එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරන අඛන්ඩව ඉහල යද්දී, සංගත මාධ්‍ය වාරන තත්වයක් පවත්වා ගනියි

[මෙය As US COVID-19 deaths continue to surge, corporate media maintains near blackout යන මැයෙන් 2022 මාර්තු 13 දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරන ඔමික්‍රොන් තරංගයේ ඉහලම මට්ටමට ලඟා වී ඇත්තේ, තීව්‍ර වූ ජීවිතාරක්ෂක ප්‍රයත්නයන් සමඟ නොව, ඇමරිකානු ජනතාවගේ සෞඛ්‍යයට වසංගතයේ විනාශකාරී බලපෑම වසන් කිරීමේ තීව්‍ර තල්ලුවක් සමඟිනි.

එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවට (ඩිඑච්එස්එස්) රෝහල් පද්ධති මගින් කොවිඩ්-19 මරන අනිවාර්යයෙන් වාර්තා කිරීම 2022 පෙබරවාරි 2 වැනි දිනෙන් අවසන් විය.

ඊට අමතර ව, ඉක්මන් අනුපිලිවෙලින්, රට පුරා ප්‍රාන්ත ඔවුන්ගේ මුහුනු ආවරන අනිවාර්ය කිරිමේ රෙගුලාසි අවලංගු කිරීමට ඉඩ දෙනු ලැබුනි. නිව් යෝර්ක් ආන්ඩුකාර කැති හොෂුල් පසුගිය බදාදා ප්‍රාන්තයේ තදබල ලෙස ක්‍රියාත්මක ව තිබූ ගෘහස්ථයන්හි දී මුහුනු ආවරන අනිවාර්යෙන් පැලඳීමේ රෙගුලාසිය ඉවත් කලේ ය. ඩිමොක්‍රටික් පක්ෂය පාලනය කරන ඉලිනොයිස්, කැලිෆෝනියා සහ නිව් ජර්සි වැනි ජනාකීර්න ප්‍රාන්තවල ආන්ඩු මීට ඇතුලත් වේ.

දැඩි සත්කාර ඒකකයේ (අයිසීයු) රෝගියෙක් [මූලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්]

වර්ල්ඩොමීටර (Worldometer) දත්ත සේවාවට අනුව, දින 7 චල මධ්‍යකය ජනවාරි අග වන විට දිනකට මරන 2,600 දක්වා ලඟා විය. 2022 පෙබරවාරි 1 වන දින, නිව් යෝර්ක් ටයිම්ස් කොවිඩ්-19 දත්ත විශේෂාංගය දෛනික සාමාන්‍ය මරන 2,653 ක් සහ එක් දිනක ඉහලම අගය වන 3,582 ක් වාර්තා කලේය.

එතැන් සිට, කොවිඩ්-19 වාර්තා එකතු කිරීම් දෛනික මරන සාමාන්‍යයේ වහා සහ සැලකිය යුතු අඩුවීමක් වාර්තා කරයි - ඒ වර්ල්ඩ්මීටර සඳහා 2,044ක් සහ නිව් යෝර්ක් ටයිම්ස් සඳහා 2,454ක් වශයෙනි. රජයේ සහ ජාත්‍යන්තර ආයතන විසින් නිතර භාවිතා කරන ප්‍රමුඛතම සහ විශ්වාසදායක ට්‍රැකර් වලින් එකක් වන ජෝන්ස් හොප්කින්ස් කොරෝනා වයිරස් සම්පත් මධ්‍යස්ථානය පමනක් පෙන්වා දී ඇත්තේ මරන සංඛ්‍යාව එක මට්ටමක හෝ වඩා අඩු වේගයකින් වුවද ඉහල යන බවයි. ඔවුන්ගේ දත්ත රැස් කිරීම්වලට අනුව, කොවිඩ්-19 මරන සඳහා දින 7ක සාමාන්‍යය 2,500 ඉක්මවයි.

ඇත්ත වශයෙන්ම, කොවිඩ්-19 නව ආසාදන සහ රෝහල්ගතවීම් අඩුවීම නිසා මරන වක්‍රයේ වෙනසක් ඇති වූයේ යැයි තර්ක කල හැකි නමුත් ඒවා තවමත් වසංගතයේ ඉහල මට්ටමක පවතී. කෙසේ වෙතත්, සමාන ආසාදන වක්‍ර ඇති අනෙකුත් රටවල් මරන සංඛ්‍යාව අඛන්ඩ ව ඉහල යන බව දැක ඇති අතර ඩෙන්මාර්කය සහ දකුනු අප්‍රිකාව කැපී පෙනෙන උදාහරන දෙකකි.

