ජනාධිපතිවරයා ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ ඇමතිවරුන් දෙදෙනෙකු නෙරපයි

[මෙය Sri Lankan president sacks two ministers amid deepening crisis මැයෙන් 2022 මාර්තු 11 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

2020 අගෝස්තු 20 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී තම ප්‍රතිපත්ති කතාව ඉදිරිපත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිලිවෙලින් කර්මාන්ත හා බලශක්ති ඇමතිවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන දෙදෙනා ඇමති මන්ඩලයෙන් මාර්තු 3දා නෙරපා දැමුවේ ය.

ඔවුන්ව නෙරපා දැමීමට ආසන්නත ම හේතුව වූයේ, ජනාධිපතිගේ බාල සහෝදරයා වන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ රටෙහි ආර්ථික අර්බුදයට වගකිව යුතු යයි ප්‍රසිද්ධ රැස්වීමක දී ඔවුන් විවේචනය කිරීම යි.

ජනාධිපති රාජපක්ෂ බලයට ගෙන ඒමට ආධාර වූ මූලික සගයන් දෙදෙනෙකු ඉවත් කිරීම, ආන්ඩුවේ හා දේශපාලන සංස්ථාපිතයේ ගැඹුරු දේශපාලන අර්බුදය අවධාරනය කරයි. ආර්ථික අර්බුදය ද සියල්ලට ඉහලින් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව වැඩෙන කම්කරු පන්තියේ අරගල ද පාලක පන්තියට පහර දෙමින් සිටී.

කුඩා සිංහල වර්ගවාදී පක්ෂ දෙකක් වන ජාතික නිදහස් පෙරමුනට (ජානිපෙ) හා පිවිතුරු හෙල උරුමයට (පිහෙඋ) වීරවංශ හා ගම්මන්පිල පිලිවෙලින් නායකත්වය දෙන අතර, එම පක්ෂ දෙක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) විසින් නායකත්වය දෙනු ලබන පාලක සභාගයේ හවුල්කරුවෝ ය.

පාර්ලිමේන්තුව තුල ජානිපෙට ආසන හයක් ද පිහෙඋට එක් ආසනයක් ද ඇත. ශ්‍රීලපොපෙට සහයෝගය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුන (ප්‍රවාපෙ) ඇතුලු අනෙකුත් කුඩා සංවිධාන සමගින් ඔවුහු කල්ලි ගැසී සිටිති.

තමන් සභාගය තුල කොන් වී ඇතැයි මෙම පක්ෂ මැසිවිලි නගන අතර ම, ආන්ඩුවේ සියලු සාමාජිකයන් මෙන් ම, කම්කරු පන්තියේ හා ගම්බද ජනයාගේ වැඩෙන විරෝධය කෙරෙහි සංවේදී හා බිය වෙති.

රටෙහි ආර්ථික අර්බුදයට විසඳුමක් යයි කියාපානු ලබන “මුලු රට ම හරි මගට” නමැති තම විකල්ප ආර්ථික වැඩපිලිවෙල දියත් කිරීම සඳහා මාර්තු 2 වැනි දා කන්ඩායම් 11ක් රැස්වීමක් පැවැත්වූ හ.

නය දෙන ජාතීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව විදේශ නය ප්‍රතිව්‍යුහකරනය කිරීම සඳහා කැඳවුම් කරන මෙම වැඩපිලිවෙල, ලංකාව තුල දශක හතරක් තිස්සේ අනුගමනය කර ඇති විවෘත ආර්ථික පිලිවෙත් විවේචනය කරමින්, ආනයන කපා හැරීම සහ දේශීය කෘෂිකර්මාන්තය හා කර්මාන්ත වර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටියි. වෙනත් වචනවලින් කියතොත්, එය වනාහි අර්බුදයේ බර වැඩ කරන ජනයා මත පටවන අත්‍යන්තයෙන් ම ජාතිකවාදී කප්පාදු වැඩපිලිවෙලකි.

