යුක්‍රේන යුද අර්බුදයේ දී තමන් “පැත්තක් නො ගන්නා” බව ලංකාවේ ආන්ඩුව ප්‍රකාශ කරයි

[මෙය Sri Lankan government declares it “takes no sides” in Ukraine war crisis යන මැයෙන් 2022 මාර්තු 1 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

වැඩෙන විදේශ නය හා ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දෙන රාජපක්ෂ ආන්ඩුව හා ලංකාවේ පාලක පන්තිය, යුක්‍රේනය තුල වර්ධනය වන යුද්ධය දෙස වික්ෂිප්ත ව බලා සිටියි.

රුසියාව මිලිටරිමය වසයෙන් වටලෑමේ කොටසක් ලෙස, යුක්‍රේනය සිය නැටෝ සන්ධානය තුල ඒකාග්‍ර කරගැනීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගත් පියවරයන් විසින් රුසියාවේ ප්‍රතිගාමී ආක්‍රමනය අවුලුවන ලදී. එම යුද්ධය දැන් ප්‍රධාන බලවතුන් අතර කෙරෙන භයානක න්‍යෂ්ටික ගැටුමක් ලෙස පුපුරා යාමක තර්ජනය මතු කර තිබේ.

ජයනාත් කොලඹගේ (ඡායාරූපය: ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය)

සිකුරාදා මාධ්‍ය හමුවක් ඇමතූ ලංකාවේ විදේශ ලේකම් ජයනාත් කොලඹගේ මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි (යුක්‍රේනයේ) තත්ත්වය දෙස බලා සිටිනවා ඒත් පැත්තක් ගන්නේ නැහැ. සැම කෙනාට ම තමන්ගේ ම හේතු තිබිය හැකියි ...” ඔහු අඩුතරමින් ගැටුමෙහි නිරත “පැති” මොනවාදැයි යන්න නම් නොකල අතර ලංකාව මධ්‍යස්ථ වීමට තෝරා ගත්තේ මන්දැයි යන්න විස්තර නොකලේය.

“අපේ ඉන්ධන හා ගෑස් සඳහා වැඩිපුර ගෙවීමට අපට සිදු වනු ඇති, අපේ තේ වෙලඳපොල බලපෑමට ලක්වේවි” යි කියමින්, වහාම ගැටුම ලංකාව මත ඇති කරන ආර්ථික බලපෑම ගැන කතා කිරීම කරා කොලඹගේ ඉදිරියට ගියේ ය.

මාධ්‍ය හමුවෙන් අනතුරු ව, යන්තම් එක් වාක්‍යය බැගින් යුක්ත ඡේද තුනකින් යුතු ප්‍රකාශයක් විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කලේ ය. යුක්‍රේනය තුල ප්‍රචන්ඩත්වය පුපුරා යාම ගැන ලංකාව “අතිශයින් උත්සුක” යයි පැවසූ එම ප්‍රකාශය, “උපරිම ස්වයං-පාලනයක් අනුගමනය කරමින්... කලාපය තුල සාමය, ආරක්ෂාව හා ස්ථාවරත්වය පවත්වා ගැනීම පිනිස, හතුරුකම් නවත්වන්නැයි සියලු පාර්ශවවලට” කැඳවුම් කලේ ය. “රාජ්‍යතාන්ත්‍රිකත්වය හා අවංක සාකච්ඡාව හරහා අර්බුදය විසඳා ගන්නා” ලෙස එම ප්‍රකාශය අදාල රටවල නායකයන්ගෙන් අයැද සිටියේය.

ලංකාව යනු භූ-දේශපාලනික වේදිකාව මත කිසිදු ආකාරයක ප්‍රධාන චරිතයක් නො වන කුඩා රටකි. එය උඩින් පල්ලෙන් සිදු කරන “පැත්තක් නො ගැනීමේ” ප්‍රකාශය, යුක්‍රේනය සම්බන්ධ ගැටුම ආන්ඩුව කෙරෙහි අතිශය සංවේදී බවට කරන ඉඟියකි.

තමන් අතින් එක්සත් ජනපදය හෝ යුරෝපීය බලයන්ගේ උදහසට ලක්වන ප්‍රකාශයක් පලවෙතැයි ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව තියුනු ලෙස වද වෙයි. බෙයිජිනය සමග සියලු සබඳතා බිඳ දමා, චීනයට එරෙහි වොෂින්ටනයේ ආක්‍රමනශීලී භූ-දේශපාලනික හා මිලිටරිමය පියවරයන් සමග පෙලගැසෙන ලෙස, දැනට යුක්‍රේන යුද අර්බුදය තුල පැටලී සිටින එක්සත් ජනපදයේ හා එහි සගයන් යොදන පීඩනය යටතේ රාජපක්ෂ තන්ත්‍රය සිටී.

