයේ කුරිරු නොතැකීම පිලිබිඹු කරමින්, ශ්‍රී ලංකා හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සතියේ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, “කොරෝනා වෛරසයේ දැවැන්ත ව්‍යාප්තිය නොතකා, ආන්ඩුවට නැවත සංචරන සීමා පැනවීමේ අදහසක් නැත” යනුවෙනි. 2020 අප්‍රේල් මාසයේ සිට, කොලඹ පාලනය, සීමිත සෞඛ්‍ය සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට පටන් ගත් අතර, වර්තමාන සීමාවන් ඇතැම් මහජන රැස්වීම් සඳහා පමනක් අදාල වේ.

ජීවිත බේරා ගැනීමට අවශ්‍ය වන්නේ පාසල් සහ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම, සංචරන සීමා පැනවීම සහ සමස්ත සෞඛ්‍ය යටිතල පහසුකම් නවීකරනය කිරීමයි.

මෙම අත්‍යවශ්‍යතා වලට එරෙහිව, “සෞඛ්‍ය ආරක්ෂන පියවරයන් අනුගමනය කරන ලෙස” හමුදාපතිවරයා නරුම ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. විශාල පිරිසකට තදබදය සහිත බස් රථවල ගමන් කිරීමට සහ සමාජ දුරස්ථභාවය රැකිය නොහැකි කර්මාන්තශාලාවල වැඩ කිරීමට බල කෙරී ඇති බැවින්, වත්මන් ප්‍රාථමික සෞඛ්‍ය ක්‍රියාමාර්ග මගින් වෛරසය පැතිරීම නතර නොකරනු ඇත.

වැඩකරන ජනතාවගේ ජීවිත ගැන රජයට හෝ එහි සෞඛ්‍ය බලධාරීන්ට කිසිදු උත්ක්සුකයක් නැත. ආරම්භයේ සිටම ඔවුන්ගේ ප්‍රමුඛතාවය වූයේ මහා ව්‍යාපාරික ලාභ පවත්වා ගැනීමයි. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙය, 'රටේ ආර්ථිකය ආරක්ෂා කරන' බවයි—ඉන් අදහස් වන්නේ ලාභ පද්ධතිය යි.

වතුකරයේ එන්නත් මධ්‍යස්ථානවලින් පිටත දිගු පෝලිම් [ඡායාරූප අනුග්‍රහය: ෆේස්බුක්]

මිනිස් ජීවිත ආරක්‍ෂා කිරීම සඳහා වෛරසය තුරන් කිරීමේ ප්‍රතිපත්තියක් වෙනුවට, රාජපක්ෂ පාලනය ඇතුළු ලොව පුරා පාලකයන් විසින් මිනීමරු “වෛරසය සමඟ ජීවත්වීම” ප්‍රතිපත්ති පනවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන සංඛ්‍යාත ජනයා මිය යමින් සිටිති.

මෙම සාපරාධී ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලය ප්‍රබලවම ප්‍රකාශයට පත් වන්නේ, මෑතකදී නිල කොවිඩ් මරන සංඛ්‍යාව 900,000 ඉක්මවා ගිය ලෝකයේ ධනවත්ම රට වන එක්සත් ජනපදය තුල ය. ඊට හාත්පසින්ම වෙනස්ව, ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින සහ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියක් අනුගමනය කරන චීනයේ, කොවිඩ් මරන 5,000 කට වඩා අඩුවෙන් වාර්තා වී ඇත.

මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග මාලාවක් නොමැතිව එන්නත් කිරීමෙන් පමනක් වසංගතය නැවැත්වීමට හෝ පාලනය කිරීමට නොහැකි බව ප්‍රතිපත්ති ගරුක වසංගත රෝග විද්‍යාඥයන් නැවත නැවතත් පැහැදිලි කර ඇත. ඉහල එන්නත් ප්‍රතිශතයන් සහිත එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් මාරාන්තික ඔමික්‍රෝන් සුනාමිය නැවැත්වීමට අසමත්වීම මගින් ඉහත විද්‍යාත්මක සත්‍යය නිෂේධනාත්මකව සනාථ වී ඇත. ඉදිරි මාස කිහිපය තුල යුරෝපයේ සමස්ත ජනගහනයෙන් අඩකට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පල කර තිබේ.

