ඉදිරිදර්ශන

තුන්වන ලෝක යුද්ධය කරා ධාවනය නතර කරනු!

[මෙය Stop the drive to World War 3! යන මැයෙන් 2022 පෙබරවාරි 21 වන දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදයේ මිලියනයකට ආසන්න ජනතාවකට මරු කැඳවූ හා දිනක් පාසා 2,300 ට වැඩි පිරිසක් මරා දමන වසංගතයක තතු තුල, බයිඩන් ආන්ඩුව රුසියාව සමඟ යුද්ධය සඳහා වඩ වඩාත් උමතු සහගත උද්ඝෝෂනයක් කෙරෙහි සියලු අවධානය යොමු කරයි.

පසුගිය ඉරිදා රාත්‍රී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, අනාගතයේ නම් නොකල වේලාවක, යුක්රේනයේ තත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ රැස්වීමක් පැවැත්වීමට “ප්‍රතිපත්තිමය වශයෙන්” එකඟ වූ බව වාර්තා විය.

2022 පෙබරවාරි 19 සෙනසුරාදා සවස් භාගයේ, යුක්‍රේනයේ සොලොට් අසල යුක්‍රේනයේ පාලනය යටතේ ඇති ප්‍රදේශය සහ කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශය වෙන් කරන ඉමේ අගලක සිට කාලතුවක්කු වෙඩි හඬට යුක්‍රේන හමුදා භටයෙක් සවන් දෙයි. (ඒ්පී ඡායාරූපය/ඒව්ජිනි මලලෙට්කා)

සැලසුම් කර ඇති හමුව පිලිබඳ සිය වාර්තාවේ වොෂින්ටන් පෝස්ට් පත්‍රය මෙසේ ලිවීය, “ආක්‍රමනය කිරීමට පුටින් තීරනයක් ගෙන ඇති බව තමන් විශ්වාස කරන එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන නමුත්, ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ආක්‍රමනයක් ආරම්භ වන මොහොත තෙක්ම එක්සත් ජනපද නිලධාරීන් 'රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරගෙන යාමට කැපවී සිටින බවයි, බයිඩන් ආරාධනය පිලිගත් බව ඇය තහවුරු කල නමුත් නැවතත් පැවසුවේ ඒ් 'ආක්‍රමනයක් සිදුවී නැත්නම් පමනක්' බවයි.

මෙම ප්‍රකාශය අභූතයකි. සිකුරාදා සිය මාධ්‍ය හමුවේදී බයිඩන් කියා සිටි පරිදි පුටින් දැනටමත් ආක්‍රමනය කිරීමට තීරනය කර තිබුනේ නම්, පුටින් බයිඩන්ට සමුලුවකට ආරාධනා නොකරනු ඇත. දැවැන්ත මිලිටරි මෙහෙයුමකට අවසන් වරපත ලබා දී ඇති පුටින්ට තම හස්ත සංඥාවෙන් එය නතර කල හැකි යැයි කෙනෙකුට බැරෑරුම් ලෙස විශ්වාස කල හැකි ද?

සැලසුම්ගත රැස්වීම පිලිබඳ සිය වාර්තාවේ නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ ලිවීය, “ධවල මන්දිර එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේ, නායකයන් දෙදෙනා අතර හමුවක ස්වභාවයක් හෝ වේලාවක් ගැන සැලසුම් නොමැති බවයි. තවත් නිලධාරියෙක් ඒ සියල්ල මුළුමනින්ම උපකල්පිත යැයි හැඳින්වූ අතර, රුසියාව තවමත් යුක්රේනය ආක්‍රමනය කිරීමට ඉදිරි දිනවලදී අදහස් කරන බවට සියලු සාක්ෂි ඇති බව පැවසීය.

එපමනක් නොව, හමුව සඳහා මුලපිරුනේ එක්සත් ජනපදය වෙතින් නොව, සති අන්තයේ පැවති පුටින් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර පැවති සාකච්ඡා මගිනි.