මෙම පීඩනය තීව්‍ර කිරීම සඳහා, 2009 දී අවසන් වූ බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩුවේ ම්ලේච්ඡ යුද්ධය සමයේ සිදු කරන ලද යුද අපරාධ පිලිබඳ විමර්ශනයක් සඳහා වන යෝජනාවක්, වොෂින්ටනය හා ප්‍රධාන යුරෝපීය රටවල් 2021 මාර්තුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) දී සම්මත කරගත් හ. ජනාධිපති රාජපක්ෂ 2019 නොවැම්බරයේ දී බලයට ඒමෙන් පසුව, දේශපාලන විරුද්ධවාදීන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම ඇතුලු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ද යෝජනාවට අඩංගු වේ.

තමන්ගේ ම යුද අපරාධ පිලිබඳ ව කුප්‍රකට එක්සත් ජනපදය හා යුරෝපීය රටවල්, විවිධ පාලන තන්ත්‍රවල අත් අඹරවා කීකරු කරගැනීම පිනිස “මානව හිමිකම්” පිලිඹඳ කාරනය කුහක ලෙස යොදාගනිති. වර්තමාන ජනාධිපතිගේ සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි ව ද ඔවුන් යුද අපරාධ චෝදනා යොදාගත් අතර, අවසානයේ දී ඔහු බලයෙන් නෙරපීමට තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමී ය.

මෙම අධිරාජ්‍යවාදී යාන්ත්‍රනයන් හෙලා දැකීමට ලංකාවේ ආන්ඩුව අසමත් ව ඇත. සත්‍ය වසයෙන් ම, යුද අපරාධ පිලිබඳ කිසිදු විමර්ශනයකින් ගැලවීම සඳහා, පසුගිය වසර පුරා කොලඹ ආන්ඩුව එක්සත් ජනපදය හා යුරෝපා සංගමය සැනසීමට උත්සාහ දරා තිබේ. සිය සහෝදරයාගේ ආන්ඩුව යටතේ ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කල ගෝඨාභය රාජපක්ෂ, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනකගේ මරනවලට තුඩු දුන් වාර්ගික යුද්ධයේ අවසන් ලේවැකි ප්‍රහාර සඳහා ඍජු ව වගකීම දරයි.

යූඑන්එච්ආර්සීයේ දී ලංකාවට සහයෝගය දී ඇති රුසියාව හා චීනය, වොෂින්ටනයේ නායකත්වය සහිත යෝජනාවන්ට විරුද්ධ ව ඡන්දය දුන් හ. මේ මාසය අවසානයේ දී, පසුගිය වසරේ යෝජනාව පිලිබඳ සමාලෝචනයකට කොලඹ ආන්ඩුව මුහුන දෙන්නේ, එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් කොලඹ ආන්ඩුවට අවසන් නිවේදන එවා ක්‍රියාත්මක වන ලෙස විධානය කිරීමේ ඇඟවීම් ද සහිත ව ය.

කෝවිඩ්-19 වසංගතය යටතේ නාටකාකාර ලෙස ගැඹුරු වී ඇති ආර්ථික අර්බුදයක කිඳී යමින් සිටින ලංකාවේ ආන්ඩුව, යුද්ධයේ ආර්ථික බලපෑම කෙරෙහි ගැඹුරින් ම උත්සුක ය.

රටෙහි විදේශ සංචිත වියලී යමින් තිබෙන අතර, රට නය පැහැර හැරීමේ අද්දර සිටී. විදුලිබල උත්පාදනය සඳහා තෙල් මිල දී ගැනීමට ප්‍රමානවත් විදෙස් හුවමාරු විනිමය හිඟය නිසා, දීර්ඝ විදුලිබල කප්පාදු පැටවීමට ලංකාවේ බලධාරීන්ට බලකෙරී පවතින අතර, තීරනාත්මක ප්‍රවාහන සේවාවන් කප්පාදු කරමින් ද බොහෝ අත්‍යවශ්‍ය භාන්ඩ ආනයනයන් සීමා කෙරී ද පවතී.

රුසියාව හා යුක්‍රේනය, ලංකාවේ ආනයන හා අපනයන සඳහා ප්‍රධාන වෙලඳපොලවල් බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ඊයේ සටහන් කලේ, රුසියාවට පමනක් කරන වාර්ෂික තේ අපනයනයන් එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක් බව පෙන්වා දෙමිනි. ලංකාව සිය තිරිඟු ආනයනයන්ගෙන් සියයට 45ක් ද සෝයා බෝංචි, සූරියකාන්ත තෙල්, කජු හා ඇස්බැස්ටෝස් ආනයනයන්ගෙන් අඩකට වැඩි ප්‍රමානයක් ද ගෙන්වන්නේ රුසියාවෙන් හා යුක්‍රේනයෙනි.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යන ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ එකක් වත් යුක්‍රේන යුද අර්බුදය පිලිබඳ ව‌දේශපාලනික ප්‍රකාශයක් නිකුත් කර නැත. කලින් අධිරාජ්‍ය-විරෝධී පූච්චානම් දෙඩවූ ජනතා විමුක්ති පෙරමුන ද තම කට වසාගෙන සිටී.

