“මහජන කතිකාව”: වෘත්තීය සමිති කෙරෙහි වැඩෙන කම්කරු විරෝධය පාලනය කිරීමේ වේදිකාවක්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය(සෞවෘස) විසින් පසුගිය දෙවනිදා “අත්‍යාවශ්‍ය නියෝග සහ වෘත්තීය සමිති මර්දනයට එරෙහිව මහජන කතිකාව” යන මාතෘකාව යටතේ කොලඹ නව නගර ශාලාවේ රැස්වීමක් පැවැත්වීය. මෙම රැස්වීම පවත්වනු ලැබූයේ සෞවෘස විසින් කැඳවන ලද දෙදින වැඩ වර්ජනය සහ ඊට එරෙහිව අත්‍යාවශ්‍ය සේවා සහ අධිකරන නියෝග යොදා ගනිමින් උසිගන්වා තිබූ මර්දනය මධ්‍යයේය.

රැස්වීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය(රහෙනිස), තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය අතුලසිරි සමරකෝන්, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙකු වන ශිරාල් ලක්තිලක, අනිද්දා පත්‍රයේ කතෘ කේ.ඩි.ජනරංජන, ලංකා වානිජ කාර්මික හා පොදු කම්කරු සංගමය සහ තවත් සමිති කිහිපයක් සහභාගී විය.

සියලුම නායකයින්ගේ කතා කේන්ද්‍රගත කොට තිබුනේ වෘත්තීය සමිති වල පාවාදීම් හමුවේ ඒවාට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන විරෝධය පාලනය කර ගැනීම සම්බන්ධයෙනි. 'කතිකාව' පැවැත්වූයේමත්, සෞවෘස කැඳවූ අවසන් දෙදින වර්ජනයද මීට පෙර විරෝධතා මෙන්ම කිසිදු ඉල්ලීමක් දිනාගැනීමකින් තොරව පාවාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කම්කරුවන් අතර වැඩුනු බලගතු විරෝධය මධ්‍යයේ ය.

කතිකාව ආරම්භ කරමින් සෞවෘස නායකයෙකු වන රවී කුමුදේශ් ජනාධිපතිවරයාට ප්‍රශ්නයට මුහුන දී සිටින “සියලු වෘත්තීය සමිති කැඳවා එකඟතාවයකට පැමිනෙන” ලෙස ආයාචනා කලේය. “කවුරු ජනාධිපති වුනත් කවුරු අගමැති වුනත් මේ රටේම ජනාධිපති එයා මේ රටේම අගමැති එයා. ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට මොන ජනාධිපතිට උනත් සදාචාරයක් තියෙනවා ඒ ප්‍රශ්නෙට අදාල පාර්ශවයත් එක්ක සාකච්ඡා කරන්න” යැයි ඔහු පැවසීය.

කුමුදේශ්ගේ ආයාචනයේ ප්‍රධාන අරමුනු දෙකක් පවතී: ඉන් පලමුවැන්න වන්නේ, සිරිත් පරිදි, මෙම ප්‍රහාරයන්ගේ මූලය ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය බව වසන්කොට, ආන්ඩුවට ආයාචනා කිරීමෙන් ඉල්ලීම් දිනාගත හැකිවෙතැයි යන මිථ්‍යාව ඉස්මත්තට ගෙන, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනක් දෙසට කම්කරුවන් යොමුවීම වලකාලීමයි. එමගින් තමා ඇතුලු සමිති නිලධරයට සහ සමස්තයක් ලෙස සමිති වලටම එරෙහිව වැඩෙන කම්කරු විරෝධය පාලනය කිරීම දෙවැන්නයි.

සමිති නායකයා මෙලෙස සාකච්ඡා සඳහා ආයාචනා කරන්නේ, වසංගතයෙන් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට සහ එයට එරෙහිව ඔවුන් අතරින් පැන නගින අරගල රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති තැනට වෛෂයිකවම තල්ලුවී සිටින ලොවපුරා ධනපති පාලකයින් අතරින් ඒ සඳහා රුදුරුම ආකාරයෙන් කැපවූවෙකුට ය.

එම තතු තුල කුමුදේශ් ඉල්ලා සිටින සාකච්ඡාවන්ගේ අර්ථය වනුයේ, ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ, වැඩෙන කම්කරු අරගල පාලනයකොට දී ආන්ඩුවත් ධනපති ක්‍රමයත් රැකදීම සඳහා තම සහයෝගය ලබාදෙන අකාරය ගැන එකඟතාවයකට පැමිනීම හැර අනෙකක් නොවේ.