ටයිම්ස් පත්‍රයේ වාර්තාවකට අනුව :

මැක්‍රොන් මහතා රුසියාවට අත දිගු කිරීම ආරම්භ වූයේ ඉරිදා උදෑසන පුටින් මහතා සමඟ පැවැත්වූ දුරකථන ඇමතුමෙන් පසුව වන අතර, එහිදී නායකයින් දෙදෙන, “වත්මන් අර්බුදය සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාවය” සහ ඉදිරි පැය කිහිපය තුල නැගෙනහිර යුක්රේනයේ සටන් විරාමයක් තහවුරු කර ගැනීමට එකඟ වූ බව, මැක්‍රොන් මහතාගේ කාර්යාලයේ ප්‍රකාශයකට අනුව සඳහන් කෙරුනි.

'කොන්දේසි සපුරනු ලබන්නේ නම්, යුරෝපයේ නව සාමයක් සහ ආරක්‍ෂක පර්යායක් නිර්වචනය කිරීම සඳහා ඉහලම මට්ටමේ රැස්වීමකට' ඉඩ දෙන රාජ්‍ය තාන්ත්‍රික මාවතක් පැවතිය යුතු බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

මැක්‍රොන් මහතා පසුව බයිඩන් මහතා සමඟ දුරකථනයෙන් කතා කලේය.

මැක්‍රොන් මහතාගේ කාර්යාලයේ දෙවන ප්‍රකාශයෙන් කියවුනේ, ප්‍රංශ ජනාධිපතිවරයා, බයිඩන් මහතා සහ පුටින් මහතා අතර හමුවක් යෝජනා කර ඇති බවත් “ඊට පසුව පාර්ශවකරුවන් සමඟ යුරෝපයේ ආරක්‍ෂාව සහ මූලෝපායික ස්ථාවරත්වය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා” සමුළුවක් පැවැත්වීමට යෝජනා කර ඇති බවත් ය.

එහෙත් ඉරිදා රාත්‍රිය වන විට, යුරෝපයේ ප්‍රධාන යුද්ධයක් වැලැක්වීමේ නව ප්‍රයත්නයන් කෙතරම් වැදගත් ද යන්න අපැහැදිලිව පැවතිනි.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ, ගැටුමක් අවුලුවාලීමට සහ යුද්ධයක් නැවැත්වීමට ගන්නා ඕනෑම උත්සාහයක් වැලැක්වීමට අදිටන් කරගෙන සිටින එක්සත් ජනපදයට, මැක්‍රොන් සහ පුටින් අතර සාකච්ඡා අවශ්‍ය නොවූ බවයි.

ඉරිදා රාත්‍රියේ ඇති වූ වර්ධනයන්, මාධ්‍ය තුල නිමක් නැතිව පුන පුනා මතුරන, බයිඩන් ආන්ඩුවේ යුද ප්‍රචාරනය, යථාර්ථයෙන් වෙන් කරන දැවැන්ත අගාධය පිලිබඳ තවත් විදහා දැක්වීමකි. ඒ්වා යලි යලිත් පෙන්නුම් කරන්නේ යුක්‍රේනය සම්බන්ධයෙන් නිපදවන ලද සමස්ත අර්බුදයම තුලම ගුනාංගීකරන වී ඇති නොතැකීමේ සහ බොරුවේ අංග ලක්ෂන පමනි.

තත්ත්වය අතිශයින්ම බිහිසුනු ය. අවශ්‍ය වුව ද බයිඩන් පරිපාලනයට, තමන් විසින්ම උසිගන්වා ඇති අර්බුදය පාලනය කිරීමට තවදුරටත් නොහැකි වනු ඇත. දැන් එක්සත් ජනපදය රුසියානු ගැති හමුදා විසින් පාලනය කරනු ලබන නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රදේශ යලි අත් කර ගැනීම සඳහා ඔවුන් ගෙන යන ප්‍රහාරයට, නේටෝවේ සහාය ඇති බව විශ්වාස කරන තත්වයට යුක්රේන හමුදාවේ ෆැසිස්ට් බලවේග මෙහෙයවා ගෙන ඇත. බයිඩන් ආන්ඩුව තමන් ලබා දී පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමට හැකි තත්වයක සිටී ද?

