ඉදිරිදර්ශන

2021 නොවැම්බර් එක්සත් ජනපද-යුක්‍රේන මූලෝපායික හවුල්කාරිත්වය සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමනය

[මෙය The US-Ukrainian Strategic Partnership of November 2021 and the Russian invasion of Ukraine
යන මැයෙන් 2022 මාර්තු 14 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

රුසියාවේ යුක්‍රේන ආක්‍රමනය න්‍යෂ්ටික යුද්ධයේ අවතාරය මතු කර ඇති අතර එය වඩාත් ප්‍රචන්ඩ සහ ලේවැකි ස්වභාවයක් අත්පත් කර ගනිමින් සිටී. යමෙක් එක්සත් ජනපද/නේටෝ ප්‍රචාරක මාධ්‍ය ආයතනවල සැක සහිත සහ ගොතන ලද චෝදනා ගනන් නොගෙන සිටියද—රුසියානු හමුදා දකුනු වරාය නගරයක් වන මරියුපොල් හි මාතෘ රෝහලක් ඉලක්ක කරගත් වාර්තාව වැනි—යුද්ධය විසින් මුදා හරින ලද ප්‍රචන්ඩත්වය නොවැලැක්විය හැකි ලෙසම ඛේදජනක සිදුවීම් වලට පමනක් නොව, පූර්න පරිමානයේ මානුෂීය ව්‍යසනයක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරයි.

ලමයින් ඇතුලු සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය යති. මිලියන ගනනකට පලා යාමට බල කෙරී ඇති අතර රුසියානු සොල්දාදුවන් අතර මියගිය සංඛ්‍යාව දහස් ගනනක් ලෙස ගනන් බලා ඇත. එය, 1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු රාජ්‍ය වත්කම් සොරකම් කිරීමෙන් ලබාගත් ධනය මත පදනම් වූ දූෂිත ධනේශ්වර කතිපයාධිකාරියක අවශ්‍යතා වෙනුවෙන් පාලනය කරන පාලන තන්ත‍්‍රයක් විසින් දියත් කරන යුද්ධයකි. 1922 දී ලෙනින් සහ බොල්ෂෙවික් ආන්ඩුව සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පුටින් විසින් හෙලා දැකීමෙන් ඔහුගේ ආක්‍රමනය යුක්ති සහගත කර තිබීම, ඔහුගේ පාලන තන්ත්‍රයේ සහ යුද්ධයේම ඓතිහාසික වශයෙන් පසුගාමී හා ප්‍රතිගාමී ස්වභාවයට සාක්ෂි දරයි.

2022 මාර්තු 8 වන අඟහරුවාදා, වොෂින්ටනයේ ධවල මන්දිරයේ රූස්වෙල්ට් කාමරයේදී, යුක්‍රේනය ආක්‍රමනය කිරීම සඳහා පලිගැනීමක් වශයෙන්, රුසියානු ආර්ථිකයට එල්ල වූ හානිය දැඩි කරමින්, රුසියානු තෙල් ආනයනය තහනම් කරන බව ජනාධිපති ජෝ බයිඩෙන් නිවේදනය කරයි. (ඒපී ඡායාරූප/ඇන්ඩෘ හාර්නික්)

සිවිල් ජනතාවට එහි විනාශකාරී බලපෑම සමග යුක්‍රේනයට එල්ල කරන ලද ප්‍රහාරය හෙලා දැකිය යුතුය. රුසියාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන බවට පුටින් පාලන තන්ත්‍රයේ ප්‍රකාශ—ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රතිගාමී ප්‍රකාශයන්ට ඉහලින් ජාත්‍යන්තර පන්ති සහයෝගීතාවය තබන— සමාජවාදී මූලධර්ම සමඟ නොගැලපෙන අතර ඒවා කරුනු මගින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. රුසියාව දැන් වෙන කවරදාටත් වඩා හුදකලා වී ඇති අතර යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක රුසියානු වැඩ කරන ජනතාව දරිද්‍රතාවයේ හෙලීමට තර්ජනය කරයි.