පෙබරවාරි 4 වැනි දින, නිදහස් උත්සවය අමතමින් ජනාධිපති රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කලේය: “කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ඇති එකම විසඳුම එන්නත් කිරීම බව අපි ආරම්භයේදීම තේරුම් ගත්තෙමු. ඒ අනුව ජනගහනයෙන් සියයට 85 කට වැඩි පිරිසකට මාත්‍රා දෙකම ලබාදෙමින් රෝගය පාලනය කර ජන ජීවිතය ආරම්භ කිරීමට අපට හැකි වී තිබෙනවා.” සරල භාෂාවෙන් කියන්නේ නම්, රාජපක්ෂ පැහැදිලි කරන්නේ ඔමික්‍රොන් ව්‍යාප්තිය සහ ඉදිරියට යමින් පවත්නා සෞඛ්‍ය ව්‍යසනය වැලැක්වීමට තම පාලනය කිසිවක් නොකරන බවයි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය විශේෂඥයින් කිහිප දෙනෙකු රාජපක්ෂගේ “වෛරසය සමඟ ජීවත් වීමේ” මිනීමරු න්‍යායට පිටුබලය දෙමින් ආන්ඩුවේ එන්නත්කරන ධාවනය පිලිබඳ මිත්‍යාවන් ප්‍රවර්ධනය කර ඇත. මේ අතරින් අලුත්ම පුද්ගලයා ජාතික වෛද්‍ය පර්යේෂන ආයතනයේ විශේෂඥ වෛරස් විශේෂඥ වෛද්‍ය නදීක ජනගේ වේ. පෙබරවාරි 5 දා ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කලේ, “වැඩි වැඩියෙන් එන්නත් ලබාදීමෙන්, වසංගතය ආවේනික (endemic) මට්ටමට ගෙන ආ හැකි” බව ජනගේ ප්‍රකාශ කල බවයි. මෙම ප්‍රකාශයන් වසංගතය “ආවේනිකකරනය” කිරීමේ දක්ෂිනාංශික ජාත්‍යන්තර ව්‍යාපාරයට අනුකූල වේ.

මෙම ප්‍රයත්නයන්ගේ විද්‍යාත්මක විරෝධී ස්වභාවය සහ දේශපාලන අරමුනු ජනවාරි 25දා ප්‍රකාශයට පත් කරන ලද ලෝසවෙඅ ලිපියකින් හෙලිදරව් කෙරුනි. එම ලිපිය ජාත්‍යන්තරව පිලිගත් ඕස්ට්‍රේලියානු වසංගත රෝග විද්‍යාඥවරියක වන ආචාර්ය රයිනා මැක්ඉන්ටයර් උපුටා දක්වමින් මෙසේ ප්‍රකාශ කලේය: “වසංගත රෝග විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම ‘විශේෂඥයන්’ අතර පවා පුලුල්ව පැතිර ඇත. සාර්ස්-කොවිඩ්-2 'ආවේනික' වනු ඇති බවට පත් වන බව අපට පුන පුනා කියනු ලැබේ. නමුත් එය කිසිදා ආවේනික නොවනු ඇත, මන්ද එය වසංගත රෝගයක් වන අතර සැමවිටම එසේ පවතිනු ඇත. ප්‍රධාන වෙනස පැතිරීමයි.”

සෙම්ප්‍රතිශ්‍යාව, සරම්ප සහ සාර්ස්-කොවිඩ්-2 වැනි ශ්වසන සම්ප්‍රේෂන ආසාදන ආවේනික නොවන බව මැක්ඉන්ටයර් පෙන්වා දුන්නාය. ඇය මෙසේ ද පැවසුවාය: “මහජන සෞඛ්‍යය යනු සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමටත්, රෝගාබාධ, පීඩාවන් සහ ආබාධිතභාවය වැලැක්වීමටත් සමාජය විසින් සංවිධානය කරන ලද ප්‍රතිචාරයයි. එය ආන්ඩුවේ මූලික වගකීමකි.”

ජනගේ සහ අනෙකුත් අය විසින් තොරොම්බල් කරන “ආවේනිකත්ව” න්‍යාය, ධනේශ්වර ලාභ පද්ධතිය ආරක්ෂා කරන ලොව පුරා ආන්ඩුවල සාපරාධී පිලිවෙත් යුක්තිසහගත කිරීමේ විද්‍යා-විරෝධී ප්‍රයත්නයකි.

Loading