රැස්වීම ඇමතූ වීරවංශ, අර්බුදය වනාහි ආර්ථික විනාශය වැලැක්වීමට කිසිදු පියවරයක් ගැනීමට අසමත් වූ බැසිල් රාජපක්ෂ හිතාමතා නිර්මානය කල දෙයක් බවට ප්‍රකාශ කලේ ය. එක්සත් ජනපදය ඇතුලු බටහිර රටවල පාලනය යටතට රට ගෙන ඒම ඉලක්ක කරගත් ආර්ථික පිලිවෙත් මුදල් ඇමතිවරයා විසින් පටවා ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය. ගම්මන්පිල මෙම කියාපෑම් ප්‍රතිරාවය කලේ ය.

තමන්ව ඇමති මන්ඩලයෙන් නෙරපීමෙන් අනතුරු ව, මුදල් ඇමතිවරයා යනු වොෂින්ටනයට සේවය කරන “අවලස්සනා ඇමරිකානුවෙක්” ලෙස විස්තර කරමින්, වීරවංශ හා ගම්මන්පිල සිය හෙලා දැකීම් තීව්‍ර කලහ. “අවලස්සන ඇමරිකානුවා” යන්න මුදල් ඇමතිගේ එක්සත් ජනපද පුරවැසිභාවය උඩ ඔවුන් පටබඳිනු ලැබූ නමකි.

එය සනාථ කිරීම පිනිස, හිටපු ඇමතිවරු දෙදෙනා, රජයට අයත් කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රෙස් බලශක්ති සංගතයට (එන්එෆ්ඊ) විකුනා දැමීමට එලඹුනු ගනුදෙනුව හුවා දැක්වූ හ. ඉන්දියන් සාගරය තුල ලෝක බලයන් අතර පවතින භූ-දේශපාලනික අරගලවල දී ලංකාව වොෂින්ටනයේ අත්ගෙඩියක් බවට පරිවර්තනය කිරීමට ඔහු උත්සාහ දරන බවටත් ඔවුහු චෝදනා කල හ.

නිව් ෆෝට්රස් සමාගම සමග ආන්ඩුව එලඹුනු ගිවිසුමට විරුද්ධ ව වීරවංශ, ගම්මන්පිල හා ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු පවරා තිබුනි. ගිවිසුම ලංකාවට වාසිදායක යයි කියාපෑ උසාවිය එම නඩු අහක දැමුවේ ය.

ඔවුන්ගේ ජාතිකවාදී හෙලාදැකීම් සහ එක්සත් ජනපද-විරෝධී පූච්චානම් නො තකා, ජානිපෙ, පිහෙඋ හා ඔවුන්ගේ සන්ධානයේ අනෙකුත් පක්ෂ, පසුගිය වසර දෙක තිස්සේ ආන්ඩුව ක්‍රියාවට දැමූ අනුකම්පා විරහිත පිලිවෙත්වලට පිටුබලය දී ඇත. ආන්ඩුවේ සාපරාධී රංචු ප්‍රතිශක්ති පිලිවෙත්, එය කම්කරුවන්ව අනාරක්ෂිත කොන්දේසි යටතේ ආපසු වැඩට දැක්කීම, පරිපාලනය මිලිටරීකරනය කිරීම සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් ආදියට සහයෝගය දුන් ඔවුහු, ආන්ඩුවේ කප්පාදු ප්‍රහාරවලට මනාපය පල කල හ.

මුදල් ඇමති රාජපක්ෂ යක්ෂාරෝපනය කිරීම සහ ආර්ථික අර්බුදය පිලිබඳ ව ඔහුට දොස් නැගීම, ධනවාදයේ අර්බුදය සහ ආන්ඩුව මංමුලා සහගත ලෙස ලාභ පද්ධතිය ආරක්ෂා කිරීම වහංගු කිරීමට දරන උත්සාහයකි. කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටසක් එක්සත් ජනපද සංගතයකට විකිනීම නැවැත්වීම, එහි ශ්‍රම බලකායේ වැටුප් හා කොන්දේසි මත එල්ල කරන ප්‍රහාර නො නවත්වනු ඇත.