එහෙත් මෙම සමාජවාදී හෙලා දැකීමට, හිතාමතාම යුද්ධය උසිගැන්වීමේ දී එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයින් විසින් ඉටු කරන ලද කේන්ද්‍රීය භූමිකාව ආවරනය කරන අධිරාජ්‍යවාදී රටවල යෝධ ප්‍රචාරක යන්ත්‍රයෙන් පැන නගින වංචනික හා කුහක හෙලාදැකීම් සමග පොදු කිසිවක් නැත. ආක්‍රමනය ප්‍රකෝප නොකල ක්‍රියාවක් ලෙස ඉදිරිපත් කරන මාධ්‍යවල ආඛ්‍යානය, නේටෝ බලවතුන්ගේ, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ සහ යුක්‍රේන ආන්ඩුව තුල සිටින එහි රූකඩයන්ගේ ආක්‍රමනශීලී ක්‍රියා වසන් කරන ප්‍රබන්ධයකි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහසික ප්‍රකෝප කිරීම් සහ යුක්‍රේන-රුසියානු යුද්ධය තේරුම් ගත හැක්කේ 1991 දී සෝවියට් නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමේ පසුබිම තුල පමනි. ධනවාදය යටතේ 'සාමයේ සහ සමෘද්ධියේ' කාල පරිච්ඡේදයක් විවෘත කිරීම වෙනුවට, ස්ටැලින්වාදයේ බිඳ වැටීම ලෝක අධිරාජ්‍යවාදයේ අර්බුදයේ නව අදියරක් සනිටුහන් කලේය. 1934 දී ලියොන් ට්‍රොට්ස්කි පුරෝකථනය කල 'එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගිනිකඳු පිපිරීම' ඉන් පසුව සිදු විය.

යුරෝපයේ සහ ආසියාවේ දී, රුසියාව වටකර යටත් කර ගැනීම ඉලක්ක කරගත් උපාය මාර්ගයක් එක්සත් ජනපදය විසින් අනුගමනය කරන ලදී. නේටෝව යුක්‍රේනය සහ බෙලරුසියාව හැර නැගෙනහිර යුරෝපයේ සියලුම ප්‍රධාන රටවල් ඇතුලත් කරගැනීම දක්වා ව්‍යාප්ත වී ඇත්තේ, සෝවියට් නිලධරය සහ රුසියානු කතිපයාධිකාරය විශ්වාස කිරීමට තරම් මුලා වූ කලින් දුන් පොරොන්දු සෘජුවම කඩ කරමිනි.

2014 දී, යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්වයට විරුද්ධ වූ රුසියානු ගැති ආන්ඩුවක් පෙරලා දැමීමට, අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රනයක් කියෙව්හි එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලදී. 2018 දී එක්සත් ජනපදය රුසියාව සහ චීනය සමඟ 'මහා බල ගැටුමක්' සඳහා සූදානම් වීමේ උපාය මාර්ගයක් නිල වශයෙන් නිවේදනය කලේය. 2019 දී, එය, අතරමැදි පරාස න්‍යෂ්ටික මිසයිල යෙදවීම තහනම් කරන ලද අයිඑන්එෆ් ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත් විය. 2019 දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ පලමු උත්සාහයේ කේන්ද්‍රය වූයේ රුසියාව සමඟ යුද්ධයට සූදානම් වීම සහ යුක්‍රේනය සන්නද්ධ කිරීමයි.

2021 ජනවාරි 6 ෆැසිස්ට් කුමන්ත්‍රන උත්සාහයෙන් ඉක්බිත්තෙන්, පසුගිය වසර පුරා, බයිඩන් පරිපාලනය රුසියාවට එරෙහි ප්‍රකෝප කිරීම් නොසැලකිලිමත් ලෙස උත්සන්න කලේය.

මෙය අවබෝධ කර ගැනීම සඳහා යතුර වන්නේ 2021 නොවැම්බර් 10 වන දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ යුක්‍රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා විසින් අත්සන් කරන ලද උපායමාර්ගික හවුල්කාරිත්වය පිලිබඳ එක්සත් ජනපද-යුක්‍රේන ප්‍රඥප්තියයි.

රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ සුපුරුදු සුපරීක්ෂාකාරී භාෂාවෙන් බැහැර වෙමින්, ප්‍රඥප්තියේ භාෂාව ප්‍රහාරාත්මක මිලිටරි සන්ධානයක භාෂාව විය. “ආක්‍රමනකාරීත්වය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම්” සහ “එහි අඛන්ඩව පවතින දුෂ්ට හැසිරීම” සඳහා “රුසියාව වගකිවයුතු” බවට එය ප්‍රතිඥා දුන්නේය.

ප්‍රඥප්තිය 2021 මාර්තු සිට කියෙව්හි මිලිටරි මූලෝපාය අනුමත කරන ලද අතර, එය ක්‍රිමියාව සහ බෙදුම්වාදී පාලනය යටතේ පවතින ඩොන්බාස් 'නැවත අත්පත් කර ගැනීමේ' මිලිටරි ඉලක්කය පැහැදිලිව ප්‍රකාශ කරමින්, නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම සමථයකට පත් කිරීමේ නිල රාමුව වූ 2015 මින්ස්ක් ගිවිසුම් ඉවත දැමීය.

