සසප/සසජාතශි ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීමක් පවත්වයි: එක්සත් ජනපද-නැටෝ යුද ධාවනයට සහ යුක්රේනය තුල රුසියානු ආක්‍රමනයට විරුද්ධ වනු!

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය (සසජාතශි) 'එක්සත් ජනපද-නැටෝ යුද ධාවනයට සහ යුක්‍රේනය තුල රුසියානු ආක්‍රමනයට විරුද්ධ වනු!' යන මැයෙන් මාර්තු 20 ඉරිදා ප.ව. 04.00 ට සූම් ඔස්සේ ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීමක් පවත්වයි. එය සසප ෆේස්බුක් පිටුවේ සජීවී ව විකාශය කෙරේ.

එක්සත් ජනපදය හා එහි නැටෝ සහචරයෝ යුක්‍රේනය තුල රුසියානු ආක්‍රමනය කඩතුරක් ලෙස ගසාකමින් රුසියානු දේශසීමාව ආසන්නයේ නැගෙනහිර යුරෝපීය රටවලට තවත් දහස් ගනනක් භටයන් යොදවා ඇති අතර රුසියානු හමුදාවට එරෙහිව සටන් කිරීමට ඔවුන් යුක්රේනය ද උපරිම ව සන්නද්ධ කර ඇත. මෙම සූදානම රුසියාවට එරෙහි පූර්න පරිමානයේ මිලිටරි ගැටුමක් සඳහා වන අතර, එය තුන්වන ලෝක යුද්ධයට සහ මිලියන ගනනකගේ ජීවිත අනතුරේ හෙලමින් න්‍යෂ්ටික අවි යොදා ගැනීමකට තුඩු දිය හැකි ය.

යුක්රේනය තුල රුසියානු ආක්‍රමනය ඇවිලවීමේ ප්‍රකෝපකරනයන් හි නියැලීමෙන් පසු ව, රුසියාවේ මූල්‍ය පද්ධතිය වියවුලකට ඇද දැමූ දැඩි සම්බාධක පැනවීමත් සමග එක්සත් ජනපද හා යුරෝපීය බලවතුන් එහි ව්‍යාප්තිය සඳහා වඩ වඩාත් පුපුරන සුලු කොන්දේසි නිර්මානය කර ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) පෙබරවාරි 24 ප්‍රකාශය කම්කරු පන්තිය භේද කිරීමට තුඩු දෙන යුක්‍රේනය තුල රුසියානු මිලිටරි මැදිහත්වීමට විරුද්ධ නමුත් යුද්ධයේ කේන්ද්‍රීය වගකීම වොෂින්ටනය හා එහි සහචරයින් මත පැටවෙන බව අවධාරනය කරයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මිලිටරි මාර්ග මගින් තම ප්‍රතිවාදීන්ට වීමට ඉඩ ඇති රටවලට එරෙහිව සිය ගෝලීය ආධිපත්‍යය යලි තහවුරු කිරීමට උත්සාහ කරයි.

ඉරාකය, සෝමාලියාව, සර්බියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව තුල මිලිටරි මැදිහත්වීම් ඇතුලුව පසුගිය වසර 25 තුල එක්සත් ජනපදය විසින් දියත් කරන ලද නොයෙකුත් සහ නොනවතින යුද්ධ මාලාව පිටුපස ගාමක බලවේගය මෙයයි. කෝවිඩ්-19 වසංගතය මගින් තීව්‍ර වූ එක්සත් ජනපදයේ දැවැන්ත හා ගැඹුරු වන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය විසින් රුසියාවට එරෙහි වත්මන් යුද ධාවනය ඉදිරියට ගෙන එනු ලැබ ඇත. බයිඩන් පරිපාලනය උත්සාහ කරන්නේ රටේ අභ්‍යන්තර ආතතීන් යුද්ධයේ මාධ්‍ය හරහා පිටතට යොමු කිරීමට ය.

යුක්රේනයේ උත්සන්න වන ගැටුම දකුනු ආසියාව ඇතුලු ගෝලීය වශයෙන් භූ දේශපාලනික ආතතීන් උත්සන්න කර ඇත. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ආන්ඩුව, වොෂින්ටනය සමග නව දිල්ලියේ මූලෝපායික හවුල්කාරිත්වය සහ මොස්කව් සමග එහි ඓතිහාසික ආරක්ෂක බැඳීම් අතර තුලනය වීමට උත්සාහ කරයි. එක්සත් ජනපද-නැටෝ යුද ධාවනය සමග පෙල ගැසීමට ඉන්දියාවට වොෂින්ටනයෙන් එල්ලවන පීඩනය මධ්‍යයේ මෙම තුලනය කිරීමේ ක්‍රියාව වඩ වඩාත් කල නොහැකි වෙමින් පවතී.

ශ්‍රී ලංකා ආන්ඩුව යුක්රේන යුද්ධයේ දී තමන් “පැත්තක් නොගන්නා” බව ප්‍රකාශ කර ඇතත්, ඔවුන් එක්සත් ජනපදය සමග පෙලගැසීමේ සහ විශේෂයෙන්ම බීජිනය සමග එහි සබඳතා බිඳ දැමීමේ දැඩි පීඩනයකට ලක්ව ඇත. මෙම උපාමාරු කිසිවක් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් න්‍යෂ්ටික යුද්ධයක සුලි කුනාටුවකට ඇද දැමීම වලක්වන්නේ නැත.

එවන් යුද්ධයක් පුපුරා යාම වැලැක්විය හැකි එක ම මාර්ගය වන්නේ සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා පමනක් මෙම ගෝලීය ඉදිරිදර්ශනය සඳහා අරගලය ඔවුන්ගේ දේශපාලන වැඩ කටයුතුවල කේන්ද්‍රයේ තබා ඇත.

මාර්තු 20දා පැවැත්වෙන සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම ශ්‍රී ලංකාව තුල සහ දකුනු ඉන්දීය කලාපය තුල මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ය. මෙම තීරනාත්මක දේශපාලන සාකච්ඡාවට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් සහ ලෝසවෙඅ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

රැස්වීම සඳහා ලියපදිංචිය මෙතැනින්.

https://us06web.zoom.us/meeting/register/tZcvd-yprz0jG93flFvekj-uhARad6Hj1Voh

Loading