තම ආන්ඩුව සියලු වැඩකරන ජනයා මතට වඩ වඩා රුදුරු ප්‍රහාර දියත් කිරීමට සූදානම් වෙද්දී, පාලක සභාගය තුල ඕනෑ ම නො එකඟතාවක් හා විවේචනයක් මකා දැමීමට ජනාධිපති රාජපක්ෂ අධිෂ්ටානවත් ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත ආන්ඩුව විසින් කෘෂි රසායන හා පොහොර ආනයනය තහනම් කිරීම විවේචනය කිරීම හේතුවෙන් ජනවාරි මස මුල දී නෙරපනු ලැබිනි. ප්‍රේමජයන්තගේ මෘදු විවේචනය ආනයන තහනමට ගම්බද ප්‍රදේශවල පවතින මහජන විරෝධයට දැක්වූ ප්‍රතිචාරයක් විය.

අපනයන, සංචාරක කර්මාන්තය හා විදේශගත කම්කරුවන්ගේ ප්‍රේෂන නාටකාකාර ලෙස ඛාදනය වීමට තුඩු දෙමින්, ගෝලීය වසංගතය ලංකාවේ විදෙස් ඉපැයීම් විනාශ කර ඇත. විදෙස් සංචිත වියැලී ගොස් ආන්ඩුව නය පැහැර හැරීමක් අද්දරට තල්ලු කර දමා ඇත්තේ, අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන හා ඖෂධ ආනයනයන්ට ගෙවීමට අවශ්‍ය විදෙස් මුදල් සුලු ප්‍රමානයක් ශේෂ කරමිනි. මෙහි ප්‍රතිඵලය වන්නේ විදුලි කප්පාදුව, ප්‍රවාහන බිඳවැටීම් සහ මිලියන ගනන් වැඩකරන ජනයාට යෝධ දුෂ්කරතා නිර්මානය කිරීම යි.

රුසියානු ආක්‍රමනය, යුක්‍රේනයේ තීව්‍ර වන යුද්ධය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපදය නායකත්වය දෙන නැටෝ යුද ධාවනය, දිවයිනෙහි මූල්‍ය අර්බුදය ගැඹුරු කරනු ඇතැයි පාලක පන්තිය බිය වෙයි.

“අර්බුදය විසඳීම සඳහා” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) අරමුදල් ලබාගැනීම පිනිස, ජාත්‍යන්තර හා දේශීය පීඩනයන් ආන්ඩුවට බලකරමින් සිටියි.

මුදල් අච්ඩු ගැසීම නැවැත්වීම, පොලී අනුපාත හා බදු ඉහල දැමීම, රුපියල අවප්‍රමානය කිරීම හා ආර්ථික ප්‍රතිව්‍යුහකරනය වේගවත් කිරීම ආදියට විධානය කරමින්, පසුගිය සතියේ දී ජාමූඅ ලංකාව පිලිබඳ වාර්තාවක් නිකුත් කලේ ය.

අඟහරුවාදා (මාර්තු 8) මහ ව්‍යාපාරික කව නවයක් මාධ්‍ය හමුවක් පවත්වමින් ජාමූඅ අරමුදල් සොයා බලන ලෙස ආන්ඩුවට විධානය කලේ ය. ඩේලිඑෆ්ටී නමැති කොලඹ ව්‍යාපාරික පුවත්පත, “හෙට දින විනාශය වැලැක්වීම සඳහා අද දින අවදානම් සහගත කැප කිරීම් කරනු” යනුවෙන් ව්‍යාපාරික කවයන් ආන්ඩුවට කල කැඳවුම සම්පින්ඩනය කලේ ය.

ආන්ඩුව තවමත් ජාමූඅ සහයෝගය ලබාගැනීමට තීරනය කර නැතත්, අප්‍රේල් මාසයේ දී වොෂින්ටනයේ පැවැත්වෙන ජාමූඅ වාර්ෂික රැස්වීමට සහභාගි වීමට නියමිත මුදල් ඇමති රාජපක්ෂ සාකච්ඡාවල නිරත වනු ඇත.

ජාමූඅ අරමුදල් ඉල්ලා සිටීමට ආන්ඩුවට බලකෙරෙනු ඇති අතර, එය සිදුවනු ඇත්තේ ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ගේ කොන්දේසි යටතේ ය. ඉන් සමහරක් දැනට මත් ක්‍රියාවට දැමෙමින් පවතී. ආන්ඩුව බදාදා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව සියයට 15කින් තියුනු ලෙස අවප්‍රමානය කලේ ය. නිල නො වන අවප්‍රමානය සියයට 30ක් පමන වේ.

