ආන්ඩුව අධිභාර බද්දෙන් කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප කොල්ලකෑමට තැත් කරයි

විශ්‍රාම වැටුප් අරමුදල් මත අධිභාර බද්දක් පැනවීම තුලින් රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තියේ විශ්‍රාම වැටුප කොල්ලකෑමේ උත්සාහයක යෙදී සිටී. මෙම පනත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. මෙය, ජීවන තත්වයන් බරපතල ලෙස කඩා වැටීමෙන්, අත්‍යාවශ්‍ය බඩු මිල ඉහලයාමෙන් සහ කොවිඩ් වසංගතයෙන් ව්‍යසනයට පත්ව සිටින කම්කරු පන්තිය මත ට එල්ලකරන තවත් මරු පහරකි.

ප්‍රකාශිත පනත සම්බන්ධ පෙබරවාරි 3 වෙනිදා ගැසට් නිවේදනයට ට අනුව රුපියල් මිලියන 2000 වාර්ෂික ආදායමක් ලබන සමාගම් වලින් හා පුද්ගලයින්ගෙන් එකී ආදායමෙන් සියයට 25 ක අධිභාර බද්දක් අය කෙරේ. මෙම නව බද්ද ක්‍රියාවට දැමෙන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතේ විධිවිධානවලට අනුකුලව බව ද එහි අවධාරනය කෙරී ඇත. ඒ අනුව හුදෙක් අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් මත පමනක් නොව, රුපියල් මිලියන 2000 ආදායමක් සහිත ඕනෑම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කම්කරු විශ්‍රාම අරමුදලක් මත මෙම බද්ද පැනවෙනු ඇත.

2017 දේශීය ආදායම් බදු පනතේ 196 වගන්තියේ ආ (1) උප වගන්තියෙන් සමාගමක් යන්නට දී ඇති අර්ථකථනය අනුව 'යම් මිත්‍රශීලී සමිතියක්, ගොඩනැගිලි අරමුදලක්, අර්ථසාධක අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක්, හෝ ඒ හා සමාන අරමුදලක්' යෝජිත අධිභාර බද්දට යටත් කෙරෙයි. ඒ අනුව කම්කරු පන්තියේ සියලු විශ්‍රාම අරමුදල් මෙම බද්දට යටත් කෙරෙයි. අර්ථසාධක අරමුදලේ මේ වනවිට රුපියල් මිලියන 30,000 වැඩි මුදලක් තිබෙන බව වාර්තා වන අතර සියයට 25 ක අධිභාර බද්ද ක්‍රියාත්මක කෙරුනොත් රුපියල් මිලියන 6500 වැඩි මුදලක් කම්කරුවන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් අහිමි වනු ඇත.

2021-2022 අයවැය යෝජනාව මගින් එය එක වසරකට එනම් 2021 ආදායම් වර්ෂයට පමනක් සීමා කෙරී තිබුන ද ආන්ඩුවට අවශ්‍ය නම් පනතට අනුව එය නැවත නැවතත් අයකල හැකිය.

මෙම අධිභාර බද්ද යෝජනා කෙරුනේ පසුගිය අයවැයෙනි. බද්දට එරෙහිව කම්කරු පන්තියේ විරුද්ධත්වය බරපතල ලෙස මතුවන කොන්දේසි තුල, 2021 අයවැයෙන් අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් මත බදු පැනවීමක් යෝජනා කෙරී නැතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ 15 වෙනිදා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත. එම නිසා බද්දට විරුද්ධව සමහර පාර්ශවයන් කරන (කම්කරුවන්ගේ) උද්ඝෝෂනවලට “පදනමක්” නැති බව ද ඔහු සඳහන් කර තිබේ.

කම්කරු පන්තිය තුලින් මතුවෙමින් තිබෙන බරපතල විරෝධය නිසා එය මේ මොහොතේ ක්‍රියාවට නොදැමිය යුතු බවට අදහස් පල කල ඇමතියන්ගෙන් 'එහෙම නම් ආන්ඩුව මුදල් සොයා ගන්නේ කෙසේදැයි' ඔහු පෙරලා ප්‍රශ්නකර ඇති අතර ඒ වෙනුවට වටිනාකම එකතුකල (වැට්) බද්ද සියයට 3 න් වැඩිකිරීමට සිදුවන බවද ඔහු අවධාරනය කර තිබේ.

අයවැය යෝජනාවේ අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල ගැන විශේෂිතව වෙන්කොට සඳහන් නොකෙරුන ද බද්ද ක්‍රියාත්මක වන්නේ 2017 දේශීය ආදායම් බදු පනතට අනුකුලව හෙයින් එම අරමුදල්වලින් අධිභාර බද්ද අය නො කෙරෙන බව ට කිසිදු සහතිකයක් නැත. කම්කරු පන්තියේ ඇස්වලට වැලි ගැසීමට සහ ඔවුන්ගේ විරෝධය සමනය කිරීමට මුදල් ඇමති වාචිකව කවරක් පැවසුව ද අධිභාර බදු පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු එය ක්‍රියාවට දැමෙනු ඇත.