'රුසියාව විසින් ක්‍රිමියාව ඈඳාගැනීමේ උත්සාහය කිසිවිටෙක පිලිනොගන්නා' බවත්, 'සම්බාධක' සහ 'අනෙකුත් අදාල ක්‍රියාමාර්ග ඇතුලුව යුක්‍රේනයේ පූර්න භෞමික අඛන්ඩතාව ප්‍රතිෂ්ඨාපනය කරන තෙක් සන්නද්ධ ආක්‍රමනවලට එරෙහිව යුක්‍රේනය දරන ප්‍රයත්නයට සහාය දැක්වීමට අදහස් කරන' බවත් එක්සත් ජනපදය ප්‍රකාශ කලේය.

'අන්තර්ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා නේටෝව වැඩිදියුනු කල අවස්ථාවන්ගේ හවුල්කරුවෙකු ලෙස, එහි තත්ත්වය උපරිම කිරීමට යුක්‍රේනයේ දරන උත්සාහයන්', එනම් නේටෝවේ මිලිටරි අනදෙන ව්‍යුහයන් වෙත එය ඒකාබද්ධ වීම ද වොෂින්ටනය පැහැදිලිවම අනුමත කලේය.

යුක්‍රේනය නේටෝවේ සාමාජිකයෙකු නොවීම, සියලු අභිප්‍රායන් සහ අරමුනු සඳහා ප්‍රබන්ධයකි. ඒ සමගම, නේටෝ බලවතුන් යුක්‍රේනය නිල වශයෙන් සාමාජිකයෙකු නොවීම, ක්ෂනිකව ලෝක යුද්ධයක් දක්වා වර්ධනය නොවන රුසියාව සමග ගැටුමක් අවුලුවාලීමේ අවස්ථාවක් ලෙස ගසා කෑහ.

යුක්රේනයේ ෆැසිස්ට් බලවේග, රුසියානු මිලිටරියට සහ ජනගහනය තුල විරුද්ධත්වයට එරෙහිව ක්ෂනික ප්‍රහාරක හමුදාවල ප්‍රධාන භූමිකාව ඉටු කරන බව එක්සත් ජනපදය මුලුමනින්ම දැන සිටියේය.

ලේඛනයේ ඡේදයක් මෙසේ කියයි: 'යුක්‍රේනයේ 1932-1933 හොලෝඩෝමෝර් (හොලෝඩෝමෝර්, ත්‍රස්ත-සාගතය හෝ මහා සාගතය ලෙසද හැඳින්වේ, එය 1932 සිට 1933 දක්වා සෝවියට් යුක්‍රේනයේ පැවති සාගතයක් වූ අතර එය මිලියන ගනනක් යුක්‍රේනියානුවන් මරා දැමීය. යුක්රේනයේ ෆැසිස්ට්වාදී දක්ෂිනාංශික ජාතිකවාදියෝ මෙය සෝවියට් සංගමය යුක්රේනයට එරෙහි ව සැලසුම් සහගත ව සිදු කල අපරාධයක් ලෙස මුසාකරනය කොට ඉදිරිපත් කරති. පරි.) සහ අතීතයේ දී යුක්‍රේනය තුල සහ ඊට එරෙහිව සිදු කරන ලද අනෙකුත් ම්ලේච්ඡත්වයන් පිලිබඳ මහජන දැනුවත්භාවය වැඩි කිරීම ඇතුලුව, ස්මෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදය සහ යුක්‍රේනය අදහස් කරයි.'

එහෙත් යුක්‍රේන යුදෙව්වන් මිලියන 1.5 කගේ ජීවිත බිලිගත් යුදෙව් සමූලඝාතනය (Holocaust) සහ දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ආක්‍රමනිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුක්‍රේන ෆැසිස්ට්වාදීන්ගේ අපරාධ ගැන සඳහනක් නොමැත. යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානය (ඕයූඑන්-බී) සහ යුක්‍රේන කැරලිකාර හමුදාව (යූපීඒ) දස දහස් ගනනක් යුදෙව්වන් සහ පෝලන්ත ජාතිකයින් මෙන්ම ෆැසිස්ට්වාදයේ යුක්‍රේන විරුද්ධවාදීන් ද යුද්ධය අතරතුර සහ එහි ක්ෂනික ප්‍රතිඵලය ලෙස සමූලඝාතනය කරන ලදී.

ෆැසිස්ට් ස්වෝබෝඩා පක්ෂයේ සිට නව-නාසි අසෝව් බලඇනිය දක්වා ඔවුන්ගේ නූතන පරම්පරාව දැන් යුක්‍රේන රාජ්‍යයට හා මිලිටරියට ගැඹුරින් ඒකාග්‍ර වී ඇති අතර ඔවුහු නේටෝ ආයුධවලින් දැඩි ලෙස සන්නද්ධ වෙමින් සිටිති.