රාජපක්ෂ පාලනයේ සැබෑ භීතිය වන්නේ, රට පුරා නැගෙමින් පවතින කම්කරු පන්තික අරගල රැල්ල යි. ඉන් කිහිපයක් පමනක් සඳහන් කරන්නේ නම්, පසුගිය වසරේ දී ලංකාව තුල ලක්ෂ ගනන් ගුරුවරු, සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන සේවකයන් මෙන් ම වතු කම්කරුවන් සහභාගි වූ වැඩ වර්ජන හා විරෝධතා මාලාවක් ම දැකගත හැකි විය.

පෙබරවාරියේ හා නැවත වරක් පසුගිය සතියේ 50,000ට අධික සෞඛ්‍ය කම්කරුවන් ඉහල වැටුප් හා යහපත් කොන්දේසි ඉල්ලා වැඩ වර්ජනය කල අතර, ඒවා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය විසින් පාවා දෙන ලදී. එහි නායකයන් වන රවී කුමුදේශ් හා සමන් රත්නප්‍රිය, රට අර්බුදයක පවතින බැවින් වැඩ වර්ජන දිරිමත් නො කරන බවත්, සිය සාමාජිකයන් “කලමනාකරනය කරගැනීම” ගැන උත්සුක බවත් ප්‍රකාශ කරන මාධ්‍ය නිවේදනයක් නිකුත් කල හ.

සරල බසින් ගත් කල, සාමාජිකයන් “කලමනාකරනය කරගැනීම” යනු, වෘත්තීය සමිතිවලට තම සාමාජික කම්කරුවන් පාලනය කරමින් ආන්ඩුව හා මහ ව්‍යාපාරිකයේ අවශ්‍යතාවන් ආරක්ෂා කර දීමට තමන්ට පවතින හැකියාව ගිලිහෙමින් පවතින බවට වන ඉඟි කිරීමකි.

අර්බුදය ගැඹුරු වෙද්දී, සිය කප්පාදු පැටවීමට හා කම්කරු පන්තිය මතට කඩා පැනීමට, රාජපක්ෂ ආන්ඩුව පාර්ලිමේන්තු විපක්ෂයේ සහයෝගය ද අපේක්ෂා කරමින් සිටියි.

“රට තුල පවතින වත්මන් ආර්ථික තත්ත්වය සාකච්ඡා කිරීම” සඳහා සර්ව-පාක්ෂික සමුලුවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරනය කර ඇති බව, පාර්ලිමේන්තු සභානායක ඇමති දිනේශ් ගුනවර්ධන බදාදා නිවේදනය කලේ ය. ඒ සඳහා දිනයක් හෝ ස්ථානයක් නිවේදනය කර නැත.

අනාගත සර්ව-පාක්ෂික සමුලුවක් නො තකා, සමගි ජන බලවේගය (සජබ) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) ඇතුලු විරුද්ධ පක්ෂ, අර්බුදය “විසඳීම” සඳහා දැනට මත් ජාමූඅ වැඩපිලිවෙලක් කැඳවුම් කර තිබේ. මේ වසර මුල දී ජවිපෙ, අර්බුදය කලමනාකරනය කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රනයක් පිහිටුවන ලෙස, ආන්ඩුවෙන් ඉල්ලී ය.

මෙය හදිසි අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු කම්කරු පන්තිය, තමන්ගේ ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට සටන් කල යුතු ය. මෙම අයිතීන් ආරක්ෂා කිරීමේ වුවමනාවක් ධනපති පක්ෂ අතර නැත. ධනපති පන්තියේ සෑම කන්ඩායමකින් ම බිඳී වෙන් විය යුතු කම්කරුවෝ, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු වෙති.

මේ සඳහා, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සන්ධානගත ව දිවයින පුරා එක්සත් කාර්මික හා දේශපාලනික ක්‍රියා දියත් කිරීමට, වෘත්තීය සමිතිවලින් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය ය. එවන් අරගලයක්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටන මත පදනම් විය යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින ක්‍රියා මාර්ගය මෙය යි.

Loading