රෝහල් පරිපාලකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් කොවිඩ්-19 රෝහල්ගතවීම් සහ මරන පිලිබඳ ඔවුන්ගේ වාර්තාවල විකෘත කිරීම් හැරුනු විට, වාර්තාකරන පද්ධති අහෝසි කර දැමීමට ප්‍රාන්ත සහ රජයන් විසින් මෑතකාලීනව ගත් උත්සාහයන් වසංගතයේ දත්ත රැස් කිරීම සම්පූර්නයෙන්ම ඉවත් කිරීමේ සැලකිය යුතු උත්සාහයක කොටසකි. එම මැදිහත් වීම් පාසල් සහ ව්‍යාපාර විවෘත කිරීමට සහ විවෘතව තබා ගැනීමට බලකිරීමේ ප්‍රයත්නයන් වන අතර ම, රට නැවත ස්ථීර ලෙස එක රොත්තට වැඩ කිරීමට ගෙන ඒමට එය අරමුනු කරයි. තීරනාත්මක සහ අත්‍යවශ්‍ය ආසාදන සම්බන්ධ දත්ත රැස් කිරීම පාලක ප්‍රභූවට කරදරයක් බවට වර්ධනය වී ඇත.

මේ සම්බන්ධයෙන්, අඛන්ඩව ඉහල යන මරන සංඛ්‍යාව පිලිබඳව ප්‍රධාන මාධ්‍ය ආයතනවල සම්පූර්න නිශ්ශබ්දතාවය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එක්සත් ජනපදයේ ඉරිදා පත්‍රවල ලුහුඬු සමීක්‍ෂනයක කැපී පෙනෙන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය ජනගහනය මත දිගින් දිගටම ගෙන යන විනාශකාරී සංඛ්‍යාව ගැන කිසිවෙක් සඳහන් කර නොතිබීමයි. මෙම කඩිනම් ලිස්සා යාම තැති ගන්වන සුලු ය. වසංගතය අවසන් වී ඇති බව හෝ එය අප සැවොම පෙර දින රාත්‍රියේ දුටු බියකරු සිහිනයක් යැයි යමෙකු උපකල්පනය කරනු ඇත. යථාර්ථයේ දී, නපුරු සිහිනය නව ස්වරූපයෙන් දිගට ම පවතී.

වර්තමාන දෛනික කොවිඩ්-19 මරන සංඛ්‍යාවේ සන්දර්භය තුල 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මරන සම්බන්ධයෙන් මාධ්‍ය ගත් ආකල්පය සලකා බලමු. එ දින, පැහැරගත් ගුවන් යානා දෙකක් ලෝක වෙලඳ මධ්‍යස්ථාන කුලුනුවල ගැටී ඒවා විනාස කර දැමීමෙන් පසු එහි සිටි සහ ඒ අවට ප්‍රදේශයේ 2,700 කට වැඩි පිරිසක් මිය ගියහ. සෑම ප්‍රධාන ප්‍රවෘත්ති ආයතනයකම මරන ඔජ වඩවනු ලැබුනි. මැද පෙරදිග පුරා එක්සත් ජනපද යුද්ධ සහ දේශීය ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම සඳහා (මෙම මර්දන නීති වසංගතය තුල දී අදාල කර ගැනුනි) මෙම ප්‍රහාරයෙන් සිදු වූ මරන කඩතුරාවක් ලෙස යොදා ගන්නා ලදී.

පසුගිය සතියේ, 9/11 සිදුවීම් පහකට සමාන වන පිරිසක්, එනම් පුද්ගලයින් 14,000 කට වඩා වන පිරිසක් කොවිඩ්-19 වසංගතයෙන් මිය ගියහ. එහෙත් කිසිදු මාධ්‍ය විචාරකයකුගේ සඳහනක් නැති තරම්‍ ය. මක්නිසාද යත්, මෙම මරන පැටවිය හැක්කේ, ත්‍රස්තවාදී “සතුරෙකුට” නොව, එක්සත් ජනපද පාලක පන්තියටම සහ හිතාමතාම රට පුරා රෝගය පැතිරීමට ඉඩ දී ඇති ප්‍රතිපත්තිය ‌ගෙන යන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පක්ෂ දෙකටම වන නිසා ය.

2022 අලුත් අවුරුදු දිනයේ සිට, එක්සත් ජනපදයේ පුද්ගලයින් 90,000 කට වැඩි පිරිසක් කොවිඩ්-19 සහ එහි සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇත. මෙය වියට්නාම් ගැටුමේදී සටන් වලදී මියගිය ඇමරිකානු සටන්කාමීන් සංඛ්‍යාව මෙන් දෙගුනයකට සමාන වේ. වසර දොලහක් ආවරනය වූ යුද්ධයේ දී මෙන් නොව, වසංගත මරන සිදු වූයේ සති හයක් වැනි කෙටි කාලයක් තුල ය.