බයිඩන්-පුටින් සමුලුවක් පිලිබඳ නිවේදනය කෙරෙන්නේ, රුසියාව, යුක්රේන ආක්‍රමනයක් යුක්ති සහගත කිරීම සඳහා සිදුවීමට ආසන්න “ව්‍යාජ කොඩි” මෙහෙයුමක් සූදානම් කරමින් සිටින බවට ඇමරිකානු මාධ්‍යවල පුන පුනා කෙරෙන ප්‍රකාශ මධ්‍යයේ ය. මොස්කව්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින්, “මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් ඇතුළු ප්‍රධාන නාගරික ප්‍රදේශවල සාප්පු සංකීර්න, දුම්රිය සහ මෙට්‍රෝ ස්ථාන සහ ජනතාව ඒ්කරාශී වන අනෙකුත් තැන් වලට ප්‍රහාර එල්ල වීමේ තර්ජන” ගැන ඇමරිකානු ජාතිකයින්ට අනතුරු අඟවයි.

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉදිරියේ කල ප්‍රකෝපකාරී ප්‍රකාශයන්හි දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, 'රුසියාව තුල ගොතන ලද ඊනියා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක්' විය හැකි 'ව්‍යාජ කොඩි' මෙහෙයුමක් ලෙස හුවා දැක්වීය. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශය ප්‍රශ්නය මතු කරයි: එක්සත් ජනපදය යුක්රේනය තුල ෆැසිස්ට් සංවිධාන සමග වැඩ කරමින්, ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරමින්, ඊට රුසියාවෙන් පල වන ඕනෑම ප්‍රතිචාරයක්, යුද්ධය යුක්තිසහගත කිරීමට භාවිතා කරනු ඇද් ද?

මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය තුල උමතු යුද උන්මාදය මෙහෙයවන සාධක දෙකක් තිබේ.

පලමුව, රුසියාවට මුහුන දීමේදී සහ කළු මුහුද සහ කැස්පියන් මුහුද අතර කලාපය මෙන්ම මැද පෙරදිග තුල එහි පාලනය යටපත් කිරීමේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදයට දිගු කාලීන භූ දේශපාලනික අවශ්‍යතාවන් ඇත

කෙසේ වෙතත්, තීරනාත්මක සිදුවීම්වල ප්‍රමුඛ සාධකය වන්නේ, කෝවිඩ් වසංගතය විසින් ඇති කරන ලද දැවැන්ත අභ්‍යන්තර අර්බුදයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට ඇමරිකානු පාලක පන්තිය දරන උත්සාහයයි.

සතියකට මඳක් වැඩි කාලයකදී මාර්තු 1දා, බයිඩන් ඔහුගේ රාජ්‍ය තත්ව වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. රුසියාව සහ යුක්‍රේනය පිලිබඳව පරිපාලනය විසින්ම ජනනය කර ඇති උන්මාදය ආධිපත්‍යය දරන කොන්දේසි යටතේ, කොන්ග්‍රසය ඉදිරියේ සිය කතාව පැවැත්වීමට බයිඩන්ට අවශ්‍යව තිබේ. “යුද කාලීන ජනාධිපතිවරයෙකුගේ” සළුවක් ලාගත් බයිඩන් උත්සාහ කරන්නේ, වසරකට මඳක් වැඩි කාලයකට පෙර ඔහු බලයට පත්වීමෙන් වැලැක්වීම අරමුනු කරගත් ෆැසිස්ට් කුමන්ත්‍රනයකට සහාය දුන් රිපබ්ලිකන් පක්ෂයේ අන්ත දක්ෂිනාංශය සමඟ එක්සත් වීමටය.

පලමු ලෝක සංග්‍රාමය අවධියේ, යුරෝපයේ යුද පිටිවල තත්වයන් 1918 'ස්පාඤ්ඤ උන' වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තියට දායක විය. දැන්, කෝවිඩ්-19 වසංගතය විසින් ඇති කරන ලද ව්‍යසනකාරී තත්ත්වයන්, සමස්ත භූ ගෝලයම තුන්වන ලෝක යුද්ධය දෙසට ඇද දමන දේශපාලන අර්බුදයට තෙල් වත්කරයි.