අධිභාර බද්ද කම්කරු පන්තියේ විශ්‍රාම අරමුදල් මත පැටවීමට විරුද්ධව විපක්ෂයේ කිඹුල් කඳුලු හෙලීම බද්ද කෙරෙහි කම්කරු පන්තියේ විරෝධය ගසාකෑමේ ප්‍රෝඩාවකි. මෛත්‍රීපාල සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුව විසින් 2017 දේශීය ආදායම් පනත සම්මත කෙරුනේ, එක්සත් ජාතික පක්ෂයේ, එහි නායකත්වයේ කොටසක් ව සිටි වර්තමාන සමගි ජන බලවේගයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දයෙනි.

අධිභාර බද්ද බද්ද පැනවීමේ සැබෑ හේතු හිතාමතා වසංගන ව්‍යාජ වාම පක්ෂ සහ වෘත්තීය සමිති ඊට එරෙහිව කම්කරු පන්තිය දැනුවත් අරගලයකට එම වැලක්වීමේ උත්සාහයක යෙදී සිටින අතර ම රාජපක්ෂ ආන්ඩුවට කන්නලව් කිරීමෙන් සහ බලපෑම් දැමීමෙන් එය නතර කල හැකිය යන මිත්‍යාව ද කම්කරුවන් අතර වගා දිගා කරති.

ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩට අනුව ආන්ඩුව මෙම බද්ද පනවා ඇත්තේ මැතිවරනයක් අරමුනුකරගෙන යෝජිත 'වැඩ ලක්ෂය ව්‍යාපෘතියට මුදල් සොයා ගැනීම' පිනිස ය.

ආන්ඩුව මෙම බද්ද පනවා ඇත්තේ, වසංගතය මගින් ගැඹුරු කෙරුනු මුල්‍ය අර්බුදයෙන් ගොඩයාමේ මංමුලාසහගත ප්‍රයත්නයේ කොටසක් ලෙසය. ගොඩ ඒ ගත නොහැකි නය වගුරක එරී සිටින රාජපක්ෂ ආන්ඩුව නය ගෙවීම පැහැර හැරීමේ මුවවිටට තල්ලු වී සිටින කොන්දේසි තුල ඩොලර් සොයා ගැනීම සඳහා ගත හැකි හැම රටකින් ම හුවමාරු නය සහ වානිජ නය ලබා ගන්නා අතර මෙවන් බදු පැනවීමෙන් දේශීයව ආදායම ඉහල දමා ගැනීමට උත්සාහ කරයි. අධිභාර බද්ද විශ්‍රාම අරමුදල් මත ක්‍රියාත්මක නොකරන්නේ නම් 'ආන්ඩුවට මුදල් සොයා ගන්නේ කෙසේදැයි?' මුදල් ඇමති ප්‍රකාශ කලේ ඒ නිසාය. රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින බව අයවැය කතාවේ දී සදහන් කල ඔහු 'ජනතාවට දෙන්න නොවෙයි (ඔවුන්ගෙන්) ගන්න සිදු වී තිබෙන' බව ඉක්බිතිව ඔහු මාධ්‍යට සඳහන් කර තිබුනි.

පනතට විරුද්ධව කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට පෙබරවාරි 10 වෙනිදා පුහු විරෝධයක් සංවිධානය කල, ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය, 'කැබිනෙට්ටුවට කරුනු ඉදිරිපත්කර විශ්‍රාම වැටුප් අරමුදල් මත මෙම බද්ද පැනවීම වැලැක්වීමට කටයුතු කරන' ලෙස ජවිපෙ අන්තර් සමාගම් සේවක සංගමය කම්කරු ඇමතිගෙන් ඉල්ලා ඇත.

ලංකා වෙලඳ, කර්මාන්ත හා පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය ඇතුලු වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ එකතුවක් වන පොදු දේපල සහ මානව හිමිකම් සුරැකීමේ සංවිධානය අධිභාර බද්ද කම්කරු පන්තියෙන් අය කරන්නේ නම් ඊට විරුද්ධව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සමග 'ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට' යන බව ට පෙබරවාරි 11 පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ආන්ඩුවට “අනතුරු අඟවා” තිබේ.

බලහත් කාරයෙන් කම්කරුවන් වැඩට කැඳවීමට, වැටුප් කප්පාදුව ට හා රැකියා අහිමි කිරීමට රාජපක්ෂ ආන්ඩුවට සහ ධනපති හාම්පුතුන්ට මෙම සියලු සංවිධාන සහයෝගය දුන්හ. එනිසා අධිභාර බද්දට එරෙහිව කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් ගැන ඔවුන් ආන්ඩුවට කරන ඊනියා අනතුරු ඇඟවීම හුදෙක් ම කම්කරුවන් රැවැටීමේ සහ නොමග යැවීමේ පුහු කයිවාරුවක් පමනි.

අර්ථසාධක සහ සේවක භාරාකර අරමුදල් මත අධිභාර බද්ද පනවන බවට අයවැයෙන් යෝජනා කර නැතැයි මුදල් ඇමති ප්‍රකාශ කිරීමත් සමග වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන වල ඊනියා උද්ඝෝෂන නතර වී ඇත. එහෙත් රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ වැඩෙන විරෝධය මධ්‍යයේ තාවකාලික ව එය නතර කලත් කල්යල් බලා එය ක්‍රියාවට දමනු ඇත.

Loading