තවද, ජනාධිපති ජෝ බයිඩන් ධූරයේ දිවුරුම් දුන් දා සිට, ඇමරිකානුවන් මිලියන භාගයකට වඩා කොවිඩ්-19 නිසා මිය ගොස් ඇති අතර, වර්ල්ඩ්මීටරයට අනුව, මුලු කොරොනා වෛරස් මරන සංඛ්‍යාව 943,000 ඉක්මවා ඇත. ඇත්ත වශයෙන්ම, ඇමරිකානු ධනවාදයේ පක්ෂ දෙක රංචු ප්‍රතිශක්තිකරන ප්‍රතිපත්තිය අනුගමනය කල බැවින්, ට්‍රම්ප් යටතේ වඩා බයිඩන්ගේ පරිපාලනය යටතේ මිය ගොස් ඇත.

ඔමික්‍රොන් ප්‍රභේදය ගැන කිසිවකු අසන්නටත් පෙර සොච්චම් අවම කිරීමේ ක්‍රියාමාර්ගවල අවසාන කොටස් අවසන් කිරීමට සැලසුම් සකස් කර තිබීම විශේෂත්වයකි. නොවැලැක්විය හැකි ලෙස, ඔමික්‍රොන් වසංගතයේ අති විශාල නැගීමක් ඇති කිරීමෙන් පසු මාස කිහිපයක් සඳහා මේවා අත්හිටුවීමට සිදු විය.

පසුගිය සතියේ, නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ ලිවීය: “ව්‍යාපාර සඳහා නිව් යෝර්ක්හි වසංගත සීමාවන් ලිහිල් කිරීම පැමිනෙන්නේ, නිව් ජර්සි සිට කැලිෆෝනියා දක්වා ඩිමොක්‍රටික් ප්‍රධාන ප්‍රාන්ත ආන්ඩු මේ සතියේ සමාන පියවරයන් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක ය. නොවැම්බර් මැතිවරනයෙන් පසු සති කිහිපය තුල ආරම්භ වූ නිල නොවන සාකච්ඡා සහ දේශපාලන අවධානය යොමු කරන කන්ඩායම් සමග මාස ගනනක මහජන-සෞඛ්‍ය සැලසුම්කරනයේ ප්‍රතිපලය වී ඇත්තේ ලිහිල් සම්බන්ධීකරන ප්‍රයත්නයකි.

ඔමික්‍රොන් නැගීම සුලු වසයෙන් හෝ ප්‍රමාදය වීමට හේතුව වූ එම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වසා දැමීමට ගත් තීරණයේ මුලුමනින්ම අවිද්‍යාත්මක ස්වභාවය එම පමාව විසින් ම අවධාරනය කෙරෙයි. ෆෙඩරල් සහ ප්‍රාන්ත ආන්ඩු මෙහෙයවනු ලැබුවේ, දත්ත සහ විශ්ලේෂණ මගින් නොව, වසංගතය අතරතුර සංගත ඇමරිකාවට ගෙවන ලද ට්‍රිලියන ගනන ආපසු අයකර ගැනීමේ අවශ්‍යතාවය මගිනි.

රෝගීන් සංඛ්‍යාව අඩුවීමත් සමඟ (නමුත් තවමත් දැවැන්ත පරිමාන මට්ටම්වල), ආන්ඩුකාරවරු ධවල මන්දිරයට ඔවුන්ගේ උත්සුකයන් ගෙන ගිය අතර, සාර්ස්-‌කොව්-2 ස්ථානික බවට පත්වීමට යන මුවාවෙන් “වෛරසය සමඟ ජීවත් වීම” වෙත මාරු වන ලෙස ඉල්ලා සිටියහ.

ජාතික ආන්ඩුකාරවරුන්ගේ සංගමයේ උප සභාපති වන නිව් ජර්සි ආන්ඩුකාර ෆිල් මර්ෆි, බයිඩන් හමුවීමෙන් පසු වාර්තාකරුවන්ට අදහස් දක්වමින්, “ගෝලීයේ වසංගතයේ සිට ස්ථානික වීම දක්වා මාර්ගය පෙනෙන්නේ කෙසේද සහ අපි ලකුනු තබා ගන්නේ කෙසේද? එය අප ඉදිරියේ ඇති කාර්යය බවට පුලුල් එකඟතාවයක් ඇත.” යනුවෙන් පැවසී ය.

වෙනත් වචන වලින් කිවහොත්, වසංගතය අවසන් වීම යන්නෙන් අදහස් කරන්නේ මාරාන්තික වෛරසයක් වාර්තාගත ඉහළම මට්ටමින් මිනිසුන් මරා දමන බවත්, සමුච්චිත මරණ සංඛ්‍යාව සෑම දිනකම මිලියනයකට ආසන්න වන බවත් ජනගහනයට මතක් කර දෙන සියලුම මිනුම් සහ ක්‍රියාමාර්ග අවසන් කිරීමයි.