එක්සත් ජනපදයේ කෝවිඩ්-19 වසංගතයේ නිල මරන සංඛ්‍යාව සති කිහිපයකදී මිලියනය ඉක්මවා යනු ඇත. බයිඩන් පරිපාලනය සහ ඩිමොක්‍රටික් පක්ෂය දැන් කෝවිඩ්-19 පැතිරීම වලක්වන සියලු සීමාවන් ඉවත් කරමින් සිටී. ඒසේ කරන්නේ, කෝවිඩ්-19 'ආවේනික' රෝගයක් ලෙස දක්වන 'නව සාමාන්‍යයක්' ප්‍රකාශ කිරීමෙනි, එයින් අදහස් වන්නේ සෑම වසරකම එය සිය දහස් ගනනක් මිනිසුන් ආසාදනය කර මරා දැමෙන බවයි.

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි උද්ධමනය ඉහල යාම ද ඇතුලු වසංගතය මඟින් උත්සන්න කර ඇති හා පාලක පන්තිය ඊට දක්වන ප‍්‍රතිචාරයේ සමාජ හා ආර්ථික ප‍්‍රතිවිපාක මගින්, කම්කරු පන්තිය තුල කෝපය හා විරෝධය වැඩෙමින් පවතී.

වසංගතයට එරෙහිව සටන් කිරීම ප්‍රතික්ෂේප කරන ඇමරිකානු පාලක පන්තිය, ලෝකය විනාශකාරී මිලිටරි ගැටුමක අද්දරට ගෙන එයි.

මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය ග්‍රහනය කර ගෙන ඇති විශ්වීය යුද උමතුව මධ්‍යයේ, සමහර විට සියල්ලටම වඩා ලොකුම බොරුව වන්නේ, ගෝලීය ව්‍යසනයක් දක්වා වර්ධනය නොවී රුසියාව සමඟ ගැටුම දියත් කල හැකි බව ය.

යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයකට යාමේ ඇමරිකානු-නැටෝ ව්‍යායාමයට එරෙහි වනු!” යන මැයෙන් පෙබරවාරි 14 පලවූ සිය ප්‍රකාශයෙන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, අනතුරු ඇඟවූයේ, 'වොෂින්ටනයේ හා යුරෝපයේ අගනගරවල සිටින මූලෝපායඥයන්ගේ උපකල්පන කවරාකාර ඒවා වුවත්, යුද්ධයේ පිහිට පැතීම ඔවුන්ගේ කිසිදු ගැටලුවක් නො විසඳනු ඇත. එවන් මහා විපර්යාසයන් දියත් කරන අපරාධකාරයෝ තම චිත්ත වික්ෂෝභයට හේතුවන පරිදි 'සුලඟ වපුරන්නෝ සුලිසුලං නෙලා ගනු ඇත' යන ආප්තෝපදේශයේ සත්‍යය පසක් කරනු ඇත. යුක්‍රේනය තුල රුසියාව සමග වන යුද්ධය කෙසේ ආරම්භ වුවත්, එහි ආරම්භක අදියරයන් කවර මාවතක් ගත්තත්, එය යුක්‍රේනය තුලට සීමා නොකෙරෙනු ඇත

කෙටි කාලීනව තත්ත්වයේ වර්ධනය කෙසේ සිදු වුවද මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් නොමැත. අධිරාජ්‍යවාදය ව්‍යසනය කරා ලුහුටා යමින් සිටී. නව හා වඩාත් ව්‍යසනකාරී ලෝක යුද්ධයක් කරා ඇද වැටීම නැවැත්විය හැකි එකම මාර්ගය වැටී ඇත්තේ, කම්කරු පන්තියේ මැදිහත්වීම තුලින් ය. යුද්ධයට එරෙහි සටන සූරාකෑමට එරෙහි සටනට හා වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය හා සම්බන්ධ විය යුතුය.

පෙබරවාරි 26 වෙනි සෙනසුරාදා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර අන්තර්ජාල වෙබ් සමුලුවක් පවත්වයි, “කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කර ජීවිත සුරකිනු! තුන්වන ලෝක යුද්ධය කරා ධවනය නතර කරනු!” යන මැයෙන් පැවැත්වෙන මෙම රැස්වීම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයින් විසින් අමතනු ලබන අතර යුද්ධයට හා වසංගතයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ දේශපාලන වැඩපිලිවෙලක් විස්තාරනය කරනු ඇත.

මෙම තීරනාත්මක ජාත්‍යන්තර අවස්ථාවට සහභාගී වීමට අද ම ලියාපදිංචි වී සූදානම් වන ලෙස අපි ලොව පුරා සිටින අපගේ සියලුම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු .

Loading