රුසියාව සමග යුද්ධය සඳහා රට ඝාතන පිටියක් සහ දියත් කිරීමේ වේදිකාවක් බවට පත් කිරීමට දුන් පොරොන්දුව වෙනුවට යුක්‍රේන කතිපයාධිකාරයට වොෂින්ටනයෙන් ලැබුනු පොරොන්දු මොනවාදැයි හෙලිදරව් කිරීම ඉතිහාසඥයින් අයිති කාර්යයකි. නමුත් එක් දෙයක් පැහැදිලිය: ක්‍රෙම්ලින් සහ රුසියානු ජෙනරාල්වරුන්ගේ කාර්ය මන්ඩලයට මෙම ලේඛනය ඉදිරි යුද්ධයක් පිලිබඳ නිවේදනය ලෙස මිස අන් අයුරකින් අර්ථ නිරූපනය කර ගැනීමට නොහැකි විය.

2021 පුරාවටම සහ ආක්‍රමනයට ආසන්න සති කිහිපය තුල රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්‍රේනය නේටෝවට ඒකාග්‍ර වීම සහ බටහිර බලවතුන් විසින් එය සන්නද්ධ කිරීම රුසියාවේ ඉවසීමේ සීමාව ඉක්මවා යන මොහොත බවට නැවත නැවතත් අනතුරු ඇඟවූ අතර එක්සත් ජනපදයෙන් සහ නේටෝවෙන් 'ආරක්ෂක සහතික' ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය මෙම සියලු ප්‍රකාශයන් අවඥා සහගත ලෙස බැහැර කල අතර, නේටෝව රුසියාවේ දේශසීමාවේ එකකට පසු තවෙකක් ලෙස ප්‍රධාන මිලිටරි අභ්‍යාසයන් පැවැත්වීය—මැයි මාසයේදී දැවැන්ත ඩිෆෙන්ඩර් 2021 අභ්‍යාස සහ ජුනි සහ ජූලි මාසවල කලු මුහුදේ, සී බ්‍රීස් මෙහෙයුම ඇතුලුව. අවසාන වශයෙන්, යුද්ධයට පෙර සතිවලදී, එලඹෙන රුසියානු ආක්‍රමනයක් ගැන නිරන්තරයෙන් අනතුරු ඇඟ වූ අතරතුර, බයිඩන් පරිපාලනය එය වලක්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයක් නොගත්තේය. ඒ වෙනුවට එය කුපිත කිරීමට හැකි සෑම දෙයක්ම කලේය.

බිත්තියට හේත්තු කරනු ලැබූ පුටින් තන්ත‍්‍රය, යුක්‍රේනය ආක‍්‍රමනය කොට, 1991 සිට රුසියාව වටලෑම කෙසේ හෝ ආපසු හරවා අධිරාජ්‍යවාදය සමග ගනුදෙනුවකට එලැඹිය හැකි බවට ගනන් බැලී ය. සාර්වාදයේ සිට 1917 ඔක්තෝබර් සමාජවාදී විප්ලවයට එරෙහි ස්ටැලින්වාදී ප්‍රතිගාමිත්වය දක්වා—රුසියානු ඉතිහාසයේ ප්‍රතිගාමී සෑම දෙයකම උරුමක්කාරයා වන ඓතිහාසික වශයෙන් බංකොලොත් පන්තියක් අධිරාජ්‍යවාදයට දක්වන ප්‍රතිචාරය එයයි.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයේ/නේටෝවේ දුෂ්ට ප්‍රකෝපකරනයන්, පූර්න පරිමානයේ න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි දේශපාලනික වශයෙන් බියකරු තත්වයක් නිර්මානය කර ඇත. යම් ආකාරයක සටන් විරාමයක් මගින් අන්ඩ දැමුවත්, එය තවත් ප්‍රචන්ඩකාරී පිපිරීමක අන්තරයක් දක්වා විරාමයකට වඩා වැඩි දෙයක් නොවන බව ඔප්පු වනු ඇත.

ව්‍යසනය කරා යන ගමන නැවැත්විය හැක්කේ එක් බලවේගයකට පමනි: ලෝකය සතුරු කඳවුරුවලට බෙදන, ඓතිහාසික වශයෙන් යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතියටත්, මනුෂ්‍යත්වය විනාශය කරා ගෙන යමින් ලාභය සඳහා නිර්දය ධාවනයේ යෙදෙන ධනේශ්වර ක්‍රමයටත් අධිරාජ්‍යවාදී මිලිටරිවාදයටත් එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් අරගලය යි.

මෙම ඉදිරිදර්ශනයේ පලමු ඡේදය, මරියුපොල් හි විනාශ කරන ලද ගොඩනැගිල්ල, ඇත්ත වශයෙන්ම, මාතෘ රෝහලක් බවට යුක්‍රේන රජය විසින් කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් සැලකිය යුතු සැකයක් ඇති කරන නව තොරතුරු ඇතුලත් කිරීමට සංශෝධනය කරන ලදී.

Loading