ඇත්ත වශයෙන්ම, ගෝලීය වසංගතයේ සිට ස්ථානික වීම දක්වා මාර්ගය කෙබඳුද?

මධ්‍යම රජයට උපදෙස් දෙන එක්සත් රාජධානියේ රජයේ ආයතනයක් වන හදිසි අවස්ථා සඳහා විද්‍යාත්මක උපදේශක කන්ඩායම (එස්එජිඊ), කොවිඩ්-19 වෛරස් පරිනාම අවස්ථා පිලිබඳ විද්වතුන් විසින් මෑතකදී කරන ලද පත්‍රිකාවක් පෙබරවාරි 10 වන දින ප්‍රකාශයට පත් කලේ ය.

ඔවුන් වඩාත් ශුභවාදී සිට නරකම අවස්ථාවන් හතරක් සපයයි. ඔවුන් මෙසේ ලිවීය: “සෑම අවස්ථාවකදීම, කාලයත් සමඟ (වසර දෙකේ සිට 10 දක්වා) සාපේක්ෂව ස්ථාවර, පුනරාවර්තන රටාවකට ලඟා වන බව උපකල්පනය කෙරේ, නමුත් මේ අවස්ථාවට සංක්‍රමනය ඉතා ගතික සහ අනපේක්ෂිත වනු ඇත. ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුල සිදුවන්නේ කුමන දිගුකාලීන රටාවක් ද යන්න විශ්වාසයෙන් දැන ගැනීමට නොහැකි වනු ඇත.

ඔවුන් විශේෂයෙන් සටහන් කරන්නේ: “ගෝලීය වසංගත ගතිකතාවයන් (එනම් සම්ප්‍රේෂනය සහ සිදුවීම්) සහ වෛරස් පරිනාමය සහ අනුවර්තනය අතර ප්‍රතිපෝෂන ලූපයක් ද ඇත: ඉහල ගෝලීය සාර්ස්-‌කොව්-2 ව්‍යාප්තිය වෛරස් පරිනාමය සඳහා වැඩි අවස්ථාවන් ලබා දෙන අතර නව ප්‍රභේද ඉහල මට්ටමකට ගෙන යා හැකිය.' තවද ඔවුන් අනතුරු අඟවන්නේ වඩා සම්ප්‍රේෂනය කල හැකි ප්‍රභේදයක් අවශ්‍යයෙන්ම අඩු තීව්‍රතාවයකින් හෝ අනෙක් අතට යැයි උපකල්පනය නොකල යුතු බවයි. ඊට පටහැනිව, නරකම අවස්ථාවෙහිදී, වඩාත් මාරාන්තික සහ වඩාත් බෝවන ප්‍රභේදයක් මතු විය හැකිය.

බටහිර ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයෙකු සහ ජීව විද්‍යාඥයෙකු සහ කොවිඩ්-19 පිලිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය සෝ හයිඩ්, වාර්තාවට ප්‍රතිචාර වශයෙන් සමාජ මාධ්‍යවල මෙසේ ලීවාය: “හොඳම අවස්ථාව යථාර්ථවාදී නොවන බව පෙනේ [වෛරසය අඩු උග්‍රතා සහ අඩු සම්ප්‍රේෂනය යන ලක්ෂන දෙකෙන් ම යුත් ප්‍රභේදයක්]. එය මෙතෙක් සිදු වූ දෙයට නොගැලපේ. … මේ දක්වා සාර්ස්-‌කොව්-2 සමඟ අපගේ අත්දැකීම් මත පදනම්ව, කේන්ද්‍රිය අශුභවාදී දර්ශනයක් මට බොහෝ දුරට පෙනේ. කෙසේ වෙතත්, මම හිතන්නේ නරකම අවස්ථාවෙහි එක් අංගයක් - ආසාදනයෙන් පසු දිගුකාලීන බලපෑම් වැඩි වීම - නිවැරදි විය හැකිය.”

20 වන සහ 21 වන සියවස්වල යුද්ධ මෙන්ම, නූතන වසංගත ද පුරෝකථනය කල හැකි, වලක්වා ගත හැකි සහ නැවැත්විය හැකි බවින් යුතු ය. දෙකම පුපුරා යන්නේ ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ ගැඹුරින් මුල් බැසගත් ප්‍රතිවිරෝධතාවල අතුරු ඵලයක් ලෙස ය. අවස්ථා දෙකේදීම මරනයේ පරිමානය දැවැන්ත සමාජ අර්බුදයකට මග පාදයි. ඒවා කම්කරු පන්තියට ඉදිරි මාවතක් සඳහා සමාජවාදී විප්ලවයේ අවශ්‍යතාවය පෙරට ගෙන එයි.

Loading