ලංකාව තුල තම දේශපාලනික න්‍යාය පත්‍රයට නව දිල්ලියේ හා වොෂින්ටනයේ සහයෝගය දිනාගැනීමට අපේක්ෂා කරන එක්සත් ජනපද-ගැති දෙමල ජාතික සන්ධානය (දෙජාස) දෙගිඩියාවෙන් පසු වන බව පෙනේ. එහෙත්, කලාපය තුල එක්සත් ජනපදයේ ප්‍රධාන මූලෝපායික හවුල්කාරයෙක් ලෙස ක්‍රියා කරන ඉන්දියාව, යුක්‍රේන ආක්‍රමනය අරබයා රුසියාව හෙලා දැකීම හා වොෂින්ටනය අනුගමනය කිරීම මේ දක්වා ප්‍රතික්ෂේප කර තිබේ.

තව ද පුපුරා යමින් තිබෙන යුද්ධය ආර්ථික හා දේශපාලනික අර්බුදය ගැඹුරු කොට, වැටුප්, රැකියා හා සමාජ අයිතීන් සඳහා ලංකාවේ කම්කරු පන්තියේ පලල් වැඩ වර්ජන හා විරෝධතා ජනනය කරනු ඇතැයි, ලංකාවේ පාර්ලිමේන්තු පක්ෂ කාංසාවෙන් පසු වේ.

එහෙත්, තමන් “පැති නො ගන්නා” බවට ආන්ඩුව කරන අවධාරනය වැඩි කල් පවතිනු නැත. යුද්ධය තීව්‍ර වෙද්දී, කොලඹ පාලනය මත වොෂින්ටනය යොදන පීඩනය ද තීව්‍ර වනු ඇති අතර, කොලඹ ආන්ඩුව එක්සත් ජනපදයේ නියෝග සමග ක්ෂනික ව පෙලගැසෙනු ඇත.

කොලඹ ප්‍රභූවේ හොරනෑවක් වන ඩේලි මිරර් පත්‍රය, “යුක්‍රේනය- මහා බල ප්‍රතිමල්ලතා තුල රූකඩයෙක්” නමැති කතුවැකියක විස්සෝපයෙන් යුතුව මෙසේ සටහන් කලේ ය: “යුද්ධය ඉක්මනින් අවසානයකට නො ගෙනාවහොත්, යුක්‍රේනය තුල යුද්ධයෙන් මිය යනවාට වැඩි පිරිසක් කුසගින්න හේතුවෙන් අප්‍රිකාව, ආසියාව හා ලතින් ඇමරිකාව තුල මිය යනු ඇත.” මෙසේ ප්‍රකාශ කරමින් කතුවැකිය අවසන් වේ: “ගැටලුවලට පිලිතුර වන්නේ ආක්‍රමනය නො වේ. දැන් කාලය සාකච්ඡාවලටයි. නැටෝව තම ප්‍රසාරනවාදී සැලසුම් නවත්වා රුසියාව හමුදා ඉවත් කරගත යුතු අතර, යහපත් සංවේදයන් ජයග්‍රහනය කිරීම අවශ්‍ය ය. යුද්ධය විසඳුම නො වේ.”

පාලක ප්‍රභූවේ සෙසු කොටස් මෙන් ඩේලි මිරර් ද ගැඹුරු වන ආර්ථික හා දේශපාලන අර්බුදය පිලිබඳ ව කනස්සලු සහගත වේ. “සාකච්ඡා” හා “යහපත් සංවේදයන්” සඳහා එය කරන ආයාචනයන් වනාහි, විනාශය සඳහා වගකීම දරන බලයන් ට ම කරන නිෂ්ඵල ආයාචනාවන් තුලට, සන්නද්ධ න්‍යෂ්ටික ගැටුමේ අන්තරාය ගැන කම්කරුවන්ගේ හා තරුනයන්ගේ උත්සුකයන් අපසරනය කර යැවීමේ උත්සාහයකි.

ගැටුමේ මූලික හේතුව වන ධනපති ක්‍රමය පෙරලා දැමීම පිනිස සමාජවාදී පිලිවෙත් මත පදනම් වන කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යුද්ධය වැලැක්වීමට ඇති එක ම මාවත යි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය මෙය යි. සමාජවාදී සමානතා පක්ෂයට සම්බන්ධ වී එය ගොඩනගමින් ලංකාවේ කම්කරුවන් හා තරුනයන් මෙම අරගලය සියතට ගත යුතු ය.

Loading