ආන්ඩුවේ මර්දනයේ කොටසක් ලෙස, වර්ජන කැඳවීම තහනම් කෙරෙන නියෝගයක් අධිකරනය හරහා තමාටමත් එරෙහිව පනවා තිබෙන කොන්දේසි යටතේ පවා රහෙනිස නායක සමන් රත්නප්‍රිය යලි වතාවක් ආන්ඩුවට කියා සිටියේ එකඟතාවයකට පැමිනීමට තමන් සූදානම් බවයි. ඔහු රටේ පවතින තත්වය නිසා “අපි ආන්ඩුවට කිව්වා සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සෙ බලාගමු. හැබැයි අපිට හිමි තැන දෙන්න කියලා” යනුවෙන් පැවසීය. මහජනතාවට “අවම හානියක්” වන ලෙස කටයුතු කිරීමට ඔවුන් තත්වය “කලමනාකරනය” කරගත් බව රත්නප්‍රිය සඳහන් කලේය.

සමිති නායකයන් ගනන් බලන්නේ මහජනතාවට අවම හානියක් පිලිබඳව නොව ධනපති ආන්ඩුවට අවම හානියක් වන පරිදි කටයුතු කරන්නේ කෙසේද යන්නයි. එනම්, වැඩෙන කම්කරු අරගල හේතුවෙන්, ධනපති පන්තියට සහ ධනපති ක්‍රමයට වන හානිය අවම කෙරෙන පරිදි ඒවා 'කලමනාකරනය' කිරීමයි.

පසුගිය මාසයේ පැවැත්වුනු අරගලය සම්බන්ධයෙන් ඔහු සඳහන් කලේ, සෞඛ්‍ය ඇමතිවරයා 08 වෙනිදා පැවැත්වෙන කැබිනට් මන්ඩලයට අදාල යෝජනා ඉදිරිපත් කරන බවටත්, සාධාරනය ඉටු කිරීමට 'උත්සාහ කරන' බවටත් සඳහන් කලා නම් “වැඩ වර්ජනය නතර කරන” බවයි. “කතා කරන්න, කරන්න පුලුවන් දේ කියන්න, බැරි දේවල් කියන්න. අපි ලෑස්තියි ඒවට එකඟ වෙන්න” යැයි රත්නප්‍රිය ආන්ඩුවට කියා සිටියේය.

වෙනත් අර්ථයකින් කිවහොත් සමිති නායකයින් ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය කම්කරුවන් යලි වැඩට දැක්කීම සඳහා කුමන හෝ කැරට් අලයකි.

රටේ පවතින තත්වය යනුවෙන් ඔහු අදහස් කරන්නේ ධනපති පන්තිය මුහුන දී ඇති අර්බුදය පිලිබඳවය. ධනපති ආන්ඩුව සමග පෙල ගැසෙමින් ඔහු ද සඳහන් කරන්නේ එම අර්බුදයට කම්කරුවන් ඇතුලු මහජනතාව කැප විය යුතු බවයි. “සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සෙ බලාගමු” යන්නෙහි අර්ථය මෙයයි.

මෙම ප්‍රකාශ ගලා එන්නේ, ධනපති ක්‍රමයට තදින්ම බැඳී සිටින සහ ඉන් අනේකවිධ වරප්‍රසාද ලබන වෘත්තීය සමිති නිලධරයේ මධ්‍යම පංතික ස්වභාවයෙනි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය සඳහා සිදු කෙරෙන නිෂ්පාදනය මත පාදක වූ ධනපති ක්‍රමයෙන් එපිට ක්‍රමයක් ගැන සිතීමටවත් ඔවුන්ට නොහැක.

වැඩිවන ජීවන වියදම මධ්‍යයේ වටිනාකම් ඛාදනය වන වැටුප් මට්ටම් හේතුවෙන් සෞඛ්‍ය සේවය ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ ජීවන කොන්දේසි දිනෙන් දින පහලට ඇද දමා ඇත. කම්කරුවන් මෙම ඉවසා දරාගත නොහැකි කොන්දේසි වලට තිත තැබීම සඳහා දැඩි අධිශ්ඨානයෙන් අරගල වලට පැමිනෙද්දී සමිති නායකයන් පවසන්නේ ප්‍රශ්න “පස්සෙ බලාගමු” යනුවෙනි.

මෙම තතු පෙන්නුම් කරන්නේ, අදදින වෘත්තිය සමිති තුලින් කම්කරුවන්ගේ එකදු හෝ අවශ්‍යතාවයක් ප්‍රකාශයට පත් නොවන බවයි. ඒවා ක්‍රියාත්මක වන්නේ කම්කරුවන්ගේ අරගල වලට එරෙහි කාර්මික පොලීසි ලෙසිනි. 'කතිකාව'ට සහභාගි වූ අනෙකුත් සමිති සහ නායකයින්ද මෙම කටයුත්තේ දිගු කලක් නියැලුනු අයවීම එයට ආරාධනා ලැබීමේ පරම සුදුසු කමකි.

මහධනපතියන්ගේ ලාභය වෙනුවෙන් වසංගතය මධ්‍යයේ කම්කරුවන් වැඩට දැක්කීමේ රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී පිලිවෙතට සහයෝගය දුන් සියලු සමිති නායකයෝ, පසුගිය වසරේ සිට රාජපක්ෂ ආන්ඩුව පනවා ඇති මර්දනකාරී අත්‍යාවශ්‍ය සේවා නියෝග සහ මහජන ආරක්ෂක පනතට නිහඬව සහයෝගය පල කලෝය.

වැඩෙන කම්කරු අරගල ධනපති ක්‍රමයට අභියෝග කෙරෙන සහ සමිති වලින් ස්වාධීන වූ දේශපාලන සටනක් දෙසට යොමු වෙතැයි ධනපති පාලකයන්සේම බියපත්ව සිටින මොවුහු, කම්කරුවන්ට සටන් කිරීමට ඇති එකම සංවිධාන රූපය ලෙස වෘත්තීය සමිති පෙන්වීමට උත්සාහ දරති. වෘත්තීය සමිති වල සැබෑ ස්වභාවය රහෙනිසට වර්ජනයෙන් ඉවත් වීමට නිකුත් කල අධිකරන නියෝගයට ඔවුන්ගේ ප්‍රතිචාරයෙන්ම පැහැදිලි වේ. රහෙනිස එම මර්දනය පිලිගනිමින් දෙදින වර්ජනයෙන් ඉවත් වී සිටියේය.

'කතිකාවේ' දේශකයෝ රාජපක්ෂ ආන්ඩුව එල්ල කර ඇති මර්දනය මානව හිමිකම් සංවිධාන හරහා හෝ වෙනත් ආකාරයකින් ආන්ඩුවට බලපෑම් දැමීමෙන් පරාජය කල හැකි එකක් බවට මවා පෙන්වූහ. මර්දනකාරී පනත් වල සැබෑ අන්තරාය හමුවේ කම්කරු පංතිය දේශපාලනිකව නිරායුධ කරනුවස්, “අත්‍යාවශ්‍ය සේවා පනත මොන ආකාරයෙන් තිබුනත් මේ රටේ මිනිස්සුන්ගෙ වෘත්තීය අයිතිවාසිකම් ඊට ඉහලින් තියෙනවා” යැයි පවසමින්, නීතීඥ ගුනරත්න වන්නිනායක ධනපති නීතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාරම් බෑවේය.

රත්නප්‍රිය සඳහන් කලේ කම්කරුවන්ට පනවා ඇති මර්දනකාරී නීති රීති, අධිරාජ්‍යවාදී ඒජන්සි වන ජිනීවා මානව හිමිකම් කොමිසමට, ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට පැමිනිලි කිරීමෙන් විසඳා ගත හැකි බවයි. ඒ ඔස්සේම යමින් අනිද්දා පත්‍රයේ කර්තෘ කේ.ඩබ්ලිව්. ජනරංජන සඳහන් කලේ මහජනතාව තමන්ගේ අයිතිවාසිකම් සඳහා පෙරට පැමින සටන් කරන තත්වයකට “පොලඹවාගැනීමට” මේ වෘත්තිකයන් කටයුතු කල යුතු බවයි. එය කිනම් වැඩපිලිවෙලක් මත කෙරෙන සටනක්දැයි ඔහු පැහැදිලි නොකල නමුත්, එය ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන ස‌ටනක් නොවන බව ඉතා පැහැදිලිය. වෘත්තීය සමිති සහ ජනරංජන ඇතුලු අනෙකුත් කථිකයෝ එවන් සටනක පරම සතුරෝ වෙති.

අරගලය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් කම්කරුවන් අතර අව්‍යාජ සාකච්ඡාවක් වැලැක්වීම සඳහා මෙම 'කතිකාව' ‌ට පහල සාමාජිකත්වය ගොනු කිරීම සිතාමතා අත්හල සමිති නිලධරය එය තමාට පමනක් සීමා කරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එදින නවනගර ශාලාව‌ට රැස්ව සිටියේ සියයටත් අඩු පිරිසකි.

ධනපති ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරිමට නම් කම්කරුවන්ට මෙම ධනපති ගැති වෘත්තීය සමිති වලට විකල්ප සංවිධාන රූපයක් සහ ඉදිරිදර්ශනයක් අත්‍යාවශ්‍යය. එම ඉදිරි දර්ශනය සම්පාදනය කලේ සමාජවාදී සමානතා පක්ෂය නායකත්වය දෙන සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව විසිනි. එම කමිටුව අරගලයේ මුල සිටම අවධාරනය කලේ තම ඉල්ලීම් දිනා ගැනීමට නම් ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් දියත් කිරීමට වෘත්තීය සමිති වලින් බිඳී කම්කරුවන් විසින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගාගත යුතු බවයි.

Loading